හනී - නවකතාව

හනී – නවකතාව 14 වන කොටස

"ඇයි ඉතින් ඔයාගෙ කටේ දතක් නෑ නේ.... දැන් මට වස ලැජ්ජයි. පුංචි හරි බොරුවක් කීවාට. ඉතින් මං තවත් කවදාකවත් බොරුවක් නං කියන්නෙ නෑ"
මං ඇ‍ෙඳෙන් නැගිටලා ඇගේ ඔලුව අතගෑවා.
"ඔව් නංගී බොරු කියන්න හොඳ නෑ තමයි. ඒත් ඉතින් ඔයා එහෙම කිව්වෙ මං ඉස්කෝලෙ ගියේ නැති කාරණාව කියා ගන්න බැරුව නේ. හොඳයි ඔයා මීට පස්සෙ බොරු කියන්නෙ නෑ කියා දැන් කීවා නේ"
මං ඇගේ හිත සනහන්න එහෙම කීවා. ඒත් එක්කම ඇතුළු ගෙයින් ඇහුණෙ අර යකින්නගේ හඩ.
"ඒයි අරිජා.... මොනවද උඹල දෙන්න මුණු මුණු ගාන්නෙ. මෙහාට ඇවිත් කෑම කනවා"
ඒ විධානය ඇහුණා විතරයි අරිජා විදිල්ල වගේ කාමරෙන් ඉගිලුණා.
"හනී... උඹත් වරෙන් මෙහාට. ඇවිත් කාපං. මට කුස්සිය අස් පරස් කරන්න තියෙනවා"
මට කෑම කන්න කිසිම පිරියක් ඇත්තේ ම නෑ. ඒත් ඉතින් මාත් අරිජා වගේ ම ලොකු අම්මාගේ නියමයට අවනතවෙලා කාමරෙන් එළිය‍ට ආවා. එතකොට කියොස්ටියි, පෙන්ටියි, කියොයි පුටු වල වාඩිවෙලා දෙසා බානවා ලොකු පිඟන් තුනක්.
හැබයි මගේ ඉස්කෙළියාව දැක්කා විතරයි කියෝ මූණ බිමට හරව ගෙන පිඟාන දිහා බලන් ලොකු පාන් කෑල්ලක් කටේ ඔබා ගත්තා.
ලොකු දේනාන මං දිහා බැලුවේ හිනා වෙවී ය කියල යි මට හිතුණෙ.
ලොකු අප්පොච්චි කෑම කාලා සවුනාව ළඟ විවේකයෙන් හිටියෙ ලොකු සුරුට්ටුවක් කටේ ගහන් දුම් පිට කර කර. මං හිතන්නෙ මයෙ ඇ‍ඟේ ගාන්න ඖෂධ ආලේප ගේන්න ගිය වෙලාවෙ ලොකු අප්පොච්චි සුරුට්ටුත් ගේන්න ඇති.
කට තුවුල වෙලා හින්ද මං කන්න ගත්තු කෑම අත ගගා හිටියෙ ලොකු අම්මා එහාට මෙහාට වෙනකං. මං තමයි, පානු ටි අල යි කටක් දෙකටක් විතර. ඒත් ඒ ගෑනි අපි පස්දෙනා වටේ කැරකි කැරකී ම යි ඉන්නෙ. මට දැන් වෙන කරන්න දෙයක් නෑ. මං නැගිට්ටා හුන් තැනින්. ආවා එලියට. ඊට පස්සෙ පිඟානේ ඉතිරි කෑම ටික බල්ලටත් බළලටත් දැම්මා ලොකු අම්මා බලා හිටිය දී ම.
බර්තා (ලොකු අම්මා) ඒක දැක්කත් වචනයක් කටින් පිට කළේ නෑ. වෙන දා නං ඇගෙන් කටෙන් පිටවෙන වචන අහන් ඉන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒත් අද මේ දැන් කිසිම හාවක් හූවක් නැතිව ඈ ඉන්න හැටි දැක්කහම මං හරියට පුදුම වුණා. සමහර විට ඒ දුෂ්ට ගෑනිට තේරෙන්න ඇති මට කන්න පුළුවන් කමක් තිබුණා නං මං නොකා ඉන්නෙ නැති විත්තිය. මොකද එයා දන්නවා නෙවැ මට කන්න දෙන තරම.... කවර දවසකවත් වැඩියෙන් එක පාන් පෙත්තක්, අල කෑල්ලක්, කැරට් කෑල්ලක් නිකමටවත් දෙන්න‍ෙ නෑ නෙවැ මට.
කෑම පිඟාන බල්ලටත්, බළලටත් දැම්ම මං බඩ පිරෙන්න වතුර බීවා. මං වතුර බොන හැටි ඈ බලා හිටියෙ දෑත්ඉඟට ගහන්. කුස්සියෙන් මෑත් වුණු මං කෙළින් ම ආපහු ගියේ ඇඳට. ඇඳට වැටිලා මං කල්පනා කරන්න පටන් ගත්තෙ අම්මා ගැන, මල්ලිලා දෙන්නා ගැන, නංගී ගැන. එහෙම ඉඳිද්දී මට මතක් වුණේ අද වගේ ම දවසක අම්මා මගෙත්, මල්ලි මාර්කු (Markko) ගෙත්, ජීවිත බේරා ගත්තු හැටි.

එදා... එදා... අපේ අම්මා වැඩට ගිහින්. ඈ වැඩට යන කොට මල්ලි යි මම යි දෙන්නා ම කාමරේ දමල දොරවල් වහල යි යන්නෙ. අපි දෙන්නා පුංචි එවුන් නේ. මතකෙ හැටියට නං මයෙ වයස අවුරුදු හතරක් විතර ඇති. එතකොට මර්කු ගෙ වයස අවුරුදු තුනක් විතර ඇති. මල්ලී මට වඩා අවුරුද්දකින් විතර නේ බාල.
අපේ ගෙදර ඉන්නෙ අම්ම යි, මම යි, මල්ලි යි අපි තුන් දෙනා විතර යි. තාත්තා කවුරුන් ද කියන්න දන්නෙෙ නෑ නේ. තාත්තා ගැන අපි දන්නෙත් නෑ. අහල ත් නෑ. දැකල ත් නෑ.
අපි දෙන්නා ජීවත් කරවන්න අම්මා ගියේ සපත්තු වැඩ පොළට. ඒක තියෙන තැන පුංචි මං කොහොම ද දන්නෙ. කොහොම වුණත් අම්මා මටයි, මල්ලිටයි කෑම කවල තමා හැම උදේක ම රස්සාවට යන්නෙ. ඒ යන කොට ඈ මට කියන්නෙ හනී දුවේ මල්ලිත් එක්ක ගෙටවෙලා ඉන්න... කවුරත් හෙම කතා කළාට දොර අරින්න එපා කියා. හොඳ ද මයෙ පුතේ. එහෙම කියල ඈ අපි දෙන්නගෙ ඔළුව අතගාලා උම්ම එකකුත් දීලා යන්නෙ. මං කීප දවසෙ දැකල තියෙනවා එහෙම යන අම්මා ආපහු හැරිල බලන කොට ඇගේ ඇස් දෙකේ ලොකු කඳුළු ගෙඩි දෙකක් තියෙනවත්. ඈ එක අතකින් ඒ කඳුළු පිහදා ගන්න හැටිත්.
මං වැඩට ගිහින් එනකං මල්ලිත් එක්ක සෙල්ලං කර කර ඉන්න කෝ කාමරෙ. හනී දුවේ මල්ලිට ගහන්න එපා. මල්ලි අඬවන්න එපා. ඈ බයිසිකලේට නැගලා හයියෙන් කෑ ගහල වගේ කියනවා හනී දුවේ මාර්කු පුතේ මං ගිහින් වැඩට කියා.... ඒ වචන ටික හැම දවසක ම උදේ අම්මගෙන් අහන්න අපි දෙන්න පුරුදු වෙලා හිටියෙ.
ඉතින් එක දවසක් අපි දෙන්න කාමරේටවෙලා සෙල්ලං කර කර හිටියා. මට බෝනික්කෙක් හිටියා. මං එයාව නලවන කොට මල්ලි කොහෙද තිබිල ගිනි පෙට්ටියක් හොයා ගෙන. මං හිතන්නෙ ඇ‍ ඳේ කොට්ටෙ යට තිබිල වෙන්නැති. එයා ගිනි කූරක් අරං ඒක පත්තු කළා. එක සැණින් ගිනිකූර නිවුණා. මර්කු තවත් ගිනි කූරක් අරන් පත්තු කළා. එතකොට එයාගේ අත පිච්චෙන්න ඇති මං හිතන්නෙ. එයා ඒ ගිනිකූර වීසි කළා. වැටුණෙ මෙට්ටෙ උඩ‍ට. ටික ටික දුම් නැඟුණා. මර්කු අඬන්න පටන් ගත්තා. මට කරන්න දෙයක් නෑ.
මමත් හොඳටෝම බය වුණා. ඇ‍ ඳෙන් කොට්ටයක් ගත්තු මං දුම් නඟින තැනට ගහන්න පටන් ගත්තා. ඒත් ඒක හරියන්නෙ නැති වැඩක් වගේ. මං ජනේලෙ ළඟට දිව්වා. එක ‍පියනක් කොහොම හරි ඇරගන්න උත්සාහ කළා. කොහෙද මං උස නෑ නේ. දැන් මුළු කාමරේ ම දුමින් පිරිලා. අපි දෙන්නට හුස්ම ගන්නත් බෑ. අපි දෙන්නගෙ ඇඟ පුරා දාඩිය ගලනවා. හුස්ම ගන්න බැරිව අපි කැස්ස ආවා...
"අ--- ම්--- ම්.... ම්..."
මර්කුට කියා ගන්න පුළුවන් වුණේ අකුරු දෙක යි. 'මා' කියා ගන්න කලින් හුස්ම ගන්න බැරුව කැස්සකුත් ආවා.
මං දොර කඩන්න පයින් ගැහුවා. කකුල රිදුණා විතරයි. මට ඌයි ගෑවුණේ ඉබේටම.
"දෙයියනේ මම යි මල්ලි යි බේරා ගන්න කවුරුත් නැද්ද?" මං ඒ වචන ටික කියා කෑ ගැහුවේ තුන් හතර පාරක් එක දිගට කැහැ කැහැ.ඒත් එක්කම ටික ටික ඇඟට පණ නැතිවේගෙන එන වගක් මට දැනුණා. මර්කු බිම දිගා වුණා. කාමරෙන් නැ‍ෙඟෙන දුම් දැන් ටික ටික වහලෙන් ඉහළට යනවා මං දැක්කා කඳුළු අස්සෙන් වගේ.
මෙට්ටෙන් නගින දුම්වලින් දැන් මුළු කාමරේ ම පිරිලා. දුම් රොටු කාමරේ පුරෝගෙන.මර්කුට හුස්ම ගන්න බැරිව කහිනවා ඒ බොහොම අමාරුවෙන්. මටත් එහෙමයි. මල්ලිට වගේ ම මටත් හුස්ම ගන්න බෑ.... මං දොර ළඟට ආපහු ගියේ බොහොම අමාරුවෙන්. පුළුවන් තරං හයියෙන් දොරේ බෝලෙන් ඇද්දා. ඒත් දොර ඇරෙනවා වෙනවට මං කාමරේ මැද්දට වීසි වුණා.
මගේ හිතට දැනිච්චි බය කොච්චරක් ද කියා කියන්න දන්නෙ නෑ. දැන් දැන් මමත් මල්ලිත් මේ කාමරේ ඇතුළෙ හුස්ම හිරවෙලා මැරේවි ය කියන බය අපි දෙන්නට ම ඔට්ටුවෙලා.
අපි දෙන්නට කතා කර ගන්න බෑ, ඇස්වල කඳුළු. ඒත් එක්කම ඇස් දෙකෙන් නැ‍ෙඟෙන දැවිල්ල ඉවස ගන්න පුළුවන්කමක් ඇත්තෙ නෑ.
හුස්ම ගන්න බැරිව පපුව හිරවෙද්දි මට දෙවියන් වහන්සේ සිහිවුණා.
ඒත් එක්කම මහ වෙලාවක් ගියේ නෑ, කවුරුන් හෝ කෑ ගාන හඬත් එක්කම ගෙයි දොරක් පිටතින් ඇරෙනවා වගේ හඬකුත් ඇහුණු බව මට දැනුත් මතක් වෙනවා. තව තත්පර ගණනාවක් ගත වෙන්න ඇති. අපේ කාමරේ දොරට කවුරුන් හරිවැරෙන් පහරක් දුන්නා. ඒත් දොර ඇරුණෙ නෑ. ඊට පස්සෙ එළියෙන් කවුරුන් හරි දොරට පහර පිට පහර දෙනවා. ඒත් එක්ක ම එක පාර දොර ඇරුණා. අව සිහියෙන් වගේ හිටපු මං දැක්කා තඩි පොල්ලක් අතේ තියන් කවුරුන් හෝ කාමරේට කඩා වැදුණු හැටි. ඒ ආපු එක්කෙනා මට පෙනුණෙ බොඳවෙලා... ඔව් බොඳවෙලා....

ඇස්‍ දෙකේ දැවිල්ලත් කැස්සත් නිසා කිසිවක් මට පේන්නෙ නෑ. දැන් මං ඉන්නෙ මල්ලි බදාගෙන. එයා ඉවරයක් නැතිව බොහොම අමාරුවෙන් හුස්ම ඉහළ පහල දානවා. මාත් එහෙමයි. මටත් හුස්ම ගන්න බෑ. උගුර හිරවෙලා... ඇස් නිලංකාර වෙලා. ඇඟට දැනෙන්නෙ අප්රාතණික බවක්. මල්ලි ළඟ ම මමත් බිම දිගාවෙලා ඉන්නෙ. මල්ලි බදා ගත්තත් මට නොදැනීම මගේ අත්දෙක බුරුල් වුණා.