ඉතිහාසය

හවුරූදු 75 කට පෙර ලේක් හවුස් අයිතිකාරයා මහ සඟරුවනට එරෙහිව රහස් සාකච්ඡාවක්

ලේක් හවුස් අයිතිකාරයාගේ උවමනාවට මහ සඟරුවනට එරෙහිව කැලණිවිහාරයේ රහස් සාකච්ඡාවක්

හවුරූදු හැත්තැපහකට පෙර පැවති ‌ඓතිහාසික මහා සංඝසභාව

ශ්‍රී ලාංකිකයකු විසින් ලියන ලද ප්‍රථම ස්වයංචරිතාපදානයෙනි මේ ලිපිය සැකසෙන්නේ. මෙම ස්වයංචරිතාපදානය ලියන ලද්දේ බුරුම රජයෙන් අග්ගමහාපණ්ඩිත උපාධිය ලද අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපතිව වැඩ විසූ පොල්වත්තේ බුද්ධදත්ත අනුනායක ස්ථවීරයාණන් වහන්සේ යි. උන්වහන්සේ ස්වකීය ස්වයංචරිතාපදානය ලියා පළකරන ලද්දේ 1954 වසරේ දී ය.

ගොඩ‌ෙග් පොත් මැඳුරෙන් අරඹන ලද පැරණි ග්‍රන්ථ මුද්‍රණය කිරීමේ ව්‍යාපෘතියෙන් පොල්වත්තේ බුද්ධදත්ත චරිතාපදානය දෙවන මුද්‍රණයක් සේ පළකරන ලද්දේ 2008 වසරේ දී ය. ගොඩගේ ප්‍රකාශකයින් විසින් යළි මුද්‍රණය කරන ලද ඒ කෘතියෙන් උපුටා ගත් කෙටසක් මෙසේ හෙළදිව පාඨක ඔබ වෙත අප ඉදිරිපත් කරනුයේ එදා මෙන් ම අද ද ප්‍රතිගාමීත්වය විසින් ලාංකේය භික්ෂු සමාජයට එරෙහිව කරන පාපි ක්‍රියාකාරකම් සිහියට නැංවීමේ අරමුණිනි.

ධනපතිපෙළේ බෞද්ධයන් කීපදෙනෙකුන්ගේ ඕනෑකම ලෙස තමන්ට පක්ෂපාත වූ භික්ෂු පිරිසක් එක්කර ගෙන භික්ෂූන්ට ආණ්ඩුවලවා අලුත් නීති වගයක් පැණවීමට උත්සාහයක් 1946 මුල් භාගයේ දී ඇතිවිය. ඒ සඳහා රහස් ගිහි පැවී සභාවක් 1946 මාර්තු 31 වෙනිදා කැලණිවිහාරයේදී පවත්වන ලදි. මේ අයුතු ක්‍රියාවට විරුද්ධ වූ ප්‍රගතිශීලී භික්ෂුපිරිසක් පළමුකොට තැන් තැන්වල සභා පවත්වා මේ කරුණු මහජනයාට කියාදී භික්ෂූන් වහන්සේටද කරුණු අවබෝධ කරවා ඒ වර්ෂයේ ජුනි 29 වෙනිදා කොළඹ නගරශාලවේ මහාසංඝසභාවක් රැස්විය. එක්දහස් පන්සියයක් පමණ සෑම තරතිරම්වල භික්ෂූන්වහන්සේ පැමිණි ඒ සභාවේ මූලාසනය මට පවරන ලදි. ඒ සභාව සම්බන්ධයෙන් ධනපතියන්ගේ පත්‍රවල නොයෙක් අසත්‍ය වාර්තා පළකළහ. නමුත් පීඩිත පක්ෂයට අයත් ”කාලය” පත්‍රයෙන් සත්‍යවාර්තාව ද පළවිය. ඒය මෙසේයි-

‌ඓතිහාසික මහාසංඝසභාවේ යෝජනා.
දහසකට අධික භික්ෂූන්වහන්සේගේ සම්මතය
ජුනි මස 29 වැනි දින කොළඹ නගර ශාලාවේදී ”ලංකා එක්සත් භික්ෂුමණ්ඬලයේ මෙහෙයීමෙන් පවත්වන්නට යෙදුණු මහාසංඝසභාව වනාහී සිංහල ජාතියේ පරිහානියෙන්  – ලංකාව පරාධීනවිමෙන් පසු – ලාංකික භික්ෂූන්වහන්සේ පිළිබඳව පවත්වන ලද ‌ෙඑතිහාසික මහාසභා රැස්වීමකි. එදින උදේ කාලයේ සිටම පැවති වැස්ස ගැන පවා නොතකා කොළඹ නගරයට දිවයිනේ හැම පලාතකින්ම භික්ෂූන්වහන්සේලා රැස්වෙන්නට වූහ. සභාවට පැමිණි ස්ථවිර – මධ්‍යම – නවක – දහසකටත් අධිකවූ භික්ෂූන්වහන්සේලා අතර සංඝනායකවරුද, පරිවෙණාධිපතිවරුද, ස්ථානාධිපතිවරුද, ත්‍රිපිටකධරයෝද, විනය විශාරදයෝද, පණ්ඩිතයෝද අතිවිශාල සංඛ්‍යාවක් වූහ. හැම වයසකම, හැම පලාතකම, හැම නිකායකම භික්ෂූන්වහන්සේලාගෙන් හෙබි මේ සංඝ සභාව නිසා නගරශාලාව කාෂායවස්ත්‍රයෙන් බබළන්නට වන. ලංකාවේ පමණක් නොව, ඉන්දියාව, බුරුම රටවල පමණක් නොව යුරෝපීය රටවල පවා ත්‍රිපිටකධරයකු වශයෙන් උසස් කීර්තියක් ලබා සිටින ආභිධම්මික පොල්වත්තේ බුද්ධදත්ත මහා ස්ථවිරපාදයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3 ට ආරම්භවූ මේ රැස්වීමට ගිහියන්ගේ සම්බන්ධයක් නොවීය. පත්‍ර වාර්තාකරුවන් හැර අන් සියලුම ගිහි මහතුන් රැස්වීම් ශාලාවෙන් පිටත සභාවේ කටයුතු බලා සිටියහ.

ගරුතර විද්‍යාලංකාර පරිවෙණාධිපති කිරිවත්තුඩුවෙ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ සජඣයනයෙන් සභාවේ වැඩ ආරම්භ විය. උන්වහන්සේ ධර්මවිනයධර, කීර්තිධර, පණ්ඩිත සංඝනායකස්ථවිරනමක් වශයෙන් විශ්වගෞරවයට පත්වූ බුද්ධදත්ත මහාස්ථවිරයන්වහන්සේ මෙබඳු ‌ෙඑතිහාසික සංඝසභාවක මුලසුනට පත්වීම ගැන ස්වකීය ප්‍රීතිය ප්‍රකාශ කළහ.

ශ්‍රී බුද්ධදත්ත මහාස්ථවිරපාදයන් වහන්සේ සියලු සංඝයා වහන්සේ පිළිගනිමින් මූලාසනයේ කථාව පැවැත්වූහ. උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළහ.

”මේ ‌ෙඑතිහාසික මහාසංඝ සභාවේ මූලාසනය මට පැවරීම ලංකාවේ මහානායක පදවිය ලැබීමට වඩා මම උසස් කොට සලකමි. මෑතදී භික්ෂූන් හා දේශපාලනය සම්බන්ධයෙන් මහත් කලබගෑනියක් ලක්දිව ඇතිවිය. දේශපාලනය තමන්ට අභිමත පරිදි තෝරමින් පැවිදි පක්ෂයට දොස් නගන්නෝද එසේම තමන්ගේ පක්ෂයේ ක්‍රියා පරිපාටිය නිදොස් යයි කියන්නෝද වූහ. විශේෂයෙන් බලසම්පන්න පත්‍ර කීපයක් විසින් උද්‍යෝගවත් ප්‍රගතිශීලී භික්ෂූන්ගේ ක්‍රියා මාර්ග හෙළා දැකීමට උත්සාහකරනලදි.

මේ කලබලය ඇරඹීමට මුල් හේතුව මෑතකදී නොව මින් ශතවර්ෂයකට පමණ පූර්වයේදී ආරම්භ වූවකි. එය නම් පැවිදි පක්ෂය අතේ තිබුණු අධ්‍යාපනය  ඔවුන්ගෙන් අත්හැර වීමය. මෙය ක්‍රමයෙන් දියුණු කරගෙන ගොස් 1940 පමණ විනවිට භික්ෂූන් සම්පූර්ණයෙන් ජනසමාජයෙන් ඉවත්කළ කොටසක් බවට පමුණුවනලදි. දැන් හැම දෙනාම කථා කරන්නේ බෞද්ධ පැවිදි පිරිස තමන්ගේ ජාතියට අයත්, තමන් අතරෙන්ම ආ පිරිසක් මෙන් සලකා නොව පිට රටකින් ආ විදේශීය පිරිසක් සේ සලකා ගෙනය. ගිහියන්ට හැම වර්තමාන අධ්‍යාපනයක්ම ලබාදෙන බෞද්ධයෝ පැවිද්දන් ”බෞද්ධ අධ්‍යාපනය” යන නාමයට වත් ඇතුළත් නොකළෝය.

අධිරාජ්‍යවාදී ආණ්ඩුවක් යටතේ සාමාන්‍ය රටවැසියා මහත් දුඃඛිත තත්වයකට වැටී සිටින බව භික්ෂූන්වහන්සේට පෙනුණි. දේශපාලන බලය අතට ගත් ධනවතුනුත් ආණ්ඩුවේ නිලදරන ස්වල්ප දෙනෙකුත් පමණක් සුඛිතව සිටින බවත් ඔවුන් සාමාන්‍ය මහජනයා මෙසේම අඳුරේ තබා සදහටම අධිරාජ්‍යයේ වහලුන් කිරීමට උත්සාහ වඩන බවත් භික්ෂූන් වහන්සේ ඒ බලවතුන්ගේ හා නිලධාරීන්ගේ ක්‍රියාමාර්ගය හෙළාදකිමින් ඇතැම් විට කථාකළෝය. එයින් කෝපවූ බලවත්තු මේ භික්ෂූන් මැඩලීමට ක්‍රියාරම්භ කළහ. බලවතුන්ගේ පුවත් පත් ඒ පක්ෂයට අනුබල දුන්හ. බෞද්ධ මහා ජනයා මුළාකිරීම සඳහා ලක්දිව ප්‍රධාන පංක්තියේ ගිහිපැවිදි පිරිසක් යයි කියමින් 34 දෙනෙකුගෙන් යුත් සභාවක් රහසිගතව කැලණිවිහාරයේදී රැස්කොට එය මහාධර්මසංගීතියකැයි රටපුරා පළකරවූහ. මින් පසු ප්‍රගතිගාමී භික්ෂූන් විසින් ලංකාවට සම්පූර්ණ නිදහස ලබාගැනීම, රටේ ආර්ථික හා සාමාජික තත්වය දියුණු කොට අපරාධවලින් මිදුණු ධාර්මික සමාජයක් ඇතිකිරීම, තමන්ගේ අයිතිය රැක ගැනීම ආදිය සඳහා මේ ලංකා එක්සත් භික්ෂුමණ්ඩලය පිහිටුවාගන්නාලදි.

”ලක්දිව පස්ළොස් දහසකට අධික භික්ෂූහු සිටිත්. රටවැසියන්ගෙන් වැඩිදෙනෙක් බෞද්ධයෝය. නමුත් එන්ට එන්ටම අපරාධ – හොරමැරකම් – වංචනිකක්‍රියා අධිකවෙති. මීට හේතුව නම් දැන් පවත්නා ආණ්ඩුක්‍රමය ඉතා දූෂිත ඒකක්ව තිබීමයි. අල්ලස් ගැනීමෙන් තොරවූ ආණ්ඩුවේ ඒකම දෙපාර්තමේන්තුවක් වත් එකම කාර්යාලයක් වත් නැතැයි ආණ්ඩුවේ නිලධාරීන් විසින්ම වරින්වර ප්‍රකාශ කරනුලැබේ. අල්ලස් දෙන්නේ නීතිය බිඳදමා අයුතු දෙයක් කිරීමටය. මෙසේ නිතරම හැමතැනදීම වාගේ නීතිය කඩන විට ඊට අනුබල දෙන විට රටක සාධාරණයක් යුක්තියක් සිදුවීමට ඉඩ නැත්තේය. රටේ දුප්පත්කම ඉතා අධිකය. ඒ නිසා අපරාධ වැඩිවී තිබේ.

”ශාසනය දියුණු කිරීමට නම් මහාජනයා ගුණධර්මවලින් ද ආර්ථිකතත්වයෙන් ද දියුණුවට පත්කළ යුතුය. මෙකල ශාසන ශොධනයක් ගැන බොහෝ දෙනා කථා කරත්. එය භික්ෂූන්ටම අයත් කාරණයකැයි ද සලකති. එය වැරදි අවබෝධයකි. ශාසනය නම් බුද්ධධර්මයයි. කොටින් කියතොත් බුද්ධාගමයි. බුද්ධාගම ගිහි පැවිදි දෙපක්ෂයටම අයිතිය. භික්ෂු – භික්ෂුණී – උපාසක – උපාසිකා යයි සිවුපිරිසක් බුදුසස්නෙහි ඇත. ඒ සිවු පිරිස විසින්ම බුදුසසුන රැක්කයුතුය. මෙකල ගිහියෝ ගුණධර්මවලින් අතිශයින් පිරිහී, හැම දුෂ්චරිතවලම යෙදෙමින්, කළුකඩකාරයන් වී සිටගෙන භික්ෂූන් ලවා පමණක් සිල් රක්කවන්නට බලාපොරොත්තුවෙති. එය නොකළහැක්කකි. බුද්ධාගම නොදත් බෞද්ධප්‍රතිපත්ති නැති ගිහියන් ශාසනශොධනයට ඉදිරිපත්වීම සිනාවට කරුණකි. අපේ ඇතෑම් නායක ස්වාමිවරුද යටකී ආකාරය ඇති ධනවත්, බලවත් ගිහියන්ට එක්වී භික්ෂූන්ගේ අනාගතය තවත් අඳුරු කිරීමට වෙහෙස ගනිත්. එබැවින් ලංකා එක්සත් භික්ෂුමණ්ඩලය භික්ෂූන්ගේ මනාපාලනයක් ඇති කිරිමටත්, භික්ෂූන්ගේ අයිතිය ආරක්ෂා කිරීමටත්, සිංහල ජාතියත් බුද්ධාගමත් ඇද වැටී තිබෙන විපතින් මුදාගැනීමටත් එක්සත්ව එක්සිත්ව ක්‍රියා කිරීමට ස්ථිර අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරිපත්වී සිටියි”

රාහුල ස්වාමීන්වහන්සේ රැස්වීමේ අදහස ප්‍රකාශ කරමින් මෙසේ කීහ.

”භික්ෂූන් වහන්සේ හා දේශපාලනය පිළිබඳ  ප්‍රශ්නය ආරම්භ වූ මුල් අවස්ථාවේදීම භික්ෂූන්වහන්සේගේ අදහස මන්ත්‍රණ සභාවට යෑමට හෝ බලතල අල්වා ගැනීමට නොවේ යයි පැහැදිලිවම ප්‍රකාශකළ බව දිනමිණ – සිළුමිණ ආදී පත්‍රවල පවා පළවිය. එහෙත් මේ ව්‍යාපාරයට විරුද්ධව ක්‍රියාකළ ගිහි පැවිදි පිරිස ඒ පත්‍ර මගින්ම මෙය මන්ත්‍රණ සභාවට යාමට බලාපොරොත්තු වන භික්ෂූන්ගේ ව්‍යාපාරයක් බව රටපුරා පැතිරවීමට මහත් උත්සාහයක් කරනලදි. ඔවුන්ගේ ඒ උත්සාහය සම්පූර්ණයෙන්ම ව්‍යවර්ථ වූ බවට මේ මහාසංඝසභාව කදිම නිදසුනකි. දිවයිනේ හැම පලාතකින්ම දහසකටත් අධික භික්ෂු පිරිසක් වර්ෂාව පවා නොතකා මෙහි පැමිණීමෙන් හැඟෙන්නේ ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වූ සුඛිත මුදිත ධාර්මික රටක් කර ගැනීමට ලාංකික භික්ෂූන්ගේ පරම යුතුකම බව මහාසංඝයා වහන්සේට වැටහී තිබෙන බවයි…..”

අනතුරුව කලල්ඇල්ලේ ආනන්දසාගර ස්ථවිරයන්වහන්සේ කථා කරමින් මෙසේ කීහ.

”මහාජන කටයුතු කිරීමට සෑහෙන තරම් ගිහිමහතුන් සිටින බැවින් භික්ෂූන්වහන්සේලාට බණ භාවනා කටයුතු වලම යෙදියයුතු යයි මහනුවරදී බෞද්ධ විනිශ්චයකාරයකු විසින් ප්‍රකාශ කොට තිබේ. එහෙත් මෙරට මහාජනයාගේ දුප්පත්තත්වය ගැන සලකා බලනවිට ඒ යුතුකම අපේ ජනනායකයන්ගෙන් ඉටුවී නැති බව ඒ මහතාට මම මතක්කරනු කැමැත්තෙමි……. වෙනත් රටවල මහාජනයාට සේවය කිරීම උසස්කොට සලකතත් මෙරටට ඒය අයහපත් ක්‍රියාවකි. මහාපාපයකි. ලංකා එක්සත් භික්ෂුමණ්ඩලය මගින් බලාපොරොත්තු වන්නේ ආත්මාර්ථකාමීන්ගෙන් බලවත් ලෙස පීඩාවට පත් වූ මහාජනයාගේ ආරක්ෂාව සැලැස්වීමත් රටේ නිදහස ලබා දීමත් ය…..

අනතුරුව මෙහි පහත සඳහන් යෝජනා මහාසංඝ සභාවේ සමානච්ඡන්දයෙන් සම්මත විය.

  1. තමන්ගේ බලතල හා ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් මේ රට අධිරාජ්‍යයට පවා දී විපතට හෙළා සිටින ජනප්‍රධානයන් ගැන අපේ විශ්වාසයක් නැති නිසා මහාසංඝයාවහන්සේ දේශපාලන කටයුතු වලට සහභාගීවී මහාජනයාගේ දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂාකොට මේ රට, ජාතිය, ආගම විපතින් මුදා ගැනීමට ඉදිරිපත් වියයුතු බැව් මේ මහාසංඝසභාවේ අදහසයි.

”පොල්වත්තේ බුද්ධදත්ත මහාස්ථවිරයන් වහන්සේ ඉදිරිපත් මේ කළ යෝජනාව ස්ථිරකළ කළමුල්ලේ සුගතධීරස්ථවිරයන් වහන්සේ මහත්මාගාන්ධි වැනි ශ්‍රෙෂ්ඨ දේශපාලනඥයන් ඇතිවීමට ඉවහල් වූ ව්‍යාපාරයක පෙරනිමිති ඒම යෝජනාවේ ඇතුළත් වන බව කීහ.

  1. 1946 මාර්තු 31 දා කැලණිවිහාරස්ථානයේදී මහා සංඝයාගේ කැමැත්තට විරුද්ධ ගිහි පැවිදි කීපදෙනෙකුන් විසින් ……………… සම්මත කරගත් අශාසනික යෝජනා පංක්තිය මේ සංඝසභාව විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබේ.

මේ යෝජනාව ඉදිරිපත් කළ සපුගස්කන්දේ පුරාණ විහාරාධිපති කැන්දලියද්දපාලුවේ ඤාණමෝලි ස්ථවිරයන් වහන්සේ කැලණියේදී ශාසනශුද්ධිය නමින් ලේක්හවුස් පත්‍රඅයිතිකාර ඩී. ආර්. විජේවර්ධන මහතාගේ ඔ්නෑකමින් පැවැත් වූ රහස් සාකච්ඡාව බලවතුන් කීප දෙනෙකුන්ගේ පෞද්ගලික වැඩක් මෙන්ම ශාසනවිරෝධී දුෂ්ටක්‍රියාවකැයි ද ආගම විනාශයට හේතුවූ එබඳු ක්‍රියාවකට ශාසනශුද්ධි යයි කීම බොලඳකමකැයි ද ඊට සහභගී වූවන්ට භික්ෂුසංඝයා වෙනුවෙන් පෙනී සිටීමට හෝ බුද්ධනීතිය තිබිය දී අමුතු නීති පැනවීමට හෝ කිසිවකුට ඉඩ නැතැයි ද කීහ.

වාරණ මංගලගිරිපරිවෙණාධිපති ඇස්වත්තේ ධම්මතිලක ස්ථවිරයන්වහන්සේ යෝජනාව ස්ථිරකරමින් ආගම ධර්මයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ කැලණිවිහාරසාකච්ඡාව ගැන මහාසංඝයාවහන්සේගේ බලවත් අප්‍රසාදය මේ මහාසංඝසභාවෙන්ම ඔප්පුවනබවත් කීහ…..

”අවසානයේදී මූලාසනයට ස්තුතිකරමින් කථාකළ කොටහේනේ ප්‍රඥාකීර්ති ස්ථවිරයන්වහන්සේ මෙසේ කීහ. මෙය ‌ෙඑතිහාසික රැස්වීමකි. ඉංග්‍රීසිපාලනයට පත්වූවාට පසු සමස්තලංකා භික්ෂූන්ගේ මෙබඳු රැස්වීමක් පැවැත් වූ මුල්වතාව මෙය වේ. ලංකාව නිදහස්ව තිබූ අවස්ථාවක පැවැත්වූ රැස්වීමක තත්වය මෙබඳුයයි හැඟේ. ලංකා එක්සත් භික්ෂුමණ්ඩලය මගින් කළ මේ ආරම්භය ලංකාව නිදහස් කරගැනීමට භික්ෂූන්වහන්සේ තැබූ මුල්පියවරකි. මෙහි වැඩ සිටින හැම නමකගේම අධිෂ්ඨානය වියයුත්තේ ලංකාවේ නිදහසට ක්‍රියාකිරීමටයිත මෙරට ආණ්ඩුකිරීමට පැමිණෙන අන්තිම ඉංග්‍රීසි නිලධාරියා මෙරටින් පිටමංවනතුරුම ලංකා එක්සත් භික්ෂු මණ්ඩලයේ ව්‍යාපාරය නොනවත්නනු ලැබේ. මිත්‍රයන් හා හිතවතුන් වශයෙන් ඉංග්‍රීසීන් ලංකාවේ සිටිනවාට අපේ විරුද්ධයක් නැත. අපේ විරෝධය සදහටම මෙරට ඉංග්‍රීසිපාලනයේ පවතිනවාටයි. නිදහස් ලංකාවක් එක්සේසත් ආසියාවක්, ධර්මිෂ්ඨ ජනකායක් ඇති කිරීමයි. එක්සත් භික්ෂුමණ්ඩලයේ පරමාර්ථය. මීට විරුද්ධවන ගිහි පැවිදි පින්වතුන්ගෙන් ද මා ඉල්ලාසිටින්නේ මේ සද්ව්‍යාපාරයට දැන්වත් සහායවනලෙසටයි. එහෙත් ඒ අය විරුද්ධවූ පමණින් භික්ෂූන්වහන්සේගේ ව්‍යාපාරය නොනවතිනවා ඇත. අපේ රටේ නිදහස් ජාතියේ දියුණුවත් ආගමේ ආරක්ෂාවත් සැලසෙනතුරැම ආත්මපරිත්‍යාගයෙන් ක්‍රියාකිරීමට කාලය ඒළඹ තිබේ”.