සෞඛ්‍යය

හිත ලෙඩ කරන බොරු භූතයෝ – 2

ආදරවන්තයා නිසා අවේශ වූ භූතයා

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ ව්‍යාධි ඒකකයේ විශේෂණඥ වෛද්‍ය රූමි රූබන් (MBBS, MD Psychiatry - Counsultant Psychiatrist) සමඟ කෙරෙන සාකච්ඡා මාලාවකින් සම්පාදිත ලිපි පෙළක දෙවැන්නයි මේ.

"ඔය ළමයගෙ නම චරිතා කිව්ව නේ ද? ලෝ ‍ෆැකල්ටියෙ කිව්ව නේ ද? දැන් මං හිතන්නෙ දෙවැනි අවුරුද්ද වෙන්නැති නේ?"

තමන් අභිමුව හිඳින තරුණිය කෙරෙහි බෝ ළෙන්ගතු බවක් පාමින් මනෝ ව්‍යාධි පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා විමසුවේ ඈ වෙත පෑ බැල්ම තව දුරටත් එසේ ම රඳවා ගනිමිනි. තරුණිය කිසිවක් පැවසුවේ නැත. බිමි බලාගෙන මාපටැඟිල්ලෙන් සිමෙන්ති පොළොව හාරන්නට විය.

"දරුවො මට කියන්න කො ඔය දරුවට විශ්වවිද්‍යාලෙ මොනව හරි ප්‍රශ්න තියෙනව ද කියා. එහෙම නං ඉතින් අපටත් කරන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් නේ" තරුණිය හිමි හිමින් හිස ඔසවා වෛද්‍යවරයා වෙත බැලුම් පෑවේ අහිංසක වතකිනි. යළි වෛද්‍යවරයාගේ කඩහඩ ඇගේ දෙසවන් තුළට රිංගී ය.

" ඔය දරුවට තියෙන ඕනෑම ප්‍රශ්නයක් බව නැතිව මට කියන්නකෝ. අපි දෙන්න විතරයි නේ ඉන්නෙ. මං ඔය ළමය කියන කිසිම දෙයක් වෙනත් කාටවත් ම කියන්නෙ නෑ.... ඒ ඔක්කොම දන්නෙ මං විතරයි..."එවදන් ඇගේ සවන්පත්වලට ඇසෙත්ම ඇගේ හිතේ පවතින සියලු ආකාරයේ දුක්ඛදෝමනස්සයන් කළකිරීම් හා සංකාවන් ද දුරිභූතව යන සෙයකි චරිතාට දැනුණේ.

''අනේ ඩොක්ටර්  අපේ අම්මලට නං කියන්න එපා. මගේ හිතේ තියෙන දුක වාවා ගන්න බැරිවයි මං පෙනඩෝල් පෙති බීවේ....  අම්මල මටත් නොකියා අපේ නෑකෙනකුගේ මඟුල් ගෙදරක ගිහිපු බව දැන ගත්තාම මට ඇති වුණේ දරාගන්න බැරි දුකක්"

චරිතා මනෝ ව්‍යාධි පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා අභිමුව මේ සිටින්නේ වෙනත් වාට්ටුවකින් ඈ ඔහු වෙත යොමු කිරීමෙනි. සිය දිවි නසා ගන්නට තැත් කරන ලද චරිතා රෝහල්ගත කෙරුණේ දින දෙකකට විතර කලිනි. ඇයට ප්‍රතිකාර කරන ලද ඒ වාට්ටුව භාර වෛද්‍යවරයා විසින් සටහන් තබන ලද විස්තරය අනුව ඈ මවත් පියාත් සමඟ හටගත්තු කේන්තිය වාවාගනු ‍නොහැකිව සියදිවි නසා ගන්නට තැත්කරැති බවයි. හැබැයි ඒ සඳහා ඈ පානය කර ඇත්තේ පැරසිටිමෝල් පෙති ය. මේ තරුණිය සියදිවි නසා ගන්නට උත්සාහ ගන්නා ලද්දේ අම්මා තාත්තා සමඟ ඇති කරගත් කේන්තිය පාලනය කර ගන්නට නොහැකිව ද නැතිනම් ඊට වඩා වෙනත් හේතුවක් නිසා දැ යි විමසුමට ඔහු ඇගෙන් ප්‍රශ්න ඇසුවේ ඒවා කිසිවක් ප්‍රශ්න සේ ඒත්තු ගැන්‍වෙන අයුරින් නොවේ. විනාඩි කීපයක් එක එල්ලේ බිමට නැඹුරු කරගත්තු දෑස යළි වෛද්‍යවරයා වෙත දෙවන හෝ තුන්වන වරටත් යොමු කළේ බෝ හැඟුම් බරව ය. එ නෙතුවල නේකාකාර සටහන් ලැයැවී ඇති වග විශේෂඥ වෛද්‍යවරයා වටහා ගත්තේ ය.

" අනේ සර්.... මං පෙනඩෝල් පැකට් දෙකක් ම බීවා. අම්මලා මට නොකියා මඟුල් ගෙදර ගිය බව දැන ගත්තාම ඇති වුණේ හරිම වේදනාවක්. දුකක්. හැබැයි ඉතින් ඒකම නෙවෙයි ඩොක්ටර්......"

ඈ එතැනින් එහාට යමක් කියන්නට සැරසෙද්දී ඇගේ මුවින් වචන වෙනුවට පිටවුණේ බෑගා ආ හැඬුම් ශබ්දය යි.

අත්දැකිම් වලින් බෝ පෝෂිත වෛද්‍යවරයා ඈ සංසුන් කරන්නට ඈ ඇමතුවේ බොහෝ ආදරයක් කරුණාවක් පාමිනි.

''කියන්න දරුවො. මාත් එක්ක නේ ඔය ළමයා ඉන්නෙ. කිසිවකට බයක් සැකයක් ඇති කර ගන්න එපා... මං ඔය දරුව කියන හැම වචනයක් ම රහසක් හැටියට තියා ගන්නවා.... ඒ ගැන මං ඔය දරුවට සහතික වෙන්නං"

"ඩොක්ටර්... හනේ ඩොක්ටර්.... ප්ලීස්... ප්ලීස්... අපේ අම්මට තාත්තට දැන ගන්න වෙන්නෙ නෑ කියල කිව්ව නේ.... ඔය ඇත්තම නේ ද සර්...."

''මේ ඔක්කෝටම‍ හේතුව සර්..... මාලක... මාලක... ඔව් සර් මාලක ...." ඈ සිත් අවුල් කරන්නට හේතු වූ කාරණා එකින් එක වෛද්‍යවරයා ඉදිරියේ අනාවරණය කරන්නට වූවා ය.

" මාලක? " දෑහැ නළලට ගෙන මනෝ වෛද්‍ය විශේෂඥවරයා චරිතා වෙත හැරුණේ ය.

"අනේ ඔව් ඩොක්ටර්... ඔව් සර්.... මාලක අපේ ගමේ එකට හැදුණු වැඩුණු අයියා කෙනෙක්. එයාගෙ තාත්තා වතු සමාගමක වැඩ කළේ. මාලක ගෙ තාත්තා මාතලේ දිහාවෙ වත්තකට මාරුවීමක් ලැබුණට පස්සෙ පවුලෙ ඔක්කෝම මාතලේට ගියා. මාලක ගමෙන් ගියාට පස්සෙ මට හරිම දුකක් දැනුණා. අපි දෙන්නා ඉස්කෝලෙ ආවෙ ගියෙත් එකට. එකම බස් එකේ. කොහොම හරි එයා ගමෙන් ගියහම ඇති වෙච්චි දුක දවසින් දවස ම මයේ හිතේ වැඩෙන්න ගත්තා. ඒත් ඉතින් කාලයක් යන කොට මට මාලක ගැන තිබිච්ච හැඟීම් දැනීම් යටපත් වුණේ මටත් නොදැනීම වගේ. මං වෙන කිසි ම පිරිම ළමයෙක් එක්ක ඇයි හොඳයිකමක් පැවැත්තුවේ නෑ.... මාලක අපේ ගමෙන් ගියාට පස්සෙ. මං ඔහු හිතින් ඈත් වුණාට පස්සෙ හොඳට ඉස්කෝලෙ වැඩ කිසිම අඩුවක් නැතිව හොඳින් කළා. ඒ හින්ද ම මට විශ්වවිද්‍යාලෙට ඇතුළු වෙන්න අවස්ථාව උදාවුණා. විශ්වවිද්‍යාලෙ දි ලැබිච්චි රැග් එක හින්ද යි බෝඩිමේ තිබුණු එක එක ප්‍රශ්නයි හින්ද මට හරිහැටි වැඩ කර ගන්න නොහැකි තත්ත්වයකට මං මූණ පෑවා.

"ඕන්න ඔය අතරෙ දවසක මං දැක්කා මාලක... විශ්වවිද්‍යාලෙ වගේ ම බෝඩිමේ අවුලුත් මට මාලක දැක්ක ගමන් ඒවා ඔක්කොම මගෙන් ඈතට තුනීවෙලා ගියා වගේ මට දැනුණේ. තේරුණේ. මාලක මට වඩා අවුරුද්දක් සීනියර්. මං එයා හම්බවෙලා කතා කළහම අපි දෙන්න අතරේ අවුරුදු ගණනක තිබිච්ච දුරස්බව නැතිවෙලා පරණ පුරුදු ළෙන්ගතුකම් ඇති වෙච්චි බවයි මට හැඟුණේ. මාලක මගේ අධ්‍යයන වැඩවලට බොහොම උදව් උපකාර කළා. එනිසා ම මං කලින්ටත් වඩා එයාගෙ ඇසුර වඩ වඩාත් අපේක්ෂා කළා. අපි දෙන්නා පැය ගණන් පෝන් එකෙන් කතා කර කර කාලය ගත කළා. ඒ කතා එක එක දේවල් ගැන. එක එක පැති ගැන. අපේ ශිෂ්‍ය සංගමය ගැන එයා කතා කළේ බොහොම අගේට. ඒත් ජ්‍යෙෂ්ඨයෝ කරපු රැග් මතක් වෙන කොට‍ මට ශිෂ්‍ය සංගමයේ හැම එකාම පේන්නෙ නයාට අඳුකොළ පේන ගානට. මං දවසක් දා ඒ ගැන මාලක ට කෙළින් ම කිව්වා. මාලක වචනයක්වත් කීවෙ නෑ, කළ එක ම දේ බක.... බක.... බක... ගගා හිනා වෙච්චි එක විතරයි"

"කොහොම වුණත් මාලක ගෙ සම්බන්ධෙ නිසා මං පෙළුණු එක එක තාලෙ පීඩාවන් ඔක්කෝම වගේ මට පලවා හරින්න පුළුවන් වුණා කීවොත් ඒක තමා ඇත්ත.... ඔව් ඩොක්ටර්. ඒක ඇත්ත ම ඇත්ත..." මේ සිද්ධි චරිතා වෛද්‍යවරයා හමුවේ පවසන්නේ ඒ සියල්ලට ඔහු සතුව නිවැරදි විසඳුමක් ඇත යන දැඩි විශ්වාසයෙකිනි. වෛද්‍යවරයා තමන් පවසන හැම වචනයක් ම බිම පතිත නොවන සේ අහුලා ගන්නට සැරසුණ කෙනකු සේ අසා සිටින්නේ බොහොම සාවධානව යැ යි චරිතාගේ හිත ඈට තෙපලයි. එය ඇගේ අවුල් හිතට ලොකු සැනසිල්ලක් සේ දැනේ.

අපි ආපහු මුණගැසී වසරකට වැඩි කාලයක් ගෙවුණා. හැබැයි මේ දක්වා මගේ හිතේ ඔහු ගැන ආදරයක්, ප්‍රේමයක් ඇති වගක් වත් ඔහු හිත මා ගැන ආදරයක් ප්‍රේමයක් ඇතිව පවතින බවක් වත් කියැවුණේ නෑ. මගෙන් කියැවුණෙත් නෑ. මාලක ගෙන් කියැවුණෙත් නෑ... මට තව දුරටත් මේ කාරණාව ඔහුට නොකියා ඉන්න බැරි ස්වභාවයකින් මං පෙළෙන්න පටන් ගත්තා. දරාගන්න බැරිම තැන දවසක් මං මාලකට මගේ ආදරේ ප්‍රකාශ කළා. එතකොට මට මගේ මුහුණේ තිබුණු සතුටක තරම මට දැනුත් පේනවා වගේ ඩොක්ටර්....

මං මාලකට ආදරේ බව කීවහම එයා ට ඒ වචනෙ ඇහිච්ච බවක් වත් මාලක පෙන්නුවේ නෑ. ඉතින් ඊට දවස් දෙක තුනකට පස්සෙ හිට මට තේරුණා මාලක ‍මං මඟ හරිනවා කියල. මට දැනුණෙ පුදුමාකාර වේදනාවක්. හරියට කියනවා නං ඩොක්ටර් මට දැනෙන්නෙ මගේ හිත ගිනි අරන් වගේ. නිතර ම පිච්චෙනවා මං හිතින්. මට කිසිම දෙයක් කරන්න හිත් දෙන්නෙ නෑ. පොතක් පතක් ටියුට් එකක් අතකට අල්ලන්න හිත නෑ, ලෙක්චර්ස්වලට ඇහුම්ක්න දුන්නත් මට සර්ලා කියා දෙන කිසිම දෙයක් තේරෙන්නෙ නැතිවා වගෙයි. ඒ කිසිවක් මට වටහා ගන්න අපහසුයි. බෝඩිමේ ළමයින් එක්කත් මං නිතර නිතර ප්‍රශ්න... කිසිම දෙයක කරන්න හිත එකඟ කර ගන්න බෑ. මේ ඔක්කෝටම හේතුව මාලක උවමනාවෙන් ම මං මඟ හරින්න පටන් ගත්තට පස්සෙ වෙච්ච දේවල්.

මාලක ගෙ හොඳම විශ්වවිද්‍යාල මිතුරා හේමන්ත... හේමන්ත යි මාලක යි දෙන්නම මාතලේ ඉස්කෝලෙක එක ම පන්තියෙ ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයට තේරිලා ඇවිත් තියෙන්නෙත් එකට ම යි. දෙන්න ටියුෂන් ගිහින් තියෙන්නෙත් එකට එක ම ක්ලාසස්වලට. ඉතින් දවසක් දා මං හේමන්තට මං විඳින පීඩාව ගැන කීවා. මං හේමන්තගෙන දවස් ගණනාවක් ම ඇහුවා ඇයි මාලක මාව මඟහරින්නෙ කියා. මං එයාගෙන් ඇහුවෙ දවස් ගණනාවක් ම අඬ... අඬා... මං විඳින වේදනාව බලන් ඉන්න බැරිම තැන හේමන්ත මාත් එක්ක කියපු කාරණාවෙන් මං උඩ ගිහින් බිම වැටුණා වගේ වුණා ඩොක්ටර්. ඊට පස්සෙ හේමන්තත් මට මුහුණක් කටක් දෙන්න තරම් කැමැත්තක් නැති බව මට තේරුණා. එයාට කෝල් කළත් කිසිම දවසක ගත්තෙ නෑ. මාලක පෝන් එකට ආන්සර් කරන්නෙත් නෑ. හේමන්තත් එහෙම යි. ඔයින් මෙයින් මගේ හිතේ මා ගැන ඇති වුණේ ලොකු කළකිරීමක්. ඇතිතට ම මං මාලකට කතා කරන්න උත්සාහ ගත්තෙත් ‍හේමන්තට කතා කරන්න උත්සාහ ගත්තෙත් ආපහු මාලකට ආදරේ කරන බව කියන්න නෙවෙයි. මොකද හේමන්ත මට කිව්වා නෙවැ ඔහු අවුරුදු ගාණක් තිස්සෙ ඒ කියන්නෙ අපේ ගමෙන් මාතලේට ගිහින් ටික කලකට පස්සෙ මං වගේ ම ය කියන ගෑනු ළමයෙක් එක්ක යාළුවෙලා... දෙන්නගෙම ගෙවල්වලින් කැමැත්ත ඇතිව රිජිස්ට්‍රේෂන් එකත් කරලයි කියල තියෙන්නෙ. ඇත්තට ම මට ඕනැ කළේ මගේ හිතේ වැඩෙමින් තිබෙන වේදනාව දුක ඔහුට කියන්න නෙවෙයි. මං ඔහුට ආදරේ කිරීම වැරදි බව කියා හිත හෑල්ලු කර ගන්න.... ඒත් මාලක වත් හේමන්තවත් මාව ගණන් නොගෙන වගේ කර අරින බව දැනුණ හම හිතට ඇති වෙච්චි කළකිරිල්ල විස්තර කරන්න බැරි තරම්.මගේ හිත දිගින් දිගට ම පෑරෙන්න පටන් ගත්තා ම මට හිතුණා ඇයි මට ඔවුන් එහෙම කරන්නෙ කියා. ඔය අස්සෙ තමා මං ගෙදරට කෝල් එකක් දුන්නෙ. ඒ බෝඩිමේ ඉඳන්. ගෙදර පෝන් එකට කවුරුත් ම ආන්සර් කළේ නෑ. පෝන් එක කිසිම කෙනෙක් උස්සන්නෙ නැත්තෙ ඇයි කියන ප්‍රශ්නෙ මයෙ හිතේ ඇති කළේ සැකයක්.. ඒ සැකේ නිසා ම මං බම්බලපිටිය හන්දියට එනකොටම ගාල්ල බස් එකක් ආවා. මං අත පෑවා. බස් එක නැවැත්තුවාම මං නැංගා.ගෙදර ඇවිත බලක කොටයි දැන ගත්තේ අම්මලා මඟුල් ‍ගෙදරක ගිහින් කියන විත්තිය. මට මඟුල් ගෙදරක් ගැන හාන්කාවිසියක් දැන්නුවේ නෑ නේ. මට ඇති වෙච්චි හිතේ අමාරැව කොහොම කියන්න ද? කාට කියන්න ද? මං ඉස්තෝප්පුවට වෙලා හොඳටෝම ඇඬුවා. අඬල අඬල මං බැලුවෙ මගේ දුක තුනී කරගන්න. ඒත් ඉතින් ඒක යටපත් කරන් මගේ අත ගියේ බෑග් එකට. බෑග් එකේ තිබිච්ච පෙනඩෝල් කාඩ් දෙකේ ඔක්කෝම පෙනඩෝල් මං බීවා. මං හිතන්නෙ පාළොහක් විස්සක් විතර ඇති.

මං ජීවිතේ නැති කරගන්න හිතන් එහෙම පෙනඩෝල් පෙති අහුරක් බීවාට මොකද ඒත් එක්කම මගේ ජීවිතාශාව හිතේ පෙරළි කරන්න පටන් ගත්තා. මං අල්ලපු ගෙදර නැන්ද හොයාගෙන ගිහින් ඈට කීවා මං පෙනඩෝල් පෙති ගොඩාක් බීවා ය කියා ජීවිතේ නැති කරගන්න අපේ අම්මලා මං ගැන කිසිම සැලකීමක් නැති හින්දා කියා. ඒ නැන්දා ත්‍රීවීලර් එකකින් මං ඉස්පිරිතාලෙට ගෙනැවිත් ඇතුළු කළේ පෙරේදා... මේ රෝගී සිසුවියගෙ පසුබිම විපරම් කිරීමේ දී ඈ ළමා කාලයේ දීම පීඩාවන්ට ලක්වෙලා ඇති බව. ළමා කාලයේ දී ම ඇති වෙච්ච ආදරය අහිමි වීමෙන් මානසික පීඩාවකට ලක්ව හුන් ඇය විශ්වවිද්‍යාලයේ දී හිතින් පෙම් කළ තරුණයා දැකීමෙන් යටපත්ව පැවති හැඟීම් යළි මෝදු වීමත්, නවක වදයෙන් මුහුණ පෑ පීඩාවන් මෙන්ම අධ්‍යාපන කටයුතු නිසා හටගත්තු පීඩනයත් බෝඩිමේ පැවති අපහසුතාවයනුත් නිසා ඈ දැඩි මානසික පීඩාවකට පත්වීමෙන් හටගත් සියලු වේදනා ඈ මේ තීන්දුවට පොළඹවන ලද වග.

ඈ අපේක්ෂා ‍කළේ හිතින් පෙම්කළ තරුණයා එක්ක ආදරයක් ප්‍රේමයක් ගොඩනංවාගත හැකිය යන විශ්සායකින් පසුවුණා. ඒත් ඒ අපේක්ෂාව නොහිතූ අයුරින් බිඳ වැටීමෙන් දැඩි මානසික සිත්තැවුලකට නතුවුණා. එය බිඳ වැටීමත් එක්ක මානසිකව තවත් පීඩනයකට ලක් වුණා.එසේ පීඩාවට ලක්වූ ඇගේ මොළයේ ඇති යමක් දරා ගැනීමේ ශක්තිය ඇති කරනා විවිධ රසායන ද්‍රව්‍යවල සංයුතියේ අඩුපාඩුවේ හේතුවෙනුත් ඇගේ පරම්පරාවෙහි පැවති විශාද රෝගී ජාන නිසාත් ඇයට ද විශාදය ඇතිවීමේ හැකියාවක් තිබුණු බව බොහෝ පැහැදිලිව වෛද්‍යවරයා දකින ලද්දේ ය. සිදුවූ දේවල්එක්ක විශාදය කියන මානසිකාබාධය මතුවුණු බව වෛද්‍යවරයා තේරුම් ගන්නා ලද්දේ ඔහු සතුව ඇති හසල අත්දැකිම් සම්භාරය නිසාවෙනි. එතැන් පටන් ඈ වෙතින් දක්නට ලැබුණේ විශාදයේ ලක්ෂණ. කෑම බීම එපාවීම. සතුට නැති වීම, මාලක සමඟ පවත්වා ගැනීමට උත්සාහ ගත් හිතවත්කම පළුදු වීම ඈට තව තවත් පීඩාවක් ගෙන දුන්නා. කිසිවකුගේ උදව් උපකාර තමන්ට නැතැයි යන ඈ සිත් හි ප්‍රබලව නැ‍ෙඟෙන්නට පටන් ගැනීමත් මේ ලෝකයේ තමන් හුදකලාවී ඇතැ යි යන සිතිවිල්ල වඩාත් ප්‍රබලව මතුවීම විශාදය රෝගව ‍පූර්ව ලක්ෂණය.  ඇයට අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර කරමින් ම ඉතා අවම මට්ටමක පැවති ඇගේ ආත්ම විශ්වාසය වර්ධනයට අවශ්‍ය මනෝ විද්‍යාත්මක ප්‍රතිකාරත් මාස හයක තරම් කාලයක් ලබා දෙන්නට පියවර ගත් විශේෂඥ මනෝ ව්‍යාධි පිළිබඳ වෛද්‍යවරයා නියම කළ බෙහෙත් අඛණ්ඩව පාවිච්චි කරන්නට උපදෙස් දුන්නේ ය. අද ඇය උපධිය බොහොම ඉහළින් සමත්ව මේ වන විට රජයේ උසස් නිලයක ‍දරමින් සිටින බව වෛද්‍යවරයාට මෑතක දී දන්වන්නට තරම් චරිතා යහපත් ගුණවත් කතක් විය.

- සුගතපාල මැන්දිස් -