සාහිත්‍යය හා කලාවහනී - නවකතාව

හනී – නවකතාව 3 කොටස

තෙවන කොටස

අපේ අම්මා ගේ අක්කා කෙනකු ද කියන හැඟීමක් මට ලොකු අම්මා ගැන බොහොමයක් අවස්ථාවල ඇති වෙනවා. ඈ පවුලේ වැඩිමහල් එක්කෙන‌ා ලු. පවුලක වැඩිමාල්ලා අනෙක් හැම කෙනාගේ ම දුක සැප ගැන හොයල බලන බොහොම හොඳ ගතිගුණවලින් පිරුණු කෙනකු වෙන්න එපා යැ. ලොකු අම්මා අපෙ අම්මාට වඩා කොච්චර වෙනස් ගෑනියෙක ද? අපේ අම්මා ළඟ තිබිච්චි එක හොඳ යහපත් ගුණයක් ලොකු අම්මාගේ තැවරිලා වත් නෑ කියලයි මයෙ විශ්වාසෙ. විශ්වාසෙ විතරක් නෙමේ. ඒක එහෙම ම තමයි. ම හිතේ ඇති වෙච්චි එ කල්පනාව මං දවසින් දවස වැඩෙද්දි බොහොම තදින් හිතේ පැළපදියං වෙන්න පටන් ගත්තා.

ඈ පොඩ්ඩක් වත් කල්පනා කළේ නෑ මං පුංචි ළමයෙක් ය කියා. මගේ එක එක වැඩගත්තෙ මහ එකියකගෙන් ගන්නවා වගේ. මේ තාමත් අවුරුදු පහක, හයක කෙල්ලක් ය කියා ඈ නිකමටවත් හිතුවෙ නැති වගක් තමා මට තේරුන් ගියේ.

මං ඒ ගෙදර කරන්න තියෙන ඔක්කොම වැඩ කරන්න ඕනැ. ළිඳෙන් වතුර අදින්න ඕනැ. පට්ටියෙ හරකුන්ට බොන්න වතුර ගෙනැවිත් ටැංකියට දාන්න ඕනැ. ඒ සත්තුන්ට තණකොළ කන්න දෙන්න ඕනැ.  රෙදි හෝදන්න කරන්න ඕනැ. උසාවියෙ ඉන්න නඩුකාරයෙක් නියෝග පණවන්නා වගෙයි ලොකු අම්මා මේ පුංචි කෙල්ලගෙන් දාහකුත් එකක් වැඩ කරව ගත්තෙ.

”හනී මෙහෙ වරෙන්. මොකද උඹ කරන්නෙ. උඹ අද සත්තුන්ට කන්න තණකොළ දුන්නෙ නෑ නේ ද? ගවගාලෙ එක තණකොළ ගහක් නෑ. පිදුරු ගහක් නෑ. අහිංසක සත්තු ටික බඩගින්නෙ තියෙන්න ද උඹ හදන්නෙ. සත්තුන්ට කන්න නොදුන්නට උඹ නං උඹේ බඩ ගෙඩිය පුරෝ ගන්න ඇති….. ”

එහෙමයි ඈ මට බැණ වදින්නෙ. ඈ මට එහෙම බැණ බැණ වැඩ ගත්තට කොයියම්ම වෙලාවකවත් ලොකු අම්මා නෙවෙයි එයාගෙ දරුවන් එකෙකුගෙන් වත් වැඩක් පළක් කරව ගත්තෙ.

එ ගෙදර මගේ තරමට වඩා කරන්න හුඟක් වැඩ තිබුණා. හුඟක් වැඩ ඈ කරව ගත්තෙ මං මරව මරවා. මං තාමත් පුංචි දරුවෙක් ය කියා ඒ මනුස්සය නෙවෙයි නිකමටවත් හිතුවෙ. ඇත්තට ම ලොකු අම්මා එහෙම හිතන්නෙ නැතුව ඇති කියා යි මගේ නං විශ්වාසෙ.

ලොකු අම්මගෙ ලොකු පුතා මට වඩා අවුරුදු හය හතකට වඩා වැඩිමාල්. දෙවැනියා ත් මට වඩා වැඩිමහල්. තුන් වැනියා නං මයෙ වයසෙ. ඒත් ඉතින් ඒ එක්කෙනකුටවත් කියා ඈ නෙවෙයි වැඩක් පළක් කරව ගත්තෙ.

මට වතුර අදින්න තියෙන්නෙ අර මං කලින් කියපු ගෙට ටිකක් එහායින් තියෙන ළිඳෙන්. පඩි ගණනාවක් බැහැලා ළිඳෙන් වතුර ඇදල බාල්දිවලට පුරව ගන්න ඕනැ. ඊට පස්සෙ ඒ බාල්දිත් උස්සන් අර පඩි පෙළ ආපහු නගින්න ඕනැ. වතුර බාල්දිය අරන් හරක් ගාලට ගේන්න ඕනැ.  පඩි පෙළවල් කීවාට ඒ එක පඩියක් වත් සිමෙන්තියෙන් හදපුව නෙවෙයි. අඩි පාරක තියෙන පොඩි පොඩි ගැටි. හැබැයි ඒ ළිඳ තියෙන්නෙ නං හරිම ලස්සන තැනක. වතුර එච්චර ම පහතක නෙවෙයි තියෙන්නෙ. වහින කාලෙට නං ටක් ගාලා බාල්දි කොක්කෙන් අල්ලන් වතුර පුරවං පනිට්ටුව ගන්න පුළුවන්.

ලොකු අම්මගෙ යටතට මං පත්වෙලා අවුරුදු දහය වෙනකං ම මං වතුර ඇද්දා ය කියුවොත් කවුරුවත් පිළිනොගන්න පුළුවන්. එහෙම මං වැඩ කළා ය කීවා ම අහන කෙනා පුදුමත් වේවි. මං වතුර ඇද්දෙ ඒක පනිට්ටුවක් දෙකක් තුනක් නෙවෙයි නේ. මුළු ගෙදර හැමෝටම මං වතුර ඇද්දා. වතුර ඇද්දා. සත්තුන්ට විතරක් නං බැරි යැ. හොඳට අත පය තියෙන ඉළන්දාරි භාග දෙකකටත් බොන්න කරන්න මං නෙවැ වතුර ඇද්දෙ. ලොකු අම්මගෙ ගෙදර ඉන්න මිනිස්සුන්ට යි සත්තුන්ට යි ඕනැ කරන වතුර ඇද්දෙ මේ පුංචි කෙල්ල විතරක් ය කීවොත් ඔබ පුදුම වේවි. ඒත් ඇත්ත කතාව ඒක.

ගෙදර හැමෝටම… බොන්න කරන්න වතුර ගේන්න ඕනැ. කෑම පිහන්න කරන්න වතුර අදින්න  ඕනැ. පිඟන් කෝප්ප හෝදන්න වතුර ගේන්න ඕනැ. හරකුන්ට බොන්න ලොකු ටැංකියටත් ලොකු බාල්දිවලටත් වතුර පුරොවන්න ඕනැ. අශ්වයෙකුත් ඉන්නවා නෙවැ. ඌටත් වතුර එපා යැ. ඇයි ඌරො… ඌරන්ටත්… මේ ඔක්කෝටම  ඕනැ වතුර හැමදාම දවසකට කීප වරක් මේ පුංචි හනී ඇද්දා ය කියන එක ලේසි පාසු වැඩක් නෙමෙ යි නෙවැ. …. කොටින් ම කියනවා නං මං ලොකු අම්මලා ගෙ ගෙදර ඉන්න වැඩකාර කෙල්ල ය කීවොත් වැරැද්දක් නෑ මට හිතෙන හැටියට. හැබෑවට ම අපේ ලොකු අම්මත් ඇගේ දරුවනුත් මං ඒගෙදර ඒගොල්ලන් ගෙ වැඩකාරි ය කියා හිතන් එහෙම මගෙන් වැඩගත්තා ය කියල යි මට හිතෙන්නෙ. ඒ ගෙදර හැමෝම වගේ මං මරව මරව මගෙන් වැඩ ගත්තා…..

මයෙ ලොකු අම්මයි දරුවනුයි එහෙම වුණාට ලොකු අප්පා නං එහෙම නෑ, ඇත්තට ම කියන්න ලොකු අප්පා හරිම හොඳ මනුස්සයෙක්. ලොකු අප්පා ලොකු අම්මට වඩා හාත්පසින් ම වෙනස් ගතිගුණවලින් පිරිච්චි කෙනෙක්. ඒ ගැන නං මට නොකියා ම බෑ,

ලොකු අප්පා හොඳට වෙහෙස මාන්සිවෙලා වැඩ කරන කෙනෙක්. උදේ පාන්දරින් ගොවිපළට ගියාට පස්සෙ ලොකු අප්පා ආපහු ගෙදරට ගොඩවදින්නෙ දවල් කෑම වෙලාවට. ඊට පස්සෙ හවහ ගොවිපොළෙන් එනකොට හුඟක් ම හැන්දැවෙලා.

මේ පුංචි මං සමහර දවස්වලට හරකුන්ට කන්න දෙන්න තණකොළ කපන්නත් ඕනැ. කෙනකුට මං ඒහෙම කීවාම විශ්වාස කරන්නත් අමාරු වෙන්න පුළුවන්. ඒත් සැබෑවට ම ඒක එහෙම තමා. ඒකත් ඉතින් ලේසි පාසු වැඩක් නෙවෙයි නේ ද? ඒත් ඉතින් දෙයියනේ ඒක මං ම නේ කරන්න ඕනැ. මං මේ අවනඩුව කාට ද දෙයියනේ කියන්නෙ…. මං කී දොහක් නං දෙයියන්ට එහෙම කියලා ඇති. දවසක් දෙකක් නෙවෙයි දවස් දහයක් දොළහක් නෙවෙයි දවස් සිය ගණනක්…. ඔව් දවස් සිය ගණනක්… හැම දාක ම මං දෙයියන්ට කන්නලව් කළා. යාඥාකළා….. මං විඳින අපා දුක ගැන කියමින්….. මං මෙච්චරක් වැඩ කරන්න…

මයෙ වයසෙ අනිත් ළමයින් සෙල්ලං කර කර දවස ගෙවද්දි මට විතරක් ලොකු අම්මගෙ ගෙදර මහ එවුන් කරන වැඩත් කරන්න වෙලා. ඇයි දෙයියනේ ඔබ වහන්සේ මට කිසිම අනුකම්පාවක් නො දක්වන්නෙ. ඔබ වහන්සේ මං ගැන අනුකම්පාවක් තියුණ නං දාහක් වැඩ කරන්න සිද්ධවෙච්චි ගෙදරකට මාව ඒවන්නෙ නෑ නේ ද? මං දවස ගානේ ම හැම දවසක ම මං දෙයියන්ගෙන් ඇහුවා… ඇයි මට මෙහෙම කරන්නෙ කියා.

කෙළවරක් නැතිව අනන්ත අප්‍රමාණ වැඩ කන්නරාවක් මං වගේ පුංචි කෙල්ලකගෙන් ගන්නවා නං ඇයි දෙයියනේ එයාගෙ දරුවන්ගෙනුත් මයෙන් වගේ වැඩ අරගන්නෙ නැත්තෙ. මං තනියෙන් ප්‍රශ්න කළා. ඒත් ඉතින් කාටවත් ඇහන්න නෙවෙයි. මයෙ හිතෙන් මට විතරක් ඇහෙන්න.

මං වැඩ කරල කරල ටිකක් හරි නිකං ඉන්නවා ලොකු අම්මා දැක්කොත්…

”ආහ්ඃ උඹ ඒ වැඩේ කරල ඉවරනං වරෙන් කො දර ටිකක් ලෑස්ති කොරගන්න. ලිපට දාන්න දර ටිකක් හොයල සූදානම් කරගනින්”

ඒ ඇගේ ඊළඟ පැවරුම. මගේ ඊළඟ රාජකාරිය.

මං මරව මරව වැඩ ගන්න ලොකු අම්මා, මේ ගෑනි ගෙදරට අහලපහල කවුරු හරි ආපු වෙලාවට නං මට පෙන්නන්නෙ කියන්න බැරි තරමෙ ආදරයක්. ළෙන්ගතුකමක්. ඒක නං ඉතින් පුදුම ආදරයක්. පුදුම ළෙන්ගතුකමක්…..

මේ දරුවා මයෙ නංගිගෙ දුව. කියන්න බැරි තරමෙ හොඳ දරුවෙක් නෙවැ. සාරා ගෙ කපපු පළුව. හරිම ලස්සනයි නේ ද බලන්න මොන තරම් හොඳ ළමයෙක් ද කියා” ඕ

එහෙම කියන ලොකු අම්මා මගේ අතින් අල්ලන් ඇගේ ළඟට අරන් මං තුරුලු කරගන්නෙ අර ආපු මනුස්සයට පේන්න බොරු ආදරයක් මවං. ඉතින් අර මනුස්සය හිතන්නෙ ඇත්තට ම බෙර්තා (Bertta)  හරිම හොඳ ගෑනියෙක් ය කියා. ඒත් ගෙදරට ආපු මනුස්සයා, අමුත්තා, අසල්වැසියා ගියාට පස්සෙ ඕන්න අපේ ලොකු අම්මාගේ සැබෑ මූණ ආපහු එල්ල ගන්නවා. ටික වෙලාවකින් එල්ලන් හිටපු වෙස් මුහුණ පැත්තකින් තියල අයෙත් ඉතින් මං මරව මරවා වැඩ ගන්න පටන් ගන්නවා.  පිට කෙනකුට පේන්න බොරු ආදරයක් මවන් ඉන්න ඈ තරං දස්ස ගෑනියක් පින්ලන්තයේ වෙනත් කිසිම තැනක නැතිව ඇතැ යි කීවොත් ඒක බොරුවක් නෙවෙයි. සහතික ඇත්ත…..

ඒ වගේම යි ගෙදරට ආපු මනුස්සයා ට බෝම හිතවත්කමක් සුහදකමක් පෙන්න පෙන්න ඈ කතාබහේ යෙදෙන්නෙ වෙනත් කිසිම ගෑනියක ළඟ නැති ළෙන්ගතුබවක් අර තැනැත්තගෙ හිතේ මවන්න පුළුවන් විදිහට. ඉතින් අර ආපු මනුස්සයා හිතන්නෙ අනේ මාර්තා කොච්චර හොඳ කෙනෙක් ද කියා. හැබැයි ආපු ගෑනු මනුස්සයා හරි පිරිමි මනුස්සයා හරි ආපහු ගෙදරින් දොට්ට බැහැල ගෙවත්තෙන් පිටමං වෙන්නත් කලින් ඒ තැනැත්ත‌ෙග හරි තැනැත්තිගෙ හරි අගුණ දකිමින් වචන දුසින් ගණනක් හළන්නෙ කිසිම පැකිළීමක් නැතුව. ඒ තරමට ම අපේ ලොකු අම්ම‌ා පුදුම දෙබිඩි චරිතයක්….

ඉතින් ඒ වෙලාවට ලොකු අප්පොච්චි ගෙදර හිටියොත් ඔහු කරන්නෙ ඈට දොස් කීම. බොහොම කෙළින් වැඩ කරන මනුස්සයෙක් අපේ ලොකු අප්පොච්චි. මට කියන්න අමතක වුණා නෙවැ අපේ ලොකු අප්පොච්චිගෙ නම එයා එයිනෝ (Eino) ලොකු අප්පොච්චි මොකක් හරි කියල ලොකු අම්මට දොස් කිව්වොත් ඉතින් පටන් ගන්නවා බෙලිකටුමල්ල හොල්ලන්න. එතැන ඉඳල ඉතින් ගෙදර තියෙන්නෙ සුවල්ප බරබරයක්, කචකචයක් නෙවෙයි. හරියට කිව්වොත් යුද්ධ පිටියක නලාවක් පිඹිනවා වගේ. ලොකු අම්මා ලොකු අප්පොච්චිට මායිම් කොරන ගෑනියෙක් නෙවෙයි. ඔහුට දමල ගහන වචන වෙනත් කිසිම කෙනකුට අහන් ඉන්න පුළුවන් ඒවා නෙවෙයි. එතකොට ලොකු අප්පොච්චිත් නිකං ඉන්නෙ නෑ. එයාට කේන්ති ගියෝතින් ඉතින් මේ ගෙදර සිද්ධ වෙන්නෙ මහ කෝලාහලයක්.

අපේ ලොකු අම්මා හරියට කටු අත්තක් වගෙයි. ගෙදර මහ මිනිහත් එක්ක පැට‌ෙළන්නෙ තමන්ගෙ සැමියා කියා හිතං නෙවේ වගේ. එතකොට කියෙස්ටි යි (Kyōsti) පෙන්ටි යි (Penti)  කියො යි (Keijo) අරියා (Arija) නංගි යි ඒ දෙන්න දිහා බලන් ඉන්නෙ පුදුම බයකින්. එක්කෙනෙක්වත් නැහැ හ්ම් කියන්නෙ වත්. ඒගොල්ලනුත් ලොකු අම්මට තියෙන්නෙ කියන්න බැරි තරමෙ බයක්.

මං බොහොම ආසාවෙනුත් ඒ ගෙදර කරපු වැඩ තියෙනවා. ලොකු අප්පොච්චිත් එක්ක ගිහින් කුඹුරෙ අස්වැන්න නෙළන්නෙ මං පුදුමාකාර සතුටකින්. එළවළු වතුර වක්කරන්නෙත් හරිම සතුටෙන්. ලොකු අප්පොච්චි එළවළු නෙළන කොටත් මං එයාට උදව් කරන්නෙ කියන්න බැරි තරමෙ ආසාවකින්. තිරිඟු කරල් කඩන කොට මං සුරුස්ගාලා ලොකු අම්ම හරි ලොකු අප්පොච්චි හරි කියන්නත් කලින් මං වැඩ. ඒවගේම තමා කැරට්, බීට්, අර්තාපල් ගලවන කොටත් මං එක පයින් දුවනවා ගොවිපොළට…. ඒවා අමාරු වැඩ තමා. ඒත් මං බොහොම ආසාවෙන් ඒවා කරන්න හේතුව තමා කුඹුරට, ගොවිපළට මයෙ හිතේ තියෙන ආදරේ.

තිරිඟු වගාකරල ටික දොහකින් ඒ පැළ ලොකු මහත් වෙනකොට බලන් ඉන්න මං හරි ආසයි. යාය තනිකරම නිල්ලෙන් බැබළෙන කොට හිතට දැනෙන්නෙ පුදුම සතුටක්. තිරිඟුයායට හුළං හමන කොට ඒවා සෙළවෙන්නෙ අපූරු විදිහට. හරියට විලේ ඇතිවෙන පුංචි පුංචි ජල තරංග වගේ. එතකොට කුඹුරෙ තියෙන් ලස්සන…. ආහ්ග්…. කියන්න බැරි තරං. අපේ ගෙවත්තෙත් හැම තැනක ම ලොකු අප්පොච්චි අර්තාපල්, බීට්, කැරට් වගේ දේවල් වගා කරනවා නේ. පොළොවත් එක්ක ලොකු අප්පච්චි හරි හරියට ඔට්ටු වෙන්නෙ කිසිම වේසක් මාන්සියක් නැති ගානට. මට ඒ කාලෙ විස්තර කියන්න තේරුමක් නැති වුණාට මං ලොකු අප්පොච්චි වැඩකරන හැටි මං බලා හිටියෙ හිතේ තුරුලු වෙච්ච මොකක්දෝ ආසාවෙකින්.

ලොකු අප්පොච්චි කුඹුරෙ වැඩ කරන කොට හැමදාම වගේ පුංචි පුංචි කුරුල්ලොත් පියඹන් ඇවිත් තැන් තැන්වල වහන හැටි මං බලා ඉන්නවා. උන් උන්ගෙ පුංචි පුංචි හොටවලින් පොළොව අවුස්ස අවුස්සා කෑම හොයා ගන්න ගන්න වීරිය ගැන ඒ දවස්වල මට දැනුමක් තේරුමක් නං තිබුණෙ නෑ. උන් පොළොව අවුස්සන හැටි දෙපාවලින් මං ඇස් පියනොගහ බලා හිටිය හැටි දැනුත් මතකයට නැඟෙනවා.

තව කොටසක් ලබන සෙනසුරාදා