කාලීන

අද වන් එදවස අමතක කරන්නෙම් කෙසේ ? විජයග්‍රහණයේ දවස අද යි

සිංහ කොඩි ඔසවා ගත්තු ජනී ජනයා නගරවල ද ගම් දනව්වල ද වීථි බැස ප්‍රීතිඝෝෂා නඟති. ගාලු කොළඹ මාර්ගයේ ද, කොළඹ නුවර මාර්යේ ද, ඒ  – 9 (නමය) පාරේ ද, අවශේෂ හැම මගෙක ම ද, දෙපස රැස්වූ දාස් ගණනක පිරිස් පිනා යෙමින්, තුටු පහටුවෙමින් නටති. ගයති. වයති. ඔවුහු ගයන්නේ ද, වයන්නේ ද, දේශාභිමානි ගී පොකුරු පොකුරු ය. මං දෙපස් හි තන් තන් හි ගැහැනු ද පිරිමි ද එකට එක්ව කිරිබත් පිසිති. කැවුම්, කොකිස්, ආදී කැවිලි පෙවිලිවලින් මේස පුරව පුරවා තබා ගන්නා ඔවුන් මෙසේ නටන්නේ, ගයන්නේ, වයන්නේ, අදින් පසුව නං ඉතින් හැම දෙනාට බියකින්, සැකෙයකින් තොරව ජීවත්විය හැකි ය යන දැඩි විශ්වාසයෙන් පිරුණු හදවත් ඇතිව ය. ඒ එදා ය. හරියට ම කියනවා නං අදින් හවුරුදු එකොළහකට පෙර, අද වන් දවසක ය.

පන්සලේ ද, පල්ලියේ ද, කෝවිලේ ද ඝංඨා නාදය රැව් පිළිරැව් දේ. භික්ෂූන්වහන්සේ පිරිත් සජ්ජායනයේ යෙදෙති. ඒ රණවිරුවනට ආශිර්වාද කරමිනි. පල්ලියේ පූජකප්‍රසාදීන් වහන්සේ දෙවියනට යාඥා කෙරෙති. ඒ ද රණවිරුවන් උදෙසා ය. කෝවිලේ ද පූසාරිතුමෝ ස්තෝත්‍ර කියති.ඒ ස්තොත්‍ර නැඟෙන්නේ ද රණවිරුවනට ශාන්තිය පතන්නට ය. මුසල්මානු පූජකයෝ ද අල්ලා දෙවියන් අමතති. ඒ ද රණවිරුවනට දෙවි ආශිර්වාදය කරමිනි.

වනේ වන මෘගයන් – රුදුරු වළසුන්, දිවියන් මෙන් ම මුව ගෝනා දි සතා සීපාවා ද සතුටින් පිනා ඇති සෙයකි. උනට ද බිය සැක පහවී ඇතැ යි හැඟීමක් දැනීමක් ඇති වා සේ ය. ඒ එදා ය. හෙළදිව් හි සතර දිග් භාගයේ ම එක ම එක මඟුල් ගෙදරක සිරියෙන් උතුරා ගොසිනි. ගංගොඩේ ද සිදාදියේ ද  මහ මිනිහා ද, පොඩි එකා ද, පොඩි එකී ද, තරුණයා ද, තරුණිය ද, වෘද්ධතර මහල්ලා ද, මැහැල්ලී ද සිත් තොසින් මෙසේ තුටු පහටු වන්නේ තිස් හවුරුද්දක් පුරා හිත් පිත් නැති නරුමයකු වූ පිරිබාහරන් නම් මස්වැද්දා ඇතුළු උගේ ගෝලබාලයන් ගෙන්, ඉදින් තවත් නම් කිසිදු විදිහක, කරදරයක් හිරිහැරයක්, මේ බිමේ කිසිම කෙනකුට අත්විඳින්නට නො සිදුවන වග, සහසුද්දෙන් ම දැන හටගත් ප්‍රීතියෙනි. සතුටෙනි.

මේ කියවන ඔබ සිත් හි මැවෙන්නේ මොන වගේ පින්තූරයක් දැ යි මසිතෙහි මතුවෙන්නේ ය.

විජයග්‍රහණයේ විජයග්‍රහණය….. සැමරිය යුත්තේ ම ය. ඒත් ඒ සතුට සමරන්නට අද අප කිසිවකුට හෝ බැරිය. ඒ ඇයි?

හෙළදිව් වැසියනට අද ගෙදොරින් එළිපහලියට බැසීම වළක්වා ඇත්තේ කොරොනා වෛරස් වසංතයයි. ඉකුත් හවුරුද්දේ ද වෙසක් උත්සවය පවා ඉහළින් සැමරීමට ඉඩ හසර වළකා ලන ලද්දේ සහරාන් නම් මූලධර්මවාදී ත්‍රස්ත කල්ලිය නායකයා හා උගේ සහචරයන් කීප දෙනකු විසින් කළ නින්දනීය වු පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව යි. මෙවර ද වෙසක් මහෝත්සවය අප කොයි කවුරුත් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ගෙදරට වී ඒ උතුම් දිනය ගත කළේ ද කොරෝනා වසංගයෙන් අප ද රට ද රැක ගැනීමේ පරමාර්ථයෙනි.

ඒත් අදින් හවුරුදු එකොළහකට පෙර ලොව හුන් අංක එකේ මහා ත්‍රස්තවාදියා හා උගේ කොටි හපුටුවන් කම්බස් කර  ත්‍රිවිධ හමුදාව විසින් හෙළදිව් හි ජනයා තුළ පැවති බිය හා සැකය දුරුකොට මිනිසාට ද, සතා සීපාවාට ද, නිදහසේ ජීවත් වෙන්නට ඉඩ හසර අද වැනි දවෙසක පාදා දුන්නේ සමස්ත ලෝකයා ම විශ්මයට පත් කරමින් වග අද පමණක් නොව නිතිපතා සිහියට නංවා ගතයුතු වග කීවොත් ඔබ මා හා නොමනාප වන්නේ ද? නැද්ද? යන්න මට හරි හැටි කිවනොහේ. ඒත්…….

ඒ තිස් හවුරුද්දක් පුරා ඊනියා දෙමළ බෙදුම්වාදීන්ගේ සන්නද්ධ කොටි කල්ලිය වපුල කුරිරුකම් හමාරවූ දවස ය. උහු නන්දිකඩාල් කළපුවේ දී අහවරයක් කිරීමේ පුවත අසන්නට දකින්නට රටේ තොටේ ජනී ජනයා රූපවාහිනී පෙට්ටි අසල එක්රොක්ව හුන් හැටි මට මතක ය. රූපවාහිනී නාලිකාවලින් එදා 2009 මැයි මස 19 වැනිදා යුද ජයග්‍රහණයේ පුවත් විකාශනය කරනා විට අති බහුතරයක් දනන් බෝ සේ තුටු වූ හැටි මට මතක ය.

ඒත් එදා හෙළදිව් හි අති බහුතර ජනයා පක්ෂ, පාට, වර්ග බේදයකින් තොරව නිදහසේ හුස්ම ගැනීම ඇරඹු වග, හවුරුදු දහයක් නිමාවෙන්නට කලින් ම, අමතක කරන්නට තරම්,  නරුම වූහ. දුෂ්ට වූහ. කුහක වූහ. ඒ එන්ජීඕ බඩගැත්තරයනගේ හා දෙස් විදෙස් ප්‍රතිගාමීත්වයේ මුළාබස්වලට හසුවීමෙනි.

හෙළදිව් වැසියනට ලක්දිව් වැසියනට ශ්‍රීලංකාද්වීප වැසියනට නිදහසේ හුස්මක් කටක් ගන්නට මඟ පාදන්නට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ රණවිරුවෝ ඇස්, ඉස්, මස්, ලේ පමණක් නොව ජීවිත දහස් ගණනක් ද පූජා කළහ. එදවස දින දර්ශනයේ සඳහන් වන්නේ 2009 වෙසක් මහේ 19 වැනි දා හැටියට ය.

එදා ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිපතිවරයා වූ එවක මේජර් ජෙනරාල් සරත් ‌‍ෆොන්සේකා ගේ නායකත්වයෙන් කොටි සංවිධානයේ සන්නද්ධ කල්ලිය පරාජය කරන්නට, ගුවන් හමුදාපති ඒයාර් වයිස් අද්මිරාල් රොෂාන් ගුණතිලක හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩත් ගොඩින්, උඩින් හා මූදෙන් ද එල්ල වියහැකි සියලු බාධක සිඳ බිඳ දමා රටක්, ජාතියක්, සමාජයක් මුදාගන්නට රාජ්‍ය නායකයාගේ නියෝගයෙන් දියත් කළ මානුෂීය මෙහෙයුම නිමා කළ උත්තරීතර දිනය කෙසේ නම් අමතක කරන්න ද. තිස් හවුරුද්දක් පුරා වන්නි කැලයේ සැඟව හිඳිමින් වේළුපිල්ලේ ප්‍රභාකරන් නම් රුදුරු උන්මන්තක රීරියකා හා ලේ පිපාසිත උගේ ගෝල බාලයින් ද උතුරුකරේ මුලතිව් දිස්ත්‍රික්කයේ නන්දිකඩාල් කළපුවේ දී, අහවරයක් කරන්නට හැකිවීම හෙළදිව් තලය ලද අති දැවැන්ත ජයග්‍රහණය යි. ඒ උදෙසා රාජ්‍ය පාලකයා ගේ, සේනාධිනායකයා ගේ නියමය පරිදි කළා වූ දැවැන්ත මෙහෙයුම නිසා, මානුෂීය මෙහෙයුම නිසා, උතුරුකරේ ලක්ෂ තුන හතරක අහිංසක දෙමළ ජනතාව, ප්‍රභාගේ එලිමහන් සිරකඳවුරෙන් ගලවා ගන්නට පෑ සමත්කම, හෙළයේ පමණක් නොව, ලෝක ඉතිහාසයේ ද, අති විශේෂ පරිච්ඡේදයක රන්වන් රන් අකුරුවලින් සටහන් වී හමාර ය.

දෙස් විදෙස් හි ඕනෑකම මත රූකඩයක් වූ ඊනියා දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් ගෙවී ගිය තිස් වසර මුළුල්ලේ ම, මේ බිමේ තන් තන් හි අමු සොහොන් නිර්මාණය කරද්දී, රට කරවූවන් ආබාධිතයන් සේ හුන්නේ, තමන්ගෙ ආරක්ෂාව තමන් විසින් ම සලසා ගත යුතු ය යන්න ලැජ්ජා නැතිව ධාර්මිෂ්ඨ මුඛයෙන් මුදා හරිමිනි. ඒ ජේ. ආර්. ජයවර්ධන නම් මේ පොළොවේ අපේ යුගයේ හුන් පළමුවැනි විධායක ජනාධිපති උතුමාණන් අපට දුන් උපදේසය යි. උන්නැහෙගේ අනුප්‍රාප්තිකයා වූ ආර්. ප්‍රේමදාස කොටියන් එක්ක පෙම් කෙළිමින් අපේ වීරෝදාර රණවිරුවන්, මව්බිම රැකගන්නට දහදුක් විඳිමින් වන්නිකැලේ කොටුවෙද්දී, ප්‍රභාකරන්ට අපේ කොල්ලන් කෙල්ලන් මරන්නට ඇවැසි, නවීනතම ස්වයංක්‍රිය ගිනි අවි හා ඒවාට අවශ්‍ය ගිනි උණ්ඩ ද, කන්ටේනර් පිටින් වන්නි කැලේට යැව්වේ උන්ගෙ ආරක්ෂාවට ඕනෑකරන, ආරක්ෂක බංකර් හදාගන්නට, සිමෙන්ති හා යකඩකම්බි ද, අති දැවැන්ත තොග පිටින්, ලොරි හා කන්ටේනර් ගණනින්, යවන්නට තරම් නිර්ලජ්ජිතයකු වූයේ ය. හේ ආරක්ෂක හමුදාව මෙන් ම ගැබිනි මව්වරුන් ද කැති ගාද්දී උනට දොළ පිදේනි පිරිනමන්නට, යවන්නට තරම් නිහීනරාජ්‍ය පාලකයකු ලොව අන් තවර රටෙක වෙද? ප්‍රේමදාස නම් හේ දුෂ්ට පාලකයකු වූයේ ය.  නිවට පාලකයකු වූයේ ය. ඔහු ගේ කාලයේ දී නැගෙනහිර පොතුවිල, අක්කරපත්තුව, කල්මුණේ ආදී පොලිසිවලට කඩා වැදුණු කොටි සාමාජිකයෝ, පොලිස් නිලධාරීන් හයසිය ගණනක් පැහැර ගෙන රූපස්කුලම කැලෑවට ගෙන ගොස් වෙඩිතබා මරා පුළුස්සා දැමූ අයුරු මේ ලිපිය ලියන මොහොතේ මතකයට නැඟුණි. ඒ 1990 ජුනි මස 11 වැනිදා ය.

ඊළඟට තාවකාලික රාජ්‍ය පාලකයෙක් හුන්නු අතර ඔහු කොටි කල්ලිය ත්‍රස්තවාදී කල්ලියක් ය යන්න ඍජු දැක්වීමට තරම් හොඳ පිටකොන්දක් තිබුණු පුද්ගලයකු බව සටහන් තැබීම බෝ වැදගත් ය.

හෙළදිව හෙවත් සිරිලක ප්‍රථම විධායක ජනාධිපතිවරිය වූ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ද කොටි කල්ලිය එක්ක පෙම් කෙළින්නට වන්නේ, උනට උඩගෙඩි දෙන බටහිරයන්ගේ බහට නතුව ය. ඇය කියන්නෙ නම් කොටින් පරදන්නට ඈ මොනතරම් වැඩ කොටසක් කළේ ද යන්නයි. එහෙත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හැටියට, කොටි නායක පිරිබාහරන් එක්ක සාමගිවිසුමක් අත්සන් කළේ, ඔහුගේ පාර්ලිමේන්තුවේ කිසිදු ඇමැත්තකුට නොව, අඩුතරමින් කථානායකවරයාට පවා හොර රහසිනි. ඒ නෝර්වේ රටේ හා සෙසු බටහිරයන්ගේ උවමනා එපාකම් ඉටු කරන්නට ඔහු නිබඳවම සැදී පැහැදී සිටින බව රටටත් ලෝකයාටත් පෙන්වා දෙමිනි. රටෙන් අඩකට වැඩි ප්‍රමාණයක පාලනය කොටි කල්ලිය අතට පත්කරන්නට, රනිල් උන්නැහේ කළ පාහර ක්‍රියාවේ බියකරු බව මැනවින් වටහා ගත්තු, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා වූ සෝමවංස අමරසිංහ ප්‍රමුඛ එහි දේශප්‍රෙමීන් පිරිස මැදිහත්ව ගෙනගිය වැඩපිළිවෙළ නිසා, රට කොටින්ගෙන් නිදහස් කරගන්නට හැකියාව උදා වූ බව සිහිකට යුත්තේ ය. රනිල්ගේ බලය යටපත් කරන් චන්ද්‍රිකා නැගිටුවන්නට, එදා ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වීම ප්‍රශංසා කටයුතුය. එහෙත් අද ඔවුනගේ හැසිරීම් ගැන අපට ඇත්තේ බලවත් දුකක්, කනගාටුවක් මෙන් ම දැඩි පිළිකුළක් බව ද මෙහිලා සටහන් නොකර ම බැරි ය.

රාජ්‍ය පාලකයන් සිව් දෙනකු යටතේ ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රාජ්‍යයේ ධාර්මිෂ්ඨ මෙන් ම සමෘද්ධිමත් රටක් පවතිද්දී උතුරුකරේ වන්නි කැලේ හුන්‌නේ ඊළාම් සිහින රාජ්‍යයේ එක ම එක නායකයෙකි. ඔහු ලෝ කුප්‍රකට ත්‍රස්තවාදියා යි.  ඌ දෙමළ ජනයාගේ විමුක්ති නායකයා යි කී‌යේ ය. ඒත් හිත්පිත් නැතිව ලොවක් වටිනා දෙමළ උගතුන් බුද්ධිමතුන් මරා දමන්නට, මේ දෙමළ ජනයාගේ විමුක්තිදායකයා කුරුරු විය. සැහැසි විය. තිරස්චීන විය. මොහුගේ අතීත ක්‍රියාකාරකම් ඇරඹෙන්නේ මේ කෲර පුද්ගලයා විසින් 1975  ජූලි 27 වැනි දා යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාට, ගිනි පිඹ සිය ලේ පිපාසය නිවා ගත්තේ ය. දොරේඅප්පා යනු ඒවක ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයෙකි. හේ යාපන වැසියන් අතර බෝ ජනප්‍රිය මිනිසෙකි. එතැනින් පසු ඌ තවත් වසර දෙක හමාරක වැනි කාලයකට පසු 1978 අප්‍රියෙල් 07 වැනිදා රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක බැස්ටියන් පිල්ලේ හා තවත් නිලධාරීන් තිදෙනකු ඝාතනය කරන ලද්දේ මුරුන්කන් හි දී ය. ඒ උන්ගේ ත්‍රස්ත පුහුණු කඳවුරක් පිළිබඳ ලද තොරතුරකට අනුව ඒ ගැන විමර්ශණයට ගිය අවස්ථාවේ දී ය. හැබැයි කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට දෙමළ ජන ආකර්ශණයක් ලද්දේ 1983 ජූලි 22 වැනිදා ලුතිනන් වාස් ගුණවර්ධණ ඇතුළු හමුදාවේ සාමජිකයින් දහතුන්  දෙනකු තිරුනවේලි හි දී ඝාතනය කිරීමෙන් පසු ජූලි 23 වැනි දා රට තුළ උද්ගතවූ අවාසනාවන්ත සිද්ධී මාලාව හේතුවෙනි. එය කළු ජූලිය සේ ලෝකයා අතර ප්‍රචලිත වූ අතර එහි වගකීම කොමියුනිස්ට්, නව සමසමාජ හා ජවිපෙ යන පක්ෂ විසින් වපුල හිංසනයන් ය යන්න ආණ්ඩුව විසින් ජන සමාජය පුරා පතුරුවන්නට පිටපොට ගැසී ය. සැබවින් ම ඒ තිරස්චීන ක්‍රියා සියල්ල පාලක එක්සත් ජාතික පක්ෂයේ මහ එවුන්ගේ නියමය පරිදි පුංචි පුංචි ධාර්මිෂ්ඨර්ලා විසින් කරන ලද්දකි. ඊනියා ඊළාම් සිහිනයක් උතුරුකරේ තරුණ  හිත් හතන් තුළ වර්ධනය කරන්නට පියවර ගත්තේ එදා රට කරවූ පාලකයන් බව දැන් නම් උනට පවා අමතක වූවත් ඇත්ත කතාව එය නොවේ ද?

කොහොම වුණත් මුළු රට ම අමු ම අමු සොහොන් පිටියක් ව පැවති සමයෙක 2005 නොවැම්බරයේ එළඹුණු ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජය ලද්දේ තමා බලයට පත්වූ පසු සමස්ත රට වැසියාට බියෙන් සැකෙන් තොර ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මණය කරනා බවට දුන් පොරොන්දුව ජනයා පිළිගත් හෙයිනි. 1975 පටන් උතුරුකරේ බිහිව පවතින, ඊළාම් බෙදුම්වාදීන් විසින් රට තුළ වපුරා ඇති සන්නද්ධ අරගලය හෙවත් සිවිල් යුද්ධය, නිමාකරන්නට දුන් ප්‍රතිඥාව හේ අකුරට ඉටු කරන්නට නිසි පරිද්දෙන් ක්‍රියාත්මක වූයේ, බලය ලැබ මාස නමයක් ගෙවුණු තැන ය.

අපට අද වන් එදවස කෙසේ නම් ස්මරණය කොට නො සිටිය හැක්කේ ද? ඒත් ඉතින් අපේ නරුම මිනිස් සමූහයක් නම් එන්ජීඕ නඩවල පට්ටපල් බොරුබස්වලට හසුව අදින් හවුරුදු පහකට පෙර නම් කළ වැරැද්දක් නිසා ඒ ‌ෙඑතිහාසික දිනය යටපත් කරගෙන වසර හතරහමාරක් වේදනාවෙන් යුතුව හිටිය වග නම් අපි දනිමු.

අද වන් එදවස ලාංකේය සමස්ත ජන සමාජය ම එකම ආකාරයකට වීදිබැස නටමින් ගයමින් කැවුම් කිරිබත් කමින් පාරතොටේ යනෙනන්ට ද පිරිනමමින් සතුටු වූ අයුරුත් හවුරුදු පහකට පසු යළි අද දවස ඒසේ නොවෙතත් තම තමන්ගේ සිත් සතන්වල රැඳී ඇති ප්‍රීතිය ප්‍රකාශ කරන බව නම් සක්සුදක් සේ පැහැදිලි ය.

තිස් වසරක කුරිරු යුද්ධයේ සාපයෙන් හෙළදිව හෙවත් ශ්‍රී ලංකාව කඳුළු සයුරක ගිල්වාලමින් ඇගේ ලොවක් වටිනා දූ පුතුන් අති මහත් සංඛ්‍යාවක් විනාශ කළ ඝාතනය කළ ආබාධිත කළ කෲර එල්ටීටීඊ ත්‍රස්තවාදය නිමා කරන්නට ත්‍රිවිධ හමුදාව සමත්කම් පෑවේ ලෝකයේ හිඳිනා මහා යුද විශේෂඥයින්, යුද විශ්ලේෂකයන්, කොටි කල්ලිය කිසිදාක පරාජය කරන්නට බැරි යැ යි කියමින් අපේ රණවිරුවනගේ චිත්ත ධෛර්ය සිඳලන්නට කියූ කියුම් කෙරුම් බල්ලට දාන්නට හැකියාවක් ඇති වූයේ කෙසේ ද?  හෙළයනට නිතිපතා ම දුක් ගින්දර දායාද කරමින්, මාපියන්ට දරුවන් අහිමි කළ, බිරියන්ට සැමියන් ද, දූ පුතුණට පියවරුන් ද අහිමි කළ, ප්‍රභාකරන් නම් මස් වැද්දා ගේ, අළුගෝසුවාගේ හා  උගේ ගෝල බාලයන්ගේ අපේක්ෂාවන් හුදු සිහිනයකට ම පමණක් සීමා කොට, රටේ ස්වරීත්වයත්, ඒකීයභාවයත්, ජනතාවගේ නිදහසත්, සැක හා බිය දුරලා, හුස්මක් කටක් ගන්නට ඉඩකඩ විවර වූයේ නිවැරදි නායකත්වයක් නිසි සේ තෝරා බේරා ගන්නට හා සෙබළුනට ඇවැසි භෞතික සම්පත් හා ඔවුන්ගේ චිත්ත ධෛර්ය නංවන්නට හැකි ආරක්ෂක ලේකම්වරයෙක් ද ඔහුගේ උපදෙස් පරිදි හමුදාපති වරයෙක් ද නිර්මාණය කරන්නට තරම් එඩියක් සවියක් රාජ්‍ය නායකයා සතුව තිබුණු හෙයිනි.

දෙමළ ජනතාව තලා පෙළමින් අහිංසක උතුරේ වැසියන්ගේ මුදල් හා දේපොළ කොල්ලකමින් පුංචි කොල්ලන්ට කෙල්ලන්ට උනගේ ළමා කාලය අහිමිකරමින්, ඊනියා දෙමළ විමුක්තිදායකයා හා උගේ ගෝලබාලයන් විසින් කරන ලද තුච්ච මිනිස් ඝාතන සියල්ල, ඌ කළේ ඇත්තටම දෙමළ ජනයාගේ හිත සුව පිණිස ද යන්න සොයා බලන්නට, තවමත් වගකිවයුත්තන් නිසි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කර ඇද්දෝ දැ යි සැක සහිත ය. කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන් හි සාමාජිකයන් විතරක් නොවේ. සිංහල ද මුස්ලිම් ද නැතිනම් උනගේ ම මිනිසුන් යැ යි කියන්නා වූ දෙමළ ජනයා ද, ජනප්‍රධානීන් ද, දෙමළ උගතුන් ද, බුද්ධිමතුන් ද උන්ගේ වෙඩි උණ්ඩවලට නතු කොට, සදහටම නිහඬ කරන්නට තරම්, මේ පාපතරයෝ කුරිරු වූහ. තිරස්චීන වූහ.

ප්‍රභාකරන් යාන්තමින් කිරෙන් ඇරණු කොලු පැංචන්ද, කෙලි පැංචියන් ද, දෙමළ ජනයාගේ විමුක්තිය උදෙසා දෙමාපියන් හඬා වැළපෙද්දී, බලහත්කාරයෙන් වන්නි කැලයට ඇදගෙන ගොස්, ඒ පැටවුනගේ දෑතට ගිනිබට දී, ළමා සොල්දාදුවන් කරගෙන ඒ වටිනා ජීවිත අකාලයේ මිලින කර දමන්නට තරම් නරුමයකු විය.

මේ තිස් වසරක යුද්ධය පුරාවට උහු කළේ මේ බිම අසරණ අහිංසක ජනී ජනයාගේ ලෙයින් නැහැවීම ය. රටේ මර්මස්ථාන විනාශ කිරීම ය. උතුම් ජයශ්‍රී බෝ මළුවේ දී උවැසි උවැසියෝ වෙඩි තබා ඝාතනය කළේ ය. ශ්‍රී දළඳා මාළිගාවට බෝම්බ ගසා විනාශ කරන්නට දත කෑවේ ය. දවසින් දවස කොටි ක්‍රියාකාරකම් වැඩිවෙද්දී මිනිසුන්ට සිදුවූයේ උඩ ඉන්නා දෙවියන් ගේ පිහිට පතන්නට ය.

මහින්ද රාජපක්ෂ රටේ සේනාධීනායකයා සේ මානුෂීය මෙහෙයුම නමින් ක්‍රියාන්විතයක් දියත් කරන්නට හමුදාවට නියෝග කළේ කොටින් විසින් 2006 ජූලි 20 වැනි දා සේරුවිල මාවිල්ආරු සොරොව්ව අල්ලාගෙන ගොවි පවුල් පාළොස් දාහකටත්, කරලින් බරවෙමින් පැවති අක්කර තිස්දහසක කුඹුරුයායන් ද, දිය පිපාසයෙන් මියැදෙන්නට හැර  බලා සිටිය නොහැකි ම අවස්ථාවේ දී ය. (මෙහිලා රතන හාමුදුරුවන් කළ කැපකිරීම ද ඒ සඳහා ඉවහල් වූ බවෙක් සේරුවිල වැසියෝ අපට කීවේ 2010 හවුරුද්දේ නැගෙනහිර කරන ලද ගවේෂණයේ දී ය.)

කොටි සංවිධානය මාවිල්ආරු සොරොව්ව අල්ලාගෙන ගොවි පවුල් පාළොස් දාහක් අන්ත අසරණ අඩියකට ඇදදමා දවස් විස්සක් ගෙවුණු තැන 2006 අගෝස්තු 10 වැනි දා කොටින් මුල පුරා තිබූ උන්ගේ හතරවැනි ඊනියා ඊළාම් යුද්ධයට, නිසි රිසි සේ පිළිතුරු බඳින්නට ස්වකීය සොවුරු ආරක්ෂක ලේකම් ගෝඨාභය රරාජපක්ෂට, උපදෙස් දුන්නේ සේරුනුවර ගොවියන් ගේ පණකෙන්ද රකින්නට අප්‍රමාදව මානුෂීය මෙහෙයුමක් දියත් කරනා වගකීම පවරමිනි. ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත්, සිවිල් ආරක්ෂක බළකායත් සිය වගකීම් නිසි සේ ඉටුකරන්නට තත්පර වූයේ, තිස් හවුරුද්දක යුද්ධයක් දියත් කරන ලද කොටි ත්‍රස්තවවාදය මේ බිමෙන් අතුගා දැමීමේ උතුම් පරමාර්ථය පෙරදැරි කර ගෙන ය.

හමුදාවන් විසින් කොටි කල්ලිය විසින් ස්වකීය ප්‍රාණ ඇපයට ගෙන හුන් දෙමළ, සිංහල හා මුස්ලිම් ජනතාව ස්වර්ණම් බේස් හි හුන් කොටි නැගෙනහිර නායකයාගෙන් බේරාගෙන ඉදිරිය බලද්දී, කොටින් ගේ නැගෙනහිර මර්මස්ථානයක් සේ, පවත්වා ගෙන ගිය තොප්පිගල හා ආශ්‍රිත මාලතී බේස් හා  මීනා බේස් නමින් යුත් කොටි කඳවුරු විනාශ කරන්නට, ත්‍රිවිධ හමුදාව මෙහෙයුම් කරද්දී, එදා විපක්ෂ නායකයා වූ රනිල් කීවේ තොප්පිගල යනු කැලෑවක් බව යි. ඒත් මේ මනුස්සයා කාගේ හෝ වැරදි තොරතුරු අනුව එසේ දෙසා බෑවත් දෙමළ ජනයා දිවිගෙවූ ගම්මාන හයක්, මැද තොප්පිගල පිහිටි බව අපි අත්දැක්කෙමු. අපි තොප්පිගල කන්ද තරණය කෙළෙමු. කඳු මුදුනේ පැරණි බෞද්ධ නටඹුන් හි සටහන් කීපයක් දැක ගන්නට හැකි වූ වග ද මේ අවස්ථාවේ යළි සටහන් කිරීම වටී.

ලාංකේය ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා සිවිල් ආරක්ෂක බළකායත් විසින් මේ රටේ ජනයාට අද නිදහසේ දිවිගෙවන්නට ඉඩ හසර පාදා දී වසර එකොළහකි. එදවස යුදබිමේ හිඳ සෙබළ ගණයාට නායකත්වය දුන්නෝ කමල් ගුණරත්නයෝ ය. ශර්වේන්ද්‍ර සිල්වාණෝ ය. ජගත් ඩයසයෝ ය. චාගි ගාල්ලගේ යෝ ය. ප්‍රසන්න සිල්වාණෝ ය. රවිප්‍රියෝ ය. නන්දන උඩවත්තයෝ ය.  සත්‍යප්‍රිය ලියනගේ හු ය. එවන් අති උදාර තවත් සෙන්පතියන් බෝ දෙනකු ස්වකීය බට සමූහ නිසි රිසි සේ මෙහෙයවමින්, නායකත්වය දෙමින් යොමු නොකරන්නට අපට ඉතින් රටක් කියා දෙයක් ඉතිරි නොවන්නේ ය. ඔවුන් සැම සදා සිහිකළ යුත්තෝ ය. යුද්ධයේ දී මුහුණට මුහුණලා සටන් කරමින් සිටිය දී ද, කොටින්ගේ මෝටාර් ප්‍රහාරවලට ගොදුරු වීමෙන් ද, බිම්බෝම්බවලට හසුවීමෙන් ද, දිවි පිදූ, ආබාධිත වූ  ලොකු කුඩා සියලු නිලයන්ට අයත් ත්‍රිවිධ හමුදාවේ ම රණවිරුවනට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුත්තේ ම ය.

අපි දුටුගැමුණු රජතුමා ගැන බෝ ඉහළින් නිතර නිතර කථා කරන්නෙමු. සැබවින් ම ඒ අපේ ශ්‍රේෂ්ඨ අතීතය යි. සමහරුන් නං ඊට අකමැති ය. ඒත් එදා මේ බිම හවුරුදු හතළිස් හතරක් මුළුල්ලේ අත්පත් කරගෙන රට කරන ලද්දා වූ එළාර නම් සොළී පාලකයා පරාජය කරන්නට නන්දිමිත්‍ර, සුරනිමල, මහාසෝණ, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, භරණ, වේළුසුමන, ඛඤඡදේව,  ඵුස්සදේව, ලභිය්‍යවසභ යන දසමහ යෝධයන්ගෙන් සමන්විත දැවැන්ත හමුදාවක් මාගම්පුරවරේ සිට අනුරාධපුරය දක්වා ගමන් කොට එළාර හා ඔහුගේ විසිමහ යෝධයන් ප්‍රමුඛ දැවැන්ත හමුදාවක් පරාජය කොට තුන් සිංහලය ඒකචත්‍ර කළ අයුරු හෙළදිවෙහි වංශකථාවෙන් දක්වා ඇත්තේ වීර කාව්‍යයක් පරිද්දෙනි. දුරාතීතයේ අදින් හවුරුදු බෝ ගණනකට පෙර ක්‍රිස්තු පූර්ව 161 – 137 දී මෙරට පාලකයා බවට පත් වූ දුටුගැමුණු රජතුමාණන්ට යුද්ධ කරන්නට සිද්ධ වුණේ කඩුවෙනි. හෙල්ලෙනි. සිරියෙනි. පලිහ අත දරා කළා වූ ඒ මහා යුද්ධය ගැන, අපේ රටේ ජනයා තුළ පවතින ගෞරවය, ඇල්ම, ආදරය, විජයාවතරණයෙන් මෙපිට මේ බිම පාලනය කළා වූ, කිසිදු නරේන්ද්‍රවරයකුට නැති බව අමුතුවෙන් සටහන් කළ යුතු නොවේ.

එහෙත් මෙදා….????? මේ රටේ පාලකයා වූ මහින්ද රාජපක්ෂ සිය හමුදාවන්ට නියෝග දුන්නේ මිනිස් බෝම්බවලින් සන්නද්ධ ඊළාම් උමතුවෙන් මත්ව හුන් කොටි කොල්ලන්ට කෙල්ලන්ට ය. නවීන මාදිලියේ ගිනි කඳන් හා ඒවාට සරිලන උණ්ඩවලට ය. මෝටාර්වලට ය. සැඟව සිට කරන්නා වූ ප්‍රහාරවලට ය. මෝටර් වාහනවල ඇටවූ බෝම්බවලට ය. මුහුදු කොටි බළකායකට ය. කොටි ගුවන් බෝම්බ යානාවලට ය. මෙදා කමල් ගුණරත්නලා, ජගත් ඩයස්ලා, ශවේන්ද්‍ර සිල්වලා, ප්‍රසන්න සිල්වලා, නන්දන උඩවත්තලා, රවිප්‍රියලා, සත්‍යප්‍රිය ලා හටන් කළේ එවන් මාරාන්තික අවි සමඟ විතරක් නොවේ. දෙස් විදෙස් හි සියලු ප්‍රතිගාමීත්වයත් එක්ක ය. කොටි පරාජය දකින විට බටහිරයනට තිබුණු රුදාවක තරම ඔබ නොදන්නා කිසිවකු නැති වග මගේ විශ්වාසය යි. ඒ සියල්ලත් එක්ක බටහිර බලගතු රාජ්‍යයන්ට හා උන්ගේ මේ බිමේ හිඳිනා ඇන්ජීඕ නාඩගංකාරයන්ට ය. ප්‍රතිගාමීත්වයෙන් අගතැන්පත් විපක්ෂයේ කුහකයින්ට ය.

යුද්ධ හමුදාව රට නිදහස් කරගන්නට ජීවිත පරිත්‍යාගයෙන් කොටි හපුළුවන් හා සටන් කරද්දී එක් කුහකවූත්, මුග්ධවූත්, නරුමයකු කීවේ ඕනෑම ගොනකුට යුද්ද කොරාන්න පුළුවන් කියන කතාව ය.

එවන් තවත් දුෂ්ටයකු කීවේ අලිමංකඩ යනවා කියා හමුදාව යන්නේ පාමංකඩට බව යි. කිලිනොච්චි යනවා කියා යන්නේ මැදවච්චියට බව යි.

ඉදින් මෙවන් නරුම වූත්, කුහක වූත්, දුෂ්ට වූත්, මිනිස් වෙස් ගත් තිරස්චීනයන්, ත්‍රිවිධ හමුදාවේ ධෛර්ය සිඳ බිඳ ලන්නට කැස කැවුවේ මන්දැ යි බුද්ධිමත් පුරවැසියෝ දෙවරක් නොව කීප වරක් ම බලා සිහි කල්පනාවෙන් කටයුතු කළ යුතු කාලයක් උදා වී ඇති වග සටහන් කරමින් ත්‍රිවිධ හමුදාවට හා එදා ඒ හමුදාවන්ට මඟ පෙන්වා දුන්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයාණන්ටත්, ඔහුට ආලෝකයක් වූ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයාණන්ටත්, වත්මන් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නයාණන්ට හා වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාණන්ටත්, යුද්දෙදි අභීතව පෙරට ගිය සියලු රණවිරුවනටත් ජාතියේ ගෞරවය හිමි විය යුත්තේ ම ය. අපි ඔබට ආචාර කරන්නෙමු. අපි ඔබ සැමට ගෞරව කරන්නෙමු. තුති පුදන්නෙමු. මන්ද යත් දිවිපිදූ හා ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියෙත් පොලිස් විශේෂ බළකායේ හා සිවිල් ආරක්ෂක බළකයේත් උදාර වූ රණවිරුවන් එදා කළ කැපවීම් නොවන්නට අද ඔවුනට අවලාද නඟන අපහාස කරන, චෝදනා කරන පාහරයනටත් නිදහසේ හුස්මක් ගන්නට හැකි මං එළි කළේ නිර්මාණය කළේ ඔබ හැමදෙනා බව අපට මතක ඇති හෙයිනි. කෘතවේදීත්වය අපට පෙන්වා දුන්නේ අපේ බුදුහාමුදුරුවෝ ය. බුදුමඟ අනුව යන්නෝ කිසිවිටෙකත් කෙළෙහිගුණ නොසලකා නොහරින්නෝ ය.ඒ අප බුදුවදනින් උගත් එක් පාඩමකි. හැබැයි කිසිවකු කිසිවකුට හිංසා නොකෙරෙත්වා යනු ද අපි බෝ පැහැදිලිව අදහන්නන්  බව ද සටහන් කරමු.

– සුගතපාල මැන්දිස් –