කාලීන

අද උතුම් ඇසළ පුන් පොහෝ දිනයයි

අද උතුම් ඇසළ පුන් පසළොස්වක පෝ දිනය යි. අදින් අවුරුදු 2609 කට පෙර අද වන් පුන් පෝ දිනෙක උතුම් ධර්ම රත්නයත්, සංඝ රත්නයත් ලොවට පහල වූ සේක. සහම්පත් මහා බ්‍රහ්මරාජයාණන්ගේ ඇරයුමෙන් අපගේ ශාස්තෘන් වහන්සේ , ගෞතම සම්මා සම්බුදු රාජණන් වහන්සේ, සියලු බුදුවරුන් විසින් අත් නො හරින පින්බිම වන බරණැස ඉසිපතන මිගදායේ දී සියලු ලෝ සතුන් අනන්ත සසර දුකින් මුදවනු පිණිස උතුම් වූ දම්සක් පැවතුම් දේශනාව වදාළ සේක.

මනු ලොවින් කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම, අස්සජි යන පස්වග මහණුන් වහන්සේලා ද, දස දහසක් ලෝක ධාතූන් හි අනන්ත දෙව් බඹුන් පිරිසක් ද, උතුම් දම්සක් දේශනාව ශ්‍රවණය කළහ. ඒ පිරිස් අතරින් කොණ්ඩඤ්ඤයන් වහන්සේ මේ ගෞතම බුදු සසුනෙහි පළමු මඟඵල ලාභත්වය ලදහ. බුදු බණ අසා උන්වහන්සේ සොතාපන්න වූ සේක.

එතැන් පටන් කෙළවරක් නැති මේ අනන්ත බව කතරේ සැරිසරණ පිනැති, නුවණැති දෙව් මිනිස් සත්වයන් උතුම් අමා මහ නිවනින් සැනසුනහ.

ලෝක ධර්මතාවය අවබෝධ කළ හැකි එකම දහම තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපට පෙන්වා දුන් ඒ මඟ හැර අන් මඟක් නැත්තේ ම ය. ඒ දහම ඥාණවන්තයන් පිණිස ම වේ. එය සක්ෂ්‍යාත් කර ගන්නට මනා සිහියෙන් යුක්තව පිළිවෙත් පුරන්නට අදිටන් කර ගනිමු. බුදු දහම එදත්, අදත් මතුවටත් දෙව් මිනිස් සත හට සියලු යහපත උදාකර දෙමින් අනන්ත දුකින් නිදහස් වීමට ඒ උතුම් ධර්මයේ පිහිට සලසා ගන්නට හෙළදිව් වැසි අපටත්, ලෝ වැසි සියලු මිනිසුන්ටත් හැකි වේවා!!!

බරණැස ඉසිපතන මිගදායෙන් ගෞතම සම්මා සම්බුදු රාජණන් වහන්සේ ප්‍රමුඛව ඒ ශ්‍රී සද්ධර්මය මේ දක්වා පවත්වා ගෙන ආ අඤ්ඤා කොණ්ඩඤ්ඤමහ රහතන් වහන්සේ ප්‍රමුඛ කොටගත් මහා සාරිපුත්ථ, මහා මොග්ගල්ලාන, මහා කස්සප, මහා අනන්ද ආදී සඟ පරපුරෙන් පැවත එන භික්ෂු, භික්ෂුනී මහා ශාසන වංශයට නමස්කාර වේවා!!!

සියලු සත්වයෝ නිදුක් වෙත්වා!

නිරෝගි වෙත්වා!!

සුවපත් වෙත්වා!!!

නිවන් දකිත්වා!!!!