කාලීන

අද උතුම් පොසොස් පුන් පොහෝ දිනයි

අද පොසොන් පුන් පොහෝ දිනය යි. අද වන් දිනක ලැබීම් අතරින් අග්‍ර දේ වන උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනය අප හෙළදිවට උරුම විය. අපගේ මාතෘභූමිය ඉතා වාසනාවන්ත පින් බිමකි. ඒ මන්ද යත් අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ තෙවරක් ම මේ හෙළදිවට වැඩම කොට මේ පින්බිම උතුම් බුදු සසුන පිහිටු වීමට සුදුසු රටක් බවට පත් කළ සේක. ඒ උන්වහන්සේගේ ශාසනය අවසානය දක්වා පවතින්නේ අප මාතෘභූමියේ වන නිසාවෙනි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දී, සක් දෙවිඳුන් අමතා ලංකාද්වීපය බුද්ධ ශාසනය බබළවන රාජ්‍යයක් වන බැවින් එය ආරක්ෂා කරන මෙන් දැන්වූහ.

සම්බුද්ධ පරිනිර්වානයෙන් වසර 235 ක් ගිය තැන මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහස්සේගේ මූලිකන්වයෙන් දහසක් රහතන් වහන්සේලා පිරිවරා ධර්මාශෝක නිරිඳුන්ගේ අනුග්‍රහයෙන් තෙවන ධර්ම සංගායන පැවැත්විණි. අතාගතය දක්නා  මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහස්සේ,  ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට ධර්ම දූතයන් වහන්සේලා වඩම්මවන ලද්දාහ. බුද්ධ නියමය ඉටු කරනු වස් මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහස්සේ  විසින් මිහිඳු මහ රහතන් වහස්සේ  ප්‍රමුඛ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරුන් වහන්සේලා ලංකාද්වීපයෙහි බුද්ධ ශාසනය පිහිටුවීම පිනිස වඩමවන ලදී.

ඒ වන විට අප රාජ්‍ය‌ෙය් දේවානම්පියතිස්ස නම් පින්වන්ත රජු රජකම් කළ අතර, එතුමා ධර්මාශොක රජුගේ අදෘෂ්ට මිත්‍රයෙක් විය. වසර 2328 කට පෙර අද වන් දිනක මිහිඳු මහ රහතන් වහස්සේ බුද්ධ නියමය ඉටුකරමින් සක් දෙවිඳුන් ඇතුළු දෙව් පිරිසගේ සාදු නාදය මධ්‍යයේ, අනුරාධපුර අම්බස්තලාව මතට අහසින් ම වැඩමවා වදාළ සේක.  දඩකෙළියේ ‌ෙයමින් සිටි දේවානම්පියතිස්ස මහ රජුන්ට, මුවෙකුගේ වෙස් ගත් දෙවි කෙනෙකු මාර්ගයෙන් මිහිඳු මහ රහතන් වහස්සේ ඇතුළු ධර්ම දූත පිරිස මිහින්තලාවේ දී මුණ ගැසිණි.

අඹ ගෙඩියක උපමාවෙන් අසන ලද ප්‍රශ්නවලට අති සාර්ථක ලෙස පිළිතුරු දීමෙන් රජුගේ විචක්ෂණ බුද්ධිය මැනගත් මිහිඳු මා හිමිපාණෝ, පසුව ක්‍රමයෙන් දහම් දෙසා මේ හෙළදිව දහම් දිවයිනක් බවට පත් කළ සේක. අරිට්ඨ මහ ඇමති ඇතුළු පිරිසක් පැවිදි උපසම්පදාව ලැබීමෙන් ලංකාද්වීපය තුළ මනාව බුදු සසුන පිහිටියේය.

එතැන් පටන් උප්පතියෙන්ම හෙළදිව ජනයාට උරුමයක් වූ මෙබුදු සසුන, තමන් සතු සියල්ල අහිමි වූවත්,  උතුම් සම්බුද්ධ සාසනය රැක ගන්නට නිබඳවම ඇප කැප වූහ. නොයෙක් යුගයන්හි යුද කෝලාහල, පරසතුරු ආක්‍රමණ, දුර්භික්ෂ, වසන්ගත ආදිය හමුවේ නොසැලී උතුම් බුදු බණට අනුව පිහිටමින් බුදු සසුන මත්තෙහි ම මියදුණහ. එය අදට මෙන්ම අනාගතයට ද වලංගු කාරණාවකි.

අනුබුදු මිහිඳු මහ හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ හෙළදිව ශාසනවංශය නොයෙක් අභියෝග මැද පිරිසිඳුව නොකැළැල්ව අද දක්වා අඛණ්ඩව පවත්වා ගෙන ආ සැරියුත් මුගලන් සංඝ පරපුරට අපි සදා ණයගැති වෙමු. එම උතුම් තිසරණය යුගයෙන් යුගයට පවත්වා ගෙන ආ හෙළදිව සිංහල බෞද්ධ ජනයාට ද අප ණය ගැති නොවේද?

මේ යුගයේ ජීවත් වන අප ද මෙ බුදු සසුන තවත් වසර දහස් ගණනක් පවතින්නට සම්බුදු සසුනෙහි ම පිහිටා කටයුතු කරමු.ඒ උදෙසා නිබඳව ම  පිළිවෙත් පුරමු. හෙළදිව් වැසියන් වන අප ගේ වගකීම යි. ඒ සඳහා සම්මා සතියෙන් පෙළ ගැසෙමු. ප්‍රතිපත්ති පූජාවෙහි නියැළෙමු. අපේ මුතුන් මිත්තන් අපට උරුම කරදුන් මේ උතුම් වත් පිළි‌වෙත් නොසිඳලන්නට වගබලා ගනිමු. මිහිඳු මා හිමිපාණන් අපට දායාද කළ මේ අති උදාර බුදු දහම ලෝ පුරා පැතිරේවා!!!

ඔබ සැමට තෙරුවන් සරණයි.