දේශපාලන

අපේ සමිත හාමුදුරුවෝ

බද්දේගම සමිත හිමිපාණන් වහන්සේ බුදු දහමින් මැනවින් පෝෂිත යතිවරයෙකි. උන් වහන්සේ ලංකා වාසීන් අතර චිර ප්‍රචලිතව වැඩ සිටින්නේ පොදු ජනයා වෙනුවෙන් අභීතව කේසර සිංහ නාදය පතුරු වන බුදු පුතණුවකු ලෙසිනි. ජන අරගලයක් කොතැනක ද එතැනට උන්වහන්සේ වැඩමවා වදාළහ. සිය ගුරු දේවයාණන් වූ බද්දේගම දුටුගැමුණු රාජ මහා විහාරාධිපතිව වැඩ විසූ රාජකීය පණ්ඩිත, රාජ්‍ය සම්මානිත ග්‍රන්ථ කතුවර, ගාලු කෝරළයේ ප්‍රධාන සංඝ නායක ධූරයෙන් පිදුම් ලද, අපවත් වී වදාළ, ගණේගම ශ්‍රී සරණංකර නාහිමිපාණන් ගේ මඟ අනුව ම යෙමින් තමන් වහන්සේට සිව් පසයෙන් සංග්‍රහ කරන්නා වූ දුක්විඳින ජනතාව කෙරෙහි උපන් අනුකම්පාව පෙරදැරිව යුක්තිය වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් විඩාවක්, මාන්සියක් නොබලා ඇප කැප වන මා හැඟි ගති ගුණවලින් පෝෂිත බුද්ධ පුත්‍රයකු බව සඳහන් කළ යුත්තේ ම ය.
සමිත හාමුදුරුවෝ අයුක්තියට අසාධාරණයට එරෙහිව නැඟී හිඳීම නිසා උසස් අධ්‍යාපනය පවා නිසි සේ අවසන් කර ගන්නට 1977 බලයට පත් (අ) ධාරමිෂ්ඨ එක්සත් ජාතික පක්ෂයේ දුෂ්ට පාලකයන් ඉඩක් කඩක් නුදුන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරමින් වැඩහුන් සමයේ ය. ඒ ලාංකේය සරසවි සිසුන් විසින් අරඹන ලද සිසු සටන් චප්ප කර දමන්නට දැහැමි පාලනයේ මැර ජුන්ටාවේ මැරයන් පිරිසක් කැලණිය සරසවි භූමියට කඩා වැදී සිසු සිසුවියන්ට පොලු මුගුරු හා බයිසිකල් චේන් ආදියෙන් පහර දෙන විට යූඇන්පී ජුන්ටාවේ පාදඩ මැරයනට ප්‍රතිප්‍රහාර දීමට සිසුන් පියවර ගැනීමත් සමඟ ඇති වූ මිනිස් ඝාතනයක් නිසාවෙනි.
ප්‍රගතිශීලී සිසු අරගලවලට එරෙහිව සමවාදී ශිෂ්‍ය සංගමයේ ධාරමිෂ්ඨයන් විසින් කැලණිය විශ්වවිද්‍යාල භූමියට ජාතික සේවක සංගම් ජුන්ටාවේ මැරයන් කැඳවන ලද්දේ ක්‍රිෂ්ටෝපර් නමැති අංක එකේ පාදඩයකු ප්‍රමුඛ කල්ලිය යි. සිසුන් හා යූඇන්පී ජුංටා මැරයන් අතර ඇති වූ ගැටුමේ දී ක්‍රිෂ්ටෝපර් නමැති කුප්‍රකට මැරයා ඝාතනයට ලක් වූ වහා එජාපයන් කළේ කසාවතින් සැරහී හුන් සමිත හිමිපාණන් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාධරයන් අත්ඩංගුවට ගෙන වැලිකඩ මහ උළු ගෙදරට දැක්කීම යි. අද ඒ මැරයන් හුරතල් කළා වූ සමහර කැනහිල් දේශපාලන පාදඩයන් ද උන්ගේ හැව ඉවත් කර පොහොට්ටුවක් අත දරා සිටින්නේ දෛවයේ සරදමක් සේ යැ. ඉදින්....
ක්‍රිෂ්ටෝපර් ඝාතනය අදින් හවුරුදු හතළිහකට පෙර එසමයේ මහත් ආන්දෝලනාත්මක සිදුවීමකි. එජාපයේ දැහැමි මැර පාලකයන්ගේ අමු ම අමු සෙළුව ජනතාව ඉදිරියේ මොනවට නිරාවරණය වූවත් එතැන් පටන් ද උන් තව තවත් කළේ ජනතාව තලා පෙළා පීඩාවට පත් කිරීම ය.
ඒ 1978 හො 1979 වැනි කාල වකවානුවයි.
සිපිරිගෙයින් එළියට පිවිසි සමිත හාමුදුරුවන් යළි බද්දේගමට වැඩ සිය ගුරු දේවයාණන්ගේ සෙවණේ සිටිය දී උන් වහන්සේට බොරලුකඩ පන්සලේ වාසය කරන්නට සරණංකර ලොකු හාමුදුරුවෝ අණ කළහ. සමිත හිමිපාණන් බොරලුකඩ පන්සලේ වාසයට වැඩ ඉතා ටික දිනකින් ම අපට උන්වහන්සේ බැහැ දැක ගන්නට හැකි විය.
සමිත හාමුදුරුවන්ගේ ගුරු දේවයාණෝ ජනතාවගේ හාමුදුරුවෝ ය. උන්වහන්සේ මහා වියත් තෙර නමෙකි. සිංහල, පාලි, මෙන් ම සංස්කෘත බස් ද මැනවින් ප්‍රගුණ කළ ත්‍රිපිටකය අතැඹුලක් සේ දත් මහා යතිවරයෙකි. ලේඛකයෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. උජුපටිපණ්න ගුණයෙන් පෝෂිතව වැඩ විසූහ. බුදු සසුනට එල්ල වූ නේක විධ බාධාවන්ට එරෙහිව නැඟී සිටියහ. ඒ ගුණයන් මැනවින් අවබෝධ කරගෙන වැඩ වසන සමිත හිමිපාණන් ද කසාවතේ ගෞරවය රකිමින් පොදු ජන අරගලවල දී නිබඳවම පෙරට වඩින අයුරු අපි අත්දැක ඇත්තෙමු.
ඒ මහා භීෂණ සමයේ දී ද, නේකාකාර තර්ජන ගර්ජන එල්ල වූවත් සමිත හාමුදුරුවන් වහන්සේ පන්සලට වී නොසිටිහ. එවක පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී හැම දෙයකට ම විරුද්ධව පොදු ජනයා ඉදිරියේ පෙනී සිටියහ.
1983 අතුරු මැතිවරණ සමයේ රජ්ගම, බද්දේගම, අක්මීමණ, අම්බලන්ගොඩ බලපිටිය හා හබරාදූව අතුරු මැතිවරණවල දී විපක්ෂයේ දේශපාලන වේදිකාවලට වැඩ හඬ අවදි කළ අයුරු අද ඡන්දය පාවිච්චි කරන බොහෝ තරුණ පිරිස් නොදන්නා කාරණාවෙකි.
1993 දකුණු පළාත් සභා මැතිවරණයේ දී ද ෆ්‍රැන්සිස්කුකරණයට ලක් වූ දකුණු පළාත් සභා මැතිවරණයේ දී ද දැවැන්ත කාර්ය භාරයක් කළ උන්වහන්සේ ජන වරම් ලැබ දකුණු පළාත් සභාවට මෙන් ම පාරලිමේන්තු මහ මැතිවරණවල දී ද යූඇන්පී පාලනයට එරෙහිව සිය අභීත හඬ නංවාලමින් ජන හදවත් පුබුදු කළ අයුරු අපට මතක ය. දකුණු පළාත් සභාවේ අසුනක් ජන වරමින් ලද සමිත හාමුදුරුවෝ පාරලිමේන්තුවේ ද වැඩ සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ පොදු ජන නියෝජනය ලබමිනි.
සමිත හිමිපාණන් ජන හදවත් දිනා ගත් බුද්ධ පුත්‍රෙයකි. උන්වහන්සේ ඍජු ය. ගුණවන්ත ය. පොදු ජනතාව සිව්පසයෙන් කරන්නා වූ සංග්‍රහයන්ට ණය නැති හිමි නමකි. බුදු බණ ඇවැසි තැන බුදු බණ වදාරණ සමිත හාමුදුරුවෝ ජනතාව වෙනුවෙන් ම සිය පැවිදි දිවිය කැප කළ උදාර ලාංකේය සඟ පරපුරේ කසාවතේ ලකුණ මැනවින් පිළිබිඹු කරනා යතිවරයෙකි.
- සුගතපාල මැන්දිස් -