විශේෂාංග

මම තොප්පිගල කඳු මුදුනට නැංගෙමි – යුද්දෙන් පස්සේ කෘතියෙන්

Thoppigala

මම තොප්පිගල ගියෙමි. එහි ඇති කුඩුම්බිමලේ මහ ගල සහිකත අර දැවැන්ත කඳු මුදුනට නැංගෙමි. කඳු මුදුනේ සිට හාත්පස බැලිමි. එය මහ කැලෑවෙකි. සැබවින් ම එය මහ කැලෑවෙකි. ඒත් ඒ ගණ වනදය මැද තැනින් තැන දිටිය හැකි වූයේ ගම්මාන කිහිපයෙකි. අලි, කොටි, වග වළසුන් ගහන ඒ මහ කැලෑව මැද මිනිස් වාසයෙන් යුත් ගම්මාන පහකි. ඒ මිනිසුන් ජීවිතය සරිකර ගන්නේ ගොවිතැන් බත් කිරීමෙන් වගේ ම වැව්වලින් අල්ලා ගත් මාළු විකුණා අතට ගන්නා පනම් හතරෙනි. තවත් පිරිසක් පණනල රැක ගන්නට කැලෑ වදිති. ඔවුහු දර කපාගෙන කඩමංඩියට කරා යති. හෝටල්කාරයන්ට දර විකුණා අතට ගන්නා තුට්ටු දෙකෙන් එදිනෙදා ගෙදරට ඕනෑ කරන කළමනා ටික ගන්නට මේ මිනිස්සු ගිනි කාෂ්ටක අව්වේ පිච්චෙති.

ඒගිරි දුර්ගය නැඟීම ලේසි පාසු කාර්යයක් නොවී ය. අති දුෂ්කර ක්‍රියාවක් ම ය. මා සමඟ මගේ ගමන් සගයන් වන අහමඩ් නසීර්, ලක්ෂ්මන් නීලවතුර, රනිල් රණසිංහ ද වෙති. මා හා සිටින තරුණ ගමන් සගයනට පමණක් නොව අපේ රැකවරණයට ආරක්ෂක අංශවලින් සහයට සම්බන්ධ කළ තරුණ සෙබළුන්ට ද මා මහා හයියකි. විටෙක හමුදා සෙබළකු මගේ පසුපසින් සිටින්නේ වැරදිලාවත් මගේ පයක් පැකිලී ලිස්සා ගියොත් අල්ලා ගන්නට පෙර සූදානමිකිනි. ඒත් මා මේ හමුදා දරුවන් ද මගේ ගමන් සගයන් ද අභිබවා අඩි ගණනාවක් ඉදිරියෙනි.

කෙසේ හෝ අපේ රණවිරුවන් එදා අදින් අවුරුදු තුනකට පෙර (මේ කෘතිය පළ කෙරෙන විට) අවුරුදු තුනකට (සැබෑවට ම අප එහි ගියේ යුද්දය නිමා වී මාස දහයකට පසුව ය) කොටි ත්‍රස්තවාදීන්ගෙන් නැගෙනහිර මුදා ගැනීමත් සමඟ අද නව ජීවයක් ලබා සිටින ඒ පළාතේ අහිංසක දෙමළ ජනයා සියි ජීවන මාර්ග යළි නිර්මාණය කර ගන්නට ගන්නා වූ උත්සාහය මේ රටේ අපට විතරක් නොව සමස්ත ලෝකයාට ම අගනා ආදර්ශයක් සපයන බව නම් කිවමනා ය.

මා සමඟ වූ ගමන් සගයන් මඩකළපුනේ සිට එරාවුර් හරහා කිරාන් කරා පැමින එතැනින් දකුණට හැරී තොප්පිගල බලා යෑමේ අපේක්ෂාවෙන් ඉදිරිය බැලුවෙමු. ඒත් අපේ අපේක්ෂාවට බාධකයක් එල්ල විණි. ආරක්ෂක අංශයෙන් අපට පොල්ලකි. ඒ අපේ ම යහපත, ආරක්ෂාව උදෙසා ම බව දැන ගත්තේ පසුවයි.

නැගෙනහිර ආඥාපතිවරයාගේ අවසරයකින් තොරව තොප්පිගල ජළුත්වන ජනතාවට හැර අන් කවරකු වුවත් ඒ වන පරිසරයේ සැරිසරන්නට නම්....

මම මගේ සබඳතා යොදා ගෙන ආරක්ෂක පොල්ල ඉවත් කර ගතිමි. අපේ රැකවරණයට සැරයන්වරයකු ද සම්බන්ධ කරන්නට තරම් නැගෙනහිර ආඥාපති බ්‍රිගේඩියර් කරුණාරත්න මහතා ඇවැසි පියවර ගත්තේ ආරක්ෂක අමාත්‍යාංයේ අප හිතවත් කර්නල් මිලාන් අතුකෝරළ මහතාට ම විසින් කරන ලද දැනුම්දීමකට අනුව ය.

කිරාන් හි පිහිටි හමුදා කපොල්ලේ සිට කුඩුම්බිමලේ (තොප්පිගල) පර්වත පාමුලට දුර කිලෝ මීටර විසි පහකි. නැතහොත් විසි හයකි.

තාරාවිකුලම් ආරක්ෂක කඳවුරේ සිට මේජර් අජිත් මෙන්ඩිස් මහතා ගේ අනුග්‍රහය මත දැන් අප කණ්ඩායම ඒ දුර ගෙවා කුඩුම්බිමලේට ළඟා වූ පසු එහි දී අපට ලුතිනන් රාජමන්ත්‍රී හා ඔහුගේ නිල ගණයා ද එක පයින් ඒ ගිරි ශිඛරය තරණය කරන්නට ඉදිරිපත් වූයේ අප සව් දෙනා ගේ රැකවරණය පිළිබඳ ඇති වගකීම අප නො දනතත් ඔවුන් දන්නා නිසා බව අපට පසක් වූයේ ඒ කන්ද හෙවත් තොප්පිගල තරණය කරද්දී ය.

මාවිල්ආරු සොරොව්ව වසා දමා කොටි ත්‍රස්තවාදීන් නැගෙනහිර අහිංසක ජනයා විපතට පත් කරද්දී ඊට එරෙහිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් අභීත තීන්දුව අකුරට ම ක්‍රියාත්මක කරමින් දෙදාස් හය වසරේ (2006)  ජුලි මස (07) විසිහය (26) වැනිදා ආරක්ෂක හමුදාව දියත් කළ මානුෂීය මෙහෙයුම හවුරුද්දකුත් මාස පහක් ගෙවී දෙවැනි දවස එළඹෙද්දී තොප්පිගල කන්ද හා ඒ ආශ්‍රිත නරකමුල්ලේ පිහිටුවා ගෙන තිබූ 'මීනාබේස්'  හා 'මාලිනී බේස්' නම් වූ කොටි ත්‍රස්තවාදීන්ගේ නැගෙනහිර ප්‍රධාන අති සුවිශේෂිත සටන් මධ්‍යස්ථානය මුළුමනින් ම විනාශ කොට ඊට කිලෝ මීටර පහක පමණ මෙහායින් පිහිටි කුඩුම්බිමලේ ගිරිකල මුදුනේ දී වීරෝදාර හමුදාව විසින් සිංහ කොඩිය ඔසවා එය සමස්ත ලෝකයාට ම ප්‍රදර්ශනය කළ හැටි නොදන්නෝ කවරහු ද? ඒ ස්මරණීය අවස්ථාව ලොවට පෙන්වූ ඒ ඓතිහාසික මහා පව්ව මම ද තරුණ රණවිරුවන් හා කරට කර යෙමින් තරණය කළෙමි. ඒ සෙල්ෂියස් අංශක තිස්තුනක හෝ තිස්හතරක හෝ තරම් වූ බලපුළුවන්කාර කමක් පෙන්වමින් ඉරු දෙයියන් අපට ඔච්චම් කරද්දී ය.

තොප්පිගල කඳු මුදුනේ හමුදා සංඥා කුළුණක් නිර්මාණය වී ඇති බව එය රණවිරු ග්‍රහණයට නතු වූ දා ලෝකයා ම දැක ගත්තේ ය. ඊට අමතරව පර්වත මුදනේ පෞරාණික ගඩොල් දැක ගත හැකිවීම අප විශමයට පත් කරන්නක් විය.

පැයක තරම් කාලයක් රාජමන්ත්‍රී හා ඔහුගේ සෙබළ කණ්ඩායම සමඟ තොප්පිගල මුදනේ හිඳ සල්ලාපයේ යෙදෙමින් අවට සිරි නැරඹු අප අනතුරුව ගිරි ශිඛරය පාමුල  ගම්මානයෙක දිවි ගෙවනා ජනයා හමුවූයේ ම සිත් උපන් දොළදුක සංසිඳවා ගන්නට යි. බොහෝ නිවස් හි නිවැසියන් නැති සෙයකි. ඒවායින් ද අති බහුතරය ටකරන් තහඩු සෙවිළි කළ ගෙපැල් ය. තොරතුරක් අහුලා ගැනීමේ ආශාවෙන් පෙළුණු මම යාන්තමට විවර ව පැවති නිවසක හුන් වයෝවෘද්ධයකු දැක ඒ සල වූ පාරේ නතර වූයෙමි.

වැට මායිමේ නතර වූ නසීර් ඉඳිකඩොල්ල අසල රැඳී සිටිමින් දෙමළ බසින් අර මිනිහා ඇමතී ජය. ඔහු පත්මරාසා ඉරන්තසිංගන් ය. විනාඩි දෙකක් තුනක් ගතවෙන්නට ඇත. දැන් අප ඉදිරියේ රොක්ව සිටින පිරිස හත් අට දෙනෙකි. පත්මරාසා මහේශ්වරී, කදිරගාමර් තම්බි, ආරියරත්නම් නල්ලතම්බි, රාජේන්ද්‍රන් තම්බිපිල්ලෙයි, කන්දසාමි ඉලංගම්මා, පත්මරාසා කාන්දීපන්, හා කුමාරියන් තංගනාච්චි ඔවුන් අතරින් කිහිප දෙනෙකි.

''අපි මේ ගමේ මිනිස්සු.ගම හැරලා අපි ගියා. අවුරුදු පහකට පස්සෙ තමයි අද මේ අපි අපේ ගමට ඇවිත් ඉන්නේ. මේ ගමේ පවුල් එකසිය අටක් ජීවත් වෙනවා. බෝම අමාරුවෙන් තමයි කලදවස ගෙවන්නෙ. අපි යුද්දෙන් පස්සේ ගමට ආපහු ආවා ම මාස හයක් ආණ්ඩුවෙන් අපට ආධාර දුන්නා. එච්චරයි. නෑදෑයින් ගේ ගෙවල්වල තමා මේ ගමේන් ගිහින් අපි ජීවත් වුණේ"

''අන්තිම අමාරුවෙන් ඉන්න පවුල් තිස් හයකට එන්ජීඕ එකකින් ගෙවල් හදල දුන්නා. අපි ඔක්කෝම වගේ අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. අපටත් ගෙවල් හදා දෙන්න කියල ඉල්ලීම් කළා. හදා දෙන්නම් කියා කලින් කීවත් පස්සෙ කීවේ ඒ අයගේ මුදල් ඉවර නිසා කරන්න දෙයක් නැහැ කියලයි"

''අපට අපේ වැවවත් හදල දෙනවා නම්... ලෙකු සහනයක්. අනර්තිකුලම් කියලයි මේ වැවට අපි කියන්නෙ. වැවෙන් කුඹුරුවලට වතුර අරන් යන ඇළමඟට වෙච්ච දේ.... " යැ යි පවසමින් ඔවුහු කණ්ඩායම අප වැව් බැම්ම මතට කැඳවා ගෙන ගොස් එහි බැම්ම බිඳී ඇති අයුරු පෙන්වා කරුණා අම්මාන් මෑතක දී එය ප්‍රතිසංස්කරණය කරදෙන බවට පොරොන්දුවක් ද අපට පැවසූහ.

ඒ වැව් බැම්ම තවත් උස්කොට ඉදි නොකළහොත් වැසි කාලයට එහි පිරෙන ජලකඳ දරාගත නො හැකිව කැඩී සම්පූර්නයෙන් ම විනාශ වන බවට ද ඒ මිනිසුන් ලොකු අනතුරක සේයාවක් අපට පෙන්වා දෙන ලදි.

අනර්තිකුලමෙන් කුඩුම්බිමලේ ගම්මානයේ ඇති කුඹුරු අක්කර තුන්සියයක් අස්වැද්දෙන බව කී එගම්වැසියන් ඊළඟට අප හමුවේ නැඟූ දුක් අඳෝනාව ලෙඩක්, දුකක් වූවොත් ඒ රෝගී වූ පුද්ගලයාටත් ඔහුගේ පවුලේ සාමාජිකයනටත් අත්විඳින්නට සිදුවන්නා වූ අනුවේදනීය තත්ත්වය පිළිබඳව යි. ලෙඩකට දුකකට බේතක් හේතක් ගන්නට නම් මේ මිනිසුන් යා යුත්තේ එක්කෝ මඩකළපුව රෝහලට ය. එහෙමත් නැත්නම් වාලච්චේනට ය. ඒ දුර නම් ඉතින් ටිකක් නොවේ. නො සෑහෙන දුරකි. තවත් පොඩි ඉස්පිරිතාලයක් තිබුණත් ඉතින් රෑ රාත්තිරියක නම් ඒ ලෙජාට දෙයියන්ගේ ම පිහිට ය.

කුඩුමුබිමලේ (තොප්පිගල) ගම්වැසි පවුල් තිස්හයකට සමෘද්ධි සහනාධාරය ලැබේ. එය හිමිවිය යුතු තවත් පවුල් බොහෝ ගණනක් එගම් හි සිටිති. කොටින් ම කියනවා නම් ඒ හැම පවුලකට ම සමෘද්දිය හිමිවිය යුතු ය යනු අපට පෙනී ගිය කාරණය යි.

''අපට ඉතින් රැයක දි ලෙඩක් දුකක් වුණොතින් හමුදාවේ මහත්වරුන්ගේ උදව්ව උපකාරය හැර වෙනත් නම් කාගේවත් පිහිටක් නෑ. ඇත්තටම කියන්නෝ නෑ හමුදාවේ මහත්වරු හින්ද තමා මේ ගමේ මෙහෙමවත් ජීවත් වෙන්න පුළුවන්වෙලා තියෙන්නෙ" පත්මරාසා මහත්මිය කීවේ ඇගේ පපුව ඇතුළේ තෙරපෙන වේදනාව නො වන්නේ ද?

තොප්පිගල මහ කැලෑව මැද්දේ ජීවත්වන මේ මිනිසුන් දිහා ඇහැක් කටක් ඇර බලන්නට අපේ රට කරවන ඇත්තන් මෙන් ම ආන්ඩුවේ නිලධාරී උත්තමයනුත් හුරු නොවුණහොත් ඉදිරි කාලයේ දී රටට සිද්ධවෙන විනාශය මෙතෙකැයි කියා ලියන්නට මා සතුව වදන් නැති බව කනගාටුවෙන් වුවද කිව යුත්තේ ය.

මේ අහිංසකයන් වරෙක දුක් වින්දේ ප්‍රභාකරන් නම් මස් වැද්දාගේ හිනයක් ඉටු කරන්නට අකමැත්තෙන් හෝ කටයුතු කරන්නට සිදු වූ නිසයි.

''අපේ හැම පවුලකින් ම කෙනෙක් එල්ටීටීඊ යට දිය යුතු යැ යි කියන නියමයක් දැම්මා. එහෙම තමන් ගේ පවුලේ දරුවෙක් කොටි හමුදාවට භාර නුදුන්නොත් මේ ගමෙන් වහාම පිටවෙලා යන්න ඕනෑ. අන්තිමට මොකක් ද අපි කරන්නේනෑ"

මේ මිනිසුන් ජීවත් වන්නේ අති දුෂ්කරතා පිටාරා ගිය ගම්මානයක ය. ඔවුනට මූලික අවශ්‍යතාවයන් පවා ඉට කර ගන්නට කිසිදු මගෙක් නොවේ. පානීය ජල පහසුකම් මේ උදවියට ඇත්තේ ම නැත. කුප්පි ලාම්පුවක එළියෙන් හැර එගම්හි දරුවනට අකුරක් කියන්නට ලියන්නට හෝ හරි හමන් ක්‍රමයක් නැත.

ලෙඩක් දුකක් ඇතිවුණේ නම් ඔවනට පිහිටට ඇත්තේ තොප්පිගල සේ දන්නා වූ ඒත් දෙමළ ඇත්තන් කුඩුම්බිමලේ යනුවෙන් හඳුන්වන කඳු පාමුල පිහිටි යුද හමුදා කඳවුරෙහි සිටින රණවිරුවනු යි.

ඒ තොප්පිගල මහ කැලේ මැදින් සිව් දෙසට ම විසිර ඇත්තේ කුඹුරු ය. පසුගිය කන්නයේ දී ඒ වගාබිම්වලින් කොටසක් අස්වැද්ද වූ ඒ මිනිසුන් අස්වැන්න ද ගෙට ගෙන ඇත. දැන් දැන් තම තමන්ගේ ඉඩකඩම් සොයාගෙන එන ගම්මුන් ද අපට හමුවුණි.

අවතැන් වී සිට යළි නැගෙනහිර ඒ තොප්පිගල කැලෑව අස්සට රිංගා ඉඩකඩම්වල පදිංචියට එන ජනයාට තාරාවිකුලම් හි පිහිටා ඇති හමුදා කඳවුරේ සෙබළ ගණයාගෙන් සිදුවන්නා වූ සේවය අසීමිත ය.

- සුගතපාල මැන්දිස් -

අහමඩ් නසීර්, ලක්ෂ්මන් නීලවතුර, රනිල් රණසිංහ හා යුද්දෙන් පස්සේ ග්‍රන්තයෙහි කතෘ සුගතපාල මැන්දිස්