දේශපාලන

අගමැති මහින්ද චන්දිමගේ මහ ගෙදරට ඊයේ හවස්කරේ හදිසියේ ම පැමිණි වග

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාණන් ඊයේ (01) හවස් භාගයේ සංචාරයේ යෙදුණේ පාර්ලිමේන්තු මැතිවරණයේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම උදෙසා පැවති රැස්වීම් පහකට ය. ඒ අහුංගල්ලට, ඌරගස්මං හන්දියට, ඇල්පිටියට, මාපලගමට හා හබරාදූවටත් ය.

ගාලු ආ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බලපිටියේත්, ඌරගස්මං හන්දියේත්, ඇල්පිටියේත්, මාපලගමත් රැස්වීම්වලට සහභාගී වීමෙන් අනතරුව ආවේ හබරාදූවේ කොග්ගල සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩා පිටිය බලා ය.

මාපලගම සිට හබරාදූවට එමින් ගමන මහින්ද රාජපක්ෂ ගියේ හපුගලට ය. හැබැයි එය ඔහුගේ ඊයේ දින ගාල්ලේ යෙදුණු සංචාරයේ න්‍යාය පත්‍රයෙ හි වූවක් නොවේ. හපුගල පිහිටි චන්දිම වීරක්කොඩි ගේ මහ ගෙදරට ය. ඒ වන විට චන්දිම ද ඉමදූවේ පැවති සිය ජයග්‍රහණය තහවුරු කිරීම් වස් පැවති රැස්වීමකට සහභාගී අවසන් වී එන අතර මහින්ද සිය නිවසට එන බව උදේ කාලයේ ලද පණිවිඩයක් නිසා එහි සිට නිවසට ආවේ අගමැතිවරයා එන්නට පෙර ය.

ඉකුත් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂයාණන් ගේ ජය තහවුරු කිරීම් වස් ගාල්ලේ පො‍හොට්ටු නායකයින් සංවිධානය කරන ලද ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළි මාලාවකට එක් වූ මහින්ද රාජපක්ෂ (එවක විපක්ෂ නායකවරයා) ඊයේ මෙන් ම හපුගලට සපැමිණ චන්දිමගේ මහ ගෙදරට ගොඩ වැදී ඔහුගේ මා පිය දෙපොළ ගේ සුවදුක් විමසා තේ පීරිසයක් ද පානය කොට යන්නට අමතක කළේ නැත.

ඊයේ ද සුපුරුදු පරිදි ඔහු හපුගල ඇවිදින් චන්දිම ගේ මව් මල්ලිකා වීරක්කොඩි මහත්මිය විසින් සූදානම් කරන ලද තේ පැන් පානය කිරීමෙන් පසු කීවේ

''චන්දිම ගේ දිනුම ගැන ලැබෙන නිවුස් බොහොම හොඳ ආරංචි" ය කියා යි.

ඔහුගේ එවදන් චන්දිමගේ මවට හා පවුලේ නෑ හිතවතුන්ට විදින ලද එන්නතක් බඳු විය. උත්තේජනයක් විය.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමට පෙර, හවුරුදු හතළිහක තරම් කලෙක පටන් චන්දිම ගේ මහ ගෙදරට යන එන පුරුද්දක් ඔහු සතුව තිබුණි. ඒ ගාල්ලේ හුන් වාම ව්‍යාපාරයේ ප්‍රගතිශීලී එක් කෘතහස්ථ දේශපාලනඥයකු සේ නම් දැරූ ගාලු දිසාවේ ජනහද දිනා හුන් දිවංගත අමරසිරි දොඩන්ගොඩ නම් ඔහු අතිජාත මිතුරා ගේ වැඩිමහල් සොවුරිය ගේ නිවසේ දොඩන් එක්ක රැයක් දෙකක් ගතකිරීමේ පුරුද්දක් පැවති අතීත ස්මරණ හේතුවෙනි. දොඩන්ගොඩ 1977 මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තරුව ලකුණින් අක්මීමන ආසනයට තරග කරද්දී සියලු දේශපාලන කටයුතු කළේ ලොකු අක්කා ගේ නිවහනේ රැ‍ඳෙමින් නිසාවෙනි.

දොඩන් එක්ක පැවති ඒ මිත්‍රසන්ථවය ඔහුට හපුගල නිවහන තමන්ගේ ම නිවහනක් සේ 2005 ජනධිපතිවරණය දක්වා ම පැවැත්තේ ය. ඒ මතකය අලුත් කරමින් අගමැති මහින්ද ඊයේ සැඳෑවේ හත හමාරට විතර චන්දිම ගේ මහ ගෙදරට සපැමිණීම මොන තරම් අගේ ඇති වැඩක් දැ යි පොහොට්ටුවේ පක්ෂග්‍රහී නොවන පාක්ෂිකයන් ද ආධාරකරුන් ද හිතවතුන් ද අතර දැඩි කතාබහකට ලක්වනු දක්නට ලැබිණි.

පනස් වසරක දේශපාලන අත්දැකීම් සම්භාරයකින් යුත් මහින්ද රාජපක්ෂ ගේ මේ හැසිරීම අද දේශපාලන පොරපිටියේ පොරට වැද සිටින කුළු හරකුන් බඳු සෙසු සියලු තරාතිරමක ම දේශපාලනඥයන්ට කියා දෙන්නේ කදිම පාඩමකි. ඔහු සියල්ල උපේක්ෂාවෙන් බලා සම සිතින් කටයුතු කරන්නට තරම් බොහෝ නිහතමානී ගුණයන්ගෙන් සපිරි බව ක්‍රියාවෙන් ම සෙස්සන්ට පෙන්නනට තරම් පරිපූර්ණ වූ දේශපාලන නායකයෙකි.

අගමැතිවරයා චන්දිම ගේ මහ ගෙදරට  එන බව දැනගත් පොහොට්ටුවේ ආධාරකරුවන් විශාල පිරිසක් හපුගලට එක්රොක් ව සිටියහ. ඔවුහු සියල්ලෝ ම පොහොට්ටුවෙත්, මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ හා චන්දිමගේ ද ජයග්‍රහණය අපේක්ෂා කරමින් සුබ පැතූ අයුරු මේ රූප රාමුවලින් කියා පායි.