කාලීන

උඳුවප් පුර පසළොස්වක් පොහොය අදයි

Unduwap Poya
තෙරුවන් සරණ ගිය සැදැහැවත්  ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට සාදු කාර දෙමින් සිහි කළ යුතු අනුස්මරණීය වූ සිදු විම් කිහිපයක් ම උඳුවප් පුන් පොහෝ දින මූලික වෙමින් සිදු වී තිබේ.
 
  1. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කොට මේ සිරි ලංකාද්විපයෙහි සම්බුදු සසුන පිහිටුවා මේ ලක් දෙරණ මත භික්ෂු සංඝයා බිහි කරවූ සේක. මේ ලක් දෙරණ මත භික්ෂුණී සංඝයා බිහි කොට වදාළේ මහ රහත් සංඝමිත්තා තෙරණින් වහන්සේ විසිනි. දඹදිව් තලයේ සිට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වැඩම කරවා ගෙන සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ මේ ලක් දිවට වැඩම කළේ ද උතුම් වූ උඳුවප් පුන් පොහෝ දිනයේ දීය.
  2. එමෙන්ම උඳුවප් පොහොය එළඹීමත් සමග සිරිපා වන්දනා සමය ද ආරම්භ වේ. උඳුවප් පොහොයේ සිට වෙසක් පොහොය තෙක් සැදැහැ සිතින් සිරිපා වන්දනා කරන බොහෝ පින්වතුන් අපමණ පින් ඵල රැස්කර ගනිති.
ලක්දිව බුදු සසුන පිහිටුවීම පිණිස මෙහි වැඩම කළ මහා මහින්ද ස්ථවිරයන් වහන්සේ නොහොත් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්වාසී ජනයාට ශ්‍රී සද්ධර්මය පහදා දුන් සේක. ඒ දහම් අසා මගඵල ලැබූ බොහෝ දෙනා අතරේ අනුලා බිසව ඇතුළු කාන්තාවන් පිරිසක් ද සෝවාන් ඵලයට පත්වූහ. ඔවුහු මිහිඳු මහ රහතන් වහන්සේගෙන් බුදු සසුනේ පැවිදි බව ඉල්ලීය. නමුත් භික්ෂුවකට කාන්තා පක්ෂය පැවිදි කරවීමට ශාස්තෘන් වහන්සේ විසින් අනුදැන වදාරා නැත.
 
ඒ අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙස් මත එවකට ලක් දිව රජ වූ දෙවනපෑතිස් රජු කාන්තාවන් පැවිදි කරවීම පිණිස සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේත්, සිව් බුදුවරුන්ගේම පහස ලද මේ පින්බිමේ රෝපණය කරවීමට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ ත් වැඩම කරවන මෙන් ඉල්ලා ධර්මාශෝක අධිරාජ්ජයා හට හසුන් පත් යැවීය.
 
මහ රහත් මොග්ගලීපුත්තතිස්ස ස්ථවිරයන් වහන්සේගේ අනුශාසනා පරිදි ධර්මාශෝක නරපතිඳාණෝ පැළලුප් නුවර සිට බෝධීන් වහන්සේ වැඩසිටි භූමිය තෙක් සත් යොදුනක් මාර්ගය සැරසූහ. දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ වඩා හිඳුවීම පිණිස රන් කටාරමක් පිළියෙළ කරන ලදී. මහ පෙරහරින් ධර්මාශෝක රජු බෝධීන් වහන්සේ අසළට පැමිණියේය. තමා අතිශයින් ගෞරව දක්වන ඒ උතුම් බෝධීන් වහන්සේ රන් තිර වලින් වට කොට ධර්මාශෝක රජු බෝධීන් වහන්සේ දෙස බලා සිටියේය.
 
අසිරියෙකි! දක්ෂිණ ශාඛාව ඉතිරි වන පරිදි අන් සියලු ශාඛාවෝ අතුරු දහන් වී ගොස් අපූරු ප්‍රාතිහාර්යයක් සිදු විය.
අතිශයින්ම සතුටු වූ රජු බෝධීන් වහන්සේ පැදකුණු කොට වන්දනා කොට රන් පුටුවක් මත රන් කටාරම තැබ්බවීය. ඉන්පසු රන් තෙලි කූරකින් දක්ෂිණ ශාඛාවේ ඉරක් ඇන්දේය. ‘මේ බෝධි ශාඛාව ලක්දිවට වැඩම කළයුතු නම්, මා මේ සම්බුදු සසුනේ විමති රහිත වූයේ නම් මේ ශාඛාව තෙමේ ම බිඳී රන් කටාරමේ පිහිටාවා! යි අධිෂ්ඨාන කළේය.
 
පිරිනිවන් මඤ්චකයේ වැඩසිටි තිලෝගුරු බුදුරජුන්ගේ අධිෂ්ඨානය පරිදිම බෝධීන් වහන්සේ ඍද්ධියෙන් ම සිඳී ගොස් රන් කටාරමේ පිහිටියාහුය. එකෙණෙහි ම මහ පොළොව කම්පා වී ගියේය. මහා බෝධීන් වහන්සේගෙන් සවණක් ඝන බුද්ධ රශ්මි මාලාවන් විහිදී ගියේය.
 
දෙවැනි සම්බුද්ධ අධිෂ්ඨානය පරිදි කටාරමත් සමග බෝධි ශාඛාව අහස් ගැබට වැඩම කොට හිම වළා අතර සැඟවී ගියේ ය. සත් දිනකට පසු හොඳින් මුල් ඇද කටාරමේ පිහිටි බෝධීන් වහන්සේ රශ්මි මාලා විහිදුවමින් දිස් වන්නට විය. ප්‍රීතියට පත් රජු දඹදිව් රාජ්යය ම බෝධීන් වහන්සේ උදෙසා පූජා කළේය.
 
සරසන ලද නෞකාවකින් ගංගා නදිය දිගේ බෝධි ශාඛාව සත් දිනකින් දඹදිව තාම්රලිප්ත නම් තොටට පැමිණියේය. එහිදී කරවටක් ජලයේ බැස ධර්මාශෝක රජු බෝධීන් වහන්සේට ගෞරව උපහාර දැක්වූහ. ඒ ධර්මාශෝක නිරිඳාණන් විසින් දඹදිව් රාජ්යය තුන්වතාවක් ම ජය= මහා බෝධීන් වහන්සේ උදෙසා පූජා කළේය.
 
සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ ඇතුලු මහ පිරිවර රැගත් නෞකාව ලක්දිවට පැමිණෙන අතරතුර දෙවියනුත් නාගයනුත් දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේට අපමණ පුද පූජා දැක්වූහ. මෙසේ දෙව් මිනිස් නාගයින්ගේ පුද පූජා ලබමින් උඳුවප් මස පුන් පොහෝ දිනයේ ඒ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ ලක්බිමට වැඩමකොට වදාළ සේක.
 
දෙවනපෑතිස් රජු ද කරවටක් මහ මුහුදේ බැස මහ බෝධීන් වහන්සේ සිරසින් පිළිගත්තේය. මහ පෙරහරින් වැඩම කරවූ ඒ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ දෙව් බඹුන්ගේත් මිනිසුන්ගේත් නාගයින්ගේත් සාදුකාර මධ්‍යයේ මහ පොළව කම්පිත කරවමින් අනුරාධපුර මහමෙව්නා උයනේ පිහිටියේය. දෙවනපෑතිස් රජුද මේ ලක්දෙරණ තුන් වතාවක් ම බෝධීන් වහන්සේ උදෙසා පුජා කළේය.
 
අප සම්බුදු රජාණන් වහන්සේ හට සෙවණ සළසාලූ දෙව්බඹුන්ගේ පූජෝපහාරයට පාත්ර වූ ඒ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!
 
බෝධීන් වහන්සේ වැඩම කරවාගෙන මේ ලක්දිවට වැඩම කළ මහ රහත් සංඝමිත්තා තෙරණින් වහන්සේ ලක්දිව කාන්තාවන් හට බුදුසසුනේ උතුම් වූ පැවිදි බව ලබා දුන් සේක. තවත් උදාර ශාසනික සේවාවන් ඉටු කරමින් මේ ලක් දෙරණේම වැඩ සිටි ඒ මහෝත්තම සංඝමිත්තා තෙරණින් වහන්සේ හත්ථාළ්හක මෙහෙණවරේදී පිරිනිවන් පා වදාළ සේක. ඒ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහනසේට ද අපගේ නමස්කාරය වේවා!
 
මෙබඳු උදාර සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුන් පොහෝ දිනයේ දි තෙරුවන් සරණ ගිය අප හැමටද අග්‍ර වූ පින් ඵල රැස්කර ගෙන උතුම් ධර්මය අවබෝධකරගෙන දුක්කිත සසරින් නිදහස් වෙන්න වාසනාව උදාවෙත්වා !!!!
 
තෙරැවන් සරණයි !!!