දේශපාලන

අඩසිය වසක දේශපාලන ගමන ට පා තබමින්

පාර්ලිමේන්තුවේ මතක පොතෙන්.....

ජූනි 07 වන දා ට යෙදෙන මහින්ද රාජපක්ෂ ගේ අඩසිය වසක දේශපාලනයේ අරඹුම වෙනුවෙන් හෙළදිව ඊ පුවත් සංග්‍රහය විසින් පළකරන වගයි.......

පනස් වසරකට පෙර පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතාවක්. අඩසිය වසක දේශපාලන ගමන ට පා තබමින් මහින්ද නමෝ විත්තියෙන් පාර්ලිමේන්තු‍වේ දී කළ ජනතා ඇමතුම.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ වන මම, ශ්‍රී ලඞකාද්වීපයේ රාජදිය වන නෛකශ්‍රීන් විරාජමාන දෙවැනි එලිසබත් මහා රාජදියන් වහන්සේටද උන්වහන්සේගේ උරුමක්කාරයන්ටද උන්වහන්සේ ඇවෑමෙන් නීත්‍යානුකූලව රාජ පදප්‍රාප්ත වන්නන්ටද භක්තිමත් වන බවටත් අවඞකාධ්‍යාශයෙන් පක්ෂපාත වන බවටත් සම්මාන සහිතවද අවඞක ලෙසද සැබෑ ලෙසද ප්‍රකාශ කොට මෙයින් සහතික කරමි.

1970 ක්වූ ජුනි මස 7 වැනිදා වන මෙදින මා ඉදිරිපිටදී සහතික කොට අත්සන් කළ බවට

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ලේකම් විසින් අත්සන් තබන ලද මෙකී ලේඛනය සඳහන් ය.

1970 මැයි මස 27 වැනිදා පැවති හත්වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා සේ බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයට තරග වැද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රංජිත් කේ. පී. අතපත්තු හා ස්වාධීන අපේක්ෂකයකු සේ තරග කළ රන්පටබැඳිගේ ගුණදාස වීරවර්ණ නිලවීර යන තරගකරුවන් ඉතා පහසුවෙන් පරාජයට පත් කළ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ජයග්‍රහණය ලද්දේ වැඩි ඡන්ද හයදහස් හයසිය විසිහයක් ලබමිනි. ඔහු බෙලිඅත්ත ඡන්දදායකයින් කතිර විසිතුන් දාස් එකසිය තුනක්  ඔහුගේ ඡන්ද ලකුණ වූ අත ලකුණ ඉදිරියේ ප්‍රකාශ කරන ලදි. එදා ‍ඔහු නියෝජනය කළ ශී ලංකා නිදහස් පක්ෂය මෙ රටේ ප්‍රබලතම වාමවාදී දේශපාලන පක්ෂ දෙක සේ සැලකුණු ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා නිතරග ගිවිසුමක් අනුව සමගි පෙරමුණක් සේ මහ මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තුවේ 2/3 ක ජයක් ලබා ගත්තේ ලාංකේය දේශපාලනයට නව අර්ථකථනයක් දෙමිනි. එකී ජයග්‍රහණය නිසා ම 1970 ජුනි මස 7 වැනිදා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරීපත් වූවන් එංගලන්තයේ මහා රාජිනියට පක්ෂපාතී බව දැක්වෙන ඉහත ප්‍රකාශය කර අත්සන් කොට හත්වැනි පාර්ලිමේන්තුවේ අසුන් ගෙන හවුරුද්දකුත් මාස එකොළහක් හා දවස් විසි පහක් ගතකොට 1972 මැයි 22 දා බ්‍රිතාන්‍ය කිරීටයෙන් ශ්‍රී ලංකාද්වීපය මුදාගෙන ස්වාධීන රාජ්‍යයක් සේ අභිමානවත්ව නව ගමනකට මුළ පුරද්දී එහි හුන් ළාබාල ම මහජන නියෝජිතත්වය දරන්නට තරම් බෙලිඅත්තෙන් මැතිසබයට ගිය තරුණ මහේන්ද්‍රට හෙවත් මහින්ද ට හැකි විය.

එහෙයින් ම සමගි පෙරමුණු ආණ්ඩුවේ රාජසන කථාව ඉදිරිපත් කළ විලියම් ගොපොල්ලව අග්‍රාණ්ඩුකාරවරයාට ස්තුතිය පළකරන යෝජනාව මැතිසබය හමුවේ තැබීමට ඔහු වාසනාවන්ත විය.

එදා සිය දේශපාලන ගමන ඇරඹූ මහින්ද රාජපක්ෂ අද වන විට අඩසිය වසක අත්දැකීම් සහිත පරිපූර්ණ දේශපාලනඥයා සේ භෞතිස්ම ලබා සිටින්නේ ය. ඔහුගේ දේශපාලන ගමන් මගේ අඩසිය වස සම්පූර්ණ කරන්නේ අද (2020. 06. 07) ය.

එදා මෙදා තුර ඔහු මේ ගමනේ ඉදිරිය බැලුවේ බෝ දුක්ඛදෝමනස්සයන් විඳදරා ගෙන ය. ඒ ගැන අපි මෙහි වෙනත් ලිපියකින් ඒ කතන්තරය කියන්නෙමු.

මෙහි බහාලන්නේ ශ්‍රී ලංකාවේ හත්වැනි පාර්ලිමේන්තුවේ ළාබාල ම මන්ත්‍රීවරුන් දෙදෙනා වූ ඩී. ඩී. එඩ්වින් වික්‍රමරත්න හා මහින්ද රාජපක්ෂ යන තරුණයන් දෙන්නා ගෙන් අපේ කථානායකයා වන පස්වැනි විධායක ජනාධිපතිවරයා සේ 2005 නොවැම්බර් මාසෙ 17 වැනි දා ජනවරම් ලැබ තිස්වසරක් පුරා කොටි ත්‍රස්තවාදීන් විසින් වපුල දැවැන්ත භීෂණය නන්දිකඩාල් කළපුවේ දී හමාරකරන්නට සේනාධිනායකයා සේ ත්‍රිවිධ හමුදාවන්ට විධානය දී එතෙක් කලක් නිබඳව ම බියෙන් සැකෙන් දවස පාකළ ලාංකේය සිංහල, දෙමළ, මුස්ලිම් ඈ ජනී ජනයාට සාමයේ අරුනලු උදාකර දෙන්නට සමත්කම් පෑවේ ය.

ඔහු අද සිය පනස් වැනි දේශපාලන දිවියෙන් තවත් එක් පියවරක් ඉදිරියට තබන්නේ සිය සොවුරු ගෝඨාභය රාජපක්ෂ සොවුරාණන්ගේ පාලනය යටතේ පවතින ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා හැටියට ජන මෙහෙවර ඉටුකරමිනි.

එදා අග්‍රාණ්ඩුකාරවර විලියම් ගොපොල්ලව මැතිතුමන් විසින් ඉදිරිපත් කළ රාජසන කථාව පිළිබඳ ඔහුට තුති පළකරමින් මහින්ද රාජපක්ෂ විසින් ගෙන එන ලද යෝජනාව පනස් වසරකට පසු හෙළදිව ඊ පුවත් සංගහයේ පාඨකයන් වෙත මෙසේ අකුරු කරන්නේ ගෙවී ගිය කාලය තුළ රටේ තත්ත්වය හා සසඳන්නට ඇරයුම් කරමිනි.

''ගරු කථානායකතුමනි,

මේ අවස්ථාවේ දී මා නැගී සිටින්නේ අතිගරු අග්‍රාණ්ඩුකාර උතුමාණන් වහන්සේ විසින් පවත්වන ලද රාජසන කථාවට ස්තුති ‍‍යෝජනාව ඉදිරිපත් කිරීමටයි.

ගරු කථානායකතුමනි, 1970 ජනතා ජයග්‍රහණය වනාහි මේ රටේ කෝටියකට අධික දුක් විඳින ජනතාවට පසුගිය අවුරුදු පහ තිස්සේ නිහඬව හදවත්හි දරා ගෙන සිට දුක් සුසුම් පැන නැගි ඓතිහාසික ජයග්‍රහණයක්. එය මුළු ලොව මවිත කර වූ ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණයෙන් බිහි වුණු 1970 වේ ජනතා රජයේ ප්‍රථම රාජසන කථාවට ස්තුති යෝජනාව ගෙන ඒමේ භාග්‍යය මට ලැබී තිබෙනවා. ඒ වනාහි මට නොව දකුණු ලංකාවේ රුහුණු රටේ බෙලිඅත්ත ආසනයේ හතළිස් හය දහසක් පමණ මහා ජනතාවට ලැබුණු භාග්‍යයක්. මෙම භාග්‍යය ලබාදීම පිළිබඳව බෙලිඅත්‍ත ආසනයේ මහජනතාව ඔබතුමන්ටත් ගරු අගමැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණු රජයටත් පුද කරන ලෙස මා අත එවූ උණුසුම් ආශිර්වාදය මේ ගරු සභාවට ප්‍රකාශ කර සිටීමට පළමුවෙන් මම ඔබතුමාගේ අවසරය ඉල්ලනවා.

ගරු කථානායකතුමනි, ලංකාවේ මෑථ ඉතිහාසයේ අතිශය වැදගත්, එහෙත් බොහෝ විට අපට අමතක වන එක් අනුස්මරණීය සිද්ධියක් ඔබතුමන්ට සහ මේ ගෞරවනීය සභාවට සිහිපත් කරලීමට මට අවසර දෙනු මැනවි. 1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ රටින් ගියේ ඔවුනට සුවච කීකරුව සිටින සේ පුහුණු කළ කළු ඉංග්‍රීසි ධනපති නියෝජිත පිරිස සිංහල දැන‍ගෙන සිටියෙ නැහැ. සිංහල රට, සිංහල ඉතිහාසය, සිංහල සංස්කෘතිය දැනගෙන හිටියෙ නැහැ. ඒ නිසා සිංහල භාෂාව කුස්සියට සීමා වී තිබුණා. ගරුතර සංඝරත්නය, වෙද මහතුන් රාජ අනුග්‍රහය නොලැබ අනාථව අසරණව සිටියා. ඒ පාලක පක්ෂය අතර සිටි එක් දූරදර්ශී ශ්‍රෙෂ්ඨ ලංකා පුත්‍රයෙක් මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය දැක කම්පා වූ හදවතින් යුක්තව තමන්ගේ පන්තිය සහ සගයින් හැර දමා අවිනිශ්චිත අනාගතයක් කරා, එහෙත් අධිෂ්ඨානයෙන් යුක්තව, මේ රටේ දුක් විඳින ජනතාව වෙතට 1951 ජූලි 12 වන දින පා නැගුවා.

ගරු කථානායකතුමනි , ඒ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා දිවංගත ගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සිරිමතාණන්ය. මම මේ දිනය ලංකා ඉතිහාසයේ අමරණීය දිනයයි කියන්නේ මක්නිසාද? ධනපති වාදයේ අඳුරු ඡායාව වෙතට ඇදගෙන යමින් තිබූ මේ රටේ ජනතාව සමාජවාදයේ අරුණාලෝකය වෙතට පළමු වරට යොමු කරවූයේ මේ අතිශය වැදගත් දිනයේ දී බව මා ප්‍රකාශ කරනවා. එදා බණ්ඩාරනායක සිරිමතාණන් එක්සත් ජාතික පක්ෂයත් තම ඇමති ධූරයත් හැර දමා පෑගෙන මහජනතාවගේ පිළට එක් වූ දවස ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිසිඳුණු දවස යයි මා විශ්වාස කරනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය අවුරුදු 18 තිස්සේ අනිකුත් සියලුම සමාජවාදී බලවේග අනුව එකමුතු වී, සමගි වී මේ රටේ පෑගෙන මහ ජනතාව සමාජවාදය වෙතට ඉතා ජයග්‍රාහක අන්දමින් මෙහෙයවා තිබෙන බව මේ ගරු සභාවට සිහිපත් කිරීමට මා කැමතියි. මේ නිසයි, ගරු කථානායකතුමනි, ඒ දිනය ලංකා ඉතිහාසය අමුතු යුගයකට, අමුතු මගකට යොමු කළ අනුස්මරණීය දිනයක් යයි මා විශ්වාස කරන්නේ. එදා ගරු බණ්ඩාරනායක සිරිමතාණන් මේ නව යුගය පිළිබඳව අවිනිශ්තිච අනාගතයක් හිසින්ගෙන තම පංක්තිය හැර දමා පෑගෙන මහ ජනතාව වෙතට පිය නගද්දි එතුමාට ආත්ම ධෛර්යයක් දෙමින් එතුමා පසුපස ගමන් කළ එක් වීර රුහුණු පුත්‍රයකු ගැන බණ්ඩාරනායක සිරිමතාණන්ගේ වචනයෙන්ම මම මේ සභාවට සිහිපත් කරන්නට කැමතියි. බණ්ඩාරනායක සිරිමතාණන් මෙසේ කියා තිබුණා.

''මම හිතුවා ඒ මගේ සෙවනැල්ලෙයි කියලා පස්සෙ බැලූ කොට ඒ ඩී. ඒ."

ගරු කථානායකතුමනි, ම‍ගේ දිවංගත පියාණන් එවකට රුහුණු මහජන මන්ත්‍රීවරයායි. ඒ නිසා එතුමා බණ්ඩාරනායක සිරිමතාණන් පසුපස ගෙන ගිය රුහුණේ බෙලිඅත්තේ මහජනතාවගේ අපේක්ෂාවන්. මේ නිසා ගරු කථානායකතුමනි, බෙලිඅත්තේ මහජනතාව ලංකාව නව යුගයකට යොමු කළ ඒ ඓතිහාසික සිද්ධියේ සැබෑ කොටස්කරැවන් බව ආඩම්බරයෙන් අදත් සිහිපත් කරනවා. ඒ නිසාම බෙලිඅත්තේ මහජනතාව එදා පිළිසිඳ ගත් ජයග්‍රාහී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක කොටස් කරැවන් වීමේ භාග්‍යය ලැබූ අයයි. බෙලිඅත්තේ මහජනතාව තමන්ට මෙම භාග්‍යය හිමිකර දුන් ඒ බණ්ඩාරනායක සිරිමතාණන්ගේ සෙවනැල්ල වූ දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මතාණන්ගේ ආදරණීය පුත්‍රයා 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන මන්ත්‍රීවරයා වශයෙන් අද මේ ගරු සභාවට පත් කර එවා තිබෙනවා.

ගරු කථානායකතුමනි  , මෑත ඉතිහාසයේ ලංකාව නව යුගයකට යොමු කළ යට ගිය ඓතිහාසික සිද්ධියේ දී බෙලිඅත්තේ මහජනතාව කොටස්කරුවන් වීම පුදුමයක් නොවෙයි. මට වරම් දී එවූ ඒ ජනතාව අනුස්මරණීය ඓතිහාසික අවස්ථාවන්හිදී කොටටස්කරුවන් වූ බව ඔබතුමාණන්ට සිහිපත් කිරීමට කැමතියි. සම්බුද්ධ ශාසනයත් ජාතියත් ගළවා ගැනීමේ වීරෝදාර සටනේදී වීර දුටුගැමුණු රජතුමා පසුපස ගිය ගෝඨයිම්බර යෝධ පුත්‍රයා උපන් නෙටොල්පිටිය ගම මා නියෝජනය කරන කොට්ඨාශයේ පිහිටියක්. ලංකාද්වීපයේ ධර්ම ශාස්ත්‍ර අභාවයට ගොස් තිබුණු වකවානුවක වැලිවිටියේ පිණ්ඩපාතික ශ්‍රී සරනංකර සංඝ රාජයාණන් වහන්සේ කන්ද උඩරටින් විද්‍යා ආලෝකයේ පහන දල්වද්දී, දක්ෂිණ ලංකාවේ විද්‍යාලෝකය පතුරුවා හැරිය ගරු සිටිනාමළුවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ ඉපදුණු ඓතිහාසික සිටිනාමළුව ගම පිහිටියේත් මා නියෝජනය කරන කොට්ඨාශයේයි. සෙත් කවි හා වස් කවි පිළිබඳ සහජ දක්ෂතා ඇතිව සිටි බරණ ගණිතාචාර්යතුමා, පත්තායමේ ලේකම්තුමා, බැදිගම වීරසිංහ වැනි කවියන්, වාදීභසිංහ බැදිගම රතනපාල හිමි, වැලිපටන්විල ශ්‍රී දීපංකර හිමි, කරතොට ධම්මාරාම නා හිමි වැනි මහ පඬිවරුන් වැජඹුණේ ද බෙලිඅත්ත අවට ගම්වලයි.

ගරු කථානායකතුමනි, බෙලිඅත්ත ආසනයට නම ලබා දුන් බෙලිඅත්ත ඉතා පැරණි වෙළඳ පොළක් බව ඔබතුමාට සිහිපත් කරවන්නට මා කැමතියි. අගනා සිවුමංසන්ධියක් සහ රමණීය උස් භූමියක් පිහිටි දිනපතා වෙළඳපළක් පවත්නා බෙලිඅත්ත කදිම නගරයක් බවට පත් කළ හැකියි. එහෙත් අද එය නගරයක හෝ හෝඩුවාවක්වත් දැකගත නොහැකි නිකම්ම කඩපළක් පමණයි. විධිමත් සැලැස්මකට අනුව බෙලිඅත්ත නගරයක් කර දුනහොත් එය බෙලිඅත්තේ මුළු මහත් ජනතාවම ජනතා රජයට සදහටම කෘතගුණ දක්වන කාරණයක් වනු ඇති.

ගරු කථානායකතුමනි, මා නියෝජනය කරන ආසනයේ සෑහෙන තරම් කොටසක් ධීවර කර්මාන්තයෙන් යැපෙන දුක්බර අය බව මේ ගරු සභාවට සිහිපත් කර සිටිනවා. දකුණු ලංකාවේ ඉතා ප්‍රසිද්ධ ධීවර ගම් කීපයක් මේ කොට්ඨාශයේ පිහිටා තිබෙනවා. මාවැල්ල, කුඩාවැල්ල ආදී ඉතා ජනාකීර්ණ ධිවර ගම්වල ජනතාව සිය ජීවිත පරදුවට තබා මුහුද සමග සටන් කොට ඉතා දුකසේ ජීවත් වෙනවා. ඔවුන්ගේ ජීවන ක්‍රමය වාසනාවන්ත කිරීම සඳහා ධීවර සංරක්ෂණ ක්‍රමයක් හා ඔවුන්ගේ මුහුදු යාත්‍රා ගැනීමට ණය පහසුකම් ඇති කිරීම සහ ධීවර ආම්පන්නවල අධික මිල පහත හෙළීම වැනි ක්‍රමවලින් උදව් කළොත්, තංගලු පෙදෙසේ ධීවර ජනතාව රජයට කෘතඥ වන බව කිව යුතුයි.

ගරු කථානායකතුමනි, තංගල්ලේ තානායම ළඟ සිට නැගෙනහිර දෙස බලන විට ඈතින් පෙනෙන රැකව තුඩුවතෙක් කවාකාරව විහිදුණු අති රමණීය ස්වාභාවික තංගලු වරාය අද මෝඩ වරායක් බවට පත් වී ඇති සැටි තංගලු ධීවර ජනතාව කඳුළු පිරි දෑසින් යුක්තව සිහිපත් කරනවා. එදා ඒ තිබුණු වරායක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රජයෙන් මුදල් වෙන් කල ධීවර මධ්‍යස්ථානයත් අද එහි නැහැ. අද එහි තිබෙන්නේ පොල් විවීමට වුවත් පුළුවන් වැලි ගොඩ ගැසුණු වරායක්. ඇත්ත වශයෙන්ම ගරු කථානායකතුමනි, අද එම වරාය නැව් නවත්වන මුහුදු වරායක් ‍වශයෙන් නොවෙයි. මුහුද ගොඩ කිරීමේ ව්‍යාපාරයක් වශයෙන් නම් සාර්ථක වී තිබෙන බව මේ අවස්ථාවේදී මතක් කර දෙනවා. ගරු කථානායකතුමනි, තංගල්ලට අංග සම්පූර්ණ ධීවර කටයුතු මධ්‍යස්ථානයක් සහිතව වරායක් ඇති කිරීම පිළිබඳ වැඩ පිළිවෙළක් සකස් කරන ලෙස මේ ගරු සභාවෙන් මා ඉල්ලා සිටිනවා.

ගරු කථානායකතුමනි, මා නියෝජනය කරන ආසනයේ වැසියන් බොහෝ කොට ගොවිතැන් බතින් ජීවත් වන අය බව මා කියා සිටිය යුතුයි. කුඹුරු ගොවිතැන සඳහා පුරාතනයේ සිට පැවත එව කුඩා ග්‍රාමීය වැව්වලින් ජලය ලබාගෙන ගොවිතැන් කරන මේ ගොවි මහතුන්ට ඒ පැරණි වැව් හා ඇළ වේලි ක්‍රමවත් සේ සකස් කොට නවීන විද්‍යාත්මක වගා ක්‍රම පිලිබඳ අවබෝධයක් දී උදව් කළ හැකි නම් එය මේ ජනතා රජය බිහි කිරීමට ඔවුන් දැරූ ආයාසයට කළගුණ සැලකීමක් බව මම ඔබතුමන්ට සිහිපත් කරනවා. ගරු කථානායකතුමනි, අතිගරු අග්‍රාණ්ඩුකාර උතුමාණන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද රාජාසන කථාවේ සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණය හා නඩත්තුව රජයට පවරා ගන්නට අදහස් කරන බව ප්‍රකාශ වී තිබුණා. මෙය බෙලිඅත්තේ පැරණි ගම්වල වැව් හා ඇළ වේලිවලින් ජලය ගෙන කුඹුරු වගා කරන ගොවි මහතුන්ට ඉමහත් ප්‍රීතිය ගෙන දෙන්නක් බව මා සඳහන් කළ යුතුයි. රාජසන කථාවේ ඉදිරිපත් වූ මේ අදහස අනුව තංගලු වෙල්යායේ කරදිය මුහුදට බස්සන ක්‍රමයක් ඇති කළොත් අක්කර 2400 ක් පමණ වූ වෙල්යාය යල මහ දෙකටම සරුවට වගා කරන්නට හැකි වෙනවා ඇති.

ගරු කථානායකතුමනි, බෙලිඅත්ත ආසනයේ ගොවි ජනතාවගෙන් විශාල කොටසක් හේන් ගොවිතැනින් ජීවත්වන අයයි. ඔවුන් කටුසර බෝග වගා කරගෙන දුකසේ ජීවත් වෙනවා. රුහුණ වි‍ශේෂයෙන් කුරහන් ගැන ප්‍රසිද්ධියක් උසුලනවා. 'රුහුණේ සිංහයා" නමින් විරුදාවලිය ලබා සිටි දිවංගත ඩී. එම්. රාජපක්ෂ මහතා - එවකට හම්බන්තොට ගරු රාජ්‍ය මන්ත්‍රීතුමා - තම සාටකය සඳහා තෝරා ගත්තේ කුරහන් පාට බව මෙහිදී මම මතක් කරනවා. මේ නිසා කුරක්කන් වැනි කටුසර බෝග වගා කරන ගම්බද හේන් ගොවීන්ට පහසුකම් ලබා දුනහොත්, ඔවුන් ජනතා රජයට බෙහෙවින් කෘතඥ වෙනවා ඇති. මා බොහොම සංතෝෂ වෙනවා, රාජසන කථාවේ ඉඩම් නැති ගොවින්ට ඉඩම් බෙදා දීමේ ක්‍රමයක් පිලිබඳව සඳහන් කර තිබීම ගැන. සුළු කර්මාන්ත, ගෘහ කර්මාන්ත සහ සුළු කාර්මික වැඩපොළවල් ඇති කිරීම සහ දියුණු කිරීම ගැන රාජාසන කථාවෙහි සඳහන් වුණා.

මුළු ලංකාවේ ප්‍රකට අති විසිතුරු චිරාගත ලාක්ෂා කර්මාන්තය රඳා පවතින්නේ මා නියෝජනය කරන ආසනයේ පිහිටි අඟුල් මඩුව නම් ගමේයි. තවද, පිත්තල කර්මාන්තය, වළං කර්මාන්තය යනාදී සුළු දේශීය ගෘහ කර්මාන්ත පෞරාණික මුහුණුවරට හා චිරාගත ලක්ෂණවලට අනුකූලව රැකගෙන එන බෙලිඅත්තේ මහ ජනතාවට රාජාසන කථාවෙහි යට කී සඳහන ඉමහත් ප්‍රීතියට හේතු වන බව කිව යුතුයි.

බෙලිඅත්ත ආසනයේ රක්ෂා විරහිත උපාධිධාරීන් සහ ස්වභාෂා මාධ්‍යයෙන් විශ්ව විද්‍යාලයීය අධ්‍යාපනය බලාපොරොත්තු වන තරුණ තරුණියන් විශාල ගණනක් ඉන්නවා. රාජ්‍ය අංශයේ පුරප්පාඩු සියල්ල පිරවීමට සහ රක්ෂා පහසුකම් පුළුල් කරන අලුත් දෙපාර්තමේන්තු ඇති කිරීමට රාජාසන කථාවෙන් ඉදිරිපත් කර ඇති අදහස ගැන බෙලිඅත්ත ආසනයේ තරුණ පරම්පරාව බොහෝ කොට ප්‍රීතිමත් වන බව මා කිව යුතුයි. ඊටත් වඩා දකුණෙහි තවත් විශ්ව විද්‍යාලයක් පිහිටුවන්නට ඉදිරිපත් කර ඇති අදහස කෙරෙහි මුළු රුහුණම කාතඥ වන බව කියන්න කැමතියි.

ගරු කථානායකතුමනි, මේ රටේ වර්තමාන තරුණ පරම්පරාව රක්ෂා හිඟය, අවිනිශ්චිත අනාගතය, අවිනිශ්චිත සංස්කෘතික රටාව, යන මේ කරුණු නිසා සුන් වූ අපේක්ෂාවන්ගෙන් පිරුණු හිසින් බරපතල අසහනයක දැව‍ටී සිටින බව මා සඳහන් කළ යුතුව තිබෙනවා. පසුගිය මහා මැතිවරණයේදී පැහැදිලිව පෙනුණු එක් කරුණක් තමයි, මෙම අපේක්ෂා භංගත්වයෙන්, අසහනයෙන් පෙළුණු තරුණ පරපුර සෞභාග්‍යමත් අනාගත ලංකාවක් බිහි කරන්නට පොරොන්දු දී සිටි සමඟ පෙරමුණ වටා රොක් වී සමඟි පෙරමුණ ජයග්‍රහණය කරවන්නට දිවා රෑ වෙහෙස මහන්සි වූ බව. තරුණයන්ගේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කරන බවටත්, තරුන කටයුතු සහ සුභසාධක කටයුතු ගැන දෙපාර්තමේන්තුවක් ඇති කිරීම සඳහා පියවර ගන්නා බවටත් රාජාසන කථාවේ ඇති සඳහන මුළු ජනගහනයෙන් අඩකට වැඩි මේ තරුණ පරපුරේ අමන්දානන්දයට හේතුවන බව ඒ තරුණ පරපුරේ කොටසක් වන බෙලිඅත්ත ආසනයේ තරුණ තරුණියන් වෙනුවෙන් ඒ පරපුරේ කෙනකු වන මා සඳහන් කරන්නට කැමතියි.

ප්‍රජාතන්ත්‍රවාදී ජර්මන් ජනරජය, වියට්නාම් ජනරජය, කොරියන් ජනරජය හා වියට්නාම් විප්ලවවාදී තාවකාලික ආන්ඩු සමඟ තානාපති සබඳකම් ඇති කර ගැනීමටත්, ඊශ්‍රාලය සමඟ දැනට ඇති තානාපති සබඳකම් අත්හිටුවීමටත් රාජාසන කථාවේ කර ඇති සඳහනද, නොබැඳුන මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට තිබුණු සඳහන ද අනුව, ජනතා රජය අධිරාජ්‍ය විරෝධී විමුක්ති සටන් ගරු කරන දූරදර්ශී මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්යක් අනුගමනය කරන බවට මහ ජනතාව තුළ ස්ථිර විශ්වාසයක් ඇති බව කිව යුතුයි.

මේ රටේ පොදු ජනතාව අධිරාජ්‍යවාදය අනුමත නොකරයි. ධනේශ්වර වාදය අනුමත නොකරයි. සියලු සූරාකෑම් අනුමත‍ නොකරයි. ඔවුන් 1970 දී තුනෙන් දෙකකටත් වඩා වැඩි ආසන ගණනක් ලබා දී සමඟි :පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයකට පත් කළේ මේ නිසයි. මහජනතාව සමඟි පෙරමුණ කෙරෙහි තැබූ මේ උදාර විශ්වාසය අබමල් රේණුවක තරමින් පවා නොසැලෙන සේ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කිරීමට මේ ජනතා රජය වග බලා ගනිතැයි ඔවුහු බලා සිටිති. ජනතා රජය ඉදිරියේ ඇති ප්‍රතිගාමී, කුමන්ත්‍රණකාරී, අධිරාජ්‍යවාදී, ධනවාදී බලවේග අප විසින් සුළුවෙන් තැකිය යුතු නොවේ. එහෙත් ඒ සෑම බාධකයක් ම බිඳ දමමින් සමාජවාදය කරා යන ගමන සහතික කර වීම සඳහා මේ රටේ තරුණ පරපුර ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වන්නට සූදානම් බව තරුණයකු වශයෙන් මා එඩිතරව ‍මේ ගරු සභාවේදී ප්‍රකාශ කර සිටිනවා.

මේ ගරු සභාවට ආධුනිකයකු වන මට මේ අවස්ථාවේදී මේ ස්තුති යෝජනාව ඉදිරිපත් කිරීමට ඉඩ සලසාදීම ගැන ගරු කථානායකතුමාටත්, ගරු අගමැතිනියටත්, ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ටත් මගේ ස්තුතිය පිරිනමමින්, අතිගරු අග්‍රාණ්ඩුකාර උතුමාණන් වහන්සේ පැවැත්වූ රාජසන කථාව පිළිබඳ ස්තුති යෝජනාව මම මෙසේ ඉදිරිපත් කරමි.

''අතිගරු උතුමාණෙනි, පාර්ලිමේන්තුව විවෘත කිරීමේදී ඔබතුමාණන් විසින් පවත්වන්නට යෙදුණු කථාව වෙනුවෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් වන අපි ඔබතුමාණන්ට ස්තුති කරමු. අප වෙත ඉදිරිපත් කරන ලද සියලුම කරුණුවලට අපගේ අවධානය යොමු කරන බවත් අපි ඔබත=මාට ස්ථිර ලෙස ප්‍රකාශ කරමු."

අග්‍රාණ්ඩුකාරතුමාගේ කථාව: ස්තුති යෝජනවා පිළිබඳ විවාදය

1970 ජූනි 14: නි. ම. ම. විවාද (1970 - 71) වෙ 90: 111 - 118

 

මීලගට තිස්වසරක යුද්ධය නිමාකිරීහට මුල් වූ හැටි....

සකස් කළේ : - සුගතපාල මැන්දිස්