දේශපාලන

වඩාත් දක්ෂතාවන් ගෙන් පිරිපුන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් කරන්න – අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම

ඔබ කොරෝනා වැළඳුණු රෝගියෙක් බව දැන ගත්තොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවර‍යකු හමු වී උණුසුම් හාදුවක් දී රෝහල් ගත වෙන්න යනුවෙන් පහුගිය දවසක මුහුණු පොතේ පොස්ටුවක් තිබුණු බවත් එයින් ගම්‍ය වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට ජනතාව තුළ පවත්නා විරෝධය  බව අධ්‍යාපන, තරුණ කටයුතු හා ක්‍රීඩා පිලිබඳ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය මැතිවරණ ප්‍රචාරණ වේදිකාවක දී පැවසී ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා ඇමතිවරුන් විසින් හැම වසරක් ආරම්භයේ දී ම දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය කරනවා. අලුත් අවුරුදු සුබ පැතුම් පත් මුද්‍රණය කරවනවා. මේ වෙනුවෙන් හැම අවුරුද්දක ම රුපියල් මිලියන හත්සිය හතළිහක් (740) වැය කරනවා. මහජන මුදල්වලින් කැලැන්ඩර්, දිනපොත් වගේ ම අලුත් අවුරුදු සුබ පැතුම් පත් මුද්‍රණය කරනා දේශපාලනඥයන් සිටින ලෝකයේ එක ම රට සිරි ලංකාවයි." යනුවෙන් සඳහන් කළ අලහප්පෙරුම මහතා ඉකුත් ජනවාරියේ ඒ සා දැවැන්ත මුදලක් රටට ඉතිරි කෙරුණේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මහතා ගත්තු තීන්දුවක් නිසා යැයි ද පැවසී ය.

මාතර දිස්ත්‍රික්කයේ කැකණදුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී එසේ සඳහන් කළ ඔහු

" එම්. ඩී. වීරරත්න, දාස හපුවලානේ, හසන්ත විජේනායක හා අපේ පුවත්පත්හි අනෙකුත් කාටුන් ශිල්පීන් ම්නත්‍රීවරුන් කාටුන්වලට නැගීමේ දී අඳින්නේ කොහොම ද බඩ මහත, කෛයිරාටික, පෙනුමකින් යුත් ගොරහැඩි, පච්ච කොටපු පුදුගලයන් හැටියට. මෙයින් ඔවුන් නොකියා කියන්නේ අපේ දේශපාලනඥයා හොරෙක්, තක්කඩියෙක්, වංචාකාරයෙක් නැත්තං මදාවියෙක් කියන එක නේ ද යි විමසී ය.

මෙහිදී අධ්‍යාපනය අමාත්‍යාංශයේ කටයුතු ගැන ද අදහස් පවසමින් ''මෙරට ජාතික පාසල් පද්ධතිය 373 කි. ඒ ප්‍රමාණය පාසල් 500 ක් දක්වා වැඩි කරන්නට සැලසුම් කරලයි තියෙන්නෙ. එවිට ජාතික පාසල් 127 කින් වැඩි වෙද්දි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම ජාතික පාසලක් බැගින් ඇති වෙනවා. ඊළඟ වටයේ දී මේ පාසල් සංඛ්‍යාව 1000 ක් දක්වා වැඩි කරන්නටයි සැලසුම තියෙන්නෙ"

"මෙවර පැවැත්වෙන්නේ අපේ රටේ 17 වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණය යි. මීට කලින් 16 වතාවක් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීමට ලාංකේය ඡන්නදායකයන් පියවර ගත්තා. ගෙවී ගිය 72 වසරක කාලය තුළ ඔබ විසින් තෝරාගත් මන්ත්‍රීවරයා කෙරෙහි ජනතාව තුළ පවතින්නේ පිළිකුළක්, වෛරයක් මෙන් ම ක්‍රෝධයක්  බව පැහැදිලියි යනුවෙන් කියමින් ඔහු ජනතාව මන්ත්‍රීවරුන්ට දක්වන විරෝධය ගැන තවත් කරුණු කීපයක් පැවසී ය.

අද අපට බොහොම හැකියාවන් ඇති ඒ වගේ ම රට ගැන හිතන රටේ ජනතාව ගේ දියුණුව ගැන හිතන රට සංවර්ධනය කරන්නට දැඩි උවනාවක් හා කැපවීමක් ඇති දක්ෂ පාලකයෙක් ඔබ විසින් ඉකුත් ජනාධිපතිවරණයේ දී තෝරා ගත්තා. ඒ අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා. ඉතින් ඔහු රටට ඉදිරිපත් කල සෞභාග්‍යයේ දැක්ම නම් වැඩ පිළිවෙළ සාර්ථක කරගන්න නම් ඒ උදෙසා පාර්ලිමේන්තුවට ඔබ තෝරාපත් කර යැවිය යුත්තේ ඒ උදෙසා කැපවී වැඩ කරන්න දක්ෂතාවයන්ගෙන් පිරිපුන් මහජන නියෝජිතයන් පිරිසක්. ඔබ ඒ උදෙසා දක්වන දායකත්වය අනුව අගාධයක ගිලී පවතින මේ රට ගොඩනඟන්නට ශක්තිමත් පිරිසක් සහිතව 2/3 බහුතරයක් එතුමාට ලබා දෙන්න කියන ඉල්ලීමයි මා ඔබෙන් ඉල්ලා සිටින්නේ.... යනුවෙන් ඩලස් අලහප්පෙරුම අධ්‍යාපන ඇමතිවරයා ජනතාව හමුවේ පැවසී ය.