සාහිත්‍යය හා කලාව

වන පස මලක් වෙමි – ගී පද සරණිය

Wanapasa Malak Vemi

ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහයෝ ජ්‍යෙෂ්ඨ  නීතිවේදියෙක් වෙති. හේ සම්මානනීය ලේඛකයෙකි. සම්මානනීය කිවිවරයෙකි. ගී පද රචකයෙකි.  අබේසිංහයන් ගේ පන්හිඳෙන් ලියැවී ඇති ගී පද වැල් බොහෝ යැ. ඔහු විසින් රචිත ගීපද මාලා සමුච්චයකි ''වන පස මලක් වෙමි'' කෘතිය. එය ඔහු නම් කරන්නේ ගි පද සරණිය යනුවෙනි. මෙහි ගීත එකසිය දහසයක් ඇත්තේ ය.

ඔහු ''වන පස මලක් වෙමි" පුදන්නේ සිය දයාබර පියාණන් ට ය.

මේ බලන්න ඔහු ගේ පිදුම,

කෙතේ මඩ රොන් සුවඳ තැවරුණු
ඔබේ දෙපතුල් යුග්ම පංකජ
ඇසේ මතුවන කඳුළු බිඳෙකින්
කෙසේ නම් පුදනෙම් පියාණෙනි

අසංඛය කප් ගෙවෙන මෙසසර
බොහෝ ඈතට වෙන්ව යන සඳ
වියෝ දුක මේ තරම් රුදු බව
අහෝ කෙලෙසක අදහම් ද මම

කළද පරසතු මලින් ඔබ පුද
නොහැක පුදනට නිමල ගුණ කඳ
ම හදවත පුදසුනක් කොට මම
මෙ වන පස මල තබමි පදලස

ගීත නිර්මාණ කාර්යයේ යෙදෙන ප්‍රවීණ මෙන් ම අංකුර ගේය පද රචකයනට ඔහු පවසන්නා වූ දැනමුතු කම් හෙවත් උපදෙස් කෙතරම් වටිනා අගනා කමකින් යුක්ත දැ යි හෙළදිව පාඨකයන්ට මෙය කියවීමේ දී වැටහෙනු ඇතැයි අපගේ කල්පනාවයි. මේ කෘතිය අදින් හවුරුදු විසිනමයකට පෙර  අබේසිංහයන් නුගේගොඩ ගුරුළුගෝමි ප්‍රකාශනයක් සේ එළිදැක් වූවකි.

W.A. Abeshingha

පිළිසඳර

නෑසූ ගී වඩාත් මිහිරිය!

ඇසූ ගී මිහිරිය. නෑසූ ගී වඩාත් මිහිරි වෙතැයි කියැවෙන ඉංගිරිසි පිරුළක් ඇත.

එහි ඇත්ත නැත්ත කුමක් වුවද, මවිසින් කාලයක් තිස්සේ පබඳන ලද ඇසූ ගීත්, නෑසූ ගීත් පිළිබඳ සහෘදයිනට හෙළි කළ යුතු කරුණු කිහිපයක් ඇතැයි සිතුණු නිසා, ඔවුන් සමඟ මේ පිළිසඳර අරඹන්නට මම අදහස් කෙළෙමි.

මගේ පොත්වලට හැඳින්වීමක් මා ලියන්නේ ඉතා කලාතුරකිනි. ඒ මගේ කැමැත්ත බව ප්‍රකාශ කරනු හැරෙන්නට, ඒ ගැන නිදහසට කියන්නට, වෙනත් කරුණක් මට නැත. එවැනි පිලිවෙතක සිටින මට, මෙම පොතට කිසියම් හැඳින්වීමක් ලියන්නට සිතුණේ මගේ සහෘදයන් සමග පමණක් නොව, ගීත රචනයේ යෙදී සිටින මගේ මිත්‍රයින් සමග ද, විශේෂයෙන් ම, මගේ කණිෂ්ඨ මිත්‍රයින් සමග ද බෙදා හදා ගන්නට වටනිා අත්දැකීම් කිහිපය් මා සතුව ඇති හෙයිනි.

මා ගීත රචනයට පිවිසියේ අහම්බෙනි. ගී වලට පෙර, මවිසින් ලියන ලද්දේ කවි ය. ඒ කවි ද සාර්ථක කවි යැයි මා විශ්වාස කරන්නේ නැත. පසු කලෙක කිසියම් සිදුවීම් කිහිපයක් හේතු කොට ගෙන, ගීත කරණයට පිවිසෙන්නට මට සිදුවිය. හැට ගණන්වල අවසාන භාගයේ දී, ජීවිතයේ කුරිරු ව්‍යසන රැසකට ගොදුරුව සිටි මම, ඉතා අසීරු ඒරාෂ්ටකයක් ගෙවමින් සිටිමෙයි. එකල්හි පුවත්පත් කලා ජීවිතයේ මගේ සද්ධි විහාරිකයකු ව සිටි අර්වින් වීරක්කොඩි, තෙමේ ද රැකියාව කළ කිසියම් වෙළඳ ප්‍රචාරක ආයතනයක රැකියාවක් භාර ගන්නැ යි මගෙන් ඉල්ලීමක් කෙළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ජීවිතයේ මුල්ම වතාවට කලාවකැ යි සමහරුන් වැරදියට හඳුන්වන දැන්වීම් ප්‍රචාර ශිල්පයට අවතීර්ණ වන්නට මට සිදු විය. මෙම රැකියාවට අදාළ බොහෝ නිරස කටයුතුවලින් මට මඳ අස්වැසිල්ලක් ලැබුණේ, මට නුහුරු තවත් කාර්යයකට අත ගසන්නට සිදුවූ නිසා ය. ඒ අන් කිසිවක් නොව ගීතකරණයයි. අප විසින් සතිපතා නිශ්පාදනය කළ යුතු වැඩ සටහන් තුනකට, හැම සතියකදීම අඩුම වශයෙන් ගීත පෙළක් වත් ලියා දෙන්නට මට සිදු විය. මා ගීත රචනයට පිවිසියේ ඒ අබග්ගය නිසා ය.

මෙකී වෙළඳ ප්‍රචාර ආයතනයේ වසරක් පමන සේවය කොට, යළිත් මහමඟට බැස්සෙමි. වෙළඳ ප්‍රචාරයේ රැඳී සිටි කාලය තුළ මවසින් රචනා කරන ලද ගීත සංඛ්‍යාව අති විශාල විය. ඒ ගීවලින් ඉතා සුළු සංඛ්‍යාවක් හැරුණු කොට අන් සියල්ල මා වෙත නැත. ඇතැම් ඒවා කිසියම් මාස්ටර් ටේප් පටියක හෝ එවැනි ටේප් පටි කිහිපයෙක හෝ කිසියම් තැනක තිබෙනවා විය හැකි ය. ඒත් ඒ ගැන සොයා බලා, ඒ ගී පද ආපසු මගේ සන්තකයට ගැනීමට මම කිසිදු වෑයමක් නොකෙළෙමි. දැනුදු, එවැනි වෑයමක් නොදරමි. ඒ ගී පද නැතිවීම ගැන මා තුළ පසුතැවිල්ලක් ඇත්තේ ද නැත.

එහෙත් එකි කාලය තුළ ලියන ලද ගීත රචනා කිහිපයක් මා සතුව තිබුණි. පසු කලෙක  බොහෝ සේ ජනප්‍රිය වූ ගීත කිහිපයක් බවට පත්වූයේ ඒවාය. ඒ පද රචනා අතර අමරදේව ගායනා කරන "අඩවන් වූ දෙනෙතින් ගලනා" නමැති ගීතයත්, වික්ටර් රත්නායක ගායනා කරන "සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැලි නෙරිය ලතාවයි" නමැති ගීතයත් වූ බව මට දැන් සිහි කළ හැකි ය.

කෙසේ වෙතත් කිසියම් අරුතක් ඇතැයි දැන් මා සලකන ගී කිහිපයක්, මා අතින් ලියැවුණේ ඉනුත් බොහෝ කලකට පසුව ය. මෙම ගී සරණියට ඇතුළු වන්නේ විවිධ ගායන ශිල්පීන් විසින් ගයන ලද එම ගීතත්, කිසිවකු ගායනය කරතැයි බලාපොරොත්තුවකින් තොරව විවේක අවස්ථාවලදී ම විසින් පබඳන ලද තවත් ගීත සංඛ්‍යාවකුත් ය.

අහම්බෙන් හෝ මා ගීත කරණයට පිවිසි අවධිය, ගිත රචකයන් අතර මෙන් ම, සංගීත ශිල්පීන් අතර ද අත්තුක්කංසන පරවම්භනාදී වශයෙන් බොහෝ කුහකකම් ඉහවහා ගිය කාලයක් විය. එකල් හී, කිසියම් ගීතයක් ශ්‍රාවකයින් වෙත සන්නිවේදනය වූ ප්‍රධානම මාධ්‍යය වූයේ ගුවන් විදුලියයි. ඇතැම් විට, එය එකම මාධ්‍යය වී යැයි කිව ද නිවැරදි ය. ගුවන් විදුලිය හා සමීප නෑදෑකම් හෝ යාළුකම් නොමැති රචකයකු පාගා දැමීම ඉතා පහසු කාර්යයක් විය. ඇතැම් රචකයින් ට ලැබූ ඒ දුර් දසාව ම, ඔවුන්ගේ ගී ගායනා කළ ගායක ගායිකාවන් ද ලබා තිබුණි. ගී තැටිවල ඉරි ඇඳම සාමාන්‍ය සිරිතක් විය.

එකල්හි මම ජිවිකාව උපයා ගත්තේ, ගීත රචනා කොට නොව, සාහිත්‍ය කලාවට සහ සන්නිවේදයට ද අධ්‍යාපනයට ද අදාළ වෙනත් බොහෝ දේවල් කිරීමෙනි. ජීවිතයේ කිසිම අවස්ථාවෙක ගීත රචනය මගේ ජීවනෝපායයක් නොවී ය. එහෙත් කිසිවකුට මොනම විදියේ හෝ අභියෝගයක් ඉදිරිපත් නොකළ මට, බොහෝ සම්බාධකවලට මුහුන දෙන්නට සිදු විය. මවිසින් ලියන ලදුව අමරදේව විසින් ගගායනා කරන ලද "අඩවන් වූ දෙනෙතින් ගලනා" යන හිසින් ඇරඹුණු ගීතය පිළිබඳව දැඩි විවේචන එල්ල විය. ඒ විවේචන සියල්ල එල්ල වූයේ රචකයා වූ මා වෙත ය. සමාදි බුදු හිමියන්ගේ නිවුණු නිසල පියොවත් ශාන්ත මහිමයත් වචනවලට නැඟීම සඳහා මවිසින් යොදන ලද "අඩවන් වූ දෙනෙතින්" යන යෙදුම, රාග නිශ්‍රිත යෙදුමකැ යි ප්‍රවීණතම විචාරකයන් විසින් පවා කියන්නට යෙදුණි. ඉන් අනතුරුව බොහෝ සේ ජනප්‍රිය වූ "සීගිරි ළඳකගෙ පුළුලුකුලේ සැලි නෙරිය ලතාවයි" නමැති ගීතය ප්‍රචාරය කිරීම ගුවන් විදුලිය විසින් ඕනෑකමින් ම බොහෝ සේ බාල කරන ලද්දේ ය. මේ අතර 1971 කැරලි සමය ද උදා විය. ඒ කාලයේ ගුවන් විදුලියේ තහනම් කළ ගීත වලින් එකක් වූයේ ද එම ගීතයයි. අපගේ ජාතික උරුමය පද චිත්‍රයකට නගන්නට මවිසින් දරන ලද එම වෑයම, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට නිගා කරනු සඳහා පබඳන ලද්දකැ යි ගුවන් විදුලියේ සංස්කාරකවරුන් විසින් තීරණය කරන ලද බවක් පසුව දැනගන්නට ලැබුණි. මේ කාරණය මවෙත සැළ කල උපහාසයෙහි බුහුටි මගේ මිත්‍රයා මට කියා සිටියේ, ඒ ගීයෙහි එන "ළඳ" යන වචනයෙන් බණ්ඩාරනායක මැතිනියට නිගා වන බවකි. ඉන් අනතුරු කාලපරිච්ඡේදයක දී සමාජ සංවර්ධනය උදෙසා වන ගීත කිහිපයක් රචනා කර දෙන මෙන්, එවකට ගුවන් විදුලියේ ප්‍රධානයාව සිටි රිජ්වේ තිලකරත්න මහතා විසින් අප බොහෝ දෙනකුට ආරාධනා කරන ලදි. සාහිත්‍ය කලා සේවනයෙන් හික්මුණු සංවේදීතාවක් ඇතිව සිටි රිජ්වේ තිලකරත්නයෝ සැබැවින් ම, ඉතා හොඳ සහෘදයෙක් වූහ. ඔවුන්ගේ ඉල්ලීම පිට මවිසින් පබඳන ලද එක් ගීයක් වූයේ, ටී. එම්. ජයරත්න සහ නිලා වික්‍රමසිංහ ඇතුළු පිරිස ගායනා කරන "බණ්ඩි ගොයම ගැබ් අරගෙන - අන්න බලන් ලඳේ" නමැති රචනයයි. මෙම රචනයෙහි ලා, තරුණ ගොවියකු තමාගේ අනාගත අස්වැන්න පිළිබඳව පමණක් නොව, තම ජීවිතයේ සශ්‍රීකත්වය ගැන ද සිතන සිතිවිල්ලක්, ගීයට නගන්නට මම වෑයම් කෙළෙමි. එකල්හි, බොහෝ සේ ජනප්‍රිය වූ එම ගීතය, ගුවන් විදුලි සංස්ථාව විසින් මුලින් ම නිකුත් කරන ලද ඇල්. පී. තැටියකට නඟන ලද නිර්මාණයක් ද විය. එහෙත්, මෙම ගීය ද අනවශ්‍ය සේ රාග නිශ්‍රීත හැඟුම් දනවන ලද කාම විලාපයක් සේ හඳුන්වා දෙන්නට, ඇතැම් විචාරකයෝ වෑයම් කළහ. මේ ගීතය මුල්කොට ගෙන ම ප්‍රධාන පෙළේ සති අන්ත පුවත් පතක් කිසියම් විවාදයක් ද ආරම්භ කෙළේ ය. එකී විවාදයේ දී මා ලියූ පිළිතුරක් පළ නොකිරීමට තරම් පත්තර සංස්කාරකයෝ අසාධාරණ වූහ. මා මේ කරුණු කිහිපය සටහන් කරන්නට අදහස් කෙළේ, කලක් තිස්සේ මගේ හිතේ තැන්පත්ව තිබුණු වේදනාවක් පිට කරන්නට නොව ඊට වඩා පුංචි කාරණයක් හෙළි කරන්නට ය. ඒ අන් කිසිවක් නොව ගීත කරණය, ගීතයක් තරම් මිහිරි නොවන බව කියන්නට ය.!

ගීතයත් සමඟ එකම වැළකට ඇමිණී මා වෙත පැමිණි දුර්භාග්‍ය සම්භාරය එතෙකින් අවසන් වූයේ නැත. තව බොහෝ විපත් පැමිණිවීඹට දෛවය තීරණය කර සිටියාක් වැන්න.

මේ අතර 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමේ ඓතිහාසික මංගලෝත්සවය ද උදාවෙමින් පැවැත්තේ ය. මෙතෙක් පැවති ඩොමීනියන් රාජ්‍යය, මුලු අරුතින් ම ස්වාධීන, ස්වෛරී, ජනරජයක් බවට පත්වීමේ දී අලුත් ජාතික ගීයක් හෙවත් ජනරජ ගීතයක් නිර්මාණය කිරීමට රජය තීරණයක් ගෙන තිබුණි. ඒ අනුව තරගයක් පවත්වා හොඳම ජනරජ ගීත රචනය තෝරා ගන්නා ලෙස, සංස්කෘතික අමාත්‍යාංශයට උපදෙස් ලැබී තිබුණි. එ පරිදි පවත්වන ලද තරගයේ දී, මුල් තැනට තේරුණේ මවිසින් පබඳන ලද ගීතයෙකි. මෙතෙක් කිසිම ප්‍රසිද්ධ ප්‍රකාශනයෙක මවිසින් හෙළි නොකරන ලද එකී කාරණය, මුල් ම වරට මා හෙළි කරන්නේ මෙතැන්හි දී ය.

මගේ රචනය තෝරාගත් බව දන්වමින් සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් මවෙත විදුලි පුවතක් ලැබුණි. එමඟින් ඉල්ලා තිබුණේ තෝරා ගන්නා ලද ගීතයට සංගීතවේදියකු ලවා සංගීතය යොදා නිෂ්පාදනය කර ගැනීමට මගේ සහයෝගය ලබාදෙන ලෙස ය. මෙම තරගයේ දී ජයග්‍රාහක ගීතයට රුපියල් දහසක ත්‍යාගයක් පිරිනමන්නට ද තීරණය වී තිබුණි. රුපියල් දහස, ඒ කාලයේ ලොකු මුදලක් විය.

මවිසින් රචනා කොට ජයග්‍රාහක ජනරජ ගීතය හෙවත් ජාතික ගීතය හැටියට තෝරා ගන්නා ලද එකී රචනය, කිසි විටෙක, කිසිවකුට, කිසිවකුගේ කට හඬින් අසන්නට නොලැබුණු බැව්, ඉතිහාසයට නිවැරදි වාර්තාවක් එක් කරනු සඳහා පමණක්, මෙහි ලා සටහන් කළ යුතු ය. ඒ ගීතයට අත්වූ ඉරණම පිළිබඳ සියලු කරුණු හෙළ කරන්නට මට හැකි වුවත්, මා එසේ කරන්නේ නැත. එයට හේතු දෙකක් ඇත. එකක්, එකී සිද්ධි දාමයට අයත් කිහිප දෙනකු ම දැන් ජීවතුන් අතර නැති වීමය. අනෙක, එයට සම්බන්ධ මූලික කිහිප දෙනකු, ස්වකීය බලයෙන් ද, යසෝ කීර්තියෙන් ද පිරිහී ඇද වැටී සිටීම ය. එබැවින්, මේ සිද්ධිය මින් ඉදිරියට මට වාර්තා කළ හැක්කේ නම් ගම්වලින් තොරව ය.

තරගයෙන් තෝරා ගන්නා ලද එම ගීතය නිෂ්පාදනය කළ යුතුව තිබුණේ ගුවන් විදුලි සංස්ථාවේ සංගීත අංශයේ සහයෝගයෙනි. එහෙත්, ඔවුහු එයට සහයෝගය නුදුන්නා පමණක් නොව, සහයෝගය දීම සපුරා ම ප්‍රතික්ෂේප කර සිටියහ. ඒ හේතු කොටගෙන, ගුවන් විදුලියට බාහිරව, කිසියම් සංගීත ශිල්පීන් තිදෙනකුගේ සහයෝගයෙන් එය නිෂ්පාදනය කර ගන්නට, මවිසින් තෙවැදෑරුම් ව්‍යායාමයක් දරන ලද්දේ ය. ඔවුන් ද මට නොපෙනුණු කිසියම් හේතු කිහිපයක් උඩ, පසු කාලයෙක දී එකී කාරියේ දී දුර්මුඛව ගියාහ. ඉන් අනතුරුව ජනරජ දිනයේ දී, එම ගීතය ප්‍රචාරය වීම කෙසේ වෙතත්, මට හිමි රුපියල් දහසවත් ප්‍රදානය කරන්නට, සංස්කෘතික දෙපාර්තමේන්තුව තීරණය කෙළේ ය. මම, ත්‍යාගය ප්‍රතික්ෂේප කෙළෙමි.

මේ අතර, මෙම කාරණය පුවත්පත් මගින් අනාවරණය කරන්නට, මම බොහෝ ස් දුක් ගතිමි. එහෙත්, කිසිදු පුවත්පතක් එයට ප්‍රසිද්ධියක් දීම ප්‍රතික්ෂේප කෙළේ ය. එසේ සිදුවූයේ කිසියම් බලවත් මිනිසකුගේ හස්තය පුවත්පත් දෙසට ද දිගු වී තිබුණු නිසා ය.

මේ අතර, මා දැන හැඳින සිටි මහලු අමාත්‍යවරයකුට කාරණය දන්වා සිටියෙමි. ඔහුට ද කළ හැකි කිසිවක් නොවී ය. මන්ද යත්, ඊට වඩා බලවත් උප අමාත්‍යවරයෙක් මෙම ප්‍රශ්නයට අත ගසා සිටි බැවිනි. මේ අතර, මා දන්නා හඳුනන, මා ජීවත් වන ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙක් මට මුණ ගැසුණි. ඔහු කියා සිටියේ මාක්ස්වාදියකු විසින් ලියන ලද ගීතයක් ජනරජ ගීතය සේ පිලිගන්නට ආණ්ඩුවේ බලවතුන් අතමැති බව ය. මේ අතර, ඔහු ප්‍රකාශ කල අනික් කරුණ වූයේ, මගේ ගීයේ ගණ පිහිටුවීම හොඳ නැතැ යි කිසියම් ප්‍රබල යතිවරයකු කියා ඇති බව ය. මෙම ඡේදයේ සඳහන් කළ අමාත්‍යවරයාත්, මන්ත්‍රීවරයාත්, යතිවරයාත් යන තිදෙනාම දැන් ජීවතුන් අතර නැති බැව් ද වාර්තාව සම්පූර්ණවීම සඳහා සටහන් කළ යුතු ය.

මේ අතර ගුවන් විදුලියේ තිර පිටුපස තව බොහෝ දේ සිදුවෙමින් පැවැත්තේ ය. දැන් ඉතින් ජනරජ උත්සවයට ගීතයක් අවශ්‍යම ය. එසේ හෙයින්, කිසියම් ගීතයක් හදිසියෙන් නිෂ්පාදනය වෙමින් තිබුණි. නිසි පියවර ගෙවා පැමිණි මගේ ගීතය නිෂ්පාදනය කිරීම ප්‍රතික්ෂේප කළ ගුවන් විදුලියේ සංගීත අංශය, හොර පාරෙන් පැමිණි ගීයක් යුහුසුළුව නිමවමින් සිටිනු දක්නා ලදි. ඒ කාර්යය උදෙසා මැති ඇමතිවරු කිහිප දෙනෙක් ද තවත් බලවතුන් කිහිප දෙනෙක් ද පැමිණ සිටියහ. සියලු ශ්ලිපීන් උදෙසා බුරියානි සංග්‍රහයන් කිහිපයක් පවත්වන්නට සිදුවූයේ ය. මෙපරිදි නිෂ්පාදනය කරන ලද කිසියම් ගීතයක්, ඒ රචකයාගේ නමින් ම ජනරජ උත්සව දිනයේ දී ප්‍රචාරයට පත්විය. එතැනින් ජනරජ ගීත තරගයත්, ජනරජ ගීතයත් සමාප්තියට පැමිණියේ ය. එකී ගීතය, ජනරජය ප්‍රකාශයට පත් වූ අවස්ථාවේ දී හැරෙන්නට, ඉන් පසු කිසි විටෙක ගායනය නොවූ බව ද සඳහන් කළ යුතු ය. එහි රචකයා ද දැනට ජීවතුන් අතර නැත.

එහෙත් මේ කතාව, මෙතැනින් ද අවසන් නොවෙයි. මේ සියලු අවුලට හේතුූයේ පාලන තන්ත්‍රයේ එවකට බලවත්ව  සිටී කිසියම් පුද්ගලයෙකි. සංස්කෘතිය භාර අමාත්‍යවරයකුව සිටිය ද සැබැවින් ම මුළු සංස්කෘති අංශය ම මෙහෙයවන ලද්දේ, කලාවට බොහෝ උරුමකම් ඇතැයි කියන ලද එකී බලවත් පුද්ගලයා විසිනි. ඔහුගේ ආධ්‍යාශයව තිබී ඇත්තේ අනාගතයේ දී ජාතික ගීතය බවට පත්වන ජනරජ ගීතයේ රචකයා බවට, තෙමේමපත්වීම ය. මේ සඳහා ඔහු කිසියම් ප්‍රසිද්ධ රචකයකුගේ සහයෝගය ලබා ගත්තේ ය. (එවැනි දේ සිදුවන්නේ අද පමණක් නොවේ) තරගය අභිබවා යමින් ස්වකීය අභිමතාර්ථය ඉෂ්ට කර ගැනීමට ඔහු වෑයම් කරමින් සිටියේ ය. ඔහුගේ ව්‍යායාමයට බාධාවක් ව තිබුණේ යටකී තරගයත්, එකී තරගයෙන් ජයග්‍රාහී වූ මගේ ගීතයත් ය. ඒ දෙකට ම විරුද්ධව, සතුරුකම් මතු වුනේ එහෙයිනි.

ඒ අතරවාරයේ දී, මවිසින් ද මගේ ශක්ති ප්‍රමාණයෙන් කිසියම් සටනක් දියත් කරන ලද බැව් නොකියා ම බැරි ය. එහි ප්‍රතිඵලය හැටියට වෙනත් ක්‍රියා මාර්ගයක් ගැනීමට යටකී බලවත් පුද්ගලයාටත් ඔහුගේ හිතවතුන්ටත් සිදු විය. එහෙයින්, යටකී තරගය අසම්පූර්ණ එකක් වී යැයි සඳහන් කළ ඔවුහු, ජනරජ ගීතය සඳහා නිර්මාණ ලියා දෙන්නැයි තවත් කිහිප දෙනකුට ආරාධනා කළහ. ඔවුනතරින් එක් තැනැත්තකු වූයේ මහගම සේකර ය. මහගම සේකර විසින් ඉතා හදිසියෙන් වුවත් හොඳ ගීතයක් නිර්මාණය කරන ලද බව පසුව ආරංචි විය. එහෙත් එම ගීතය ද ප්‍රතික්ෂේප විණි. මහගම සේකරගේ ගීතයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන "ජනරජ පිළිවෙත" නැත්තේ යැයි කිසියම් ඇමතිවරයකු විසින් ප්‍රකාශ කරන ලද්දේ ය. "එසේ නම්, කළ යුතුව ඇත්තේ ජනරජ ව්‍යවස්ථාවට තනුවක් දමා ගැනීම" යැයි මහගම සේකර කීවේ ලු. මහගම සේකරගේ එම ඓතිහාසික ප්‍රකාශය දැන් හෙළිදරව් ඇතත්, එම ප්‍රකාශයට පාදක වුණු සිද්ධි මාලාවේ නිධානය වූයේ ජනරජ ගීත තරගය පිළිබඳ සිද්ධිය බැව් බොහෝ දෙනා නොදනිති. දන්නා අය ද එය අමතක කරති.

අන්තිමේ දී මහගම සේකර ගේ ගීතය ප්‍රතික්ෂේප විණි. දැන් ඉතින් මේ අරුබුදය බොහෝ දුර දිග ගොස් ඇති නිසා, යටකී බලවත් පුද්ගලයා දර්ශනයේන මෑත් වීමට තීරණය කළ සේ ය. අන්තිමේ දී බලවතකුගේ නමින් අනාගත ජනරජ ගීතය වන්නට පෙරුම් පුරාගෙන ආ ගීතය, එහි රචකයාගේ නමින් ම ප්‍රකාශයට පත්ව , ඒ පරිච්ඡේදය අවසන් කරන ලද්දේ විය.

මා මේ සිද්ධිය හෙළි කරන්නේ, මට ලැබෙන්නට තිබුණු යසෝ කීර්තියක් අහිමිවීමෙන් ඇතිවුණු වේදනාව නිසා නොවේ. දෛවය මගේ දොරකඩටම ඇවිත්, මීට වඩා කෲර ලෙස සමච්චල් කළ අවස්ථා මගේ ජීවිතයේ කොතෙකුත් ඇත්තේ ය. දෛවය දුන් දේවල්වලට වඩා, මගෙන් පැහැර ගත් දේ වැඩි ය. මා මේ කරුණු හෙළි කෙළේ, ඉතා විශිෂ්ට කලා මාධ්‍යයක් පිටුපස, අතිශයින් ම ජුගුප්සාජනක දේවල් සියලු කල්හි ම සිදුවුණු බවත්, දැනුදු සිදුවන බවත්, අනාගතයෙහි වුව එය වළක්වන්නට බැරි බවත්, මගේ සහෝදර නවක ගීත රචකයින්ට නිවේදනය කරන්නට ය.

ගීත රචනය උතුම් කලාවක් බව තෘෂ්ණාවෙන් උමතු වූ මිනිසුන්ගේත්, ගැහැනුන්ගේත් පාපිස්නක් බවට පත් නොකිරීමට අපි හැම දෙනා ම තීරණය කරගත යුතු වෙමු. එහෙත්, අවාසනාවට මෙන් ඇතැම් ගීත රචකයින්, දැනුවත් ව හෝ නොදැනුවත්ව, සිය කලාව එවැනි මිනිසුන්ගේ බුමුතුරුණක් කළ අවස්ථා බොහෝ විට මම දැක ඇත්තෙමි. මා තුල වේදනාවක් ඇත්නම් ඇත්තේ ඒ කාරණය හේතු කොට ගෙන ය.

සියලු කලාවන් පවත්නේ එහි නිර්මාතෘවරුන්ගේ මමත්ය තුනී කරන්නට වෙතැ යි, බොහෝ කලෙක සිට මම ප්‍රත්‍යක්ෂ කර ඇත්තෙමි. එහෙත් අවාසනාවකට මෙන්, බොහෝ කලාවන් පවත්නේ එහි නිර්මාතෘවරුන්ගේ මමත්වය හුවා ද්වන්නට බැව් පෙනී යයි. මේ අතින්, වඩාත්ම කෙළෙසුණු ත්ෂේත්‍රය ගීත රචනය බැව් මම අවංකව කියමි. ගීත රචනය වූ කලී, ඇතැම් රචකයින්ට චාතුර්මහාරාජිකයට තබන ලද ඉණිමඟක් වැන්න. සමහරුන් කල්පනා කරන්නේ, ගීත රචනය වාහනයක් කොට ගෙන, තරුවෙන් තරුවට ඉගිලී ගොස් සියලු ග්‍රහලෝක අල්ලන්නට ය. ඇතැම් විට, මේ චේතනාව සංගීත ශිල්පීන් වෙතින් ද පළවෙයි. ජනමාධ්‍යයේ ආධිපත්‍යය හේතු කොට ගෙන ද, නන්විද ක්‍රමවලින් ජන මාධයය තමන්ගේ ප්‍රයෝජනය උදෙසා මෙහෙයවන්නට හැකිවීම නිසා ද, කනකු තුළ මේ චින්තනය පහළවීම පුදුම නැත. එහෙත් අවසාන ප්‍රතිඵලය වනුයේ කලාකරුවන් අතර පැවතිය යුතු උතුම් මිනිස් සබඳතාව ද, කල්යාණ මිත්‍රතාව ද බිඳ වැටී, කලාකරුවන් අතර සද්ගුණ පිරිහී යාම ය.

මේ අවනති ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන්, එක් නිදසුනක් පමණක් දක්වනු කැමැත්තෙමි.

ඉකුත් කාලයේ දී ලොකු කලහයක් පැවැත්තේ ය. ඒ වූ කලී, ගීතයේ ස්වාමීත්වය පිළිඳව ය. ගීතය අයිති තමන්ට යැයි රචකයෝ කියා සිටියහ. ඔවුන්ට නොව තමන්ට යැයි සංගීතවේදීහු සටන් කළහ. මේ අතර ගීතයේ ස්වාමීත්වය ඇති හැටියට ජනමාධ්‍යයන් විසින් නිතර හුවා දක්වනු ලබන ගායන ශිල්පීහු, තමන්ට එහි අයිතිය ලැබී ඇති හෙයින් දෝ, නිහඬව සිටියහ!

ගීතයේ ස්වාමීත්වය පද රචකයා සහ සංගීත රචකයා සතු අයිතියකැයි නීතිය සලකන බවක් මා අසා ඇත. එහි ඇත්ත නැත්ත සොයා බලන්නට මම කිසි විටෙක නොවෙහෙසුනෙමි. කෙසේ වෙතත්, ගීතයේ ස්වාමීත්වය පිළිබඳ ඇති කරන ලද මෙම කලහය අතිශයින් ම හීනදීන නීච ව්‍යායාමයක් වූ බව, මගේ පෞද්ගලික පිළිගැනීම ය.එමගින් සිදුවූයේ අනවශ්‍ය විවාදයක් මතු කොට, කලාකරුවන් අතර නිවට තරගයක් ඇති කිරීම ය.

ගීතය වූ කලී, සාමුහික ප්‍රයත්නයක් බවට කිසිදු වාදයක් ඇත්තේ නැත වෙනත් වචනවලින් කිවහොත්, හොඳ ගීතයක් බිහිවූ පසුව, එය නිර්මාණය කිරීමට දායක වූ හැම දෙනාට ම, ඒ තුළ තමන්ගේ කිසිවක්  ඇතැ යි තෘප්තියට පත්විය හැක. ඒ අතින් ගීතය අරුම පුදුම සාමුහික කලාවකි.

ගීතය කාගේ වුණා ම මොක ද?

කිසිවකු ඒ ප්‍රශ්නය නැඟුවේ නැත. එහි ප්‍රතිඵලය වූයේ, කලාවේ සියලු සීමාවන්ගෙන් ඈත් කල යුතු අන්තුක්කංසනය හා පරවම්භනය උතුම් කලාවක් තුළට පිවිසීම ය.

ගීතය කාගේ වුවත්, ගීතය අයත් වන්නේ රටකට හා ජාතියකට ය. මා හිතන හැටියට ගීතයක ස්වාමීත්වයත්, විනිශ්දයත් එයම පමණි. රචකයින් හැටියට අපගේ වෑයම විය යුත්තේ, අපේ රටත්, ජාතියත් විසින් අයිති කරගන්නට තරම් සුදුසු ගීතයක් නිර්මාණය කිරීම ය. මා ලියූ කිසියම් ගීයක් මට අයිති නොවේ. රටටත්, ජාතියටත් අයිතිවන දිනක් පැමිණේ නම්, ජීවිතයේ මට ලැබිය හැකි උතුම් ම ප්‍රතිලාභය එය ම වෙයි. සටන් කළ යුත්තේ තමාගේ ගීතය අයත් කර ගන්නට නොව, එය තම රටටත්, ජාතියටත් දෙන්නට ය. හැකි නම්, රට සහ ජාතිය ඉක්මවා මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම ප්‍රදානය කරන්නට ය. ගීතය පමණක් නොව සියලුම කලාවන් පිළිබඳ නිර්මාතෘන්ගේ අවසාන ඉෂ්ටාර්ථ සිද්ධිය එය නොවේ ද? සියලු කලාවන් දේශ සීමාවන් ද, කාල සීමාවන් ද, අතික්‍රමණය කරමින්, සර්වදේශීය ද සර්වත්‍රික ද වන බැව් නිරන්තරයන් මෙනෙහි කිරීම, ගීත රචකයින් විසින් පිහිටිය යුතු අවශ්‍යතම ශික්ෂණය බැව්, මෙහි ලා සමාව අයදිමින් වුවත්, සටහන් කරන්නට මම කැමැත්තෙමි.

මේ පිළිසඳර බොහෝ දිග වැඩි ය. එව අවසන් කළ යුතු මොහොත පැමිණ ඇත්තේ ය. එහෙත් ඊට කලින් සටහන් කළ යුතු තව එක් කරුණකි.

මවිසින් රචනා කරන ලදුව, දැනට මා වෙත ඇති, කලින් පළ කළ සහ පළ නොකළ ගීත එකසිය සොළොසක් මේ කෘතියට ඇතුළු වෙයි. ඒ ගී බිළිබඳ රස විනිශ්චය කරන්නට මට අයිතියක් වත් සුදුසුකමක් වත් ඇත්තේ නැත

එහෙත් ඒ ගීත ද විනිශ්චයට ලක් කෙරෙමින්, සිංහල ගීත සම්ප්‍රදාය ගැන, කැලණිය සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජිනදාස දනන්සූරිය ධීමතුන් විසින් ලියන ලද මහාර්ඝ රචනයක්, මෙම කෘතියේ පූර්විකාව හැටියට දැක්වෙයි. එක් සමයෙක්හි මගේ ශිෂ්‍යවරයාණ කෙනකුන්ව සිටි දනන්සූරිය සූරීන්ගෙන්, මෙසයෙහි මම, සාහිත්‍ය කාවට ද අවශේෂ ශික්ෂණයන්ට ද අදාළ බොහෝ දේ දැන කියා ගතිමි. මගේ ගී, ඔවුන්ගේ දැඩි විනිශ්චයට ලක්වීම තරම් අනෙක් භාග්‍යයක් මට ඇත්තේ නැත.

මගේ "ගී සින්දු" කෘතිය මෙන් ම, මෙම ගී එකතුව ද දිවා එළිය දකින්නේ, මා සන් මිත්‍ර රඹුකන සිද්ධාර්ථ හිමියන් නිසා ය. අර්ථ සම්පන්න ගීත රචනයෙහි මන් ම, කාරණා කටයුතු සංවිධානයෙහි ද නන්විධ කාර්ය සිද්ධියෙහි ද උන්වහන්සේ සතුව ඇති බුහුටිකම, කෙනකු තුළ ඊර්ෂ්‍යාව දනවන තරම් ය. එහෙත් එහි ප්‍රතිලාභ, උන්වහන්සේට නොව, මෙරමාහට ම ය.

දුක සැප ද යසස, අයස ද උදාකෙරෙමින්, අටලෝ දම් සක අනවරතයෙන් බ්‍රමණය වන සඳ, සෙවනැල්ලක් බඳුව, නිබඳින මා වෙතම සිටින විජයසිරි අමරතුංගයෝ. මෙම අත් පිටපත ද පිළියෙළ කළහ.

ඒ හැම දෙනාටත්, මුද්‍රණ කටයුතු කළ වින්සන්ට් කුරුඹාපිටිය මිතුරාණන්ටත්, සහෝදර මුද්‍රන ශිල්පීන්ටත් බැති සිතින් හිස නමා සිටිමි.

ඩබ්ලියු. ඒ. අබේසිංහ

68. පන්සල පාර,            කුලියාපිටිය