සෞඛ්‍යය

ජාතියේ මල් කැකුළු වන අපේ ළමා පරපුර රැක ගනිමින් ළමා අපයෝජනය දූරිභූත කිරීමට නම්….

Child abuse

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ප‍්‍රථම සභාපතිවරයා සේ කටයුතු කරන ලද්දේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරෙන්ද්‍ර ද සිල්වා මහතා යි. ළමා රක්ෂණ අධිකාරිය පිහිටුවීමට පෙර ඒ පිළිබඳ වූ ජනාධිපති කාර්යසාධක බළකායේ ප‍්‍රධානියා සේ කටයුතු කළේ ද මහාචාර්ය හරේන්ද්‍රයාණන් ය. ඔහු ළමා ගැටලූ පිළිබඳ සිය අවධානය යොමු කරන ලද්දේ රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වරයකු සේ සේවය කරමින් සිටිය දී බව අපගේ මතකය යි. කරාපිටිය වෛද්‍ය පීඨය ආරම්භක මුල් අවධියේ හේ මහමෝදර මහ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සේ සේවයේ නිරත විය. මගේ මතකය නිවැරදි නම් හේ රුහුණු විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා සේ සිය මෙහෙය රෝගී වූ ළමයිනට මෙන් ම වෛද්‍ය සිසුන් උදෙසා ද කැපකිරමින් සිටිය දී තමා කරා යොමු වෙන නේක විධ රෝගී දරුවන් පිරික්සීමේ දී වැඩිහිටියන්ගේ නේක විධ හිංසනයන්ට ගොදුරු වූ දරුවන් ගේ වතගොත හාරා අවුස් බලා ළමා හිංසනය පිටුදැකීමේ කාර්ය යේ ද සිල්වා මහැදුරාණන් අප‍්‍රමාණ වූ මෙහෙයයක නිරතවීමේ ප‍්‍රතිඵලයක් සේ ළමා ආරක්ෂණ අධිකාරියක් මේ බිමේ ස්ථාපිත කරන්නට තරම් හේතු කාරණා වූ බව මගේ පෞද්ගලික් විශ්වාසය යි.

දකුණු පළාතේ දරු දැරියන් ගේ රෝගාබාධ පිළිබඳව මෙන් ම ළමා හිංසනයක් කෙරෙහි ද මහාචාර්ය ද සිල්වා ගේ අවධානය යොමු වූයේ තමන්ගෙන් මෙන් ම තම සහෝදර වෛද්‍යවරුන් ගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට එන දරුවන් මුහුණ පාන්නා වූ නේක විධ සිද්ධිවල සුළමුළ සොයන්නට පටන් ගැනීමත් සමඟ ය යන්න ඔහු හා ළඟින් කළ ඇසුරෙහි දී වටහා ගන්නට අපට හැකි විය. පුවත් පත් කලාවේදියකු සේ ඔහු හා සෙසු ආචාර්ය මහාචාර්යවරුන් හා සබඳතා ගොඩනඟා ගන්නට අපට හැකිවූයේ ඒ වන විටත් කරාපිටිය ශික්ෂණ රෝහල ඉදිවෙමින් පැවතියේ එසමයේ දී හෙයිනි.

මෙහි පළ වන්නේ  මහාචාර්ය හරෙන්ද්‍ර ද සිල්වා මහතා සමඟ අප කළ සම්මුඛ සාකච්ඡුාවකි. අප මුලින් ම ඔහු වෙත යොමු කරන ලද ප‍්‍රශ්නයට ද සිල්වා මහතාගෙන් ලද්දේ දීර්ඝ පිළිතුරකි.

"අපේ පුවත් පත්වල තියෙන අනේ අපොයි, දෙයියෝ සාක්කි, කඳුළු බිංදු, අබුද්දස්ස කාලේ"= වගේ ශීර්ෂ යටතේ පළවෙන දේවල් කියවන්න ආසාවක් දක්වන පිරිසක් ඉන්නවා. ඒ වගේ සිද්ධි දැක්වෙන කතා කියවන්න ම පත්තර ගන්න පිරිසක් ඉන්නවා. වැඩි හරියකට  ආන්දෝලනාත්මක, අනුකම්පාවදනවන, සිදුවීම් අහන්න, කියවන්න යි. පත්තර කතුවරුනුත් බොහොම කැමතියි එවන් ප‍්‍රවෘත්ති පළකරන්න. ඒක එකක්. දෙක. එතැනින් අපට දුකයි, අනුකම්පාවය.ි ඔක්කෝම ලැබෙනවා. නමුත් ඒ සිදුවීම්වලට සම්බන්ධ උදවියගෙ ප‍්‍රශ්නෙ විසඳෙනව ද නැද්ද කියන එක ඒවායේ නෑ.

ළමා අපයෝජන ගැන අපට අහන්න ලැබෙනවා බුද්ධ කාලීන සමාජයේ පටන්. එකක් මට්ටකුණ්ඩලී කතා වස්තුව. අනෙක සෝපාක ගැන කෙරෙන සඳහන. පන්සලේ දී හාමුදරුවෝ ඒ කතා විස්තරාත්මකව දේශනා කළ විට අපේ උපාසකයන්, උපාසිකාවන් සාදු සාදු කියලා වඳිනවා.

ඒ බුදුන් දවස පැවති ළමා අපයෝජන ගැන උදාහරණ. මේ කතා වස්තු දෙකෙහි ම තියෙන්නෙ නොසැලකිලිමත් කම. හැබැයි ඉතින් ඒ බණ කතා අහලා ගෙදර ආවට පස්සෙ ඒ බණ අහපු උපාසක උපාසිකාවන්ගේ හැසිරීම්වල වෙනස්කම් වෙලා තියෙනව ද? ගෙදර ආවට පස්සෙ තමන්ගෙ පුතාට ටොක්කක් අනිනවා. සැමියත් එක්ක රණ්ඩු සරුවල් වන හරි තමන්ගෙ බිරිඳත් එක්ක රණ්ඩු කරන හරි එක නම් කෙරෙන්නෙ ඒ බණ පදය දෙක ඇහුවා ය කියලා ඔවුන් ඔවුන්ගේ ආකල්පවල වෙනසක් ඇති කරන් නෑ නේ ද?

දැන් අපට ඉස්සර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සිතිවිල, වචන, ක‍්‍රියා ගැන සංවර වෙන්න කියා කීවත් අපි ඒ කිසිවක් පිළිපැදල නෑ. ඉතින් අපේ සිතිවිලිවල, වචනවල, ක‍්‍රියාවල වෙනසක් ඇති කර ගන්නේ නැත්නම්, අපි අපේ හැසිරීම් යහපත් අයුරින් සකසා ගත්තේ නැත්නම්... දරුවට ටොක්කක් අණින එක හෝ සැමියා බිරිය සමඟ හෝ බිරිය සැමියා එක්ක හෝ රණ්ඩු සරුවල් වීම අපේ ඒක පුරුද්දක් බවට පත්වෙනවා නම්. තමන්ගෙ අවධානය පොඞ්ඩක් එහා මෙහා වුණු ගමන් ඇසැබි වචයෙන් බැණ අඬගාන්නේ නම් එ ්වා අපේ පුරුදු බවට පත්වෙච්ච නිසා නේද?=

ඉතින් ළමයකුට පහර දෙන්න හිතුණොත් පහර දෙනවා. ක්ෂණයකින් ළමයට ගහනවා. ඉතින් අපි ඒ ගැන දැනුවත් කිරීමක් කරනවා නම්, අපට සමාජයට සේවයක් කරන්නෙ නෑ නම් අපේ ආකල්පවල වෙනසක් ඇති කරගන්නේ නෑ නේ ද?. සිතිවිලි හා ඒ ගැන හිතන විදිය වෙනස් කිරීම තුළින් අපට හැකියි මනුෂ්‍යයන්ගේ හැසිරීම්වල වෙනස්කම් ඇති කරන්න. සකස් කරන්න.

එක උදාහරණයක් ගත්තොත් දැන් අපි පාරේ වාහනයක් පැදගෙන යනවා. පාරේ විදුලි සංඥා තියෙනවා ඒත් අපේ බහුතරයක් හුරුවෙලා තියෙන්නේ ඒ සංඥා නොතකා වාහන ධාවනයට. ලංකාවේ එහෙම වුණත්... ජපානයේ... ඒ රටේ එහෙම නෑ, දෙවියන් වහන්සේ ඒ රටේ හිටියත් නැතත් ජපන් රියැදුරන් අපේ උදවිය වගේ මාර්ග සංඥා නොතකා රිය පදවන්නේ නෑ. ඒ අය එහෙම කරන්නෙ නෑ. ඔවුන් බොහොම විනයගරුක යි. ඒ කියන්නේ ඒ රටේ ජනතාවගේ සිතිවිලිවල, ආකල්පවල, හැසිරීම්වල වෙනසක් ඇතිවෙලා තියෙනවා.

දැන් අපි කතා කළොත් ළමා අපයෝජනය ගැන... අපේ රටේ ළමයෙක් අපයෝජනය වුණ විට නීති පණවලා ඒ දරුවා අපයෝජනය වුණාට පස්සෙ දඬුවම් දෙනවා. දඬ ුවම් දෙන එක එකක්. දඬුවම් දීම වැදගත්. ඒක වෙනම කතාවක්. අපට අවශ්‍ය අර පැත්තෙන් හැසිරීම්වල වෙනසක් ඇති කිරීම නේ. ඒ ගැන මට හිතෙන්නෙ අපේ භික්ෂූන් වහන්සේලා, කතොලික, ක‍්‍රිස්තියානි, හින්දු හෝ ඉස්ලාම් හෝ පූජක පක්ෂය විසින් කළ යුතු වැදගත් ම දේ තමා එවන් දේවල්වලින් ජනතාව මුදාගන්නට ඔවුන්ගේ හැසිරීමේ වෙනස්කම් ඇති කරන එක. ආකල්පම ය වෙනස්කම් කරන්නට පියවර ගන්න එක.

භික්ෂූන් වහන්සේ බණ දේශනා කරන විට සාදු සාදු කියන එක නෙවෙයි විය යුත්තේ. සාදු සාදු කියන එක වැදගත් තමයි. නැත්නම් දෙවියන් වහන්සේට යාඤා කරන එක විතරක් නෙවෙයි ඇවැසි වෙන්නේ. මිනිසාගේ හැසිරීමේ වෙනසයි අවශ්‍ය වන්නේ.

ළමා ආරක්ෂණය ගැන කතා කරන විට අර ඉංග‍්‍රීසි කියමනක් තියෙනවා නේ මෙහෙම දෙයක් වුණා.

එතකොට එතැනින් අහවර කරනව ද නැතිනම් අපි පිටස්තරයො වගේ ඉන්නවාද කියන එක. මෙහි තියෙන්නේ අපට අපේ ම දර්ශනයක් නැති එක. ඇත්තටම අපට එවන් දර්ශනයක් නෑ නේ ද?=

අපි අපේ දැක්ම පෙන්නන්න  නෑ, ඒ දැක්ම තුළින් එන දේවල් ඔස්සේ සමාජය කළඹන්නේ නෑ. ඒ කැළඹීම අපි කරන්නෙ යහපත් චේතනාවෙන්. පොලිසියට අල්ලන් ගිහින් හිරේ විළංගුවේ දැමීම නෙමෙයි. ඒකත් වැදගත් බව හැබෑව. ළමා අපයෝජනය වළක්වා ගන්නට නම් අපට ආණ්ඩුවේ සහාය අවශ්‍යයි. යම් විධියකට ආණ්ඩුවෙන් උදව්වක් නැත්නම් ඒ දේ අපට කරන්න බැහැ නේ.

අපි හිතුවොත් මේක මේ පොලිසියේ වැඩක්. පොලිසියෙන් කළ යුතු දෙයක් කියලා හරියන්නේ නෑ, අපෙත් වගකීමක් තියෙනවා.

මම ඒ දවස වල මේ උදෙසා හුඟක් දේවල් කෙරෙහි ජන අවධානය යොමු කිරීමේ උපක‍්‍රමයි භාවිතා කළේ. ඒ සඳහා කොහොම ද ජන අවධානය දිනා ගන්නට ක‍්‍රියා කළේ. පෝස්ටර් හා පත‍්‍රිකා ජනතාව අතරේ බෙදා හැරියා. රූපවාහිනී ප‍්‍රචාරාත්මක වැඩ සටහන් කළා. වීඞීයෝ හැදුවා. චිත‍්‍රපට නිර්මාණය කළා. ඊට අදාළ වැඩ සටහන් නිශ්පාදනය කළා. එහෙම කරමින් ළමා අපයෝජනයෙන් දරුවන් ගලවා ගන්නට මිනිස්සුන්ගේ අවධානය යොමු කළා. මේන්න ළමා අපයෝජනය මේක යි. මේක යි යනුවෙන් ජනතාවට පෙන්නා දුන්නා.

මේ කාර්යයන් අප කරන්නට කලින් අපේ උදවිය හිටියේ ඇස් කන් පියාගෙන. අපි කතා කළේ ධාර්මිෂ්ඨ සමාජයක් ගැන. ධාර්මිෂ්ඨ සමාජයක් ගැන කියව කියවා ඒ වගේ තවත් දේවල් ගැන කිය කියා අපි කවුරුත් කාලය ගෙව්වා.

අපි දෙපා බිම ගැහුවොත් ඇත්තටම යථාර්ථය දැනගත යුතු දේ මං පැහැදිලි කළා. ආරම්භක අවස්ථාවේ දී අපට අවශ්‍ය වුණා මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මෙහෙම දේවල් වුණා. එතකොට මිනිස්සු බලනවා ‘‘ඔව් මෙතැන වුණේ මේක වෙන්න පුළුවන් කියන එක. උදාහරණයක් වශයෙන් කීවොත් පොඩි ගැහැනු ළමයින් අවුරුදු හතේ අටේ වගේ වැඩිවිය පැමිණුනා කියලා දෙමාපියන් උත්සව ගන්නවා. පාටි දානවා. හැබැයි ඒ දරුවා ගේ වැඩිවිය පැමිණීමේ කිසිම ලක්ෂණයක් නෑ. ඒ කාලෙ කිසිවකු හිතුවෙ නෑ කවදාකවත් මේක අපයෝජනයක් වුණා කියලා. ඒ වන විට ළමයත් බය කරලා නේ තියෙන්නෙ. මං කියන්නෙ නෑ හැම ගෑනු දරුවටෙම එහෙම වුණා කියලා. නමුත් එහෙම අවස්ථා තිබුණා. ඉතින් ඒ වගේ සිදුවීම් ගැන මිනිස්සුන්ගෙ අවධානය යොමු කිරීමක් තමයි අපි ආරම්භක වකවානුවේ කළේ.

ඊට පස්සෙ නීතිමය කි‍්‍රයා මාර්ගවලට පිවිසුණා. අපි නීති රීතෙන් ගෙනාවා. ඒ නීති සම්පාදනය කරලා ඒ විධියට ඒ දාලෙ ළමා ආරක්ෂණ අධිකාරියෙන් අපි කළේ. ඒක අපේ අර පුළුල් දැක්ම නිසයි කරන්න හැකි වුණේ.

ළමා අපයෝජන එක සිද්ධියකින් සිද්ධියකට යොමු වෙන්න පුළුවන්. ඒ වගේ කටයුතු කරන්න  ඕනෑ කට්ටියකුත් ඉන්නවා. ඒ වගේ සිද්ධියක් නම් වෛද්‍යවරයෙක් ළමයා පරීක්ෂාවකට ලක් කරලා අදාළ දේවල් කල යුතු යි. ඒත් ඒක විතරක් බලල අපට අමාරුයි. තව කොටසක් ඉන්නවා මේවා මැදින් බලන. දැන් ළමයෙක් අපයෝජනය වුණා. ඉතින් මේ ළමයා ආරක්ෂා කර ගන්නේ කොහොම ද?

ළමා ආරක්ෂණය කියන එක බොහොම පුළුල්. එහි පැතිකඩ ගණනාවක් තියෙනවා.

පළමුවැනි පැතිකඩ තමා සමාජ විද්‍යාව. දෙවැන්න මනෝ විද්‍යාව. තුන්වැනි කාරණාව තමා ළමා රෝග පිළිබඳව. ළමයට ඒ වෙලාවේ දී සැත්කම් කිරීම සහ ආරක්ෂාව සැලසීම. හතර වැන්න් ගත්තොත් අපට හිතන්න පුළුවන් රැුකවරණය දෙන්න  ඕනෑ කට්ටියක් ඉන්නවා නේ, ඒ කියන්නෙ ළමා පරිවාසය.

ප‍්‍රශ්නයක් ඇති දරුවෙක් සිටී නම් ඒ ගැන අපි හිතන්න අවශ්‍යයි. ඊළඟට පොලීසිය. පොලීසිය තමා නීතිය ක‍්‍රියාත්මක කිරීමට මුල් වන්නේ. ඊට පස්සෙ අධිකරණය.

දැන් මේ කාරණය ගැන පැතිකඩ ගණනාවක් තියෙනවා නේ. ඒ සියල්ල බොහොම වැදගත්. තවත් ටිකක් පුළුල් වශයෙන් කියනවා නම් යම් කිසිවකු විසින් ළමයකු අපයෝජනය කරනවා. එයින් දරුවාට තුවාල සිදුවෙනවා. ශරීරයේ ඇටකටු කැඩිලා වෙන්න පුළුවන්. තුවාල වෙන්න පුළුවන්. එතැන දී වෛද්‍යවරයා අවශ්‍යයි. ළමයාට වෙච්ච හානිය ගැන හොයල බලන්න මනෝ වෛද්‍ය විශේෂඥයා අවශ්‍යයි. දරුවාගේ මනසට සිදුව ඇති හානියට කළ යුත්තේ කුමක් දැ යි කියන කාරණාව ගැන.

අපයෝජනයට ගොදුරු වුණා දරුවා යළිත් පිවිසෙන්නේ අර භීෂණ තත්ත්වයක් ඇති පරිසරයකට නම් කොහොම ද අපි ඒ ළමයා ආරක්ෂා කර ගන්නේ. ආන්න ඒකටයි පරිවාසය අවශ්‍ය වෙන්නෙ. හැබැයි මේ කියන පරිවාසය අප දැන් ව්‍යවහාර කරන්නා වූ පරිවාසය නම් නොවෙයි.

දරුවාට සිදුවී ඇති දේ සම්පූර්ණයෙන් ම වෙච්ච දේ ගැන මූලික කරුණු සොයා බැලූවොත් මේ දරුවා අපයෝජනය වූයේ ඇයි? සිදුවීම වූයේ කොහොම ද? ආන්න එතැන දි සමාජ විද්‍යාවට යි ඒක පැවරෙන්නෙ. දරුවා අපයෝජනය කළ පුද්ගලයා නිදැල්ලේ අරින්නත් බෑ, ඔහුට දඬුවම් දිය යුතුයි. ඒකට පොලීසිය අවශ්‍ය යි. දඬුවම් පැණවීමට අධිකරණය අවශ්‍යයි.

ඔන්න ඔය වගේ ලොකු රටාවක් තියෙනවා ළමා අපයෝජනය ගැන හොයා බලන විට. ඉතින් අපි ඒ කෙරෙහි වැඩි අවධානයකින් හිතන්න වෙනවා. එසේ නොමැති නම් අපට මේ ප‍්‍රශ්නය විසඳන් ඉදිරියට යන්න බැහැ.

මේ කාර්යයන් කරන කොට අපි තනතුරු භාර ගන්න කොට කවුරුන්වත් විවේචනය කරනවා නෙවෙයි අපට වගකීමක් තියෙනවා. වගකීමක් විතරක් නෙවෙයි ඒ උදෙසා කැපවීමකුත් තියෙනවා. ඒ වගේ ම යුතුකමකුත් තිබෙනවා රජයටත් යුතුකමක් එක පැත්තකින් තියෙනවා. සමාජයට යුතුකමක් අනෙක් පැත්තෙන් තියෙනවා.

අල්ලපු ගෙදර ළමයකුට පතුරු යන්න ගහනවා නම් ඒ දරුවා අඬනවා ඇහෙනවා නම් අපි අපේ වැඩක් බලාගෙන ඉන්නවා නම්... ඒක අපි සමාජයට කරන වරදක්. දැන් ලොකු වැදගත්කමක් තියෙනවා ළමා අපයෝජනවලට විරුද්ධව නීති පැනෙව්වා නේ.

1995 දණ්ඩ නීති සංග‍්‍රහයේ 22 වැනි සංශෝධනයෙන් ළමා අපයෝජනය දණ්ඩ නීති සංග‍්‍රහයට ඇතුළත් කළා. ඒක එහෙම කිරීමෙන් මොකක්ද වෙන්නෙ   ඕනෑ කියලා. ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. අඩුපාඩුත් තියෙනවා.

අපි ඒක විග‍්‍රහ කරලා බලමු. දණ්ඩ නීති සංග‍්‍රහයට ළමා අපයෝජනය ඇතුළත් කිරීමෙන් කෙරුණේ එය දණ්ඬ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබීමේ වරදක්. දණ්ඬ නීති සංග‍්‍රයට අයත් වෙන්නෙ මිනීමැරුම්, ස්ත‍්‍රී දූෂණ, පැහැරගන යෑම් වැනි කාරණා. ඉතින් අපි යමක් දැන ගෙන වසන් කරනවා නම් අප කරන්නේ වරදක්. ඒක අර දරුවාට විතරක් නෙවෙයි. සමස්ත සමාජයට ම කරන වරදක්.

කිසිවකු විසින් පුද්ගලයකු මරණවා කියල හිතමු. ඒ ඝාතනයට ලක්වුණු තැනැත්තගෙ අම්මයි තාත්තයි සහෝදරයොයි අපි එයාට සමාව දෙනවා කියා කියනවා නම් ඒක කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක සමාජයට ම කරපු වරදක්. ඒ අර මැරිච්ච මනුස්සයට විතරක් නෙවෙයි ඒ වරද සිද්ධ වෙන්නෙ. මුළු මහත් සමාජයට ම එයින් හානියක් වෙනවා. ඒ නිසා තමා දණ්ඩ නීති සංග‍්‍රහයට එහෙම ඇතුළත් කරල තියෙන්නෙ.

ඒ වගේ ම තමයි ළමා අපයෝජනය ගැන දණ්ඬ නීති සංග‍්‍රහයේ තියෙන කාරණාව. කිසිවකුට සමාව දෙන්න බෑ, සමාව දුන්නත්, මට වන්දි   ඕනැ නෑ කිව්වත් අධිකරණයේ වගකීමක් තියෙනවා ඒ වගේ ම පොලිසියේ වගකීමක් තියෙනවා ඒ පිළිබඳ දණ්ඩ නීති සංග‍්‍රහයේ අදාළ කාරණාව ඇතුළත් නිසා.

පොලිසියට ඒ කෙරෙහි නිහඬව ඉන්න බැහැ. අසවල් වැරැුද්ද කළ පුද්ගලයාට අවවාද කර ගෙදර යවන්න. ඒ වගේ සිද්ධියක් පවුල් උසාවියෙන් විසඳන්න බැහැ. අවවාද කරලවත් තර්ජනය කරලවත් ඉන්න බැහැ. එහෙම නම් ළමා අපයෝජනය කියන කාරණාව දණ්ඩ නීති සංග‍්‍රහයෙන් ඉවත් කරන්න  ඕනැ.

තවත් කොටසක්...

 

- සුගතපාල මැන්දිස් -