සාහිත්‍යය හා කලාවහනී - නවකතාව

හනී – නවකතාව 6 වන කොටස

දැන් ඒ නපුරු ගෑනි මං දිහා බලන් ඉන්නේ මාව එක කටට අල්ලන් ගිලින්න වගේ. මං හොඳටෝම බය වුණා. ඒ හින්ද මං ටක්ගාලා ඇ‍‍ඳේ අනිත් පැත්තට හැරුණෙ ඇගේ ඒ බියකරු බැල්මෙන් වහන්වෙන්න.

ඒත් එක්කම ලොකු අප්පොච්චිත් නැගිටලා ''ඇයි දුවේ... ඇයි දුවේ.... ඇයි ඇයි... හනී... හනී.... මොකද  මොකද උඹ හීනෙකින් බයවුණා දැ" යි ඇහුවෙ බෝම ළෙන්ගතුව බව මට හැඟුණා. මං ආපහු ඔවුන්ගේ පැත්තට හැරෙද්දි ලොකු අම්මා ලොක් අප්පොච්චිට වැලිමිටෙන් පාරක් ඇන්නා. ඊට පස්සෙ එයාගෙ අර නපුරු කටහඬ වෙනුවට මට ඇහුණෙ බෝම ආදර කරුණාව බේරෙන වචන පුරෝගත්තු හඬක්.

''ඇයි දුවේ ඔයා හීනෙන් බය වුනා ද? මොකක්දැ දැක්ක හීනෙ?"

මගෙ ඇඟ පුරා දහදිය බේරෙන්න පටන් අරන්. මට දැන් වචනයක්වත් කතා කර ගන්න බැරිවා වගේ.

නපුරු ලොකු අම්මා මට එහෙම කතා කරන කොට ඇත්තට ම දැනුණෙ පුදුමාකාර සතුටක්. හැබැයි ඒ සතුට කොච්චර වෙලාවක් තියේවිද කියන්න නං මං දන්නෙ නෑ, මං අයා ගත්තු මුවෙන් ලොකු අම්මත් ලොකු අප්පොච්චිත් දිහා බලන් හිටියා.

''මේ දරුවව අපි ඉස්කෝලෙට දාමු... හනී හීනෙන් කියෙව්වෙත් ඈ ඉස්කෝලෙ එක්කං යන්න කියලා. සරා එක්ක යි කෙල්ල හීනෙන් කතා කළේ වගෙයි මට නං තේරුණේ..... මං හිතන්නෙ කෙල්ල හීනෙන් අම්මා දකින්න ඇති... ඒක නිසයි...."

එහෙම කීව ලොකු අප්පොච්චි ''හනී උඹ දරුවො අම්මා හීනෙන් දැක්කා නේ දැ" යි ඇහුවාම මං හිස සැලුව හැටි තාමත් මතකයි මතකයි වගේ.

''මොනවද ඕයි තමුසෙ මේ දොඩවන්නෙ.....? මේකිව ඉස්කෝලෙ යවල මොකදැ බැරිස්ටර් විභාගෙ පාස් කොරන්න ද?? එහෙමත් නැත්තං දොස්තරියක් කොරන්ඩ ද??? " ඇහුවෙ උදේ පාන්දර ම මූලග්ගින්න පත්තු කරන් වගේ.

''අපි මේ ළමයට කරන්නෙ ලොකු වැරැද්දක්. ඒක හනීට විතරක් කරන වැරැද්දක් විතරක් නෙවෙයි. අපටත් එක්ක කොරගන්න වැරැද්දක් බව උඹට තේරෙන්නෙ නැද්ද බෙර්තා"

''මොකක්ද ඊනෝ අපි අපි කොරගන්න වැරැද්ද? " උදේ පාන්දරින් ම දුෂ්ට ලොකු අම්මා ගෙදර යුද්දයක් පටන් ගන්න වගෙයි හදන්නෙ කියලයි මට තේරුණේ.

''වැරැද්ද... වැරැද්ද... වැරැද්ද තමයි මේ ළමයා ඉස්කෝලෙ නොයැවීමගැන අපට ආණ්ඩුවෙන් එල්ල වෙන චෝදනාව. .. ඒකට බෙර්තා උඹ විතරක් නෙවෙයි මාත් වැරදිකාරයෙක් වෙන්නෙ උඹේ තියෙන වරද හින්දා. ඒක නිසා මේ කෙල්ල ව ඉස්කෝලෙ යවන්න ඕනෑ ය කියන එක මං උඹට කියන්නෙ හුඟක් දුර දිග බලල බව මතක තියා ගනින්"

ලොකු අප්පොච්චි එහෙම කීවා ම ලොකු අම්මා ටිකක් මෙල්ල වුණා වගෙයි. කිසිම හාවක් හූවක් නෑ. බලා ගත්තු අතේ ටික වෙලාවක් බලා හිට ඇ‍ෙඳෙන් බිමට පැන්නා. ඊට පස්සෙ ඇගේ කටහඬ ඇහු‍ණේ කුස්සිය පැත්තෙන්.

''හනී.. හනී.. මෙහෙ වරෙන් දුවේ!"

මං ඒ ඇමතීම ඇහුණා විතරයි පොඩ්ඩක්වත් පරක්කු නෙවී ගියා. මොකද නැත්තං මං ඉඳල ඉවරයි. ඈ ළඟට මං ගියා ම මමත් එක්ක කිරි දොවින්න පට්ටිය ගියා. කිරි දොවන් දෙන්න එක්ක ආපහු ගෙට එද්දි වෙනදා වගේ නෙවෙයි ඈ බොහොම සාන්ත දාන්ත යි. මට පුදුමත් හිතුණා. ගේ කිට්ටුව ද ඈ කීවේ හෙට ඉඳන් මාත් ඉස්කෝලෙ යවන බව. ඇගේ කතාව මට විශ්වාස කරන්න බැරි තරං.

''ඇත්තට ම බර්තා මං හෙට ඉඳන් ඉස්කෝලෙ යවනව ද?" මං ඇගෙන් දෙතුන් පාරක් ම ඇහුවා. ටික වෙලාවකට පස්සෙ ඈ මුව විවර කළා.

''ඇයි උඹට බොරු කියල මං තෑගි ගන්න යැ"

මං තව එක වචනයක්වත් කතා කළේ නෑ. ඈ පස්සෙන් ගාටන්නෙ ලොකු සතුටකින් පුරෝ ගත්තු හිතින්. ඒ වෙන කොට ඇගේ ළමයින් හතර දෙනා ඉස්කෝලෙ යන්න ලකලෑස්ති වෙනවා. නපුරු ගෑනි කියොස්ටිට යි, පෙන්ටිට යි, කීජේටයි, අරිජටයි උදේට කන්න අලයි පානුයි විල් මාළුයි ටක්බක් ගාලා හදල දුන්නා. මටත් ඒවයින් කෑල්ල කෑල්ල පිඟානකට දාලා දුන්නා.

''හ්ම් මේක කාපං හනී"

දවස් ගාණකට පස්සෙ එදා උදේ හොඳින් ඉර පායලා තිබුණා. මං හිතන්නෙ ඉරත් බෝම සතුටකින් වෙන්නැති දවස් ගාණකට පස්සෙ පොළොව රත් කරන්නෙ. ඒ නපුරු ලොකු අම්මාගේ නපුරුකම් පුච්චල දාන්න වෙන්නැති. එතකොට මට ඇගෙන් ගුටි පූජාවල් කන්න වෙන්නෙ නෑ... කියා ඉරත් හොඳට දන්නවා වගේ කියල යි මට හිතුණෙ. ගහකොළේ තාමත් පිනි කැට තියෙනවා. හරක් පට්ටියෙ දෙන්නුත් උම්බෑ උම්බෑ කියන්නෙත් අමුතු තාලෙකට වගේ කියල යි මට හිතෙන්නෙ. උනුත් සතුටුයි වගේ මයෙ දුෂ්ට ලොකු අම්මගෙ වෙනසට....

බළලත් ඤාව්... ඤාව් ගාන්නෙත් ලොකු අම්මගෙ ඇ‍ඟේ දැවටි දැවටි. වෙනදා නං ඈ බළලට පා පහරකින් සංග්‍රහ කරල හමාර යි. ඌටත් මේ ගෑනිගෙ වෙනසක් තේරිලා වගේ.

''වරෙන් යන්න ගොවිපළට"

උදේ කෑම කෑවට පස්සෙ ඈ මට අඬ ගැහුවෙ කැරට් පාත්ති සුද්ද කරන්න යන්න ය කියන එක මට තේරුණා. මං ලොකු අම්මගෙ නියෝගවලට අකමැති බව ඇත්ත. ඒත් ගොයිපොළේ වැඩ කරන්නට නං මං යන්නෙ බොහොම කැමැත්තෙන්.

එතකොට මට කුරුල්ලොත් එක්ක කතා කරන්න පුළුවන්. උන් සිංදු කියන කොට මට දැනෙන්නෙ පුදුමාකාර සතුටක් නෙවැ. එච්චර විතරක් නෙවෙයි ඊට එහායින් තියෙන විල දිහා ඇහැ කැඩෙනකං වුණත් බලං ඉන්න පුළුවන්. විලේ වතුර රැලි පිට රැලි මතුවෙලා ඉර අව්වත් එක්ක නටන හැටි බලං ඉන්න පුළුවන්. විලට එහායින් තියෙන මහ කැලේ ගහ කොළ තාලෙට නටන හැටි බල බලා සතුටු වෙන්න පුළුවන්. ගහ කොළ තාලෙට නටන අපූරුව.... දවස පුරා ම බලං ඉන්න ඇත්තං. ඊට වඩා සතුටක් කොහිදැ තියෙන්නෙ....

දැන් මං ලොකු අම්මා පස්සෙන් අඩි තියන්නෙ ඒ සිතිවිලිවලින් මගේ පපුව පුරෝගෙන. මගේ හිත හරිම හෑල්ලුයි වගේ. ඒත් ඉතින් ඒ හෑල්ලුව තව කොච්චර වෙලා තියෙයිද කියල දන්නෙ උඩ ඉන්න දෙවියන් වහන්සේ විතරයි නෙවැ....

මං ලොකු අම්මා පස්සෙන් අඩි තිය තියා ගිහින් එක පාරට පියවර වේගවත් කරලා ඈ පියමං කරන් ගොවිපළට ගියේ ඈට වඩා විනාාඩි දෙක තුනකට කලින්. එච්චරටම මයෙ හිත ප්‍රබෝධමත්වෙලා....

ලොකු අම්මට ටිකක් පස්සෙන් ලොකු අප්පොච්චිත් එනවා මං දැක්කෙ ගොවිපළට ගිහින් ආපහු හැරිල බැලුවහම. එයාගෙ අතේ නොවරදින උදැල්ලත්, ලොකු කූඩෙත් අද නැතිවයි ලොකු අප්පොච්චි එන්නෙ. එයා එන්නෙ අස්සය පිට. ලොකු අප්පොච්චිගෙ කමීසෙ හුළඟට අහුවෙලා. එයා එහෙම අස්සයත් එක්ක එනවා නං නොවරදාවාම ටිකක් ඈතකට යන්න සූදානමකින් එන බව මං දන්නවා.

දැන් ලොකු අම්මායි ලොකු අප්පොච්චියි බොහොම කිට්ටුවෙන්. ඒ කියන්නෙ ලොකු අප්පොච්චි අස්සය පැදන් ලොකු අම්මා ළඟට ම ඇවිදින්. දෙන්නා බොහොම බර කයියකින් ගොවිපළට එන්නෙ.... දෙන්න ම ලොකු කතා බහක.සමහර වචන හුළඟට අහුවෙලා ඈතට පාවෙලා යනවා. ඒ තරමට ම දෙන්නා ගේ කතාව බොහොම සද්දෙට.

''මං ඊයෙ රෑ සරා දැක්කා හීනෙන්. මං හිතන්නෙ හනීට යි මටයි දෙන්නට ම ඈ පේන්න ඇත්තෙ එක ම වෙලාවෙ වෙන්න ඕනැ"

"ඉතින්... ඉතින්"

''මට සරා කීවා හනී ව ඉස්කෝලෙට ඇතුළු කරන්නෙ යි කියා. එතකොට ම වගේ තමා කෙල්ල ''මට ඉස්කෝලෙ යන්න ඕනෑ.... මට ඉස්කෝලෙ යන්න ඕනෑ.... මයෙ අම්මා මට ඉස්කෝලෙ යන්න ඕනෑ... අනේ මාත් එක්ක ගිහින් ඉස්කෝලෙට බාරදෙන්න යි කියල කෙල්ල මොර දුන්නෙ"

ලොකු අම්මා ලොකු අප්පොච්චට එහෙම කියන කොට මං හිටියෙ ලොකු තණකොළ ගොන්නකට මුවා වෙලා.

''ඊනෝ උඹ කියපු කතාවෙ බරපතලකම තේරුණේ ඊට පස්සෙ යි.කෙල්ල ඉස්කෝලෙට නොදැම්මොත් සමහර විට සාරා මයෙ බෙල්ලත් මිරිකාවි කියන බයක් මට ඔට්ටු වුණා...

ලබන සතියට....