සාහිත්‍යය හා කලාවහනී - නවකතාව

හනී – නවකතාව 7 වන කොටස

පහුවෙන් දා දුෂ්ට ලොකු අම්මා මං ඉස්කෝලෙට කැන්දන් ගියා. මං විතරක් නෙවෙයි. කියෝ අයියත් එදා තමා මුලින් ම ඉස්කෝලෙ යන දවස. ලොකු අප්පොච්චි අස්සයා පිට ගිහින් අපි දෙන්නට ඉස්කෝලෙට අඳින්න අලුත් ඇඳුම් වගයක් අරන් ඇවිල්ලා තිබුණා. ලොකු අම්මා හරි ලොකු අප්පොච්චි හරි කලින් දවසෙ ගිහින් ඉස්කෝලෙන් අහන්න ඇති අපි දෙන්නා ඉස්කෝලෙට භාර ගන්න එක්කන් එන වග. නැත්තං......

ඉස්කෝලෙ දැක්ක ගමන් මට ඇති වුණේ ඇත්තටම කියන්න බැරි තරමෙ සතුටක්. මට හරිම සතුටුයි. ප්‍රීතියි.... මමත් අද ඉඳන් ඉස්කෝලෙ යනව නේ අකුරු කියන්න අකුරු ලියන්න....

ලොකු අම්මා අපි දෙන්නා එක්ක ඉස්කෝලෙ කළමනාකරු හරි විදුහල්පතිතුමා හරි හම්බ වුණා. එතැන දි ඔහු අපට බොහොම ආදරෙන් කරුණාවෙන් කතා කරලා කියෝගෙයි මගෙයි නං ඇහුවා. මගේ නම අහන කොට ම මං ටක්ගාලා හන්නෙලි කියා මයෙ නම කීවා. ඒත් කියෝ අයියා නං ටිකක් ඇඹරි ඇඹරි හිටිය හැටි මට මතකයි.

"ආයුබෝවන් ළමයිනේ" කියා විදුහල්පති අපි පිළිගත්තා. තවත් ළමයින් කට්ටියක් අපි දෙන්න වගේ ම අලුතෙන් ඉස්කෝලෙට ඇතුළු කර ගත්ත බව මට මතකයි. ඊට පස්සෙ අපට අලුත් ම අලුත් පොත් දෙක බැගින් දුන්නෙ අපි පන්තියට එක්කං ගිය ටීචර්. ඒ පොත් දෙකෙන් එකක පින්තූර එක්ක ලොකු අකුරු තිබුණා. අනිත් පොතේ තිබුණෙ ඉලක්කම්....

අපි ඉස්කෝලෙට ඇතුළු කරල ටික වෙලාවකින් ලොකු අම්මා ගෙදර යන්න පිටත් වුණා. හැබැයි ආපහු ගෙදර යන බව් අපි දෙන්නට කීවෙ නෑ.

අපි පළමු වැනි ප්‍රමාණය පන්තියට කැටිව ගිය ටීචර් අපිත් එක් එක්කෙනාගෙන් නම් ඇහුවා. අපි නම් කීවාම ඈ "හොඳ ළමයා... හොඳ ළමයා.... කිය කියා හැම ළමයකුගේ ම ඔළුව අත ගෑවා. හැබැයි අනිත් ළමයින් ඉස්සරහ මට තරමක බයකුත් ලැජ්ජාවකුත් ඇති වුණා.

එදවස තමා මට අලුත් සාය පොඩ්ඩකුයි හැට්ට පොඩ්ඩකුයි අඳින්න පුළුවන් වුණු දවස...ඒ සායෙයි හැට්ටෙයි තාන්බව මට මේ දැනුත් දැනෙනවා දැනෙනවා වගේ. මං ඒවායේ සුවඳ කීප වාරකයක් ම උරා ගත්තා.... හරිම සුවඳ යි..... ඔව් හරිම සුවඳයි... මයෙ සායත් හැට්ටෙත්.....

ටීචර් දුන්නු පොත් දෙක අරන් මං නාහෙට තියලා ඉම්ඹා. මට පොත් දෙකෙනුත් දැනුනෙ හරි අපූරු සුවඳක්... මං දෙතුන් වංගියක් ම ‍ඒ පොත් දෙකේ සුවඳ බැලුවෙ හිතේ කොයිබකින් හරි නැ‍ඟෙන ලොකු සතුටකින්. හ්ම්.. අම්මෝ ඒවායේ සුවඳ !

 

අපේ පන්තියෙ ඉන්නෙ ළමයින් දහඅට දෙන යි. මාත් එක්ක ම . මං වගේ ම තවත් ගෑනු ළමයින් නව දෙනෙක්. පිරිමි ළමයි නව දෙනෙක්.

අපේ ටීචර් දිහා මං ඇස් නො පියා ගොඩක් වෙලා බලන් හිටිය හැටි ‍මට මේ දැනුත් පේනවා පේනවා වගේ. මං ගොඩක්වෙලා ඈ දිහා බලන් හිටියත් ටීචර් ඒ වගක් දන්නෙ නෑ. මං දැන් වාඩිවෙලා ඉන්නෙ ටීචර්ගෙ මේසෙ ඉස්සරහ ම පුටුවක. මට ඩෙස් එකකුත් තියෙනවා නේ. ඉතින් මං පුටුවෙ වාඩිවෙලා අනිත් ළමයින් කරන දේ ම යි කරන්න පටන් ගත්තෙ.

අපේ කියෝ අයියා අනිත් පැත්තෙ පෙළක. ඇත්තට ම කියෝ අයියා ඉන්නෙ පිරිමි ළමයින්ගෙ පැත්තෙ දෙවැනි පේළියේ කෙළවරේ ම පු‍ටුවෙ. කියෝ අයිය යි මා යි එක ම පන්තියේ. මට ගොඩක් සතුටුයි ඒ හින්ද!

අපේ ගෙදර ඉඳල අපේ ඉස්කෝලෙට දුර මීටර පන්සීයයක් විතර ඇති ලු. ඕනැ නං ඊට ටිකක් වැඩි ඇති කියලත් කියනව මට ඇහිල තියෙනවා ලොකු අම්මලා කතා කරනවා. අපේ වත්තට ටිකක් එහායින් පාරෙ අනිත් පැත්තෙ. ටිතත් පොඩි කඳුගැටයක් නැගලයි ඉස්කෝලෙට යන්න ඔ්නෑ, එක ම එක ගොඩනැගිල්ලක පන්ති හයක් පැවැත්වෙනවා. පළමු වැනි ප්‍රමාණයේ පටන් හය වැනි ප්‍රමාණය දක්වා ඒ පන්ති පැවැත්වෙන්නෙ. ඒ ගොඩනැගිල්ල ටිකක් දිගයි...

අපෙ ඉස්කෝල වත්ත පුරා ලස්සන ලස්සන මලින් පිරුණු එක එක වර්ගයේ මල්ගස්. ඒවා මල් ගස් ම විතරකුත් නෙවී... කුරුල්ලන් ඒ ගස්වල වහල ඉන්න හැටි කොච්චර බලා හිටියත් හිතට මදියි මදියි වගේ. උන් මලින් මලට පියාඹමින් මලින් මල ඉඹින දිහා පන්ති කාමරේ ඉඳන් මං බලා ඉන්නෙ ඒ මල්ගස් ගොන්න බොහොම ර‍ඟේය මට පේන හින්දා.

මං වගේ ම අනිත් ළමයිනුත් ඉස්කෝලෙට ඇවිත් ඉන්නෙ අලුත් ම අලුත් ඇඳුම් ඇඳන්. බලන්න එපායැ ඒ කට්ටියගෙත් ලස්සන.... ඔක්කොම මං වගේ ම සතුටින් ඉන්නවා දැක්කහම මයෙ ඉහේ මලක් නෙවෙයි මල් කිනිත්තක් ම පිපුණා වගෙ යි දැනුණේ. හැබැයි ළමයින් දෙන්නෙක් නැත්තං තුන් දෙනෙක් ඇඬුවා.... ඒ ළමයින් අඬන්න ඇත්තෙ අම්මල තාත්තල මතක්වෙලා වෙන්නැති.

හැබැයි ඒ ළමයින් ඇඬුවට මං නං බින්දුවක් වත් ඇඬුවෙ නෑ. ඒ මයෙ අම්මා මට මතක් නොවුණු නිසා නෙවෙයි. මතක් වුණා... මතක් වුණා... සරා මට මතක් වුණා. මයෙ අම්මා මට මතක් වුණාට අපෙ අම්මා - සරා - මැරිලා වේ. ඒ හින්දා නේ මට මේ නපුරු ගෑනි, ලොකු අම්මා ළඟට එන්න සිද්ධ වු‍ණේ. ඉස්කෝලෙ එන්න ලැබිච්චි එක මුල් දවසෙ ම මට තේරුණේ මං ලබපු ලොකු වාසනාවක් විදිහට. දෙවියන් වහන්සේ පැය තුන හතරකට හරි දුෂ්ට ගෑනිගෙන් ගුටි නොකා ඉන්න මට ඉඩ සලසලා දීපු රකට මං දෙවියන් වහන්සේට සිය දාස් වාරයක් ස්තුති කරනවා. ස්තුති කරනවා. මට ඒ පුංචි කාලයක් හරි නිවිහැනහිල්ලේ ඉන්න පුළුවන් නෙවැ. දෙවියන් වහන්ස. ඔබ වහන්සේට බොහොමත් ම ස්තුතියි. ඔව් බොහොමත් ම.....!!

එහෙම දෙවියන්ට ස්තුති කරල මහ වෙලාවක් යන්න කලින් මට ලොකු අම්මාගේ විධාන බුරුත්තක් දෙකන්වල පැටලුණා වගේ දැනුණා.

''හනී මෙහාට වරෙන්... හනී මෙහාට වරෙන්.. හනී මෙහෙ වරෙන්... කෙල්ලෙ උඹේ කන් ඇහෙන්නෙ නැද්ද@ හනී සවුනා එකට වතුර දාපං. සවුනාවට දර ගෙනැවිත් දමපං. උඹේ කන ඇහෙන්නෙ නැද්ද අර පට්ටියෙ සත්තු කෑ ගහන්නෙ උන්ට කන්න දෙයක් නැතිව ද කොහෙද. හනී හනිකට දුවල ගිහිං සත්තුන්ට කෑම දාපං" මේ ව‍ගේ නියෝගවලින් මයෙ කන් දෙක මේ දැනුත් පිරිල පිරිල වගෙ යි. ඒත් ඉතින් දැන් මට හැමදාම උදේ කාලෙ කිසි කන්කරච්චලයක් නැතිව ඉන්න පුළුවන් නෙවැ..

දැන් මට පැය කීපෙකට හරි පුංචි නිදහසක් ලැබිලා... ඔව් පුංචි නිදහසක් ලැබිලා.. ඒත් ගෙදර ගියාට පස්සෙ? ඉස්කෝලෙ අහවරවෙලා ගෙදර ගියාට පස්සෙ... දුෂ්ට ගෑනි උදේ කාලෙටත් එක්ක හවහ මගෙන් මාව මරව මරවා වැඩ ගනීවි... කරන්න තියෙන වැඩ රාජකාරී දෙගුණයක් වේවි... කො‍හොම වුණත් ඉතින් මට මේ පුංචි හරි විවේකයක් නිදහසක් ලබා දුන්නෙ දෙවියන් වහන්සේ ය කියල යි මං විශ්වාස කරන්නෙ. ඒක එහෙම තමයි... දෙවියන් වහන්සේට ත් දුක ඇති මේ නරක ම නරක ගෑනි මං වගේ නොදරුවකුගෙන් මරව මරව වැඩ ගන්න ගැනිල්ලට. ඒත් ඉතින්... මයෙ යටිහිත මගෙන් විමසන්න ප්‍රශ්න කරන්න පටන් ගත්තෙ විවේක කාලෙ අහවරවෙලා අපි ආපහු පන්තියට දුවගෙන එන ගමනෙ දි.

එදා ඉස්කෝලෙ ඇරෙන වෙලාවෙ අපේ ලොකු අම්මා ඇවිත් හිටි‍යා අපි දෙන්න එක්කං යන්න...

ගෙදර එන ගමනේ ඈ කියෝ අයිය‍ගෙන් ඇහුවෙ ඉස්කෝලෙ විස්තර. අපේ ටීචර් ගැන... අනිත් ළමයින් ගැන... අද දවසෙ මොනවදැ ඉස්කෝලෙ දි කළ වැඩ... කියා ලවක් දවක් නැතිව එයා එයාගෙ පුත්තරයගෙන් අැහුවට මොකද මගෙන් නිකමටවත් කටක් ඇරල එක වචනයක්වත් ඇහුවෙ නෑ.

මං කල්පනා කළා ලොකු අම්මා මගෙනුත් දැන් දැන් මොනව මොනව හරි අහවි ය කියා. ඒත් ඈ මයෙන් එහෙම මොකක්වත් අහනව නෙවෙයි හරියකට මගෙ මූණවත් බැලුවෙ නෑ, ඒ වෙලාවෙ මට ඇති වෙච්චි දුකක තරම.

ගෙදර ඇවිදින් ඉස්කෝලෙන් දුන්න පොත් දෙක අරන් පෙරළ පෙරළා බලන්න මට තිබුණු ආසාවක්... ගෙදර ආව ගමන් මං ඉස්කෝලෙ ඇඳුමවත් මාරු ‍කළෙත් නෑ..  ඒ පොත් දෙක අත් දෙකින්  අරන් පුටුවක් වාඩිවෙලා හිතේ හැටියට එක පොතක තියෙන රූප බලන්න පටන් ගත්තා. ඒ පොතේ තියෙන රෑප ඉස්කෝලෙ දි හරියකට බලන්න පුළුවන් වුණේ නෑ... නෙවැ. අනිත් ළමයින් වගේ ම පොත් දෙක පෙරළ පෙරළා බැලුවා තමයි... ඒත් හිතට හරිගියේ නෑ වගේ. ඒකයි දැන් මං මේ පොත් දෙක ආපහු සරයක් බලන්නෙ...

හ්ම් පොතේ පිට කවරෙ ලස්සන ගෑනු ළමයකුයි, ලස්සන පිරිමි ළමයකු යි, ලස්සන සමනලයන් දෙන්නකුයි... ඉස්කෝලෙ දි ඒ පින්තූරෙ මේ දැන් දකිනවා තරම් අපූරුවට දැක්කෙ නෑ කියල යි මට හිතෙන්නෙ ම. මං පොත් දෙක පෙරළ පෙරළා බලන කොට මේන්න අරිජා නංගි ආවෙ නැතෑ... දැන් ඈත් මං ළඟටවෙලා පොතේ තියෙන පින්තූර බලන්නෙ හරිම ආසාවකින්...

''හනී හනී.. හනේ හරිම ලස්සනයි නේ ද? අනේ මටත් එකක් දෙන්න කෝ. රූප බලන්න...."

ඈ එහෙම මගෙන් පොතක් ඉල්ලුවහම මට ගොඩාක් දුක හිතුණා. ඒ ඈට දෙන්න පොතක් මං ළඟ නැති හින්දා.

''අරිජා නංගී එක පොතයි නේ තියෙන්නෙ. ඒක මං ඔයාට දුන්නහම කොහොම ද මං හෙට ඉස්කෝලෙ යන්නෙ"

''අනේ ඒ වුණාට කාරි නෑ... මට ටිකක් දෙන්න කෝ ඔයාගෙ පොතේ රූප ටික බලන්න. ම හරිහ ආසයි හනී... හරිම ආසයි..."

මං නංගිත් එක්ක පොත බල බලා ඉන්න කොට කියෝ අයියා ගිහින් සෙල්ලං කරන්න. එයා සවුනා එක ළඟ තනියම සෙල්ලං කරනවා මට පේනවා.

''අනේ හනී මට ටිකක් දෙන්න කෝ ඔයාගේ මේ පොත... රූප තියෙන පොත.."

''අරිජා නංගී මං මේවා ඔයාට දෙන්නං හැබැයි චුට්ටක් බලල මට ඕනෑ ‍මයෙ පොත... හරිද " මං ඈ සනහන්න එහෙම කීවාට මොක දැ ඇත්තට ම මට බයකුත් ඇති වුණා අරිජාගෙන් පොත ඉරිණොත් කියා. ඒත් ඉතින් මං වගේ ම එයත් ආසයි නේ පොතේ රූප බලන්න... ඒ හින්දා අකුරු තියෙන පොත මං ඈට දුන්නා... ඒක නෙවෙයි අනිත් පොත දෙන්න කෝ කියා ඈ කන්නලව් කරන කොට මං රූප පොත ඈට දික්කළා.

එයා ඒක ගත්තෙ බොහොම ආදරේකින්. භක්තියෙකින්. දැන් ඈ පොතේ පිටුවෙන් පිටුව පෙරළ පෙරළ රෑප බලනවා.... මං හරිම සතුටකින් ඈ දිහා බලා ඉන්නෙ හිතේ ටිකක් බයකුත් තවරන්. මොක දැ යි කීවොත් අරිජාගෙන් පොතේ පිටු ඉරුණොත්...

කොහොම වුණත් පොත ඉරුණෙ නැති වුණාට පොතේ කවරේ කිලිටි තැවරුණා. කෙල්ල ගෙ දෑතෙ තිබිච්චි කුණුවලින් දැන් පොතේ කවරෙ අවලස්සන වෙලා. මට හරිම දුකයි. කේන්තියි.

''අරිජා මොකක් ද මේ ඔයා කළේ... බලන්න කො ඔයා පොතේ කුණු ගෑවා නේ ද? පොත කිලිටි කළා නේ ද?"

මං එහෙම ඇහුවෙ කේන්තියෙන්. එතකොට එයාගේ මූණ පුළුටු වුණා. ඒ මූණෙ මං දැක්කෙ බයකුයි දුකකුයි පිරිච්චි ඇස් දෙකක්.

''හ්ම්.. හ්ම්... කමක් නෑ,.. කමක් නෑ.. දෙන්න කො පොත" මං එහෙම කියමින් ම අරිජා අත වූ පොත ආපහු ගත්තෙ බලෙන් ම වගේ. මං පොත ගත්තා විතරයි ඈ අඬා ‍ගෙන ගේ ඇතුළට දිව්වා. ඇගේ ඇඬිල්ලෙ සද්දෙට ද කොහෙද වෙන්නැති ලොකු අම්මා ඇතුළු ගෙයි ඉඳල පිඹගෙන ආවෙ නැතෑ මං හිටින තැනට.

මොකක් ද හනී උඹ අරිජට කළේ?"

ලොකු අම්මා ගේ ඒ ගෝරනාඩුවට මං උඩ ගිහින් බිම වැටුණා වගෙයි මට දැනුණෙ.

''මං මොකුත් කළේ නෑ"

ගොත ගහමින් මං එහෙම උත්තර බැන්දෙ ලොකු අම්මා දිහා බයෙන් වගේ ම දුකෙන්.'

'මං මොකුත් කළේ නෑ...

එය ම පෙරළා කියූ ඈ "උඹ මොකුත් නොකළා නං ඇයි එයා අඬාගෙන මං ළඟට දුවන් ආවේ.

ලබන සතියට....