දේශපාලන

හේ චන්දිම ය, අපේ චන්දිම ය. චන්දිම වීරක්කොඩි ය.

ඇල්පිටියෙ ඩේවිඩ් වීරක්කොඩි හා බද්දේගම දෙඩන්ගොඩ මල්ලිකා දොඩන්ගොඩ යුවළට දාව පවුලේ වැඩිමලා හැටියට උපන්නෙ චන්දිම ය. චන්දිම, වීරක්කොඩි පවුලෙත් දොඩන්ගොඩ පවුලෙත්, වැඩිමහල් පුත්‍රයා යි. වීරක්කොඩි පරම්පරාවෙ අට දෙනකුගෙන් යුත් පවුලෙ වැඩිමලා ඩේව්ඩ් වීරක්කොඩි වගේ ම නම දෙනකුගෙන් යුත් දොඩන්ගොඩ පරම්පරාවෙ වැඩිමල් සහෝදරිය මල්ලිකා‍ ය. මේ පරම්පරා දෙකේ ම තුන් වැනි පරපුරේ වැඩිමහල් දරුවා වීමේ භාග්‍යය හිමි වුණේ චන්දිමට ය. එනිසා ම ඔහු සීය ලා, ආච්චි ලා, නැන්දල, මාමා ලා, බාප්ප ලා, බාලම්ම ලා හා සෙසු නෑ හිතවතුන්ගේ හුරතලා බවට පත් විණි.

ඩේවිඩ් වීරක්කොඩි මහත්තයා ඇල්පිටියෙ ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති වෙද්දි මල්ලිකා මහත්මිය ගිංතොට මහා විද්‍යාලයේ ගුරුවරියක විදියටයි සේවය කළේ. චන්දිම පෙර පාසල් ගියේ කළුවැල්ලේ ශ්‍රී හෘදය කන්‍යාරමයේ තිබෙන මොන්ටිසෝරියට. ඒකට හේතු වුණේ එයාගෙ අම්මා මල්ලිකා දොඩන්ගොඩ නැතිනම් මල්ලිකා වීරක්කොඩි ගිංතොට ඉස්කෝලෙන් ගාල්ලේ ශාන්ත ඇලවිෂියස් විදුහලට ස්ථාන මාරුවක් ලබා පැමිණීම. මොන්ටිසෝරිය තියෙන්නෙ ඇලවිෂියස් විද්‍යාලයට අල්ලපු වැටේ. අල්ලපු ඉස්කෝලෙ. එහෙමත් නැත්තං ශ්‍රී හෘදය කන්‍යාරමයේ නිසා.

වීරක්කොඩි, දොඩන්ගොඩ පරම්පරාවේ තුන්වැනි පුරපුරේ වැඩිමාල් දරුවා වෙච්චි චන්දිම, ඉස්කෝලෙ ගමන පටන් ගන්නෙ අම්මා උගන්නන ඉස්කෝලෙ. ඇලවිෂියස් විද්‍යාලයෙන්. ඒ වෙන කොට වීරක්කෝඩි මහත්තයා ගිංතොට තුනී ලෑලි සංස්ථාවේ විධායක ශ්‍රේණීයේ නිලධාරියෙක්.

අපේ කාලෙ නම් හෝඩියේ පන්තියෙ, ඒ කියන්නෙ අද 1 වසරෙ පටන් ම චන්දිම දස්සකම් පෙන්නන්න පටන් ගත්තු කොලු පැංචෙක්.  ඇ‍ලවිෂියස් විදුහලේ ප්‍රාථමිකයෙ අකුරු කරද්දි එයා තමා ප්‍රාථමික ශිෂ්‍ය නායකා වුණෙත්. එච්චර විතරක් නෙවෙයි, ප්‍රාථමික අංශයේ තූර්යවාදක කණ්ඩායම් නායකයා වුණෙත් ඔහු. විෂය බාහිර ක්‍රියාකාරකම් කෙරෙහි පුතණ්ඩිය උනන්දු කරවන්නට, මල්ලිකා වීරක්කොඩි කටයුතු කළ හින්ද ම, ඔහු පෝතක බාලදක්ෂ කණ්ඩායමෙත් සාමාජිකයකු වුණා. ඒ ‍පෝතක බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයන් හය දෙනාගෙත් නායකයා චන්දිම.

පාසලේ විෂය බාහිර ක්‍රියාකාරකම්වල දි ඔහු නිබඳවම නායකයකු හැටියට කැපී පෙනුණෙ. කවර‍ දෙයකට වුව ඔහු දක්වන විශේෂ උනන්දුව හින්ද යි ඒ. ඉතින් චන්දිම තමන් වෙත පැවරෙන කවර කටයුත්තක් වුණත් එය හැකි ඉහළ ම, උපරිම විදිහට සාර්ථකව කරන්නටයි ප්‍රාථමිකයෙ පටන් ම ලද පුහුණුව හා ආභාෂය. ඔහු ළඟ නෑ බෑ කියන වචන දෙක පුංචි සන්දි‍යේ පටන් මේ දක්වා ම නැති වචන දෙකක්. ඒ හින්ද ම ඇලවිෂියස් ඉස්කෝලෙ ප්‍රාථමිකේ ගුරුවර ගුරුවරියන් හැම දෙනා ම පාහේ මේ කොලු පැංචට ආදරයක් දැක්කුවා. ඔහු ඒ හැම දෙනා ගේ ම හිත් දිනා ගත්තු වග මල්ලිකා වීරක්කොඩි ඉස්කෝලෙ හාමිනේ සතුටු කඳුළු දෑහෙ රඳවන් බලා හිටියේ, පුතණුවන්ගේ අනාගතය ගැන යහපත් සිහින දකිමින්.

චන්දිමට ඉගැන්වූ එක ගුරුවරියක් ඈන් සිල්වා. ඈ ඉංග්‍රිසි වැල් අකුරු ලියන්න ළමයින්ට කියා දුන්නට පස්සෙ වඩාත් ලස්සනට සිත් ගන්නා සේ ඉංග්‍රීසි වැල් අකුරු ලියුවෙ චන්දිම. මේ පොඩ්ඩාගේ අත්අකුරු කෙරෙහි ඈන් සිල්වා ගුරුතුමිය තුළ පැවතියේ මහත් වූ ප්‍රසාදයක්. කොටින් ම කියනවා නං චන්දිම හොඳ ඉංගිරිසි අකුරු ලියන්නෙක්.

1968 මැයි මහේ 23 වැනිදා උපන් චන්දිම ඇලවිෂියස් විදුහලේ දී, පහේ ශිෂ්‍යත්වය සමත් වුණා. ඔහු ශිෂ්‍යත්ව විභාගයෙන් ලද ලකුණු අනුව, සුදුසුකම් ලද්දේ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමට. ඇලවිෂියස් ඉස්කෝලෙ ගුරු මණ්ඩලයෙ හුඟ දෙනෙක් කැමති වුණේ නෑ, මේ හුරු බුහුටි කොලු පැංචා කොළඹ යවනවට. ඒ හැම දෙනෙක් ම කියුවේ මල්ලිකා ගේ ඇස් බැල්මේ දරුවා සිටිය යුතු බව. ඒ ඉතින් වීරක්කොඩි යුවළගේ එක ම පුතා චන්දිම නොවැ. ඔහුට බාල නංගිලා දෙන්නෙක්. ඒ දෙන්නා නිවුන්නු. වීරක්කොඩි උන්නැහෙ කීවෙත් චන්දිම කොළඹ නො යැවිය යුතු කතාවක්. මොකද ඉතින් එක ම කොල්ලා නෙවැ.

ඒ කාලෙ ඇලවිෂියස් විද්‍යාලයේ විදුහල්පතිවරයා විජේවික්‍රම මහත්තයා. මල්ලිකා විදුහල්පතිවරයා හමුවී තමා මුහුණ පා සිටින ගැටලුව ඇගේ ප්‍රධානියා එක්ක කිව්වා.

''අනේ සර් මට ඉන්න එකම කොල්ලා චන්දිම. ඉතින් මගේ හිතට බයයි පුතාව ‍නාලන්දෙට යවන්න කියා. ජ්‍යෙතිර්ෂ්‍යවේදය ද හොඳින් ප්‍රගුණ කර ඇති විදුහල්පති විජේවික්‍රම මහත්තයා කියුවේ දරුව ව නාලන්දෙට ඇතුළු කරන්න. බයක් සැකයක් ඇති කර ගන්න එපා. අපි කොක්මාදූවෙ සුගතසිරි හාමුදුරුවන්ගෙ ඇස් බැල්මෙ තියමු දරුවා කියා. සුගතසිරි හාමුදුරුවො නාලන්දෙ බුද්ධාගම විෂය උගන්වන ස්වාමීන් වහන්සෙ. පුතා වැරදි යමක් කළොත් හාමුදුරුවො අපට කියාවි" යනුවෙන්.

චන්දිම කොළඹ නාලන්දෙට යන්නෙ විජේවික්‍රම මහත්තයා කරන ලද දිරිමත් කිරීම හින්දා.

අපි කවුරුත් දන්න බද්දේගම දුටුගැමුණු රාජ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත ගණේගම සරණංකර නා හිමිපාණන් වහන්සේ චන්දිම ගෙ අම්මා, මල්ලිකා මාතාවගෙ ළඟ ම ඥාතිවර හිමිනමක්. උන්වහන්සේ කොළඹ වැඩියොත්, අනිවාර්යයෙන් ම ආනන්දාරමයට වඩිනවා.  දවසක් උන්වහන්සේ චන්දිම හමුවෙලා කියල තියෙන්නෙ "ඔය දරුවා හොඳට ඉගෙන ගන්න. වැරදි වැඩ හෙම මුකුත් කොරනවා නෙවෙයි. වැරදි වැඩක් කළොත් මට ආරංචි වෙනවා" කියා යි.

නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වූ චන්දිම ගෙ හිත කීවේ උසස් පෙළට කලා විෂයන් හැදෑරීමට. ඒත් වැඩිහිටියන් බල කෙළේ විද්‍යා විෂයන් ඉගෙන ගන්නවට. කළුමාමා (අමරසිරි දොඩන්ගොඩ - මල්ලිකා ගේ සොවුරා) වගේ පෙරකදෝරු මහත්තයන් කෙනකු වෙලා මාමා වගේ ම සමාජ සේවෙ කරන්නයි ඔහුගේ කැමැත්ත. ඒකට හේතුව කළු මාමා තමයි චන්දිම ගෙ වීරයා. ඒ අයගේ අපේක්ෂාව පුතා දොස්තර පුතෙක් කිරීම. ඉතින් වැඩිහිටි මතය අනුව ඔහු විද්‍යාව හැදෑරුවත් උසස් පෙළ ප්‍රතිඵල අනුව ඔහුට වැඩිහිටි සිහිනය ඉටු කරන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.

බයොලොජි කරපු චන්දිම දොස්තර කෙනෙක් වෙන්න වෛද්‍ය විද්‍යාලයට - වෛද්‍ය පීඨයකට - යනවා වෙනුවට කළු මාමා වගේ පෙරකදෝරු මහත්තයන් කෙනෙක් වෙන්න ගියේ නීති විද්‍යාලෙට. ඊට ප්‍රබලම හේතුව වුණේ අමරසිරි දොඩන්ගොඩ උන්නැහේ 1977 පටන් පාර්ලිමේන්තු මැතිවරණවලට ඡන්දෙ ඉල්ලන කොට දොඩන්ගොඩ ගෙදර ඉඳන් වගේ ම ඡන්දාපේක්ෂකයකු සේ කරන්නා වූ විශේෂ වැඩ සඳහා හපුගල පදිංචි ලොකු අක්කා ගේ ගෙදර යොදා ගැනීම නිසා වෙන්නැති. (පුංචි සන්දියේ පටන් ම මල්ලිකා වීරක්කොඩි ගේ පුතා කළු මාමාගේ වැඩවලට, විශේෂයෙන් 1983 අතුරු මැතිවරණයේ දී, පුළු පුළුවන් වැඩ කරමින් ලද ආභාෂය ඊට බලපාන්න ඇති)

චන්දිම නීති විද්‍යාලයෙන් නීතිය හදාරා නීතිඥවරයකු සේ සමාජයට පිවිසෙන්නෙ අමරසිරි දොඩන්ගොඩ මන්ත්‍රීවරයා දෙවැනි දකුණු පළාත් සභා මැතිවරණයට දකුණේ මහ ඇමති අපේක්ෂකයා සේ පොදුජන එක්සත් පෙරමුණෙන් ඉදිරිපත්ව හිටිය දවස්වල. ඒ වන විට ඔහු රජයේ නීතිඥවරයකු සේ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට සුදුසුකම් ලබා සිටිය තරුණ නීතිඥවරයෙක්.

ඔහු නීතිඥ වෘත්තියේ පුහුණුව ලද්දේ ‍ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා (ජ්‍යෙෂ්ඨ) ගේ සහකාර නීතිඥවරයෙක් හැටිය. සමාජයට පිවිසි ‍හේ තමන් සොයා නීතියේ සරණ පතා එන විවිධ පුද්ගලයනට කළු මාමා වගේ ම නොමිලේ ද සිය සේවය ලබා දුන්නා.

ඔහු දකුණු පළාත් සභා මැතිවරණයේ දී කළු මාමා ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් තරුණ නීතිඥවරයකු සේ වෙහෙස මාන්සි වූ අයුරු ම සිත මතුවේ.

දකුණු පළාත් සභා මැතිවරණය ‍චන්දිමගේ කළු මාමා ජය අත්පත් කර ගත්තත් දුෂ්ට ධාර්මිෂ්ඨ පාලනයේ අධාර්මිෂ්ඨකම් රටත් ලෝකයත් හමුවේ ඇඳිවත් ඉවත ලා පෙන්වාලමින් අමරසිරි දොඩන්ගොඩට මහ ඇමති පුටුවේ වාඩි වෙන්නට ඉඩ නොදෙන්නට දත කෑ අයුරු රට ම දන්නා කාරණාවක්. ඒ කුප්‍රසිද්ධ පාදඩයන්ගේ පාදඩ වැඩක තරම.

අන්තිමේ දී දකුණේ ඡන්දදායකයින්ගේ අයිතිය ලබා ගන්නට අමරසිරි දොඩන්ගොඩට සිද්ධ වුණේ අධිකරණයේ පිහිට පතා යන්නට. එවක රට කරවූ ජනාධිපති ඩී. බී. විජේතුංග, ධාර්මිෂ්ඨ රනිල් වික්‍රමසිංහ හා අනුර බණ්ඩාරනායක ආදී ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයන්ගේ දුර්දාන්ත ක්‍රියා පිළිවෙතට එරෙහිව නැඟී සිටි අමරසිරි දොඩන්‍ගොඩට අධිකරණයෙන් යුක්තිය ඉටු වුණා. ඒත් අද ත් මහා ලොකුවට ජනතාවගේ  ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැන කයිවාරු කෙළින රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව තවත් තොරොට්ටුවක් දාන්න තරමට අශික්ෂිත වුණු හැටි දැන් නං මතකයෙන් බැහැර කරලා වගේ හැසිරෙන්නෙ තොත්ත බබාලා වගේ.

දකුණේ ආණ්ඩුකාර අල්හාජ් බාකීර් මාකාර් උන්නැහෙට ලද උපදෙස වූයේ තමන් සිටින තැනක් දොඩන්ගොඩලාට සොයා ගන්නට නොහැකි පරිද්දෙන් වසන් වී හිටින ලෙස.

දකුණු පළාතේ ජනතාව මෙන් ම සමස්ත රටේ ම ජනතාව, දැන් ‍දොඩන්‍ගොඩ දකුණේ මහ ඇමති හැටියට දිවුරුම් දෙනු ඇතැ යි දෑස් දල්වා බලා හිටියත්, ඔහුට ඒ සඳහා ඇති අවස්ථාව අහුරමින් බාකීර් මාකාර් ආණ්ඩුකාර ‍උත්තමයාණන් වහන්සේ හැංගුණා. ඔහු ආ ගිය අතක් සොයා ගන්නට කිසිවකුටත් හැකි වුණේ නෑ.‍

‍මේ වන විට අමරසිරි දොඩන්ගොඩ හෙවත් චන්දිම ගේ කළු මාමා හිඳින්නේ ලොකු කම්පනයක. පීඩනයක.

බෑනා වන චන්දිමට ‍කළු මාමා පෙළෙන පීඩාව බලා ඉන්නට බැහැ. ඔහු ට මතකයට නැඟුණේ තමන් හා නීති විදුහලේ ඉගෙන ගත් මාතලේ පැත්තේ මුස්ලිම් තරුණයෙක්. ඔහු එක්ක කළු මාමා මුහුණ පා සිටින ගැටලුව නිරාකරණය කර ගන්නට හැකි උදව්වක් කළ හැකි දැ යි චන්දිම මාතලේ නීතිඥ මිතුරා ගෙන් ඇහුවා.

ඔහු ගෙන් කියැවුණේ බාකිර් මාකාර් සතුව මාතලේ අලවතුගොඩ 'ෂම්ස්' නමින් වත්තක් ඇති බව. ඒ තොරතුර කාට කාටත් හිතට කිසියම් සහනයක් ලැබිය හැකි තොරතුරක්.

බාකීර් මාකාර් මේ වෙලාවේ සැඟව සිටින තැන හරියට ම තහවුරු කර ගන්න විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වූ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් පතිරණ, ප්‍රමුඛ ඒ මොහොතේ ශ්‍රාවස්ථියේ රොක්ව හුන් වැලිමඩ මද්දුම බණ්ඩාර ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු නඩේට හැකි වුණේ මන්ත්‍රීවරුන්ගේ අලුත් වාහන මිල දී ගන්නට බ්‍රෝකර් වැඩ කරනා මුස්ලිම් බ්‍රෝකර් වරයකුට පින් සිද්ධ වෙන්න.

දකුණේ ආණ්ඩුකාර බාකීර් මාකාර් උන්නැහේ මාතලේ අලවතුගොඩ පිහිටි 'ෂම්ස්" වත්තේ සිටින වග නඩුව දිනා අලුත්කඩෙන් ශ්‍රාවස්ථියට ඇවිත් හුන් දොඩන්ගොඩ හා රිචඩ් ගේ හිතවත් මන්ත්‍රීවරුන් එදා හවස දැන ගත්තේ අර බ්‍රෝකර් වෙත මද්දුම බණ්ඩාර බැස්සූ බෝලයකින්.

බ්‍රෝකර් ගේ ආරංචියෙන් තහවුරු වුණේ චන්දිමගේ මුස්ලිම් නීතිඥ මිතුරා දුන් තොරතුරේ නිරවද්‍යභාවය. ඒ අනුව එදා හැන්දෑවේ දොඩන්ගොඩ පුමුඛ කණ්ඩායමක් නුවර බලා ගිහින් රැය පහන් කළේ ලක්ෂ්මන් කිරිඇල්ල‍ගේ ගෙදර. පසුදා පාන්දර කුකුළා මල්ලේ දාගත්තු දොඩන්ලා, ෂම්ස් වත්ත බලා ගියේ හිරු උදා වූ වහා දකුණේ මහ ඇමතිකමේ දිවුරුම් දීමේ හීන දකිමින්. මේ ඓතිහාසික ගමනට අමරසිරි දොඩන්ගොඩගේ ලොකු අක්කා ගේ පුතා චන්දිම වීරක්කොඩි උසාවි නියෝගය අතැතිව ගිය අයුරු දන්නේ කීයෙන් කී දෙනා ද?

දොඩන්ගොඩ පුමුඛ නඩය ෂම්ස් වත්තට යන විට අලුත් දවසකට කළු කපා තිබුණා. දොඩන්ලා අභියස බාකීර් මාකාර් උන්නැහේ පෙනී සිටියේ පිජාමා කලිසමත්, පිජාමා කමීසයත් ඇඳන්. තමා ඉන්නේ වෙනත් පළාතක නිසා මාතලේ දී දිවුරුම් දීම කළ නොහැකි බව කී බාකීර් මාකාර් ඒ සඳහා පසු දිනය යොදා ගන්නා සේ දොඩන්ට පිළිතුරු බැන්දේ ද ඉහළින් ලද නියෝගය වසන් කරන්.

අමරසිරි දොඩන්ගොඩ දිවුරුම් දෙන්න පසු දින යොදා ගත් පසුව ද රනිල්ලාගේ උපදෙස් අවවාද අනුශාසනා ඉවසා වදාරා හුන් බාකීර් මාකාර් උන්නැහේ එදින ද ආඳකු සේ ලිස්සා යන්නට පිටපොට ගැහුවත් එය වළකන්නට මහින්ද රාජපක්ෂ ප්‍රමුඛව රිචඩ් පතිරණ, චමල් රාජපක්ෂ, නෝඑල් පත්මසිරි කාරියවසම්, පියසේන ගමගේ, මංගල සමරවීර සමඟ දකුණේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එක් වූ ඩලස් අලහප්පෙරුම, චන්ද්‍රසිරි ගජධීර, බී. වයි. තුඩාවේ , ඩැනී හිත්තැටිය, යූ. ජී. ඩී. ආරියතිලක හා සෙසු පළාත් සභා මන්ත්‍රීවරු හා ඔවුන් ගේ ආධාරකරුවන් ඉඩක් කඩක් දුන්නේ නෑ.

ඒ වෙලාවෙත් අභියාචනාධිකරණය දොඩන්ගොඩට යුක්තිය ඉටු කරදෙමින් නිකුත් කළ අධිකරණ නියෝගය රැඳුණේ ද චන්දිම වීරක්කොඩි නම් තරුණ නීතිඥවරයා අත.

දොඩන්ගොඩ දකුණේ නීතිය හා සාමය පිළිබඳ හා තවත් අමාත්‍යාංශ ගණනාවක් ද ව්‍යවස්ථාවෙන් ම ලබා දී ඇති බලතල ප්‍රකාරව මහ ඇමතිවරයා ඉදිරියේ දිවුරුම් දී ආපහු මහ ජන ගඟක් පෙරටුව ඇවිත් ගාල්ල බස් නැවතුම් පොළ ඉස්සර මහජනයා අමතද්දී යක්කලමුල්ලේත් මුල්ගිරිගල, බෙලිගල්ලේත් තරුණයින් දෙන්නෙක් පොලිසියෙන් වෙඩි තබා මරා දැමූ හැටි එජාපයටත් අමතක යි.

එතැනින් නොනැවතුණු ධාර්මිෂ්ඨ රනිල් වික්‍රමසිංහ පුමුඛ එජාප පාලකයෝ දොඩන්ගොඩ දකුණ සංවර්ධනයට ඉදිරිපත් කළ 1994 වසරේ මුදල් පුකාශනය සම්මත කර ගන්නට මඟ අහුරමින් විමල් ෆ්‍රැන්සිස්කු නම් පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයා අයවැය විවාදය පවතිද්දී ම පැහැරගත් හැටි කාට කාටත් අමතක ය. අමතක වීමේ බරපතල රෝගයෙන් පෙළෙන අපේ රටේ අති බහුතරයකට තියෙන මනෝ ව්‍යාධියක තරම බලව.

1994 ෆ්‍රැන්සිස්කුකරණයට ලක්වීමෙන් අස්ථාවර වූ දකුණු පළාත් සභාව විසුරුවා හරින්නට බාකීර් මාකාර් ආණ්ඩුකාර ධූරයෙන් නික්ම ගිය පසු පත්කෙරුණු ආචාර්ය ජයරත්න ආණ්ඩුකාරවරයා පියවර ගත්තෙත් එක්සත් ජාතික පක්ෂයේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය කදිමට පෙන්වාලමින්.

රනිල් වික්‍රමසිංහලා කළ පාහර ක්‍රියාවට එරෙහිව දකුණේ ජනතාව පෙළ ගැහුණේ දේශපාලනඥයිනටත් වඩා ඉස්සරහට ඇවිත්. ඒ සඳහා ද චන්දිම, කළු මාමා ගේ හෙවණැල්ල වෙමින් ඔහුත් එක්ක දකුණ පුරා ගිය අයුරු ලියුම්කරු ට මේ වෙලාවේ මැවී පෙනෙන්නේ ඒ යටැගියාවේ සියලු අවස්ථාවල දී රිචඩ් පතිරණ, මහින්ද රාජපක්ෂ හා සෙසු සටන්කරුවන් එක්ව ආ ගිය හැටි සිහියට නැ‍‍‍ඟෙන නිසා.

එදා පාලකයන් විසින් දොඩන්ගේ අතට දකුණේ බලය යළි අත්පත් නොකරන්නට දත කමින් දකුණ පුරා පාතාල කල්ලි යොදා හිටිය හැටි මතක පොතෙන් එළියට පනින්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන්නට පාතාලයේ සොත්ති උපාලි ලා, කළු ලකිය ලා, තට්ට සෝමෙලා, මහින්ද අහවරයක් කරන්න දෙවැනි වරටත් කැස කැවූ අයුරු මේ කිසිවකුටත් මතකයක් නැත්තේ මන්දැයි හිත ඇතුළෙ දරණු ගහන යටැගියාවේ ඡායා යළි යළිත් හිත කම්පනයට පත් කරන හින්දා.

ඉලේසිංහ ලා, පියදාස ලා, ආරියතිලක ලා, බෝධි නානායක්කාර ලා, ඉතාලි නන්දෙ ලා, බූස්සෙ ලාල් ලා, තොටගමුවේ විජේ ලා, එක්ක චන්දිමත් මාමාගේ රැකවරණයට මැතිවරණ ප්‍රචාරක රැලිවලට බෙන්තොට සිට ලුණුගම්වෙහෙර දක්වා ගාල්ල, මාතර, හම්බන්තොට ට දිව්ව හැටි මගේ මතකයට නැ‍‍ඟේ. ඩ්‍රැයිවර් සිල්වා ද දොඩන් රැකගන්නට ගත්තු වෙහෙස මාන්සියක තරම සටහන් නොකළොත් එය බරපතල වැරැද්දක් බව යි මගේ කල්පනාව.

නීතිඥවරයකු හැටියට චන්දිම පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ නඩු හබවලට පෙනී සිටිමින් රජයේ ආයතනවලට අත්කර දුන් ගෞරවය ද බොහෝ ය.

පොදුජන පෙරමුණේ ආණ්ඩුව 1994 පටන් නේක විධ අණ පනත් ඉදිරිපත් කරනා විට ඒවායේ පසුබිමේ සිට නිහඬ ‍දැවැන්ත කාර්යයක් කළේ ද චන්දිම ය.

ඔහුගේ හැකියාවන් මැනවින් වටහා ගත් පක්ෂ නායකත්වය හබරාදූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සේ ඔහු පත් කරන ලදුව ඔහු ලාංකේය දේශපාලන පොරපිටියට පිවිසි ළාබාල ම තරුණ දේශපාලනඥයකු සේ බෞවුතිස්ම ලද්දේ හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙක් පේනවා ය කියන පැරන්නන් කියන අප්තෝපදේශය සිහිගන්වමින්.

චතුර ලෙස සුද්දාගේ බස හසුරුවන්නට ද මනා පරිචයක් ලද චන්දිමට එය මහත් වූ අබරණයක් කර ගෙන ඇති අයුරු.

සුනාමි ඛේදවාචකය දා මා හුන්නේ කොළඹ බත්තරමුල්ලේ. ආරංචිය ලද සැණින් දිවයින පුවත්පත් ආයතනයෙන් ලද වෑන් එකකින් මතුගම පැත්තෙන් ඇල්පිටියට, නාගොඩ හරහා වැලිගමට ගොස් ගාලු ආවේ රෑ මැදියමත් පහුවෙද්දි.

උනවටුන පැත්තට වෙච්ච විනාශයේ තරම සොයා බලන්නට යද්දි චන්දිම තම ගෝල බාලයන් පිරිසකුත් කැටිව ඩෝසරයක් හා ලොරියක් ද රැගෙන ජිප් රියෙකින් ඇවිත් වැල්ලෙ දේවාලය කිට්ටුව දී වාහනයෙන් බැස්සෙ කොට කලිසන් කෑල්ලකුත් ටී ෂර්ට් එකකුත් ඇඳන්. ඒ වන විට ඔහු දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා. බැලින්නං මේන්න මේ සභාපතිවරයා උණවටුනෙ සුනාමියෙන් විනාශ වෙච්චි ගොඩනැගිලි සුන්බුන් අස්කරනවා ඔහු කැටිව ආ නාම්බන් එක්ක. ඒ වෙන කොට ඒ පැත්ත පළාතක නහයක් තියෙන කෙනකුට ඉන්න බෑ. පරිසරය මුළුමණින් ම වසා පැතිර තිබුණේ මහා දුගඳක්. ඒත් මේ තරුණ සභාපති ඒ දුගඳ දරාගනිමින් උණවටුන පාර දෙපැත්තත් සුද්ද බුද්ද කරන අයුරු මා බලා හුන්නේ තුෂ්නිම්භූතව. ඔහු සිය ගෝල බාලයන්ට විධාන දෙමින් පැත්තකට වෙලා බලා නොසිටියේ ඔහු තුළ පවත්නා මනුස්සකම නිසා නොවේ ද යන්න මට දැනුදු සිහිපත් වෙනවා.

ඔහු දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට කළ මෙහෙය ද සුළුපටු නෑ. ඒ වගේ ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ද කැපී පෙනෙන දෙයක් ගාල්ල දිස්ත්‍රික්කයේ තමාට මනාප දුන් හා නුදුන් හැම දෙනාගේ ම පොදු යහපත වෙනුවෙන් කළ අයුරුත්, 2009 පටන් අද දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන් ම ඇමතිවරයෙක් ලෙස ද කරන ලද සේවය ද සුළුපටු නෑ.

චන්දිම වීරක්කොඩි යනු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම දක්ෂයෙක්. ඔහුගේ හැකියාවන් අච්චර ය මෙච්චර ය කොච්චර ද කියා කියන්නට බෑ. ඔහු වැඩිහිටි මතය ගරු කරන්නට තරම් මනා හික්මීමක් ඇත්තෙක්. ඒ නිසා ම ඔහු තරග කළ හැම මැතිවරණයක දී ම තමන්ගේ මනාප ගොඩ වැඩි කර ගන්නට තරම් ජන ප්‍රසාදයට පාත්‍ර වී සිටින බව සක්සුදක් සේ පැහැදිලි යි. ඒ හින්ද යි 2015 අගෝස්තුවේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් මහජනයා  114851 තරම් කතිර කෑලි ඔහුගේ අංකය ඉස්සරහ සලකුණු  කර එක්සත් ජනතා සංළුධානයේ ගාල්ලේ වැඩිම මනාපවලින් පළමු වැනියා සේ තුන් වැනි වරටත් දියවන්නා හොය තරණය කරන්නට මිනිසුන් කැමැත්ත දැක්වූයේ.

අපේ රටේ මැතිවරණයක් එළඹි විට අවුරුදු 43 ක් තිස්සේ ම තියෙන්නෙ මනාප බලු පොරයක්. ඒක ජේ. ආර්. ප්‍රේමදාස පාලනයෙන් අපට හිමි වෙච්චි විනාශයේ දෑවැද්ද. ඉතින් ඡන්දෙයක් පටන් ගත්තු තැන් පටන් මනාප පොරේට වැටෙන අපේක්ෂකයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් ඇට්ටි හැළෙන්න එකාට එකා මඩ තලිවලින් ගහ ගන්නවා.

ඒත් අලියාගේ පක්ෂයෙන් හෝ ටැලිපෝන් බලවේගයෙන් හෝ චන්දිමට අවලාද නඟමින් මඩ ප්‍රහාර එල්ල කරන වගක් අපට නොපෙනේ. ඒ පක්ෂ‍ දෙකේ අපේක්ෂකයන් විසි හතර දෙනා විසින් චන්දිමට අපහාස උපහාසවලින් දමා ගැසීමේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් කීප දෙනකුට පවරා ඇති සෙයකි බැලූ බැල්මට අපට පෙනෙන්නේ.

ඒත් අපූරු වැඩේ නං ඔහුට ඉතා නින්දනීය ලෙස මඩ ප්‍රහාර කොච්චර එල්ල කළ ද චන්දිම හෝ ඔහුගේ හිතවතුන් හෝ නොවේ එවන් මඩ ප්‍රහාර හා අවලාද නඟන්නන්ට පෙරළා පහර දෙනුයේ. එයින් ගාලු ජනතාව එකක් ඉතා පැහැදිලි අයුරින් වටහා ගෙන ඇත්තේ ඔහු යෙදෙන්නේ ;;ald,Sk සිරිලංකාවේ දේශපාලනhයට අනුගතව නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයාණන් සිය ජනාධිපතිවරණ‍යේ දී හැසිරුණු අයුරු ආභාෂයට අනුගතව බව බො‍හොම පැහැදිලිව පේන්න තියෙන ධනාත්මක පියවරක් සේ කටපුරා කියන්න ඕනෑ.

ta Tyqf.a yeටිය. රටට අවශ්‍ය එකිනෙකාට මඩ ගසමින් අවලාද නඟමින් කරන්නා වූ මජර දේශපාලනය නොවේ. රටට, ජනතාවට වඩාත් යහපත් හෙට දවසක් නිර්මාණය කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයාණන්ගේ ප්‍රතිපත්ති නිසි පරිද්දෙන් ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය දේශපාලනයේ ගැඹුරක් දැකිය හැකි පරිණත දේශපාන නියෝජිතයන් අති බහුතරයකි. ඒ බහුතරයට ගාල්ලේ අපේ නියෝජනයට ඇවැසි නැතිවම බැරි අංක එකේ චරිතයක් සේ මා දකින්නේ චන්දිම වීරක්කොඩි නම් තරුණ දේශපාලන චරිතය යි.

- සුගතපාල මැන්දිස් -