සාහිත්‍යය හා කලාවහනී - නවකතාව

හනී – නවකතාව 5 වන කොටස

”උඹට මොකක් ද වෙලා තියෙන්නෙ හනී? මේ ගෙදර බල්ලොන්ට යි බළලුන්ට යි දෙන්න කිරි නෑ….” කියා කෑ ගාගෙන ඈ මා වෙත කඩා පිනුවේ ගොදුරකට කඩා පනින කොටි දෙනක වගේ.

දැන් මං ඇගේ යකඩ වැනි අත්දෙකට අහුවෙලා ඉවරයි. ඈ මාව කාමරේට ඇදගෙන ගියේ තිත්ත පත්ත කතා කිය කියා. ඊට පස්සෙ ඈ අර බල්ලට යි බළලට යි කන්න දෙන්න තියෙන පිඟන්වල ඒ සත්තු දෙන්න කාලා ඉතිරිවෙලා, පිළුණුවෙලා තිබුණු ජරාව අරන් මගේ ඔළුවෙත් මූණෙත් ඇතිල්ලුවේ කිසිම හිතක් පපුවක් නැති මළයස්සනියක වගේ කිව්වොත් ඔබ මාත් ඒක්ක ඒකඟ වේවි.

ඒ පිඟානෙ තිබුණු අර්තාපල්, කැරට්, ටර්නිප් කොළ කෑලි කෑලි. ඌරු මස් කෑලිත් තිබුණා ය කියන එක මට හොඳට මතකයි. ඊට පස්සෙ ඈ මගේ කෙහෙවල්ලෙන් ඇදන් මට ගගහ එළියට අරන් ගිහින් ඈතට වීසි කළේ පාපන්දුවකට පහරක් දෙන විදිහට යි. එදා තරන් මට රිදුණු වෙනත් දවසක් නැති තරං. ඒ වෙලාවෙ ලොකු අම්මා නං ඒ නපුරු ගෑනි හැසිරුණේ හරියට පිස්සුවෙන් යැ යි කීවොත් ඒ වචනෙ ඇති වැරැද්දක් නෑ.

එදත් ඇගෙන් ගුටි කද්දි මං කෑ ගැහුවෙ ”අනේ මාව බේරා ගන්න කවුරුවත් නැද්දෝ” කියා. මං එහෙම මොර දෙමින් කිසිවකුගේ පිහිටක් පතද්දි යි දැක්කෙ පෙන්ටි අයියා කාමරේ හිට දුවගෙන දුවගෙන එන හැටි. අපි දෙන්නා ළගට දුවන් ආපු පෙන්ටි අයියගෙ ඇස් දෙක හොඳටෝම රතුවෙලා තියෙනව මං දැක්කා.

ලොකු අම්මා මට ගගහ මං ගෙයින් එළියට ඇදගෙන එන හැටි පෙන්ටි අයියා දැක්කා. මට එයාගෙ අම්මා තිරිසනකුට තලනව වගේ ගහපු එකට එයා හුඟාක් ම දුකින් ඉන්න ඇති. ඔහු කෑ ගැහුවා. කෑගහල හයියෙන් ලොකු අම්මාට කතා කළ හැටි මට දැනුත් මකතයට එනවා.

”අනේ අම්මේ එපා එපා හනීට ගහන්න. එපා.. නතර කොරන්නකෝ ඔය අම්මගෙ ගැහිල්ල… කරුණාකරලා නතර කරන්න…. අනේ අම්මේ කරුණාකරලා නතර කරන්න… බලනනකෝ ඇගේ හැටි…. හනීගෙ හැටි බලන්න කෝ…. කරුණාකරල නතර කරන්න හනීට ගහන එක…. ප්ලීස් අම්මේ… ප්ලීස්… අම්මේ නවත්වන්න… නවත්වන්න….”

”පව් නේ අම්මේ හනී තාම පුංචි ළමයෙක් නේ….  හනී ගෙ ඇඟේ පිළුණු කෑම හැළුවෙ ඇයි අම්මා… කවුරු හරි අම්මගෙ ඇඟෙත් එහෙම පිළුන් වෙච්ච කෑම දානවා නං අම්මට මොකද හිතෙන්නෙ? ”

“ආහ් උඹ ඒනව ද මට කියල දෙන්න?…. උඹ වහගනිං කට….”

එහෙම පෙන්ටි අයිය සැරෙන් කී ලොකු අම්මගෙ ඇස් දෙක ඔහු දිහාට හැරෙව්වෙ රාස්සියක් වගේ. ඒ ඇස්වල තිබුණෙ ගින්දර…. ගින්දර…. ඊට පස්සෙ ඈ මා දිහා ඔරවල බලපු හැටි විතරක්… මං ඒ ගිනි බෝල දෙකෙන් පිටවෙන ගින්දර දිහා බැලුවෙ එක පාර යි. ටුක් ගාලා ඇස් දෙක ඉවත් කරන් පෙන්ටි අයියා වෙතට හරව ගත්තා. එයාගේ මූණෙත් තිබුණෙ ලොකු බයපාටක්.

පෙන්ටි අයියගෙ කෑගැහිල්ල හින්ද වෙන්නැති ඇගේ පහරදීම නතර කරන්න ඇත්තෙ… ඒ දුෂ්ට ගෑනි මට කරන පහරදීමෙන් මං ඇත්තට ම හිතුවෙ දැන් දැන් මයෙ පණ යාවි… කියා. මං දැන් මියැදේවි ය කියන හැඟීමයි මයෙ හිතේ කැරකි කැරකි තිබුණු එක ම හිතිවිල්ල… මට ගහල ගහල ඈ මිදුලෙ හුන් තැනින් ඉක්මනින් ඉවත්වෙලා ගේ ඇතුළට රිංග ගත්තෙ කෝපයෙන් පිච්චි පිච්චි. ලොකු අම්මා උමතුවෙලා කියල යි මට ඒ මොහොතෙත් හිතුණේ.

ඊට ටික වෙලාවකට පස්සෙ මේන්න මේ කුරිරු ගෑනි බෝම තැන්පත්ව බෝම සාන්ත ලීලාවෙන් මට කතා කළේ නැතෑ.

”හ්ම් හනීඔය ඇඳුම ගලවලා වෙනත් ඇඳුමක් ඇඳ ගනින්. ඇඳන් වරෙන් මාත් එක්ක කුස්සියට. මේ කුස්සිය ටිකක් අස්පරස් කරන්න. සුද්දකරපං කිරි බාස්කට් දෙක….හෝඳපං මේ පිඟන් ටික…”

ඈ එහෙම සාන්ත දාන්තව කියද්දි ඇගේ වචන ඇහුණා නෑහුණා වගේ මං මං කළේ සවුනා එකට රිංගං නාගත්තෙ ඔළුවෙ යි මූණෙ යි ඇලවිලා තිබුණු පිළුණු කෑමවල ගඳින් මිදෙන්න. ඊට පස්ස‌යි ඇගේ නියෝග එකක් නෑර මං කරන්න පටන් ගත්තෙ.

එදා රෑ මට නින්ද ගියේ ම නෑ. මයෙ පුංචි හිතට කිසිම ඉස්පාසුවක් තිබුණෙ ම නෑ. මයෙ අම්මගෙ පවුලෙ වැඩිමාල් සහෝදරිය ඇයි මට මෙහෙම සලකන්නෙ… මං කරන වැරැද්ද මොකක් ද? එක දවසක් ඈ මට කතා කළේ වේස කෙල්ල කියල. වේස කෙල්ල කියන්නෙ මොන වගේ වචනයක් දැ…මොන වගේ තේරුමක් ද ඒ වචනෙ තියෙන්නෙ. මට එකක් හොඳින් වැටහුණා. ඈ කී වේස කෙල්ල කියන වචනෙ හොඳ වචනයක් නෙවේ ය කියන එක අද තේරුණාට මට ඒ දවස්වල නං වටහ ගන්න බැරිවුණා.

වේස කෙල්ල…. වේස කෙල්ල…. වේස කෙල්ල….. ” ඒ වචනෙ එදා රෑත් නින්ද යන තුරු ම කී වාරයක් මතක් කළා දැ යි කියන්න දන්නෙ නෑ.

මමත් එක්ක ඇඳේ නිදියන නපුරු ලොකු අම්මාට මං මුමුණන ඒ වචනෙ බාග වෙලාවට ඇහෙන්නත් ඇති… නෑ… නෑ… මං හිතන්නෙ ඈට අහෙන්නෙ නැතිව ඇති. ඇහුණා නං මයෙ කෙහෙවල්ල අල්ලන් හොල්ලන බව සහතිකයි. මං නිදියන්නෙ ඇඳේ එක කෙළවරක. ඊළඟට නංගි. දුෂ්ට ලොකු අම්මාට අනිත් පැත්තෙන් තමා ලොකු අප්පොච්චි බුදිය ගන්නෙ….

මට දැනුත් දැනෙන්නෙ දැනෙන්නෙ ඉඳුල් කුණුවල ගන්දස්සාරෙ. මං කීප වංගියක් ම ඔළුව අත ගගා නාහෙට තියල හුස්ම ඉහළට අරන් බැලුවා ඒ ගඳ තාමත් තියෙනව ද කියා. ඒ පිළුණු ඉඳුල්වල ගඳ තාමත් කෙහෙවල්ලෙ තියෙනව ද කියා. ඇත්තට ම මට වරෙක දැනෙන්නෙ හැඟෙන්නෙ පිළුන් වෙච්චි මස්කෑලිවලින් හමන දුගඳ කෙස්සෙ විතරක් නෙවයි, මූණෙ විතරක් නෙවෙයි, මයෙ මුළු ඇඟ පත පුරායින් ම වහනය‌ෙවනවා වගේ. මට දැනුණෙ පුදුමාකාර දුකක්. ඒත් දෙයියනේ මං මොනවා කරන්න ද? මේ පුංචි හනී කෙල්ලට කරන්න පුළුවන් දෙයක් නෑ නෙවැ.

දෙයියන් වහන්සේ මාව මේ ලෝකෙට මවල තියෙන්නෙ ඒ දඬුවම් විඳින්නත් එක්ක වෙන්නැති. මට දෙයියන් වහන්සේ ගැන හරි හැටි දැනුමක් අවබෝධයක් ඇත්තට ම නෑ නෙවැ. ඒත් මිනිස්සු පල්ලියෙ ඉඳන් කරන කන්නලව්වලට, යාඥාවලට අහුන්කන් දීමෙන් ලද අත්දැකීම්වලින් එහෙම විශ්වාස කරන්නට මට කරුණු කාරණා සිද්ධ වුණු වග කියන්නෝනැ.

මං මං ගැන ම කල්පනා කර කර ඉන්න කොට මට නින්ද යන්න ඇති. ඒත් ඒකත් හරියකට කියන්න මං දන්නෙ නෑ. මයෙ නරක දුෂ්ට ලොකු අම්මා ය කියන ගෑනි මට දවල් දුන්නු වද වේදනාවලින් මයෙ ඇඟ පත වගේ ම හිතත් හොඳටෝම රිදෙනවා. මං ඇඳේ ඒ පැත්තට මේ පැත්තට පෙරළි පෙරළි සෑහෙන වෙලාවක් ඉන්න ඇති.

”හනී… හනී… හනී…”

ඒ මයෙ අම්මා… මගේ ආදරණීය අම්මා…. මගේ පෙම්බර අම්මා…. ඔව් ඒ ඈ තමා…. ඇගේ කටහඬ තමා….

ඒ කටහඬත් එක්ක ම මට දැනෙන්න පටන් ගත්තෙ මයෙ අම්මගේ සුවඳ…. ඇගේ ඒ මිහිරි සුවඳ දැන් මයෙ ඇඟ පුරා ම තැවරිලා…. බව යි මට දැනෙන්නෙ.

”අම්මා…. අම්මා…. අම්මා…..!!!”

මං දුවගෙන දුවගෙන ඈ ඉස්සරහට ගියා. එතකොට ඈ ඉස්සරහට පැනලා මාව අල්ල ගත්තා. ඈ පාත්වෙලා මං බදාගෙන වැළඳගෙන අතොරක් නැතිව මාව ඉඹිනවා. ඉඹිනවා.. ඉඹිනවා…. ඇගේ ඉඹිල්ලෙ ඉවරයක් නෑ. කෙළවරක් නෑ… මාත් බොහොම ආසාවෙන් මයෙ අම්මගෙ දෑතට මැදිවෙලා එයාගෙ මූණට මයෙ මූණ තියන් හිටිනවා. මට මතකයි මං එහෙම හුන්නෙ ඇස්දෙක පියන් බව.

අම්මා පැදගෙන ආපු බයිසිකලේ ගෙයි බිත්තියට හේත්තු කරනවා නං මං දැක්කෙ නෑ. හැබැයි දැන් ඔව් මේ දැන් මට පේන්නෙ අම්මගෙ බයිසිකලේ ගෙයි බිත්තියට හේත්තු කරලා තියෙනව කියල යි.

”මගේ පුංචි සුරංගනාවි…. යේ මගේ පුංචි සුරංගනාවියේ….. ”

ඈ හැම දවසක ම වැඩ ඇරිල ගෙදර මං වඩාගෙන ඉඹිනව වගේ.. මේ දැනුත් ඇගේ ඒ පුරුද්ද ඒ විදිහට ම… මං හොරෙන් වගේ බැලුවා මල්ලිලා දෙන්න යි නංගි යි කෝ කියා. ඒ කවුරුත් ම පේනතෙක් මානෙක පේන්න නෑ, සමහර විට බාප්පත් එක්ක කඩචෝරු කන්න කඩේට ගිහිල්ලා වෙන්නැති.

අම්මගෙ බෙල්ල බදාගත්තු ගමන් මං කිසිම දෙයක් කියන්නෙ නැතිව ඔහේ ඇස් පියන් හිටියෙ කතා කරන්න කිසිම දෙයක් නැතිව වගේ.

හුඟ වෙලාවක් අම්මට තුරුලුවෙලා හිටපු මං අම්මගෙ මූණ දිහා බැලුවා… ඒ ඇස් දෙකේ ආදරේ පිරිලා…

”අම්මෙ අම්මෙ මං කවද ද ඉස්කෝලෙ යන්නෙ අම්මෙ…. මයෙ අම්මා මං ඉස්කෝලෙ එක්ක යනව නේ ද?”

අම්මා බොහොම ආදරෙන් මාව බිම තියන්න ඇත්තෙ ඊට පස්සෙ. ඈ මයෙ ඇස් දිහා බලා හිටියෙ ඇස් පිල්ලන් ගහන්නෙ නැතිව. මං දැක්කා මයෙ අම්මගෙ ඇස් දෙකේ කාන්තිය. මයෙ අම්මගෙ නෙතු දෙක හරිම ලස්සනයි. හරිම ලස්සනයි හරිම ලස්සන ඇස්….

”ඔව් මයෙ පැටියො… මයෙ පුංචි සුරංගනාවියේ ඔව්… ඔව්… ඔව්…. හෙට උදේට හෙට උදේ ට මං මයෙ හනී මයෙ ලස්සන කෙල්ල… පුංචි සුරංගනාවි ඉස්කෝලෙට භාර දෙනවා…. ඇත්ත ම යි.”

” අනේ ඔය ඇත්තම නේ ද මයෙ අම්මා….?”

“ඔව් මයෙ පුතේ මං හෙට ම ඔයා ඉස්කෝලෙට භාර දෙනවා… සහතික ඇත්ත…”

එහෙම කියපු මයෙ ආදරණීය අම්මා, සරා, ආපහු වැඩට යන්න වෙන්නැති බයිසිකලේ ළඟට පිය නැඟුවා. මම ඇගේ ඇඟේ දැවටෙමින් ම බයිසිකලේ ළඟට ගියා… අම්මා බයිසිකලේට නැඟලා මට ආපහු තොත්තුවක් දීලා මං යන්නම් මයෙ සුරංගනාවියේ කියා අතක් වන වනා පාර දිගේ යන්න වුණා. මං අම්මගෙ බයිසිකලේ පස්සෙන් දුවන්න වුණේ අඬ අඬා…. එකපාරට ම අම්මා බයිසිකලේ හැඬල් එක තදින් අල්ල ගත්ත වගේ දැක්ක මං හයියෙන් ”අම්මා… අම්මා….” කියා කෑ ගහද්දි මේන්න අම්මගෙ බයිසිකලේ සුරුස් ගාලා අහසට නැංගා. මට හරිම පුදුමයි. මයෙ අම්මා ආකාහෙ වලාකුළු අතරෙන් බයිසිකලේ පදිනවා….

”අම්මා… අම්මා… අම්මා… අනේ අම්මා… මාව දාලා යන්නෙපා… මාව දාලා යන්නෙපා…. සරා… සරා… ස..රා.. ස…රා….. සරා…. ඔහොම බයිසිකලෙන් අහසට නැගල යන්නෙ පා ඔයා බිමට වැටිල තුවාල වේවි… අම්මා මයෙ අම්මා මැරේවි…. මැරේවි… එතකොට මට අම්ම කෙනෙක් නැති වේවි… අනේ අම්මේ මයෙ අම්මේ…. බිමට බහින්න කෝ… බහින්න කෝ… මයෙ ළඟට එන්න කෝ… ”

මං ලොකු මල්ලිට යි පොඩි මල්ලිට යි නංගිට යි කෑ ගැහුවා…

”මර්කූ… මර්කූ.. මර්කූ…. ඔස්මෝ, ඔස්මෝ, බිර්ගිටා, බිර්ගිටා උඹලට පේන්නෙ නැද්ද අන්න අපේ අම්මා අපි දාලා බයිසිකලෙන් අහසට යනවා… වලාකුළු අතරෙ හැංගි හැංගි ආන්න ආන්න අහසට නැගලා බයිසිකලෙන්…. වරෙල්ලා වරෙල්ලා අම්මට අපිව දාලා යන්නෙපා කියන්න වරෙල්ලා….”

”මොකැ යි හනී උඹ මේ මහ රෑ යාමෙ යටි ගිරියෙන් කෑ ගහන්නෙ? අපට නිදියන්න වත් ඉඩක් දෙන්නෙ නැද්ද උඹ?? ඒ වේස කෙල්ලෙ”

”මට ඉස්කෝලෙ යන්න ඕනැ. අනෙ මයෙ අම්මේ මට ඉස්කෝලෙ යන්න ඕනැ. මාත් එක්ක ගිහින් අනේ අම්මේ මාව ඉස්කෝලෙට බාර දෙන්න කෝ”

මයෙ ලොකු අම්මා නං නපුරු ගෑනිගෙ ඝෝෂාව යටපත් කරන් මං කෑ ගැහුවා. මේ හනී කෑගැහුවා. එහෙම කෑගාමින් මං ඇස් දෙක ඇරිලා… ඔව් මේ හනී ඇස් දෙක ඇරල නපුරු ගෑනි දිහා බලා හුන්නෙ යස්ස කෙල්ලක වගේ.

ලබන සතියට…..