සාහිත්‍යය හා කලාව

සුනිලා විජේසිංහ කිවිඳියගේ නිර්මාණ අගැයීමකට ඉඩ හසර

අවසානයේ දී

මල් උයනකැයි සිතා
ආදරය කළා කටු අකුලකට
සිල් සුවඳකැයි කියා
පෙම් කළා විලවුනෙක සුවඳකට

හිරු පහනයැයි සිතා
රැවටුණා කදෝකිමි එළියකට
පැටලුණා විෂ දියර බඳුනකට

ඇවිලුණා ආත්මය
කුරිරු මනු සිතක ගිනි දළුවකට
දුකක් නෑ - ආත්මය
දිය වුණානම් මිනිස් කඳුළකට

මේ සුනිලා විජේසිංහ නම් කිවිඳිය ගේ කුළුඳුල් පද්‍ය සංග්‍රහයේ එන විසි නම වැනි පදවැල යි. රන් පොකුණ නමින් සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය සුනිල් විජේසිංහ නම් කිවිඳිය එළිදක්වන්නේ 1993 වසරේ දී ය.

ඇගේ රන් පොකුණ නම් වන මේ කවිපද එකතුවට පෙරවදනක් ලියා ඇත්තේ ප්‍රතිභාපූර්ණ කවියකු, සම්මානනීය ගේයපද රචකයකු, සිනමා පට අධ්‍යක්ෂවරයකු සේ කලාකෙතේ නේක විධ දස්කම් පෑ අපේ ළබැඳි සොවුරකු වූ දිවංගත ධර්මසිරි ගමගේ නම් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීයා විසිනි.
ඔහු සුනිලා ගේ නිර්මාණකරණයේ ඇති විශේෂත්වය ගැන මෙසේ සඳහන් කරයි.

සුනිලා විජේසිංහ නව පරපුරේ කිවිඳියන් අතර ඉහළ ප්‍රතිභාවක් දැක්වූ කිවිවරියකි. "රන් පොකුණ" නම් මේ කාව්‍ය සංග්‍රහය ඇගේ කිවි ගුණ රුව අපට කැටපත් කර පෙන්වයි.

මෙයට දශකයකට පමණ පෙරදී යොවුන් ජනතා පුවත්පතට සුනිලා සැපයූ නිර්මාණ තුළින් ඇගේ ප්‍රතිභාව මම හැඳින සිටියෙමි. එදා මොදු වූ කවි පුෂ්පය මිණි දැදිරිව සුවඳ නගනු අද දැකිය හැකියි.

ජීවන අත්දැකීම් ඇයට ආවේණික කවි රටාවකින් ගෙත්තම් කැර ඇති අයුරු ආශ්වාද ජනකය. අප අත් විඳින ලොවෙන් එහා ඇති කිවි ලොවට ඇය අප කැටුව යයි. අත් විඳි දෙයෙහි මෙතරම් විසිතුරු බවක් ආනන්දයක් සහ තවත් සියුම් පැතිකඩ මෙවන් ප්‍රමාණයක් තිබිණි දැයි ඇය අපට සිතන්නට සලස්වයි. එය සුනිලා සතු කිවි කුසලතාවේ මහඟු ඵලය ලෙස අපි හඳුනා ගනිමු.

- ධර්මසිරි ගමගේ -

ඒ අදින් වසර විසි හතකට පෙර සුනිලා විජේසිංහ නම් කවිකාරිය ගැන අපේ ධර්මසිරි අයියා තබා ඇති සටහන යි. රන් පොකුණට ඈ නමස්කාර කරැති අයුරු බලමු.

විසල් ගුදම් තුළ සුරා රැස් කෙරේ. නමුත් සිංහ තෙල් රැස් කෙරෙන්නේ කුඩා මංජුසා තුළ ය. ගුණාත්මක කවියක් ද සිංහ තෙල් පිරවූ කුඩා මංජුසාවක් බඳුයැයි මට සිතේ. නවකතාකරුවකුට මෙන් බොහෝ සේ වචන යොදමින් දිගින් දිගටම තම අදහස විස්තර කරන්නට කවියෙකුට අවකාශයක් නැත.

ඒ අනුව බලන විට 'කවියා' තුන්වක පංතියේ නිර්මාණකරුවකු නො වන්නේම ය. එසේ වී නමුත් සත්‍ය වශයෙන් ම අද අපේ රට තුළ 'කවිය' හා 'කවියා' ද අනෙකුත් නිර්මාණශීලී කලා ක්ෂේත්‍රයන් හා සසඳන තුන්වන පංතියෙහි ලා සලකනු නො ලබන්නේ ද?

කෙසේ හෝ වේවා, මා ද මට මතක ඇති කාලයේ ටන් කවි ලියූ බව මතක ඇත. මා සිතන හැටියට, ඉතාම සුසංවේදී සිතක් මා සතුව පවතින බැවින්දෝ, මට අත්දකින්නට - දකින්නට - අසන්නට හෝ කියවන්නට ලැබෙන නොයෙකුත් ජීවන අනුභූතීන් ඇසුරෙන් නිහඬ විරාමයකදී මගේ අතින් කවියක් ලියැවේ.
ජාතික සමගිය තේමාව කොට ගත් කවි මා අතින් නිතර ලියැවුණේ කුඩා කල පටන්ම වතුකරය ආශ්‍රිත ප්‍රදේශයක මා ජීවත් වූ බැවින් විය යුතු ය. තේමාව එකක් ම වී නමුත් ඒ කවි ලියැ වුණේ එම පරිසරය තුළ දී මා ලැබූ සිත් සසල කරවන සුළු වූ විවිද සංසිද්ධීන් ඇසුරෙනි.

මෙහි ඒන තවත් කවි කිහිපයකටම තේමාවී ඇත්තේ 'අම්මා' ය. 'අම්මා' ඔබටත් මටත් මිහිමතදී කියවන්නට ලැබෙන මිහිරිතම කවියයි. එමෙන්ම විවිධාකාර මල්වල සුවඳ විවිධාකාර වනවා මෙන්ම නොයෙකුත් ආකාරයන්හි අම්මාවරන් අපට තැන තැන මුණ ගැසේ. නෙයෙක් ආකාරයේ අම්මාවරුන් පිළිබඳ මා අතින් කවි ලියැවුණේ එබැවින් විය යුතු ය.

එලෙස මා වරින් වර ලියූ කවි කිහිපයක් මෙලෙස එක් කොට කව් පොතක් ලෙස එළි දක්වන්නට ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ කාරුණික අනුග්‍රහය නො ලැබුණා නම් සමහර විට මේ කවි මගේ පරණ පොත් පිටු හා ලිපි ගොනු අතරේ ම දිරාපත් වී යන්නට හොඳටෝ ම ඉඩ කඩ තිබිණි.
මෙහි ඇතුළත් වන සමහර කවි මා ලියුවේ දැනට දස වසරකට එපිටදීය. එදා මෙදා තුර මා ලියූ ඒ කවි කවි එකතුවක් බවට පත් කරන්නැ යි මා දිරිමත් කළේත් ඒ සඳහා මට සවිමත් අත්වැලක් වූයෙත් මගේ දයාබර සැමියා චන්ද්‍රසිරි දොඩන්ගොඩ ය.

මා පාසල් දැරියකව සිටිය දී නිර්මාණකරණයට පිවිසෙන්නට මට පළමුවෙන්ම දොරටුවිවර කොට දුන්නේ සොඳුරු පසුබිමැති කිතුල්ගල කල්‍යාණියේ කළ්‍යාණි බිතුපත යැයි පැවසුවහොත් එය නිවැරදි වනු ඇත. එම බිතුපතෙහි පීතෘත්වරයාණන් වූයේ එකල ඉතා මිහිරි ලෙස අපට සිංහල පාඩම උගැන්වූ පුංචිහේවා ගුරු මහත්මයා ය.

අනතුරුව ගුවන් විදුලියේ කණිටු සරසවිය, රේඩියෝ සඟරාව, තරුණ හමුව, පිළිසඳර, මධුමාධවී, නව පදමාලා වැනි වැඩ සටහන් තුළින් ද දිවයින, නවලිය, සිළුමිණථ සිරිකත වැනි පුවත් පත් හා 'උල්පත' කවි කොළය තුළින් ද මගේ කවි අසන්නට හා කියවන්නට ලැබීමෙන් මා ලදුයේ නොමඳ සතුටකි. නොපටු දිරියකි. එම ගුවන්විදුලි වැඩ සටහන් නිශ්පාදකවරුන් සහ පුවත්පත් සඟරාදියේ සංස්කාරකවරුන් එවකට එලෙස මට අත දුන්නේ කිසිදු දැන හැඳුනුම්කමකින් තොරවය.

නිර්මාණකරණයේදී යොවුන් ජනතා පුවත්පත ඇසුරෙන් මටත් මා වන් වූ නිර්මාණශීලී සහෝදර සහෝදරියන් බොහොමයකටත් පියාණන් කෙනෙක් සේ සෙනෙහසින් අත හිත දුන්නේ ධර්මසිරි ගමගේ කලාකරුවාණෝ ය. මෙහි පිටකවරය කදිම නිමාවකින් සරසා දුන් ශාන්ත කේ. හේරත් සහෝදරයාට ස්තුතිවන්ත වෙමි. මගේ අම්මා තාත්තා, සහ පවුලේ සොයුරු සොයුරියන් ද මගේ කවි අසා කියවා සැබෑ සිතින්ම සතුටු වූහ. මට සුබ පැතූහ.
මේ සියලු දෙනා මට මගේ රන් පොකුණේ නිසල නිකසල, පැහැදුල් දිය දෝතක්ම ය. සහෘදයෙනි, මෙහිදී මා ඔබ සැම සිහිපත් කරන්නේ මහත් වූ සෙනෙහසිනි. සොම්නසිනි. ස්තුති පූර්වක හදවතිනි.

සුනිලා විජේසිංහ කිවිඳිය සිය කුළුඳුල් නිර්මාණ කෘතියෙන් ම කිනම් දිසානතියක් වෙත පිය නඟන්නේ දැ යි රන් පොකුණට පසුවදනක් එක් කරන අපේ ධර්මසිරි කිවිසුරාණෝ පෙන්වා දී ඇත්තාහ.

ඔහු විසින් ඇගේ කුසලතා කෙබඳුදැ යි ඔහු කරනා සටහනින් බෝ පැහදිලි වන්නේ ය.

සුනිලා ගේ රන් පොකුණ පැදිවැල් තිස් එකකින් සරසා ඇත. ඇගේ පබැඳුම් තිස් එකෙන් තවත් එක් කවි වැලක් මෙසේ සටහන් කරන්නේ අදින් හවුරුදු විසි හතකට පෙර ඈ සිත කළඹන ලද යම් යම් සිද්ධීන් නිසා උපන් ඇගේ හැඟීම් දැනීම් සහෘද අප වෙත දක්වාලන්නට කෙතරම් සංවේදී මනසක් ඈ සතු නිසා දැ යි බලන්නට මෙ කව හේතු පාදක කරගනිමිනි. මේ එම කාව්‍ය සංග්‍රහය ආරම්භක පැදි පෙළ යි.

අම්මා
අහංකාර ලොවේ විසුළු අවිහිංසක වෙද කෙලෙසෙක
නිලංකාර වේ නෙතු යුග ගමන් යදී දුක් කඳුළෙක
සිත සනහන දසුනක් නැත ගිම්හානය මිස විරිසක
පින්තාලිය වේය එසඳ නුඹේ මතක මග අයිනෙක

මල් පාර් මං වැරදී හඬා වැටෙන රෑ යාමෙක
ඉහට උඩින් නුඹ දිසෙනා දිස්නය වී තරු රෑනෙක
හද සුපැතුම් පහන් නිවී ළගැවෙන ගනඳුරු යාමෙක
රන් කොත වී නුඹ දිලෙනා අඳුර පොවා එක හීයෙක

කලාතුරෙන් විඩා නිවා පොද වැස්සක් වට දවසෙක
මගේ ළඟින් පිපෙන සිනා නුඹේ සතුට මිස කවරෙක
පය පැටලී බිම ගිලිහී තනිව පමා වන නිමෙසෙක
මගේ කඳුළු මම නොදකිමි නුඹ නෙත හැර අන් දෙනෙතෙක

එවන් මෙනුඹ සෙවනට - මං එනවා හෙට ගම්මානෙට
නුඹ දෙනයන සැබෑ සෙනේ සිහිලස යට නිවාඩුවට
සුරංගනා කතා පොතක උණුසුම සිහි වේ ළය පිට
උවම් මොටද - පැල දොරකඩ නුඹේ හිනා මුව මඬලට

සුනිලා ගේ නිර්මාණ ගැන කතා කරන්නට අපි ඔබට වේදිකාවක් සැකසුවෙමු. හෙළදිව් හි කවි කිවිඳියනට රන් පොකුණෙන් දිය දෝතක් මෙහි බහාලන්නේ ප්‍රවීණ මෙන් ම අංකුර නිර්මාණකරුවට හා නිර්මාණකාරියනට මෙහි බොහේ ඉඩකඩ ඇති වග සිහිපත් කරමිනි.
- සුගතපාල මැන්දිස් -