සාහිත්‍යය හා කලාවහනී - නවකතාව

හනී – නවකතාව 4 වන කොටස

හැමදාම උදේට පැළවලට වතුර වක්කරන්න බෝම මාන්සි‌ වෙනවා මං. හැබැයි ඉතින් කොරටුවෙ පාත්තිවල තියෙන පැළ දවසින් දවස උස් මහත් වෙනකොට නං මයෙ ඇඟ පතේ තියෙන අමාරු ඔක්කෝම නැතිවෙලා යනවා වගෙයි මට දැනෙන්නෙ. ඒ පැළ දිහා කොච්චර බලන් හිටියත් මට ඇති වෙන්නෙ නෑ. මං ඇස් නොපියා කොරටුවෙ තියෙන කැරට්, බීට්, අර්තාපල් දිහා බලා ඉන්න කොට අපේ ලොකු අම්මා දැක්කොත් හෙම… ඉතින් මං ඉඳල ඉවරයි.  දත්කූරු කකා ඈ මං දිහාවට එන්නෙ යකින්නක් වගේ ඇස් දෙකත් ලොකු කරං. ඇගේ ඇස් දෙකේ තියෙන්නෙ ගින්දර…. ඔව් ගින්දර…. ගිනි දැල්…. රතුම රතු යි ලොකු අම්මගෙ ඇස් ගෙඩි දෙක…. කේන්තිය ඒ ඇස් ගෙඩි දෙකෙන් පිටවෙන්නෙ ඇළකින් වතුර දෝර ගලනවා වගේ. එතකොට මට දැනෙන ඇතිවෙන බයක තරම…. ඇගේ රතු පාටින් ගිනිදැල් පිටවෙන ඇස් දෙක දිහා බලන්න බය හින්දා ම මං ඇගෙන් වහන් වෙන්න, මාන බලනවා.

ඒත් ඉතින් කොහෙදැ. ඇගේ උකුසු ඇස් දෙකෙන් මට බේරිලා පැනල යන්න බෑ. දවසක්දා පැළවලට වතුර වක්කරලා මං ටිකක් මෙහාට වුණා විතර යි. දුෂ්ට ගෑනි, මයෙ ලොකු අම්මා මං ළඟට කඩා පාත්වුණේ අහස් යානාවක් පාත්වෙනවා වගේ.

”මෙහාට වරෙන් වේස කෙල්ල!”

ඈ මට කතා කළේ එහෙම. ලොකු අම්මා එහෙම කතා කළා ම මං ඈ දිහා බැලුවෙ හරිම බයෙන්. මං ඒ වචනෙ මීට කලින් කවදාකවත් අහල නෑ. ඒ වචනෙ තේරුම මං දන්නෙත් නෑ. මයෙ මතකෙ හැටියට නං ලොකු අම්මගෙ ළමයින් හතර දෙනා ඉස්කෝලෙ යන්න ගෙයින් එළියට බැස්සා විතරයි.

”පාර දිහා බලන් ඉන්නෙ තිගෙ අම්මා එනකං කියා හිතන් ද? කම්මැලි කෙල්ල…. අර ලිපේ අඟුරු අස්කරන්න කියල මං ඊයෙ හවහ  කීවා නේ ද? තී කළා ද? නැහැ නේ ද? තිගේ කන ඇහුණෙ නැද්ද? තිගේ කන් දෙක බීරි ද?”

ලොකු අම්මා මයෙ ඇඟට කඩා පැන්නෙ එහෙම කෑ ගගහ. ඊට පස්සෙ ඈ මගේ කෙහෙ වල්ලෙන් අල්ල ගත්තා. ඇදන් ගියා මං ලිප ළඟට.

මං පැළ වලට වතුර වක්කරන ගමන් ටිකකට ඒ වැඩේ නතර කරල පාර දිහා බලන් හිටියෙ මයෙ වයසෙ ම ළමයි කට්ටියක් ඉස්කෝලෙ යන හැටි. ඒ ළමයින්ට වගේ ඉස්කෝලෙ යන ගමනක්. ඒ කට්ටිය පොත් පත් අරන් ඉස්කෝලෙ යන අපූරුව. ඇත්තට ම ඒ අය මගෙ ඇස් දෙකේ පැටලිලා.

අපේ ගෙදරත් අයියල තුන් දෙනයි නංගියි ඉස්කෝලෙ යනවා. ඒ හතර දෙනා ඉස්කෝලෙ ගියාට ලොකු අම්මා නෑ මං ඉස්කෝලෙ යන්න ඉඩ කඩක් දීලා. අපේ ගෙදර හතර දෙනයි අහලපහල ගෑනු ළමයිනුයි පිරිමි ළමයිනුයි ඉස්කෝලෙ යන කොට මං ඒ කට්ටිය දිහා බලන් ඉන්නෙ හරි ආසාවෙන්.

ඒ ළමයින්ට වගේ මටත් ඉස්කෝලෙ යන්න ඇත්තං කියා මං හැමදාම උදේට යි හවසටයි හිතින් හිතනවා. ඒත් මට තියෙන්නෙ එහෙම හිත හිතා කල්පනා කර කර ඉන්න එක විතරයි. ඒ අයට වගේ වාසනාවක් මට නෑ. නංගිටයි අයියලටයි වගේ මටත් ඉස්කෝලෙ යන්න බැරි ඇයි. එදා මං ඒ අය දිහා බල බලා එහෙම කල්පනා කර කර ඉන්න කොට තමයි ලොකු අම්මගෙ ඉස්කෙළියාව දැක්කෙ. එවෙලාවෙ තමා ඈ මගෙ කෙහෙවල්ලෙන් ඇදන් කුස්සියට ඇදන් ගියේ.

ලොකු අම්මා මයෙ ළඟට පාත්වෙද්දි මං ඔවුන් දිහා නෙත් රඳවන් හිටියෙ සතුටකින් වගේ ම දුකකින්.

”ගනින් අර ලෑලි කෑල්ල. ඇදපං ඔය ලිපේ තියෙන අළු ඔක්කොම එළියට. අරන් ගිහින් දාපං හරක් මඩුවෙ තියෙන ගොම ගොඩට”

ලොකු අම්මා එහෙම නියෝග දීල මං දිහා බලන් ඉන්නෙ යකින්නක් වගේ. මට තේරෙන්නෙ නෑ ඇයි ලොකු අම්ම එහෙම ඇස් දෙක ලොකු කරන් මං දිහා බලන්නෙ ඉන්නෙ ඇයි දැ යි කියා.

ඈ මයෙ කෙහෙ වැටියෙන් ඇදපු හින්දා මං ඉන්නෙ ලොකු වේදනාවකින්. ඒ වෙලාවෙ ගෙදර වෙන කවුරුත් ම නෑ. ළමයි ටික ඔක්කොම ඉස්කෝලෙ ගිහින්. ලොකු අප්පොච්චිත් උදේන් ම කුඹුරට ගිහින් වගේ. මං හොඳට වටපිට බැලුවේ ලොකු අප්පොච්චි පේන්න ඉන්නව ද කියා විපරම් කරන්න. ඒත් එයා පේන්න නෑ. මොකදැ යි ඉතින් ලොකු අප්පොච්චි ජීවිතේ ගෙවෙන්නෙ කුඹුරෙ ම නේ. එයා පාන්දරින් ම කුඹුරට යනවා. ගිහින් පොළොවත් එක්ක හරි හරියට හටන් කොරනවා නේ. මගේ ඇස් දෙකේ කඳුළු තියෙන බවක් මට දැනුණේ නෑ. මං ලෑලි කෑල්ල අරන් ලිපේ තියෙන අඟුරුයි අළුයි අදින හැටි ඈ එහාට මෙහාට ගාට ගාටා බලං ඉන්නවා. මයෙ ඇඟපත පුරා අළු තැවරිලා. මං හරියට අළුවලින් නාලා වගේ. නෑ කිසිම බුරුලක් ඇගෙන්. මං අඬ අඬා උදුන සුද්ද පවිත්‍ර කරනවා.

ඕන්න ඊළට ලොකු අම්මගෙන් තවත් විධානයක් මයෙ කන් දෙක පසාරු කරන් ඔළු කට්ට ඇතුළට රිංගුවා.

”හ්ම් දැන් ඇති ඕක කළා. වරෙන් ඕක නවත්තලා කිරි පට්ටිය ළඟට”

දුෂ්ට ලොකු අම්මා එතෙන්ට යන්නෙ ලොකු අප්පොච්චට බැණ බැණ.

”මේ මිනිහට කිසිම දේක ඕනැකමක් නෑ. කිරි දොවින්නත් ඕනැ මං. හුග් මට වෙන වැඩක් පළක් නෑ නෙවැ. කම්මැලි මිනිහා. මේ වගේ මිනිහෙක් මට හමුබු වුණේ මගේ කරුමෙට ද කොහෙ ද? ”

දැන් ඇය යි මම යි කිරි පට්ටිය ගාවා.

”ගනින් ඔය වතුර භාජනේ.” ඒ විධානය දෙන්න කලින් ම මං වතුර භාජනේ ඈට කිට්ටු කරල හමාර යි. ඈ කිරි දෙනකගෙ බුරුල්ල හොඳින් සෝද සෝදා පවිත්‍ර කරනවා කිසිම කතාවක් බතාවක් නැතුව. මට ඇහෙන්නෙ ඇගේ හුස්ම වේගෙන් ඉහළ පහල යන එන සද්දෙ විතරයි. එළදෙනගෙ බුරුල්ල ලොකු අම්මා හොඳට හෝදන කොට ඒ තිරිසන් සතා බොහොම සැහැල්ලුවෙන් වගේ ඉන්න හැටි දැක්ක ම මටත් ආසා හිතුණෙ වෙනත් වැස්සියක ගෙ තන් බුරුල්ල හෝදන්න. ඒත් මයෙ හිතේ ඒ ආසාව එහෙම රඳවන් ඉන්න පුළුවන් වුණේ නෑ….

”මොකද උඹ බලා ඉන්නෙ. පැත්තකට පලයං යන්න මෙතැනින්. මා හරක් මඩුවට එක්කං ආ ඒ ගෑනි කියනවා දැන් මට එතැනින් ඉවත් වෙන්න කියල. ඇයි මේ නපුරු ගෑනි මට එහෙම කියන්නෙ කියා. මං මෑත් වුණා ඈ ළඟින්. එතකොට ම වගේ දෙනක හඬක් නැඟුවා. ගව පට්ටිය ළඟින් ටිකක් එහාට වුණු මගේ ඇස් දිව්වෙ පාරෙන් අනිත් පැත්තෙ ටිකක් ඈතින් පේන ගොඩනැගිල්ලකට. ඒ අ‍පේ ගමේ ඉස්කෝලෙ. මට ඉස්කෝලෙ හොඳට පේනවා. තාමත් ළමයින් ඉස්කෝලෙට එමින් ඉන්නෙ. දැන් මගේ අැස් දෙකේ පිරිල ඉන්නෙ පාර දිගේ ඉස්කෝලෙ දිහාවට ඇදෙන ගෑනු පිරිම ළමයින්ගෙන්.

”මටත් ඉස්කෝලෙ යන්න ඇත්තං. මටත් ඉස්කෝලෙ යන්න ඇත්තං. ඉස්කෝලෙ යන්න ඇත්තං” මගේ හිත කෑ ගහනවා එහෙම කිය කියා. ඒ හිතිවිල්ලෙන් බැහැර වෙන්න හිත මට ඉඩක් දෙන්නෙ ම නෑ. ඔය අතරෙ මං තිගැස්සුණා. ඒ අර නපුරු ගෑනිගෙ මයෙ ‍දුෂ්ට ලොකු අම්මාගේ ගෝරනාඩුවෙන්. ඈ කිරිදොවලා අහවරයි ව‍ගේ.

”හනී මෙහාට වරෙන් කෙල්ලෙ…. එක ඇබින්දක්වත් පරක්කු නොවී දැන් මා ඈ ළඟ. මොකදැයි කිව්වොත් මං පොඩි හරි පරක්කුවක් වුණොත් ඇගෙන් අතොරක් නැතිව නරක වචන දුසිම් ගාණක් මට අහන්න වෙනවා නේ.

”මේ වැස්සි අරන් ගිහින් ආන් අර අතන තියෙන ගහේ බැඳපං. ඈ පාර පැත්තට අතක් දිගු කරල යි ඒ නියෝගය දුන්නේ. ඒ පැත්‍තෙ තියෙන්නෙ ලොකු තණ පිටියක්. මේ පුංචි හනී ඇගේ නියෝගෙට ක්‍රියාත්මක වුණේ හරියට මැෂිමක් ක්‍රියාත්මක වෙනවා වගේ. මං සුරූස් ගාලා කිරිපට්ටිය ළඟට පියෑඹුවා. ලොකු අම්මා වැස්සිගෙ කඹේ මගේ අතට දුන්නා විතර යි ඒ තිරිසක් සතා ඇදන් මං වත්තෙ පාර පැත්තෙ කෙළවර‍ට ගියේ හිතේ පෙරළි කරන දුක වේදනාව යටපත් කරන් අමුතු විදිහෙ මොකක්දෝ සතුටකින්. ඒ සතුට හරියට විස්තරයක් කියන්න මට තේරෙන්නෙ නෑ, ඒත් මං බොහොම ප්‍රීතියෙකින් උන්නු බව නං මට මතකයි.

ඒ වැස්සි මට වඩා උසයි. මං හරියට ලිලිපුට්ටියක් වගේ වැස්සිත් එක්ක බැලුවහම. අවුරුදු පහකට ටිකක් වැඩි පුංචි කෙල්ලට ඒ සතා ළෙන්ගතු බවක් පාන්නට ඇති. මං කඹේ අල්ලන් ඇගේ ඉස්සරහින් යන්නෙ අපේ ලොකු අම්මට වඩා ආදරේකින්. ඈ උම්බෑ… උම්බෑ කියල දෙතුන් වංගියක් හඬගාන කොට මහ වෙලාවක් ගියේ නෑ උඩ පනිමින්, දුවමින් උඩ පනිමින් දුවමින් ඇගේ පැටියා අපි පස්සෙන් එනවා මං දැක්කා. ඌ පාරකට අපට ඉස්සරහින් දුවනවා. තව පාරක් අපට පස්සෙන් ඌ….  වරෙක පැත්තකින් දුවනවා. ඊළඟට අම්මා පස්ස ගාත් අස්සෙ රිංගනවා. හරිම හුරතලෙක්. මට ඌ වඩාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න ඇති වුණේ පුදුම ආසාවක්. ඒත් ඉතින් ඒ ආසාව යටපත් කරගත්තෙ අර දුෂ්ට ගෑනි මා දිහා බලා ඉන්නවා වගේ දැක්ක හින්දා. මේ අම්මගෙත් පැටියගෙත් ආදරේ බල බලා මං තණ පිටියට ගියේ බොහොම නිදහසේ‍. ඔව් බෝම නිදහසේ…. මං වැස්සි ගහක බැඳල ආපහු හැරිල බැලුවෙ ඉස්කෝලෙ යන ළමයින් ගෙ කච බචයක් ළඟින් ම වගේ ඇහිච්චි නිසා. ඒ කට්ටිය එකිනෙකා එක්ක විහිළු තහළු කර කරයි ඉස්කෝලෙ යන්නෙ…..

මං ඔවුන් දිහා බලා හිටියා. කොච්චර වෙලාවක් බලා හිටිය ද කියන්න මතක නෑ. හැබැයි හුඟක් වෙලා මං එහෙම ඉන්න ඇති. ටික වෙලාවකින් මට කවුරු හරි උගුර පාදන හඬක් ඇහුණා. බැලින්නම් අපේ ලොකු අප්පොච්චි. එයා තණ පිටියට තරමක් එහායින් තියෙන අර්තාපල් පාත්තිය ළඟ හිස පාත් කරන් මොනවදෝ කර කර ඉන්නවා. මං හිමි හිමින් ලොකු අප්පොච්චි ළඟට ගියේ සද්ද බද්දයක් නොදැනෙන්න. ලොකු අප්පොච්චි මට කතා කරලා ගෙදර ගිහින් මුල්ලුවක් අරන් එන්න කීවා. මං ගෙට ගියේ දුෂ්ට ගෑනි දැන් දැන් මට මොකක් හරි තවත් වැඩක් පංගාඩං කරාවිය කියන සැකෙන්. මං මුල්ලුව උස්සන් ගෙයි පිළිකන්න පැත්තෙන් ආපහු යන කොට ලොකු අම්මා මොනව හරි කටේ දාගන්නවා මං දැක්කා.

ඈ රසකැවිලිවල බොහොම කෑදර යි. ටොපි චොක්ලට් කන්න හරි පෙරේති.

සමහර දවස්වල ඈ ඇගේ ළමයින් හතර දෙනාට රසකැවිලි හොර හොරාට වගේ කවනවා. ටොපි බෙදල දෙනවා. ඈ ඒ ඔක්කොම ‍කරන්නෙ මගෙ ඇස්පනා පිට. ඒත් ඈ නෙවෙයි කවර කවමදාකවත් හනී මේ ටොපියක් ඉඳා කියල මට ‍එක ම එක ටොපියක්වත් දීලා නෑ. ඈ නිකමටවත් හිතන්නෙ නෑ මාත් ටොපි චොකලට්වලට රසකැවිලිවලට ආසා කරන බවක්. දෙයටියනේ පුංචි ළමයි රස කැවිලිවලට ආසයි නේ.

කියෝස්ටි අයියට, පෙන්ටි අයියටත්, කොයියෝට වගේ ම අරියා නංගිටත් ටොපී කීපය බැගින් දෙන මගේ නපුරු ලොකු අම්මා ඉතිරි කොටහ බෑග් එකක දමල හංගන්නෙ ඔවුන්ට වෙනත් වෙලාවක ඒවා දෙන්න.

දුෂ්ට ලොකු අම්මා ඒවා කෙතනක හෝ හංගන තැන කොහොම හරි හොයාගෙන ටොපි එකක් දෙකක් හරිතුනක් හරි හොරකං කරන්න මයෙ හිත මට හැමදාම වගේ කියනවා.

දවසක් දා දහවලක ඈ ටොපි හැංගුව තැන හොඳහැටි හොරෙන් බලා ඉඳල එයින් දෙකක් අරන් කෑවා. මං හිතුවෙ මයෙ හොරකම ‍කවුරුවත්ම දකින්න නැතුව ඇති කියා. ඒත් ඒක මගේ මෝඩ කල්පනාවක්. හිතිවිල්ලක්. ඇගේ එක් පුතකු මා කබඩ්ටුව අරිනව හැංගිලා බලා ඉඳල. දැන්නං මට මතක නෑ ඒ කවුරුන් දැ යි කියා. එදා හැන්දෑවෙ ඒ නරුම අයියා ලොකු අම්මත් එක්ක මං ටොපි හොරකං කරන් කෑවා කියා කීවා විතරයි ඈ අපේ ලොකු අප්පොච්චි ඉඟ බදින පටිය ගත්තා අතට. මට ඒ පටියෙන් හොඳටෝම පහර දෙන්න පටන් ගත්තා. ඒ පටි පහරවලින් මං හුඟාක් ම වේදනා වින්දා. ඇගේ පටි පහරවල් එල්ල කකෙරුණෙ මගේ තට්ටම් දෙකටයි කලවා දෙකටයි. මං හයියෙන් ම හඬන්න පටන් ගත්තා. ඒත් මේ කෲර ගැහැනිය නෙමෙයි මට දඬුවම් කිරීම නතර කළේ.

මට මං ගැන ම ඇති වුණේ පුදුම දුකක්. වේදනාවක්. කළකිරීමක්. ඇගේ පහරදීම්වලින් ගැලවෙන්න මයෙ හිත මට කීවා. මං  ඇගේ අතක් ගස්සන් බේරිලා පණ එපෝ කියල දුවන්න පටන් ගත්තා.. මං කෙළින් ම දිව්වෙ ගොවිපළට.

මගේ අම්මා නැති එකේඅඩුව හොඳහැටි තේරුණේ එදා තමයි කියලයි මං හිතන්නෙ. අම්මා හිටියා නං කිසි දවසක මට මේ වගේ පහරකෑම්වලට, වදවේදනාවලට මුහුණ පාන්න සිද්ධ වෙන්නෙ නෑ ය කියන හැඟීමක් එදා මගේ පුංචි හිතට ඇති වුණා. මං එදා බේරුණේ ලොකු අප්පච්චි ළඟට ගිහින්.

තවත් දවසක් මේ නපුරු දුෂ්ට ගෑනි මට ගහපු විදිය මං  කියන්නං. කල්පනා කර බලන්න මේ තරම් නරක ගෑනියක් පින්ලන්තෙ වෙනත් කිසිම  ගමක නගරෙක නැතිව ඇති.

කිරිපට්ටියට ගිය ඈ එළදෙනුන් හය හත්දෙනා දොවා කිරි භාජනේ කුස්සියට ගෙනැවිත් තිබ්බා. කිරි දොවාගන්න පොඩි බාස්කට්ටුව හොදන්නට කියා මට නියෝග පමුණුවමින්.

”හනී මේ බාස්කට්එක හොදල තියපං”

ඇගේ ඒ විධානය ලද සැණින් මං කුස්සියට ගියේ අඩියට දෙකට. නැත්තං ඉතින් මට වෙන දේ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ නේ. කුස්සියට ගිය මං අර පොඩි බාස්කැට්ටුව හෝදන්න හවදන කොට මං දැක්කා ඒක පතුලෙ කිරි චුට්ටක් තියෙනවා. ඒක දැක්ක ගමන් මට මතක් වුණේ ගෙදර ඉන්න හුරතල්ලු දෙන්නා. ඤාව්වයි, ලැසියයි. කිරි ටික උන් දෙන්නට දෙන්න මං සූදානං වුණේ දෙන්න ම මගෙ වටේ තරගෙට ව‍ගේ කැරකි කැරකි ඉන්න හින්දා. පව් නේ මේ අහිංසක සත්තු දෙන්නත් කිරිවලට ආසයි නේ.

අර කිරි චුට්ට උන් දෙන්න ගෙ පිඟන් දෙකට වත් කරන්න හැදුවා විතරයි ඒක දැකලා අර නපුරු ගෑනි දුවගෙන දුවගෙන ආවේ නැතෑ මගේ ළඟට.

තව කොටස් ලබන සතියට.