සාහිත්‍යය හා කලාවහනී - නවකතාව

හනී – නවකතාව 2 කොටස

දෙවන කොටස

හනී පර්සොනෙන්  (Hannele Pesonen) මගේ නම. පින්ලන්තයේ, ඔරිවිසි(Orivesi) වල යි මං උපන්නෙ. මගේ අම්මා සරා. මා හැර අපේ අම්මට තවත් දරුවන් තුන් දෙනෙක් හිටියා. දෙන්නෙක් කොල්ලො. බාල නංගි යි පොඩිමමල්ලියි දෙන්නා නිවුන්නු. ලොකු මල්ලි, මර්කු (Markku) නිවුන් දෙන්නා ඔස්මෝ (Osmo) යි බිර්ගිට්ටා (Birgitta) යන නම්වලින් හැඳින්වෙන්නෙ.

බාල දෙන්නා වැයිනෝ  (Vāinō) නම් අපේ සුළු පියාණන්ට දාව යි අපේ අම්මා බිහිකළේ.

අපේ අම්මා රියඅනතුරකට ලක්වෙලා මියගිය බව මං කලින් සඳහන් කළා නේ. එතකොට මගේ වයස අවුරුදු පහයි. රියඅනතුරකින් අම්මා මියගියාට පස්සෙ මා ගෙවූ ජීවිතය බොහොම දුක්ඛිත එකක්. ඒක හරිම කටුක යි. මෙහෙම ජීවිතයක් මා ලබමින් මේ ලෝකෙට බිහිවුණේ මන්දැ යි කියලා මං කල්පනා කළේ වරක් දෙවරක් නෙවෙයි. මේ දැනුත් මං කල්පනා කරන්නෙ ඒ ගැන.

අම්මා නැතිවුණාට පස්සෙ මං ඒක දිගට අවුරුදු පහක් ම ගතකෙළේ අපා දුකක්. බොහොම දුක් ගැහැට කම්කටොලු හිරිහැර කරදර විඳිමින් ගතකළ ඒ කාලය මයෙ යටිහිතේ බොහොම තදින් කාවැදිල තියෙන්නෙ. ඒ කාලෙ බොහොම වේදනාකාරියි. ඔව් බොහොමත් ම වේදනාකාරියි. මං පුංචි ම පුංචි කෙලි පැංචියක් හැටියට එවන් ජීවිතයක් ගතකරන්නට හේතුකාරණා නොදැන අදත් මං කඳුළු හළනවා. නිතර ම නිතර ම මට මගේ පුංචි පැටි සංදිය වරින් වර හිතට නැඟෙනවා.  මං යළි යළිත් පතන්නෙ මං පුංචි කාලෙ ගතකළ ඒ ඉතා අවාසනාවන්ත ජීවිතයක් මේ ලෝකයේ උපදින කිසි ම ගැහැනු ළමයකුට අත් නොවේවා කියා යි.

අපේ අම්මා අපි දාලා ගියට පස්සෙ මයෙ වගකීම් භාරගත්තෙ මගේ මෑණියන් ගෙ ඒක් සහෝදරියක්. ඈ අම්මාට වඩා හවුරුදු කීපෙකින් වැඩිමාල්.

අම්මා ඉපැදිලා තියෙන්නෙ සහෝදර සහෝදරියන් හත් දෙනකු එක්ක. අම්මල ගෙ පවුල ලොකු එකක්. ලොකු යි කියන්නෙ වත් පොහොසත්කම් වලින් නෙවෙයි. දූ දරු සංඛ්‍යාවෙන්. අවාසනාවන්ත විදිහට අපෙ අම්මා අපෙන් උදුර ගන්නට දෙවියන් වහන්සේ අකාරුණික වුණේ, පෙළඹුණේ ඇයි දැ යි මං මගෙන් ඇහූ වාර ගාණ අනන්ත යි. අප්‍රමාණ යි. ඒ අපේ ලොකු අම්මා හෙවත් මෑණියන් ගේ සොවුරිය මට දුන් නේකාකාර වද හිංසා නිසාවෙන්. ඒතරමට ම ඈ මට වද දුන්නා.

ලොකු අම්මා ගෙන් විතරක් යැ. නෑ. නෑ. නැහැ. දෙයියනේ ඇගේ ලොකු පුතා…. ඒකා ගැන මතක් වෙන කොටත් මට ඇති වෙන්නෙ පුදුමාකාර කේන්තියක්. වෛරයක්. තරහක්. කෝපයක්….

ඒකා වට වඩා අවුරුදු කීපෙකින් වැඩිමාල්. ඔහු මගේ ඥාති සහෝදරයා ය කියන්නත් ලැජ්ජ යි. සහෝදරයෙක් ය කියන්න තරම්වත් නොවටිනා එකෙක්. කොටින් ම කියනවා නං ඒකා මහා නරුමයෙක්. ඔව් මහා නරුමයෙක්.

මගේ අම්මා ගේ අවසන් කටයුතු සියල්ල කළේ ඇගේ තවත් එක සහෝදරියක්. එයා නං හරිම කරුණාවන්ත යි.

අම්මාගේ වියෝව මටත් ලොකු මල්ලීටත් දරා ගන්න බැරුව අපි දෙන්නා හොඳටෝ ම ඇඬුවා. ඇඬුවා. ඇඬුවා…. කොච්චරක් ඇඬුවා ද කියා නං කියන්න දන්නෙ නෑ. කොහොම හරි අම්මා ගේ අවසන් කටයුතු කරල අහවර වුණාට පස්සෙ ලොකු අම්මා මං භාර ගත්තා. ඒ කියන්නෙ මගෙ සියලු වගකීම් ඈ දරා ගන්නවා ය කියා කිව්වා.

ලොකු මල්ලි හදා වඩා ගන්න භාර ගත්තෙ අම්මාගේ තවත් එක් සහෝදරයෙක්. පොඩි මල්ලිටත් නංගිටත් එයාල ගෙ තාත්තා ඉන්නවා නෙවැ. මම ත් ලොකු මල්ලි ත් තමා අසරණ වුණේ. ලොකු මල්ලි මර්කු මාමා කැටිව ගියා. ලොකු අම්මා මාව කැන්දන් එයාලගෙ ගෙදර ගියා.

ලොකු අම්මල ගෙ ගෙදර අපේ ගෙදර ඉඳල බොහොම දුරක තියෙන්නෙ. කිලෝ මීටර තුන්සිය හතළිස් පහක දුරක. අපි පදිංචිව හිටියෙ ඔරිවෙසිවල නේ. ලොකු අම්මල ගෙ ගෙදර රවුටවාරා (Rautavaara) වල. රවුටවාරා පිහිටියේ පින්ලන්තයේ අගනුවර ඉඳල නැගෙනහිර පැත්තට වෙන්න.. කිලෝ මීටර පන්සිය පනහක් විතර දුරින්.

රවුටවාරා වල හොවුලා (hōylā) කියන ගමේ තමා ලොකු අම්මලා පදිංචි. හොවුලා අපේ රටේ පිහිටි ඈත පිටිහර ගම්මානයක්.

හරිම සුන්දර ගම්මානයක් හෙවුලා. අපේ ලොකු අම්මලගෙ ගේ ඉස්සරහින් තියෙනවා පාරක්. යාබද ගම් යා කෙරෙන්නෙ ඒ පාරෙන්.  ඒ පාරෙන් ලොකු අම්මලගෙ  දිහාට එන්න ඕනැ අඩි පාරක් දිගේ. පුංචි කඳු ගැටයක් වගේ තැනක යි ලොකු අම්මලා ගෙ ගේ තියෙන්නෙ. එ තැන හරිම ලස්සන යි.

තවත් පුංචි ගේ පොඩ්ඩක් තියෙනවා ගේ ඉස්සරහින්. ගෙට පැත්තකින් ලොකු අම්මලා ගෙ හරක් පට්ටිය ලගින මඩුව. එතැනට කිට්ටුවෙන් ම හරක්ට කන්න දෙන තණකොළ යි අනිත් කෑම යි වතුර යි තියෙන මඩුව.

ළිඳ තියෙන්නෙ ගෙට පැත්තකින් කඳු පාමුල. බොන්න වතුර ගත්තෙත් නිතිපතා අනෙක් අවශ්‍යතාවලට වතුර ගත්තෙත් ඒ ළිඳෙන්.

මගේ අලුත් නවාතැන වෙච්ච ලොකු අම්මලගෙ ගෙවත්තට පිටිපස්සෙන් තියෙන්නෙ විලක්. ඒක නං හරිම ලස්සන විලක්. බලන්න එපා යැ හැන්දෑ යාමෙට ඒ විලේ තියෙන අපූරුව. නා නා වර්ගයේ කුරුල්ලන්ගෙන් පිරෙනවා ඒ විල. ඊට එහා ඈතින් පේන්නෙ ගහ කොළෙන් පිරිණු කැලෑව… ගිම්හානයේ දී ඒගහ කොළ නිල්ලෙන් පිරිලා. හරිම ලස්සන යි. හරිම සුන්දර යි. මං ඒ නිල්ලට හරිම ආසයි.

ඒ වන රොදේ  ගිම්හානයට සින්දු කියන පුංචි කුරුල්ලො බොහොම යි. මං හැම දවහක ම පාන්දරින් නැගිලට උන් සින්දු කියන හැටි ආසාවෙන් බලා ඉන්නෙ කියන්න බැරි  තරමෙ සංතෝසෙකින්. වංගියක මට හිතෙනවා පුංචි කිරිල්ලියක වගේ බොහොම නිදහසේ ආකාහෙ පුරා පියඹ පියඹා යන්න ඇත්තං කොච්චරක් හොඳ ද කියල.

රවුටවාරා කියන්නෙ අපේ ලොකු අම්මල පදිංචිවෙලා ඉන්න ගම අයිතිවෙන නගරෙ. ඒ නගරෙ ඉඳල කිලෝ මීටර දහඅටක් විස්සක් විතර දුරකයි හොවුලා නැත්තං ලොකු අම්මල ජීවත්වෙන ගම පිහිටල තියෙන්නෙ.

ලොකු අම්මාත් එක්ක මං හොවුලා ගමට ආපු දවසෙ උන්දැ මං බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගිය හැටි මට දැනුත් මතක් වෙනවා. එතකොට මං හුඟක් පුංචි යි තමා. අපේ අම්මා දෙවියන් වහන්සේගේ තුරුලට ගියාට පස්සෙ අපේ අම්මා ආයෙ කවරදාකවත් ම අපිත් එක්ක ඉන්න එන්නෙ නෑ කියා බාප්පා කීවා නේ. ඒ හින්ද ම ද කොහේද මට පුංචි කාලෙ වෙච්චි හුඟක් දේවල් ගලේ කෙටූ අකුරු වගේ හොඳ හැටියට මතකයි.ඕනැම වෙලාවක මට ඒ සිද්ධි එකක් නෑර මතක් කරගන්න පුළුවන්. ඒ දවස්වල හැම සිද්ධියක් ම මට මේ දැන් වෙච්ච දෙයක් මැවිල පේනව වගේ චිත්‍ර චිත්‍ර වගේ මතකයට නැඟෙනවා.

ලොකු අම්මා මාව බදාගෙන ඉඹ ඉඹ කියුවෙ මයෙ පුංචි සුරංගනාවිය, මයෙ පුංචි සුරංගනාවිය, මයෙ පුංචි සුරංගනාවිය කියා. විනාඩි ගණනාවක් ම ඈ මං බදාගෙන හුන්නා මතක යි. ඔරිවිසිවල ඉඳල හොවුලාවලට යන කොට හුඟාක් ම හැන්දැවෙලා බව යි මගේ කල්පනාව. මයේ කල්පනාවෙ හැටියට ලොකු අම්මත් එක්ක මං එහේ යද්දි සමාජ සේවා නිලධාරීන් ද ගියා ය කියලයි මට දැන් නං හිතෙන්නෙ.ඒ කට්ටියටත් පේන්න එක්ක වෙන්නැති ලොකු අම්මා මාව බොහොම ආදරයක් සෙනෙහයක් පෙන්න පෙන්නා මයෙ පුංචි සුරංගනාවිය කිය කියා ඇගේ තුරුලට අරන් ඉම්ඹෙ.

හොවුලා ගිය දවසෙ පළමු වැනි රාත්තිරිය මං නිදාගත්තෙ ලොකු අම්මාගේ තුරුල්ලෙ. මාත් ඇගේ දියණියකත් ඇගේ ඇඳේ දොයිය ගත්තෙ තුන් දෙනාට තුන් දෙනා තුරුලු වෙලා. නැත්තං අපි දෙන්නා ලොකු අම්මා බදා වැළඳ ගෙන. මං හිතන්නෙ ඇගේ දුවට වඩා මං තමා ඈ වැඩියෙන් බදාගෙන නිදිය ගත්තේ. ඒ අපේ අම්මා නැති පාඩුව මකන්න වෙන්නැති.

අපි තුන්දෙනා විතරක් නෙවෙයි මයෙ කල්පනාවෙ හැටියට ඒ ඇඳේ නිදා ගත්තෙ. ලොකු අප්පොච්චිත් අපි තුන්දෙනාත් එක්ක ම දොයිය ගත්තා.

මට හිතුණෙ ලොකු අම්මා මට ගොඩාක් ආදරේ කරනවා කියල යි. ඒත් මුලින් මුලින් මට එහෙම හිතුනට ඒක එහෙම නෙවෙයි කියා මට පස්සෙ පස්සෙ තේරුණා.

ඒ බව වඩාත් හොඳින් දැනෙන්න ගත්තෙ උදේට දවල්ට රෑට කෑම කන්න ගියහම. එයාගෙ දරුවන්ට වගේ මට කන්න බොන්න දෙන්නෙ නැති වග මට දවසින් දවස තේරුණා. සමහර දොහක උදේට මට කන්න දුන්නෙ එක ම එක අර්තාපල් ගෙඩිය යි.එක අර්තාපල් ගෙඩියක් මට එහෙම දුන්නට එයා එයාගෙ දරුවන්ට හොඳ හැටි බඩ පිරෙන්න අර්තාපල් පිඟානට බෙදනවා. අල ගෙඩියකින් මට මගේ බඩ පිරෙන්නෙ නෑ නෙවැ. මං කරන්නෙ එ අලගෙඩිය කාලා බඩ පිරෙන්න හොඳටෝම වතුර බොනවා.

උදේට විතරක් නෙවෙයි. ලොකු අම්මා දවල්ටත් ඒවගේ ම තමා එයාගෙ දරුවන්ට කන්න දෙන්නෙත් මට කන්න දෙන්නෙත්. මට කෑමට දුන්නෙ ඒ කට්ටිය කන දේවල්වලින් බොහොම සොච්චම යි. එයින් මට හොඳ හැටි තේරුණා අපේ ලොකු අම්මා මට ඒ හැටියට ම ආදරයක් නෑ කියන වග.ඒත් මට හරි වැටහීමක් තිබුණේ නෑ කිසිම කෙනකුට මට ඇති දුක වේදනාව කියන්න. මට ඒ ගැන දුක දැනෙන කොට මං කරන්නෙ අම්මා සිහිකරන එක විතර යි.

අපේ අම්මා කොච්චර හොඳ කෙනෙක් ද කියා ටිකෙන් ටික මට තේරුම් ගන්න පුළුවන් වුණා. ඒ ලොකු අම්මත් මයෙ අම්මත් ගලප ගලපා බලන්න පුරුදු වෙනකොට.

ලොකු මල්ලි මර්කො ට යි, පොඩි මල්ලි ඔස්මො ට යි, නංගි බිර්ගිටා ට යි දැක්වූ ආදරය හා සමාන ආදරයක් ඈ අහලපහල අපේ වයසෙ ළමයින්ට දැක්කුවා. ඔරිවිසිවල අපේ ගේ කිට්ටුව හුඟක් නංගිලා මල්ලිලා අයියලා අක්කලා අපේ අම්මට දක්වන ලද ආදරය සෙනෙහස මට මේ දැනුත් මැවිල පේනවා. ඈ දිව්‍යාංගනාවක් ය කියනව වගේ හැඟීමක් තමා මට මයෙ අම්මා ගැන තියෙන්නෙ. ඒ තරමට ම ආදරයක් කරුණාවක් දයාවක් සෙනෙහයක් අපි හතර දෙනාට වගේ ම අහලපහල ළමයින්ටත් ඈ දැක්වූ ආකාරය හින්දා. එහෙම කරන්න පුළුවන් දෙවිවරුන්ට විතරක් වෙන්නැති.