දේශපාලන

යුග පෙරළියට මහින්ද දකුණෙන් මුල පිරූ හැටි

සූර්ය දිව්‍ය රාජයාණන් සියලු ලෝක සත්වයන්ටත් ගහ කොළටත් ජීවය දෙමින් සිය රශ්මි දහරා මිහිමත විසුරුවා හෝරා දෙකක් පමණ ඉකුත් වෙද්දී දකුණු ලකේ අග නගරේ උණුසුම් වෙමින් තිබිණි. ඒ හිරු රැස් නිසා විතරක් නොවේ.

අවට ගම් දනව්වල හිඳ ජනී ජනයා නගරය කරා සේන්දු වෙමින් ඒ පැත්තට මේ පැත්තට යන්නෙ එන්නේ කිසියම් අවිනිශ්චිත හැඟීම් සමුදායකින් පිරුණු හිත් හතන්වලින් සේ යැ. හිරු රැස් ක්‍රම ක්‍රමයෙන් සිය බල පරාක්‍රමය මිහි මත පතුරුවද්දී දිනිසුරුගේ බලය යටපත් කරන්නට දෝ ගිනි අවිවලින් සන්නාහ සන්නද්ධ වූ කාකි ඇඳුම්කාරයන් ගාලු පුරේ හැම පාරක ම පාහේ සීරුවෙන් සිටින්නේ මන්දැ යි නගරයට සේන්දු වෙමින් සිටිනා මහජනයාට තේරුම් ගැනීමට අපහසුවක් නැත්තේ දැ යි නොදනිමි. ගාලු නගරයේ හැම පිවිසුම් ම‍‍ඟෙක ම පොලිස් මාර්ග බාධක යොදා ඇත්තේ මන්දැ යි කිසිවකු කිසිවකුගෙන් නොඇසුව ද ඔවුන් හිත් හතන් හි කිසියම් සැකයෙක බියෙක සංකාවන් දක්නට හැකි සේ යැ.

තැනෙක කුළු පොලු රැගත් පොලිස්කාරයන් ය. ටී පනස්හය ස්වයංක්‍රීය ගිනි අවිවලින් සන්නද්ධ කාකි සූට් ඇඟලා ගත්තන් ය. ඈතින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෝරන්ස් අමරසේන ප්‍රමුඛ පොලිස් ලොක්කන් ය. මෑතින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලනඥයන් ය. ඈත කඳුළු ගෑස් විදිනයන් සහිත පොලිස් කැරලි මර්ධන ඒකක යි. මෑත පොදි ගැසුණු දකුණේ අහිංසක මිනිස් ගඟයි.

ගාලු පුරේට පිවිසෙන්නන් අන්දමන්ද කරන්නට සමත් වූ ඒ දවස මුළු ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු මහත් ලෝකයේ ම අවධානය යොමු වී ඇත්තේ ගාල්ල නගරය දිහාවට බව පෙනෙන්නට විය.

හැම මිනිසකු දිහාවටත් හැම ගැහැනියක වෙතත් තරුණයකු මෙන් ම තරුණියක වෙතත් පොලිස් ලොක්කන්ගේ මෙන් ම පොලිස් පොඩ්ඩන්ගේත් දෑස් එල්ල වී තියෙන්නේ මිනීමරුවන්,  මහා අපරාධකාරයින්, ත්‍රස්තවාදීන් වෙත හෙළනා සැකයේ බැලුම් ය.

එදා දවස කැලැන්ඩරේ හැටියට 1993 ඔක්තෝම්බර් මහේ දොළොස් වැනි දා ය. එදා දිවයින් පුවත් පතෙහි මුල් පිටුවේ පළවූ පුවතක දැක්වුණේ ''දොඩන්ගොඩ දිවුරුම් දීම අද" යනුවෙනි. ‍පොලිසිය මහ යුද්දෙකට සැරසී සිටිය දී ඒ කිසිවක් නොදත් පිරිසක් ගාල්ලේ මිණුවන්ගොඩ වක්වැල්ල පාරට නුදුරුව පිහිටි ශ්‍රී ගුණරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ආගමික වතාවත් හි නියැළුණු පිරිසකි. ඒ අමරසිරි දොඩන්ගොඩ, රිචඩ් පතිරණ, පියසේන ගමගේ, නෝඑල් පත්මසිරි කාරියවසම් යන දේශපාලනඥයන් ප්‍රමුඛ පිරිසක් සෙත් පිරිත් සජ්ජායනයට සවන් දෙමින් හුන්නේ කවර වූ යහපත් දෙයක් වුව ඉෂ්ට සිද්ධ කරන්නට පෙර ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගැනීමට තත්පර වෙන බෞද්ධ සැදැහැවත් ගුණයෙන් පිරුණු සාරධර්ම ගුණධර්ම අගයන මිනිසකු ලෙස දොඩන්ගොඩ තුළ පවත්නා ආගමික භක්තිය පෙන්වමිනි. දොඩන්ගොඩ මාතාව ද කළු පුතා එක්කම හුන්නේ දෝත් මුදුන් දී මහ සඟරුවනට වැඳගත්තු ගමන් ම ය.

නව මහ ඇමති අමරසිරි දොඩන්ගොඩ දිවුරුමට ආශිර්වාද කරන්නට පුඤ්ඤසාර පරිවෙනාධිපති බද්දේගම දේවරක්ඛිත හිමිපාණන් ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ වැඩ වදාළේ මේ මනුස්සයාගෙන් දකුණට යහපතක් ම වේවා යන උතුම් සිතිවිල්ලකින් බව කියැවුණි.

තම අතීසාර මිත්‍රයා දිවුරුම් දීමේ අවස්ථාවට එක්වන්නට මහින්ද රාජපක්ෂ තංගල්ලේ කාල්ටන් හි සිට පැමිණියේ ඔය අතර වාරයේ යි. නීතිඥවරයකු සේ හැඳ පැලඳ හුන් ඔහු තරමක් ප්‍රමාදව ආ නිසා ආගමික වතාවත්වලට අවහිර වේ යැ යි ඇති සිතින් පන්සල ඉස්සරහ පාර අයිනේ රැඳී හුන්නේ පත්තර සගයකු හා පිළිසඳරේ යෙදෙමිනි. ඕන්න ඔය වෙලාවේ ගාල්ල මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක සරත් මෙන්ඩිස් ගමන් කථනයක් කනේ එල්ලාගෙන කෙනකු හා දොඩමලු වෙමින් මහින්ද හා පත්තර සගයා අසලට ආවේ ය.

''දොඩන්ගොඩ මහත්තයා කොහෙද ඉන්නෙ?" පොලිස් පරීක්ෂක මෙන්ඩිස් පත්තර මිතුරාගෙන් විමසුවේ ය.

''ඕන්න පන්සලේ... දැන් කට්ටිය ආගමික වතාවත් කරනවා" යි පොලිස් නිලධාරියාට පිළිවදන් බැන්ද පත්තරකාරයා ''ඇයි මොකද සරත්....? යි පෙරළා ප්‍රශ්නයක් නැඟී ය.

''අද ආණ්ඩුකාරතුමා නිවාඩු.... ලු. දිවුරුම් දෙන්න හෙට එන්න කියන්නැ යි දන්නලා තියෙනවා. ඒ පණ්විඩේ දොඩන්ගොඩ මහත්තයට දන්නන්න... ඒකටයි" පත්තරකාරයාට පොලිස් පරීක්ෂක මෙන්ඩිස් උත්තර දුන්නේ ය.

කිසියම් බරපතල දෙයක් සිද්ධ වෙන්නයි යන්නෙ.... පොලිස් පරීක්ෂකවරයා කියූ වදන්වැලින් ඔහු තුළ ඒ වන විටත් ලියලා මෝරා වැඩෙමින් පවති සැකය තව තවත් තහවුරු විය.

''බම්බුව තමා... ආණ්ඩුකාරයා අද නිවාඩු ය කියන්නෙ පට්ටපල් බොරුවක්. අමු ම අමු බේගලක්.... මං දැක්කා බාකීර් මාකාර් උන්නැහේ ඉන්නවා. මෙතැන මොකක් හරි තවත් ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. ඒක නේ පොලිසිය ගාල්ල පුරා බැරියර් මහ තොගයක් අටවල තියෙන්නෙ... පොලිසිය හැම තැනක ම දාන්න කිසිම හේතුවක් නෑ.... කඳුළු ගෑස් මොකට දැ දොඩන් දිවුරුම් දෙන කොට...." මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මුහුණ එක එල්ලේ බලාගෙන පත්තර සගයා කීවේ ලොකුම ලොකු අබග්ගයක් සිද්ධ වෙන බවට ඇති පෙරනිමිති ඔහුගේ ඉවට හසුව ඇති නිසාවෙනි.

''මහින්ද අපි යමු ද දොඩන්ලට ඉස්සරවෙලා ඉස්සරහට!" ඔහු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට යෝජනාවක් කළේ ය.

''ඔව්... ඔව්... ඒක හොඳයි.. අපි යමු. නගින්න එහෙනං...." පත්තර සගයාගේ යෝජනාව අනුමත කරමින් මහින්ද ජිප් රියට ගොඩ විය. පත්තර සගයා ද වාහනයට නගින විටත් ආගමික චාරිත්‍ර වාරිත්‍ර නිමා කරන ලද දොඩන් හා පොදුජන එක්සත් පෙරමුණේ හා රාජාලිය මන්ත්‍රීවරු ද  ගුණරතන් බෞද්ධ මධ්‍යස්ථානය ඉස්සරහ නවතා තිබූ බස් රියට නඟින්නට වූහ.

දැන් වෙලාව උදේ දහය කිට්ටු වී තිබිණි. මහින්දත් පත්තර සගයත් සහිත ජිප් රිය වක්වැල්ල පාර දිගේ ගනරය දිහාවට ඉදිරිය බලයි. ඒ වෙනකොටත් අති මහත් ජනකන්දරාවක් එක් රොක් වී සිටිනු පෙනුණි. විද්‍යාලෝක විද්‍යාලය පියමං කොට ගාල්ල පොලිසිය ළඟට එන විට මහින්දත් පත්තර සගයාත් දැක්කේ මුළු ගනරය ම වසා මහා සෙනඟක් නගර මධ්‍යයේ පිරී සිටින වගකි.

ඒ මහා ජනකන්දරාව කොයිබක සිටැ ගාලු පුරේට ඇදෙන්නට ඇද්ද? ගාල්ල මධ්‍යම බස් නැවතුම් පොළ අසලත්, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටිය පැත්තෙත්, බාලදක්ෂ මාවත දිහාවෙත්, ගාල්ල දුම්රිය ස්ථානය පැත්තෙත් කී නොකී හැම දිහාවකමත් දැවැන්ත මාර්ග බාධක රැසක් පොලිසිය විසින් අටවා ඇති බව ඔවුන් නෙතට හසු විය. ඒ සියලු මාර්ග බාධක මේ දැන් මේ දැන් යොදා ඇති බව පත්තර සගයා මහින්දට කී ය. පැරණි කොටු දොරකඩ පැත්තෙන් නොයා මහින්ද ගේ ජිප් රිය පොලිසිය ළඟ ඇති වටරවුමෙන් දකුණට හරවන ලද්දේ පත්තර සගයා කළ ඉල්ලීමට අනුව ය. ඊළඟට ඒ වාහනය ක්‍රීඩාංගන මාවත ඔස්සේ අලුත් කොටු දොරටුව දිහාවට ඇදෙන්නේ ගාල්ල කච්චේරි‍ය බලා ය. ජිප් එක ඒ පැත්තට හරවන විට දාස් ගණනක නෙතු ඔවුන් වෙත එල්ල වී තිබුණ ද මහින්ද එය නොදුටුවේ ය.

හැම තැනකම එක හා සමානව පොලිසිය විසින් ආරක්ෂ රැකවල් යොදා තිබේ. නගරයේ ආරක්ෂාව මෙසේ තර කර තිබෙන්නේ ගාල්ල කොටුවට කිසියම් පිරිසක් හදිසි ප්‍රහාරයක් එල්ල කරනා වගට ලද තොරතුරක් ඔස්සේ යැ යි ආයුධ සන්නද්ධව සීරුවෙන් සිටින පොලිස් කැරලි මර්ධන ඇඳුම් ඇඳි කාකි සූට්කාරයන් දකින කවරකුට වුව හිතෙනු සිකුරු ය.

කොටුව දිහාවට දිවෙන ජිප් රියට ඒ පැත්තේ ද මාර්ග බාධකයක් යොදා තිබෙනු දැක්ක පත්තර සගයා මහින් ඇමති ය.

''මහින්ද මං මෙතැනින් පැන ගන්නවා" ජිප් රියේ වේගය අඩාල වෙද්දී පත්තර සගයා කැමරා ආම්පන්න මල්ල ද කරේ එල්ලන් එයින් බිමට පැන්නේ ය. ඒත් එක්කම ඉදිරි අසුනේ හුන් මහින්ද ද සිය පත්තර සගයා අනුගමනය කෙළේ ය. ඒ වෙන කොටත් දොඩන්ලා රැගත් බස් රිය ද ජිප් රථය පිටුපසින් විය. මාර්ග බාධකය පාර මුළුමණින් ම හරස් වන සේ යොදා ඇත්තේ ය. මහින්ද රියෙන් බට බව දැක්ක ඔහුගේ ගෝලයා චණ්ඩි මල්ලී ද බස් රියේ ජනේලයකින් පනින අයුරු පත්තර සගයා නෙත ගැටිණි. චණ්ඩිට ජනේලෙන් නොපනින සේ දොඩන්ගේ බෑනා - වීරක්කොඩි ටීචර්ගෙ පුතා - චන්දිම වීරක්කොඩි කීවත් චණ්ඩි නොවේ ඔහුගේ කීම පයිසෙකට ගණන් ගත්තු වගක් නොපෙනුණි.

දොඩන්ගේ ලොකු අක්කා ගේ එකම පුතණුවන් වන චන්දිම නීතිය හදාරා නීතිඥවරයකු සේ බෞස්තිස්ම වී මහ කලක් නොවිණි. ඔහු නීති විද්‍යාලයෙන් පිටවූයේ දෙවන දකුණු පළාත් සභා තරගයට නාමයෝජනා දුන් දවස්වල ම වගේ බව මගේ මතකය යි. බස් රියේ සිටින පළාත් සභා මන්ත්‍රීවරුන් සහිත බස් රථයේ භාරකාරත්වය දොඩන්ගොඩ විසින් පවරා තිබුණේ සිය බෑනනුවන් වන චන්දිම වීරක්‍කොඩිට ය. එච්චරක් නොවේ. අභියාචනාධිකරණයෙන් නිකුත් කරන ලද නියෝගය ඇත්තේ ද ඒ තරුණ නීතිඥවරයා අත ය.

මහින්ද පාර අවහිර කොට ඇති දැවැන්ත මාර්ග බාධකය වෙත පියැඹී ය. තමන් සතු සියලු ශක්තිය ඒ වෙත යොදවා අර යකඩ වැට පාරෙන් ඇද විසි කළේ ය.

ඒ වන විටත් ඔහුගේ ව්‍යායාමය වටහා ගත්තු ලෝරන්ස් අමරසේන නම් ගාල්ලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ජිප් රියෙන් බට ගිරුවාපත්තුවේ කලබලකාරයා මඬින්නට ඉදිරියට දුවගෙන එන්නේ සිය බලපුළුවන්කාරකමින් මහින්ද ප්‍රමුඛ දොඩන් ඇතුළු පොදුජන පෙරමුණේ හා රාජාලියාගේ  දකුණු පළාතේ මහජන නියෝජිතයන් ට එදිරිව ය.

මහින්දත්, අමරසේනත් එක හා සමාන උසින් මහතින් පිරිපුන් දෙන්නෙකි. දෙන්නා ම ආරෝහ පරිණාහ පුරුෂයෝ ය. ලෝරන්ස් අමරසේන දුවගෙන එන්නේ මහින්දගේ ගමන වැළැක්වීමේ දැඩි අදිටනකිනි. ඒ කොටු පවුර පැත්තේ සිට ය. මහින්ද දුවන්නේ කොටු පවුර දිහාවට ය.

මහින්දගේ මඟ අහුරන්නට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඔහු වෙත කඩා පනිද්දී මහින්ද පොලිස්කාරයා වෙත කඩා පිනුවේ ය. හේ අමරසේන ගේ නිල ඇඳුමින් අල්ලා ඔසවා තම උපරිම ශක්තිය හිතටත් ගතටත් ගෙන පොලිස් ලොක්කා පාරෙන් ඉවතට වීසි කළේ ඔහුගේ හැකියාව කෙබඳුදැයි අපූරුවට පෙන්වමින් ය.

මේ ඓතිහාසික සිද්ධිය පත්තර සගයා සිය කැමරා කාචයේ ලියා සටහන් කරගත්තේ පරිසරය වෙළා පැතිර ඇති හිරු කිරණිනි. එය නම් සිය පත්තර දිවියේ කිසිදා අමතක නොවන අගනා අත්දැකීමක් සේ පත්තර සගයා ගේ හිතේ ලියැ වෙන්නට ඇත.

පොලිස් අධිකාරී ලෝරන්ස් අමරසේන කොටු පවුර පාමුල බිම පතිතව නැඟිටීමට දඟලද්දී අසුරු සැණෙන් මහින්ද සිය ජිප් රියට නැග ඉදිරිය බලා හමාර ය. දැන් පොලිස් මාර්ග බාධකයේ බලගතුම තැන විවර ය. මහින්ද ගේ ජිප් එකට පස්සෙන් ආ දොඩන්ලා රැගත් බස් රිය සැණෙකින් කොටු පවුරට රිංගා කච්චේරිය බලා ධාවනය වූයේ දකුණේ මිනිසුන් අති බහුතරයකගේ අරමුණ ඉටුකරන්නට අපේක්ෂාවෙනි. මහින්ද ගේ ගෝලයා චණ්ඩි මල්ලි ඉදිරියට ඇදෙන බසය කරා දිවගොස් ඊට රිංගුවේ සෙසු සගයන් අත්පුඩි ගසද්දී ය. ගාලු කොටු පවුර ඇතුළත ද දැඩි පොලිස් රැකවල් ය. තන් තන් හි පොලිස් වළලු ය. ඒ සියල්ල මෙහෙයවන්නේ ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක බී. එම්. ඩූල් ය. ආයුධ අතදරා කොටුව ඇතුළේ සීරුවෙන් සිටින පොලිස් කැරලි මර්දන ඒකකයේ භටයින් වැළ නොකැඩී දොඩන්ගේ බස් රිය පසුපසින් එන දැවැන්ත මිනිස් ගඟ අභිමුව පසුබසින්නට විය.

දැන් දොඩන්ලා මහින්දලා රිචඩ්ලා කච්චේරි භූමිය ආක්‍රමණය කරති. ඒ බිමෙහි ද සිය ගණනක් පොලිස් හමුදාවක් සීරුවෙන් රැඳී සිටිති. ඒ පොලිස් බලමුළු  පයිසෙකට ගණන් නොගත් දොඩන්ගේ අනුගාමිකයෝ කච්චේරි භූමියට කඩා වැදුණාහ.

මහින්ද, දොඩන්, රිචඩ්, පියසේන, මංගල, චමල්, නෝඑල්, යන පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දකුණේ මන්තීවරුන් ද ඩැනී, ගජේ, ඩලස්, අමරවීර, රයිටර්, මහින්ද යාපා, සමන් වීරමන්, අශෝක වීරසිංහ, බී. වයි. තුඩාවේ වැනි පළාත් සභා මන්ත්‍රීවරුන් ද පඩිපෙළ නඟිද්දී සිය ගණනක ජනතාව ඔවුන් පසුපසින් වූහ.

දකුණු පළාත් සභාවේ ප්‍රථම ආණ්ඩුකාරයා වූ අල්හාජ් බාකීර් මාකාර් උන්නැහේ සොයා ඔවුන් ආවත් මේ දැන් පේන්නේ ඔහු සිය කාර්යාලයේ නැති වගෙකි. ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රධාන දොර වසා ඇත්තේ තඩි ඉබ්බන් තුන්දෙනකු දමා ය.

ඒ අසලට රොක් වූ හා පහත මාලයේ ද, යාබදව පිහිටි උසාවි සංකීර්ණ භූමියේ ද පිරී තිරී සිටින මිනිසුන් නඟනා කෑ කෝ ගැසීම්වලින් නැගෙන මහා කෝලාහලය ගාලු නගරය පුරා ද නින්නාද වන්නේ ය.

''ඉබ්බො කඩමු!!"

ඒ විධානයක් සේ යැ. ඒ වචන දෙක නිකුත් වුණු හඬ ගැඹුරු ය. වේගවත් ය.

විධානය මහින්දගෙනි. ඒ වචන දෙක වාතලයට මුසු වුණා පමණි. අර තඩි ම තඩි ඉබ්බන් තුන් දෙනා කඩා දමන්නට ඩලස්, ගජේ, ඩැනී, චණ්ඩි මල්ලි (එම්. කේ. රංජිත්) ආරියතිලක  වැනි තරුණ දේශපාලනඥයින් හා බූස්සේ ලාල්, බද්දේගම ඉලේසිංහ, නාකියදෙණියේ පියදාස ඇතුළු ජවාධික නාම්බන් ඔවුනට එක්වූයේ කලින් කතාකර ගෙන සිටියා සේ ය.

ආශ්චර්යෙකි. මෙන්න ආණ්ඩුකාර අල්හාජ් බාකීර් මාකාර් උන්නැහේ දකුණු පළාත් ආණ්ඩුකාර අසුනෙහි විරාජමානව වැඩ හිඳී.

දොර කඩන් තුළට කඩා වැදුණු පිරිසට දැක ගත හැකි වූයේ මහින්දලා, දොඩන්ලා, රිචඩ්ලා දැක්ක සැණින් මාකාර් ආණ්ඩුකාර තෙමේ දියෙන් ගොඩගත් මසකු සේ ගැහෙමින් වෙවුළමින් සිටින අයුරු ය.

බාකීර් මාකාර් උන්නැහේ බෝ යහපත් ගතිගුණවලින් පිරුණු මිනිසෙකි. ඒත් ඔහුට දැන් මේ වෙලාවේ කරන්නට සිදුව ඇත්තේ ඔහුගේ හදවතට විරුද්ධව ස්වකීය හාම්පුතුන්ගේ නියමයන්ට අනුකූලව කටයුතු කරන්නට ය.

මහින්ද ඇතුළු පිරිසත් ඔවුන්ගේ අනුගාමිකයන්ගෙනුත් ආණ්ඩුකාර කාර්යාලය පිරී යෙත් ම බාකීර් මාකාර් උන්නැහෙගේ සිරුර දාහයෙන් නැහැවෙන්නට මහ වෙලාවක් ගියේ නැත. දැන් දැන් ගාල්ල කච්චේරියේ උඩු මහලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය දිස්වන්නේ පකිස් පෙට්ටියක් බඳුව ය. එහි රොක්වූවන්ගේ ඇඳුම් පැලඳුම් ඔවුන්ගේ ම සිරුරුවලට ඇළී ඇත්තේ ය.

''අපි ආවේ දොඩන්ගොඩට මහ ඇමතිකමේ දිවුරුම් දීම කරන්න" මහින්ද බාකීර් මාකාර් ගේ මේසය ඉස්සරහ සිට කී ය. හෙතෙම ඊට පිළිතුරක් බැන්දේ නැත. කසාය බීපු ගො ලුවකුගේ වතින් හුන් ඔහු පළමුව මහින්ද වෙතත් අනතුරුව දොඩන් වෙතත්, පසුව රිචඩ් මවතත් නෙත් මාරු කළේ අන්දමන්ද බවක් පාමිනි.

''ආණ්ඩුකාරතුමා, අපි ආවෙ දිවුරුම් දෙන්න" මහින්ද දෙවැනි වරටත් සිය කටහඬ අවදි කෙළේ ය.

''අද දවසෙ දිවුරුම් නොගන්නැ යි මට ඉහළින් උපදෙස් ලැබිල යි තියෙන්නෙ" බාකීර් මාකාර් තොල් සෙලවී ය.

''දිවුරුම් දීලා මිසක් මැරුවත් අද අපි මෙතැනින් යන්නෙ නෑ. මහින්ද, රිචඩ්, එකවර තෙපලූහ.

''අද උදේ දහයයි තිහට දිවුරුම් දෙන්න එන්න කියල ඔබතුමා ම නේ මට කීවේ. දැන් මොකක් ද කියන මේ කතාවේ තේරුම. මැරුවත් මං මෙතැනින් ආපහු යන්නෙ නෑ දිවුරුම් දීලා මිසක්වා" දොඩන්ගොඩ පළමු වරට සිය මුව විවර කෙළේ ය ඒ වෙලාවේ නම් මා දොඩන්ගොඩ ගේ ඇස් දෙකේ රැඳී තිබුණු කෝපසහගත බැල්මක් පළමු වරට දැක ගන්නට මට හැකි විය. හේ ලේසියෙන් පාසුවෙන් කෝප ගැන්වෙන මිනිසකු නොවේ. ඒත් මේ දැන්.... ඔහු ඒ වචන කීපය ද කීවේ බෝහොම අසීරුවෙන් වචන ගළප ගළපා ය.

තවත් නිමේෂයක් ගෙවුණි. ආණ්ඩුකාරවරයා සිය ලේකම් කැඳවා අමරසිරි දොඩන්ගොඩ මහත්තයට ප්‍රධාන ඇමති තනතුරේ දිවුරුම් දීමට අදාළ ලියවිල්ල රැගෙන එන සේ දැන්වූයේ ය.

තම අසුනින් නැඟී සිටි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අසලට ම ගිය මහින්ද රාජපක්ෂ දොඩන්ගොඩ විසින් ප්‍රධාන ඇමති ධූරයේ දිවුරුම් දෙන ලියවිල්ල අතට ගෙන මහ හයියෙන් කියවන්නට පටන් ගත්තේ ය.

''ගාර්දිහේවාවසම් දොඩන්ගොඩගේ අමරසිරි දොඩන්ගොඩ වන මම....."

යනුවෙන් මහින්ද හඬ නඟා කියවද්දී ඒ ප්‍රතිඥාව අමරසිරි දොඩන්ගොඩ යාන්තමින් තොල් සොලවමින් කීවේ ය.

ඔහු සිය ප්‍රතිඥාව දෙද්දී බාකීර් මාකාර් ආණ්ඩුකාර තෙමේ අන්දමන්ද විලසින් හුන්නේ ගොළුවකු මෙනි. දොඩන්ගොඩ ප්‍රධාන ඇමති ධූරයේ දිවුරුම් දෙන විට වේලාව පෙරවරු එකොළහ යි පනස් හත (11. 57 ) සේ ආණ්ඩුකාර කාර්යාලයේ බිත්තියක එල්ලා තිබුණු හෝරා යන්ත්‍රයේ සටහන්ව තිබිණි.

දැන් අමරසිරි දොඩන්ගොඩ දෙවැනි දකුණු පළාත් සභාවේ මහ ඇමතිවරයා සේ දිවුරුම් දී හමාර ය. ඔහු ආණ්ඩුකාර කාර්යාලයෙන් නික්මෙද්දී උසාවි භූමියේ හා ඒ අවටත් රැස්කකා හුන් මහ ජන කන්දරාව නැඟූ ප්‍රීතිඝෝෂාවක තරම.... උසාවි සංකීර්ණයේ පිහිටි උසාවි පහේ ම වැඩ කටයුතු නවතාලන්නට විනිසුරුවරුනට සිදු විය. ඒ අර මහ මිනිස් ගංගාව නඟනා ඝෝෂාව අධිකරණ කටයුතුවලට බාධාවක් වූ හෙයිනි. ඒ මිනිසුන් නඟන ප්‍රීතිඝෝෂා, ජයඝෝෂා ගාල්ල වරාය ඔස්සේ පාවී රූමස්සල කන්දේ වැදී විනාඩි ගණනාවක් ම දෝංකාරය දෙන්නට විය.

දැන් කෙනෙක් දොඩන්ගොඩ ඔසවා ගත්හ. කෙනෙක් රිචඩ් ඔසවා ගත්හ. අයෙක් මහින්ද ඔසවා ගත්හ.

අඩ හෝරාවක් පමණ ඔවුනු උසාවි බිමේ රැඳුණේ අති මහත් ජනගඟක් හින්දා ඉස්සරහට යා ගත නොහැකි ව ය.

ඊළඟට මොවුන් විවෘත ජිප් රිය දෙකකට නංවා ගත් ගාල්ලට රොක්ව හුන් දොඩන්ගේ ආධාරකරුවන්, හිතවතුන්, පාක්ෂිකයන් ඔවුන් පිරිවරා කච්චේරියට ආ මඟ ඔස්සේ ම ආපසු නගරය කරා ගමන් ඇරඹූ හ.

ඔවුන් නඟනා සටන් පාඨ....

ඒ මිනිස් පොදිය සටන් පාඨ කියමින් ජයගොස් නංවමින් දකුණු ලකේ ප්‍රගතිශීලී දේශපාලන කඳවුරේ නායකයන් පිරිස පසුපසින් ඉදිරිය බලද්දී පොලිස් භටයෝ ආයුධ සන්නද්ධව ඒ ජන සන්නිපාතය දිහා බලා හුන්නේ ලේ රහට ගිජු වූ වෘකයන් සමූහයක් බඳුව ය. පැයක තරම් කාලයක් ගෙවාලමින් ගාල්ල මහජන බස් නැවතුම්පොළ අභියස පිහිටි බෝධිය අසලට එන්නට ඔවුනට සිදුවූයේ ඒ තරම් ම වූ අති දැවැන්ත ජනගඟක් පාර පුරා පිරී තිරී හුන් හෙයිනි. ඒ ජන සන්නිපාතය එතෙකැ යි මෙතෙකැ යි කයන්නට නො හැකි තරමි. වැලි අහුරක් නොව වැලි ට්‍රැක්ටර් කීපයක් උඩට දැම්මත් ඒවායේ වැලි ඇටයකුදු බිම පතිත නොවන තරමේ මහා මිනිස් සමූහයකි මේ වේලාවේ ගාල්ල නගරය පුරා වසා පැතිර හිඳින්නේ.

දොඩන්ගොඩ සිය ආධාරකරුවන් අමතන්නට පටන් ගත්තේ ය.

''මම හැමදාමත් අයුක්තියට අසාධාරණයට විරුද්ධයි. දාහත් අවුරුද්දක් තිස්සේ මේ රට කරවන දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂයේ අධාර්මිෂ්ඨ පාලනය ජනතාව සතු පරමාධිපත්‍යය කිසි ලෙසකින් සලකන්නෙ නෑ. තකන්නෙ නෑ. දකුණේ බුද්ධිමත් එඩිතර සටන්කාමී ජනතාව එක්සත් ජාතික පක්ෂයේ පාලනය මේ රටින් තුරන් කරන්නට දින ගැන ගැන ඉන්නවා.

ඔවුන් දකුණු පළාත් සභා මැතිවරණයේ දී ඒ බව ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රකාශයට පත්කළා. ඒත් මේ අධාර්මිෂ්ඨ පාලකයන් ජනතාවගේ මතයට කන් නොදී තමන්ට පාර්ලිමේන්තුවේ ඇති හයෙන් පහේ බලය තව දුරටත් උපයෝගී කර ගනිමින් දකුණේ අපට හිමි බලය අපට නොදී ඇම්. ඇස්. අමරසිරි මහත්තයා තව දුරටත් මේ පළාතේ මහ ඇමතිකමේ රඳවාගෙන හිටියා.

''ඒකට විරුද්ධව අපට කරන්න සිද්ධ වුණේ දකුණේ ඡන්දදායකයින්ගේ අයිතිය රැක ගන්න අධිකරණය ඉස්සරහට ගිහින් කරුණු කියන්න යි. එක්සත් ජාතික පක්ෂයේ මේ දීන ක්‍රියා පිළිවෙත නීති විරෝධ බව ගරු අධිකරණය පිළිගත්තා. ඔවුන් අධිකරණයේ තීන්දුවත් පිළිගන්නේ නැතිව තව දුරටත් ඇම්. ඇස්. අමරසිරි උන්නැහේ මහ ඇමතිකමේ තබා ගන්න යි උත්සාහය. රටේ සම්ස්ත ජනතාව වෙනුවෙන් අපි අධිකරණයට ශීර්ෂ ප්‍රණාමයෙන් යුක්තව ගෞරව කරනවා."

දොඩන්ගේ මුවින් ඒ වදන් ගුවනට එක්වෙද්දී ගුවන් බැව දෙදරවමින් නැඟුණු අත්පොළසන් හඬක තරම....

ඒත් එක්කම මහ ජනකන්දරාව තුළ නොසන්සුන් තාවයක් හට ගත්තේ ය. කුළු පොලු රැගෙන එතෙක් මුනිවත රකිමින් හුන් පොලිස් නිලධාරීන් අතර සිටින සුනඛ පෝතකයකු අත වූ පොලිස් පොල්ලක් එස වී මිනිසුන්ගේ ඔළුමත්තට පාත් විය. ඒ සුනඛ පෝතකයා පිස්සු වැටුණු එකකු වගේ ය. ඔය අතරේ තවත් එකකු අත වූ කදුළු ගෑස් තුවක්කුවක් ද පත්තු කරන්නට තරම් ඌ ද අනෙකා මෙන් ම පිස්සු වැටී හුන්නේ ය. එයින් කෝපාවිෂ්ට වූ අහිංසක මිනිසුන් ද අතට අහුවෙන අහුවෙන ගල් මුගුරුවලින් ඒ පෝතකයනට පහර දෙන්නට විය.

ඕන්න ඔය අතර වාරේ තවත් පොලිස් උණකාරයෙක් උගේ බල පුළුවන්කාරකම පෙන්නමින් උගේ අත වූ ගිනි අවිය පත්තු කළේ ය. ඒ ගිනි බටයෙන් පිට වූ උණ්ඩවලින් අහිංසක තරුණයින් දෙන්නෙක් යළි නොනැගිටින්නට ම මිහිකත වැළඳ ගත්හ.

මීට පැය එක හමාරකට විතර කලින් දකුණු පළාතේ සාමය හා නීතිය සුරකින්නට බැඳී සිටින වග ප්‍රකාශ කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම බලය පවරා ගත් ප්‍රධාන ඇමතිවරයා වූ අමරසිරි දොඩන්ගොඩ හා ඔහුගේ හිතවතුනට ආධාරකරුවනට එරෙහිව පොලිසිය අවනීතිය අතට ගෙන කළ හපන්කමක තරම.... තවත් කීප දෙනකුට තුවාල කරන්නට තරම් නීතිය හා සාමය භාර දකුණේ ප්‍රධානියා ඉදිරියේ ම දකුණේ නීතිය හා සාමය සුරකින්නට බැඳී හිඳින කාකිසූට්කාරයන් කටයුතු කළේ ඔහුගේ පාලනයට උන් අවනත නැති බව කියාපාමිනි. දොඩන්ගොඩ ප්‍රධාන ඇමති ධූරයේ දිවුරුම් දෙන අවස්ථාවට ගාලු ඇවිත් හුන් දහස් ගණනක මිනිසුන් අතරින් දෙන්නකු බිලිගත් පොලිසියේ පාහරයින් දෙතුන් දෙනකු කළ හදියේ තරම. තවත් කීප දෙනකු රෝහල් ගතකරන්නට තරම් සමත් විය.

පොලිස් වෙඩි ප්‍රහාරයත් එක්ක නිරායුධ ජනයා හිස් ලූ ලූ අත දුවන්නට වූහ. පොලිස් වෙඩි පහරින් මරණයට පත්වූයේ බද්දේගම ආසනයේ යටලමත්තේ මාමනදොළ පදිංචිව හුන් තුෂාර කාරියවසම් හා මුල්ගිරිගල බෙලිගල්ලේ, ඇතාමුල්ලේ පදිංචිව හුන් කුමාර නම් තරුණයින් දෙන්නා ය.

තිස් හවුරුද්දක් මුළුල්ලේ මේ රට වෙළාගත් ඊළාම් බෙදුම්වාදී කොටි කල්ලියෙන් රටත් ජනතාවත් ගලාගෙන බියෙන් සැකෙන් තොර සමාජයක් ගොඩනංවන්නටත් අනතුරුව නේක විධ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කර ධාර්මිෂ්ඨ ලේබලය එල්ලා ගෙන දාහත් වසරක් පුරා ජනතාව අනන්ත අප්‍රමාණ කුකකට භීෂණයකට පත් කළ එක්සත් ජාතික පක්ෂයේ පාලනය අහවර කොට රටට සාමය උදාකරන්නටත් සමස්ත දේශයේ ම බහුතර ජනතාවට මඟ හෙළි පෙහෙළි කරමින් දකුණේ අභීත මිනිසුන් පත්තු කළ මංගල වෙඩි මුරය යි.

- සුගතපාල මැන්දිස් -

 

මීලගට

මහින්ද රාජපක්ෂ ඝාතනය කරන්නට තංගලු ආ අළුගෝසුවෝ