හනී - නවකතාව

හනී – නවකතාව 9 වන කොටස

අපේ ඉස්කෝලෙ හරිම ලස්සන තැනක තියෙන්නෙ කියල මං කලින් කිව්වත් ඒ ගැන තව කොච්චර දේ කියන්න පුළුවන් ද? අපේ පන්තියෙ ටීචර් හරීම හොදයි. ඒ වගේ ම ඈ හරිම ලස්සන යි.ඈ කෙට්ටු යි. උස යි. පන්තියෙ ළමයි ඔක්කෝටොම ඈ දක්වන්නෙ එක වගේ කරුණාවක්. ආදරයක්.

හොයිලා (HÒYLÁ) කියන්නෙ අපේ ගමට නේ. ගමේ ඉස්‍කෝලෙ තියෙන්නෙ එක ම එක ගොඩනැගිල්ලක් විතර යි‍ නේ. අපේ ඉස්කෝලෙ ගුරුවර ගුරුවරියන් හිටියෙ හය දෙනක් නැත්තං හත් දෙනෙක් විතර. අපේ ටීචර් වගේ ම ඒ අනිත් ගුරුවර ගුරුවරියනුත් හරිම හොඳ යි. ඔක්කෝම ළමයින්ට හරිම ආදරෙයි.

පුංචි කඳුගැටයක් උඩ තියෙන අපේ ඉස්කෝලෙට පහලින් ඇති පා‍රෙ පොඩි පොඩි වංගු කීපයක් තියෙන හින්ද උඩ ඉඳන් බලන කොට පේන්නෙ හරිම අපූරුවට. මං ඉස්කෝලෙ ඉස්සරහ ඉඳන් ඒ පාර දිහා බලන් ඉන්නෙ ඇහැ නො පියා. විටෙක පාර නො පෙනී යන්නෙ ගහ කොළ උසට වැවිල තියෙන තැන්වලින් විතරයි. ඒ පාර කිලෝ මීටර බාගයක් තරම් දුරට විහිදී ඇති දර්ශනය හිතට ගෙන දෙන්නෙ මොන තරම් සතුටක් ද? මං පන්තියෙ තවත් ළමයින් තුන් හතර දෙනෙක් එක්ක පාර දිගේ දුවන වාහනත්, අශ්වයොත්, මිනිස්සුත් දිහා බලා හිටින්නෙ අත්පුඩි ගගහ බව දැනුත් මතක් වෙන කොට දැනෙන්නෙ කියන්න බැර තරමෙ සංතෝෂයක්.

අපේ ඉස්කෝල වත්තෙ ගොඩාක් ගහකොළ තියෙන හින්ද කුරුල්ලන් හුඟාක් දකින්න පුළුවන්. මං යාළුවන් එක්ක උන් අල්ල ගන්න කියල කුරුල්ලන් ඉන්න තැනකට යනකොට ම උන් රූං ගාලා වෙනත් තැනකට පියඹනවා. අපි එතැනට යන විට රෙත්ත ම වෙනත් දිහාවකට තටු සලනවා. අන්තිමට අපිට වෙන්නෙ හති හල හලා ඉන්න වෙන එක විතරයි.

මට යාළුවන් තුන් හතර දෙනෙක් හිටියත් එක යාළුවකුගෙ නම විතරයි දැන් මට මතක. ඈ රීටා (Riita) අනිත් කීප දෙනාගෙ නම් අමතක නිසා හිතට දැනෙන්නෙ කියන්න බැරි තරමෙ දුකක්. රීටා මට වඩා ටිකක් උසයි. මට වඩා චුට්ටක් විතර කෙට්ටුයි.

අපේ ටීචර් මට ගොඩාක් ම ආදරේ මට තේරුණේ ඈ මට දැක්වූ දයාව, කරුණාව නිසා. ඒකට මූලික ම කාරණාව මං හිතන්නෙ පන්තියෙ දි අනිත් ළමයින් දක්වන සබකෝලය මයෙ ළඟ නො තිබුණු හින්ද වෙන්නැති. අනිත් කාරණේ හැටියට මට හිතුඛණ මං පන්තියෙ වැඩ කිසිම දවසක අතපහු කළේ නැති හින්ද බව මට තේරුණා.

ටීචර් අපට කියා දෙන කවි, සින්දු ඔක්කෝම මට හොඳට කටපාඩම්. අනිත් ළමයි ඒවා කියන්නෙ ටිකක් ගොත ගගහ වගේ. සමරුන්ට කවියක හරි සින්දුවක හරි පද දෙක තුනක් අමතක වෙනවා ටීචර් ළඟට ගිහින් ගයන්න ගියහම. ඒත් මං නං කිසිම දවසක ටීචර් ඉස්සරහ හරි ළමයින් ඉස්සරහ හරි ගොත ගැහුවෙ නෑ, ඒ හින්ද මං ටිකක් ආඩම්බර වුණා කියල මට දැනුත් මතකයට නැ‍ඟෙනවා. ඒ ගැන දැනුත් මට තියෙන්නෙ තරමක ආඩම්බරයක්.

රීටා මට හුඟාක් හිතවත් වුණේ ඉස්කෝලෙ ගිහින් දවස් කීපෙකට පස්සෙ පව මතකයි. ඈත් මාත් ඉස්කෝලෙ ඇරුණහම  කන්ද බහින්නෙ පුංචි කිරිල්ලියන් දෙන්නෙක් පියඹනවා වගේ බෝම සෑල්ලුවෙන්. අපි දෙන්නා කන්ද බැහැල පාරට ආපු සැණින් ඈ දුවන්න පටන් ගන්නවා. එතකොට මයෙ හිතට ඈත් එක්ක තරහක් රිංගනවා.

''රීටා ඇයි දුවන්නෙ... අනේ හෙමින් යංකෝ... මට දුවන්න බෑ. මං හයියෙන් කෑ ගහල කියනවා." සමහර දවස්වලට ඈ මයේ කීම ගණන් ගන්නෙ නැතිව වගේ පස්ස නො බලා ම දුවනවා. ඒත් ඉතින් හැම දවහක ම නං නෙවෙයි. ඉඳ හිට වගේ.

ඈ මාව මඟ හලලගිය දවසට පස්සෙන් දා එයා මගේ ළඟට එන්නෙ හරිම දුකෙන් වගේ. ඇවිත් මොකක් හරි බොරුවක් කියල මයෙ හිතේ කේන්තියක් ඇත්තං නිමල දමන්නත් ඈ හරිම දස්සයි.

" ඊයෙ අපි රවුටවාරා ගියා.  එහේ යන්න ඕනැ හින්දයි හනී මං දුවල ගදර ගියේ. ඔයා මාත් එක්ක තරහ නෑ නේ ද හනී"

"ඊයෙ අපේ ලොකු මාමාලා ගෙදර එනව කියා අම්මා කියුවා. මට ඉස්කෝලෙ ඇරෙන කං ඉන්න බැරිවයි හිටියේ. ඒකයි මං ඔයා කෑ ගහද්දිත් දුවල දුවල ගෙදර ගියේ. අනේ ඒ හින්ද ඔයා මාත් එක්ක තරහ වෙන්නෙපා හනී"

එ වගේ මොකක් හරි දෙයක් ඈ කියන්නෙ මං තරහ වෙලා ඇති කියන බයට වෙන්නැති.

මං ඈත් එක්ක තරහවෙලා මොනවා කරන්න ද? ඈ නේ මගේ හොඳ ම යාළුවා. ඇයි මං එහෙම කියන්නෙ කියල කවුරුත් දන්නෙ නෑ. ඒත් ඒ ඇයි කියන එක කිව්වොත් හොඳයි කියලයි මයෙ හිත කියන්නෙ.

මට ඉස්කෝලෙට අඳින්න තිබුණෙ ගවුම් දෙකක් විතරයි. ඒ ගවුම් දෙක ම තමා මං ගෙදරටත් ඇන්දෙත්. ඉස්තෝලෙට ඇන්දෙත්‍. ඉස්කෝලෙ ගිය මුල් ම දවසට කලින් දවසෙ ලොකු අප්පොච්චි රවුටවාරා ගිහින් කියෝ අයියට කලිසන් කමීස ගන්න ගමන් මටත් ගවුමක් ගෙනැවිත් තිබුණා. ඒක තමා මං මුලින් ම ඉස්කෝලෙ ගිය දවසෙ ඇන්දෙ.

ඉතින් පන්තියෙ ළමයින් සමහර දවස්වලට මට විහිළු කරනවා මට හරියකට ඉස්කෝලෙට අඳින්න ඇඳුම් නැති හින්ද. වැඩියෙන් ම රවටන්න ගෑනු ළමයි. පිරිමි ළමයිත් කෙල්ලො මට ඔච්චම් කරන කොට හවුල් වෙනවා. ඒත් මගේ මතකෙ හැටියට නං රීටා කිසිම දවසක මගේ ඇඳුම් ගැන ඔච්චම් ‍කරල මයෙ හිතට දුකක් ඇති කළේ නෑ කියන එක මගේ ජීවිතේ  කිසිම දවසක අමතක වෙන්නෙ නැති කාරණාවක්. ඉතින් මං කෝමද පුංචි රීටා එක්ක පුංචි වැරැද්දකට වුණත් තරහක් මරහක් වෙන්නෙ.

ටීචර් ඉස්කෝලෙ දි කියා දෙන කට පාඩම් කරවන කවි, සින්දු ගෙදරදි පාඩම් කළේ ලොකු අම්මා මට පවරණ එක එක වැඩ කර කර. ඒ හින්දා බොහොම වෙලාවට ඒ වැඩ කොච්චර අමාරු වුණත් අසීරු වුණත් මට ගාණක් මානක් නෑ. ඒක හින්ද ගෙදර වැඩත් ඉස්කෝලෙ වැඩත් මං හරියට ම කළා කීවොත් ඒකෙ වැරැද්දක් නෑ.

මට කවි කියන්න සින්දු කියන්න පුළුවන් වුණා වගේ ම ලස්සනට නටන්නත් හොඳට පුළුවන් ය කියන කතාව කී දොහක් මං අපේ ටීචර්ගෙන් අහල තියෙනව ද?

එතකොට පන්තියෙ අනිත් ළමයින් ඔක්කොම කට්ටිය මා දිහා හොඳ හැටි බලා ඉන්නවා මං දකිනවා. සමහර ළමයින් බලා ඉන්නෙ මා දිහා ඇස්ගෙඩි ලොකු කරන්. මට වගේ ඒ කට්ටියට කවි කියන්න සින්දු කියන්න විතරක් නෙවෙයි නටන්නත් බැරි හින්ද ඒගොල්ලන්ට දුක හිතෙනව වෙන්නැති.  මටත් බොහොම වෙලාවට එහෙම දුකයි වේදනාවයි හොඳට දැනිල තියෙනවා නේ ලොකු අම්මා කරන වැඩ හින්ද. ඒ ළමයින් ගැන මට පව් කියල හිතෙනවා... ඉතින් ඒක... දෙවියන් වහන්සේ මට දුක් කරදර විඳවන්න දීලා තියෙනව වගේ ම සින්දු කියන්නත් කවි කියන්නත් නටන්නත් අනිත් අයට වැඩියෙන් මට දීලා තියෙනව කියල යි මට හිතෙන්නෙ.

එයින් මට වාසිවලට වැඩිය අවාසි වැඩියෙන් සිද්ධ වුණා. එහෙම වෙන්නෙ පන්තියෙ ළමයින් ගෙන් නෙවෙයි. අපේ ගෙදර ඇත්තන් ගෙන්. ඒකට හේතුව හැටියට මං හි‍තුනෙ කියෝ අයියාට පන්තියෙ වැඩ බැරි හින්ද වෙන්නැති‍ එයා ගෙදර ගිහින් ලොකු අම්මට කියනවා මට පන්තියෙ ටීචර් ගොඩක් ආදරේ බව. මට හොඳට නටන්න සින්දු කියන්න කවි කියන්න පුළුවන් ය කියා අ‍පේ ටීචර් නිතර ම වගේ කියනව කියා. කියෝ අයියා එහෙම කියුවහම ලොකු අම්මා මං දිහා බලා ඉන්නෙ හරියට යස්සනියක් වගේ.

ඇස් ලොකු කරන්, කට උල් කරන් ලොකු අම්මා මං දිහාවට හැරිලා හරි ඔලොක්කු වචනවලින් මට දමා ගහනවා. ඇගේ නරක හැසිරීම් දැක්කහම මට හිතෙන්නෙ ආයෙ දෙකක් නෑ ඒ වචනවල නිශ්චිත තේරුමක් මට නොතේරුණාට එවායින් මොනව හරි දෙයක් මට වටහ ගන්න පුළුවන්.

''ආහ් ‍‍ එහෙනං උඹත් උඹේ අම්මා වගේ ම හොඳ නැට්ටුක්කාරියක් නෙවැ. උඹ අම්මා වගේ නූණොත් තමා වැරැද්ද. අම්මත් එක එකා එක්ක හොඳට නටල නටල අඩව් අල්ලලා නෙවැ අන්තිමේ දි දෙන්නෙක් ම එළියට දැම්මෙ.උඹත් දමාවි ඒ වගේ ම නටල නටල තුන් හතර දෙනෙක්වත් අඩු තරමින්.... උඹත් එහෙනං හොඳ නැට්ටුක්කාරියෙක් එහෙනං.....

ඈ මං දිහා කන්න වගේ බලන් ඉඳල ඉඳල කියන කතා දැන් මට අහල අහල ම හොඳට හුරු යි පුරුදු යි. මට තේරෙනවා ඈ මට නපුරු කං දුෂ්ට කං කරන්නෙ පන්තියෙ ටීචර් මට ගොඩාක් ආදරේ කරුණාව දක්වන හින්ද කියල. මං ඉස්කෝලෙ ගුරුවරියන් ගෙ හිත් දිනන් ඉන්න හින්ද කියල ඉතින් එයාගෙ පුතා පන්තියෙ වැඩ නොකර හිටින එකට මං මොනොව කරන්න ද?

ගෙදර ඇවිත් ඉස්කෝලෙ කතා ඔක්කොම ලොකු අම්මා‍ගේ කනේ ති‍යන කියෝ අයියා ඉස්කෝලෙ වැඩ අතපහු කරල කරල හුඟක් දවස්වලට මගේ පොත් උදුරන් කොපි ගහල ටීචර්ට පෙන්නනවා. හැබැයි කියෝ අයියා වස කපටියා. එයා මගෙන් ඔක්කොම කොපි කර ගන්නෙ නෑ, එකක් දෙකක් වැරදියටත් ලියනවා. අතරින් පතර දවසක එයාගෙ ඔක්කෝම හරි. ඉතින් ටීචර් කියෝ අයියටත් හොඳ ළමයා යි කියනවා එදාට. ටීචර් එයාට හොඳ ළමයයි කියපු ගමන් ම වගේ කියෝ අයියගෙ මූණ පිම්ඹෙන්නෙ ලොකු සතුටකින්.

කියෝ අයියටත් අනිත් ළමයින්ටත් ටීචර් හොඳ ළමයා යි කියන කොට මට ඇති වෙන්නෙ කියන්න බැරි තරමේ සතුටක්. සංතෝෂයක්. එතකොට අපි ඔක්කොම හොඳ ළමයි නේ. ඒත් ඉතින් මං එහෙම හිතුවට කියෝ අයිය නම් එහෙම හිතන මතන පාටක් නම් මං දවදාකවත් දැකල නෑ. ඒක හින්ද නේ එයා ගෙදර ගිහින් ලොකු අම්මට‍ කියන්නෙ ටීචර මගේ හොඳ කීවාම. එතකොට එයාට දුක හිතෙන බවයි මයෙ පුංචි හිතට දැනෙන්නෙ. තේරෙන්නෙ.

ලබන සතියට.........