දේශපාලන

2020 මහ මැතිවරණය – ගාල්ලේ මනාප බලු පොරයට පේස් බුක් පිටු යොදා පහරදීම

එළඹ ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී අන් කිසිදු දිස්ත්‍රික්කයක දක්නට නැති අන්දමේ නින්දිත මඩ ව්‍යාපාරයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරග වදින චන්දිම වීරක්කොඩි ඉලක්ක කොට අරඹා තිබීම ඉතා නිර්ලජ්ජිත බව සටහන් කරන්නට මේ ලිපිය ලියන්නට හේතු කාරණා වූ බව සලකන්න. මෙවන් නින්දිත මැතිවරණ ව්‍යාපාරයක් විපක්ෂයේ අපේක්ෂකයන් වෙතින් වත්, ප්‍රතිවාදීන් වෙත එල්ල නොවේ. ජේ. ආර්. විසින් හඳුන්වා දුන් ඊනියා පොරාජාතන්තරවාදී සමාජවාදී මැතිවරණ කොරමෙට අනුව 1989 පටන් ඇතිව තිබෙන මේ මනාප බලු පොරය අද දවස වන විට නව තාක්ෂණික මෙවලම් ඔස්සේ පැතිර යන්නේ අන් රට රාජ්ජවලට ද අපේ නිරුවත පෙන්වමිනි.

මේ මඩ ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ගේ අනුදැනුමින් කෙරෙන්නක් ද? එහෙමත් නැත්නම් කිසියම් අපේක්ෂකයකුට හෝ කීප දෙනෙකුට හෝ චන්දිම ප්‍රධානතම බාධකය වී ඇති හෙයින් මෙවන් මඩ ව්‍යාපාරයක් දියත් කර ඇද්ද යන්න සලකා බැලීම වටී.

චන්දිමට මනාපය නොදී ඔවුන් අපට කියන්නේ අසවලාට අසවලා ට මනාප දෙන්නැ යි කියා යි. එහෙම ඒ එක එක මුහුණු පොත් පිටු සරසන්නන් කියන කියන පරිද්දෙන් අප ඔවුන් කී දේ පිළිගෙන වැඩ කරන්නට නම් ගාල්ලේ පොදුජනයා උනට ජාතකව වූවන් විය යුතු ය. නැත්තං එක්කෝ ඔවුන් අපේ බාප්පොච්චිලා දැ යි විමසන්නට සිත් වේ. බාප්පොච්චිලා කීවත් එහෙම පිළිගන්නට තරම් මන්දබුද්ධික මිනිසුන් ගාල්ලේ සිටින්නේ දැ යි විමසීමට පවා ගත යුත්තක් නැත.

මේ නම් ඉතා පහත් පෙළේ හැසිරීමකි. මුහුණු පොත්වල සටහන් ලියන අඳබාලයන්ට ඒ වග නො දනී. ඒත බුද්ධිමත් මිනිසුන් ඒවා බැහැරලන්නේ අලුයම ඉවත ලන කුණු කෙළ පිඬක් සේ ය. ඒ තරමට ම ඒවා අජූව ය.

ඔවුන් ගේ මේ පහත් හැසිරීම්වලින් සිද්ධ වෙන්නේ ඔවුන් මනාප දෙන්නැයි කියා කියන්නා වූ අපේක්ෂකයන් කෙරෙහි ඇති ජනතා ප්‍රසාදය පවා, මහජන සිත් හි අප්‍රසාදයක් බවට පෙරළීම හැර අන් කිසිවක් නොවේ.

1970 පටන් බෝ ක්‍රියාකාරීව ඇම්. ජී. මැන්දිස් වැනි කෘතහස්ථ දේශපාලනඥයකු ගේ ජයග්‍රහණය වෙනුවෙන් දර දිය ඇද 1977 දී බලයට පත් එඩ්වින් තිලකරත්න වැනි ධාර්මිෂ්ඨ දේශපාලනඥයකුගේ හා ඔහුගේ හෙංචයියන්ගේ පළිගැනීම්වලට ලක් ව අදත් ක්‍රියාකාරීව වාමවාදී දේශපාලනයේ නියැළෙන ලියුම්කරු වත්මන් පරපුරේ මේ අශික්ෂිත ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි වේදනාවකින් යුක්තව මේ සටහන තබන්නේ හතුරා කවරකු ද, මිතුරා කවරකු දැ යි තේරුම් බේරුම් කර ගන්නට, නො හැකි පිරිස් ළංකර ගෙන සිටින ගාල්ලේ දේශපාලන පොරපිටියේ එකම කණ්ඩායමක, අපේක්ෂකයින් කෙරෙහි ද කලකිරීමක් ඇති වග කියා පාමින්, මෙය බරපතල වැරැද්දක් බව පෙන්වා දීමේ අපේක්ෂාවෙනි.

ලියුම්කරු 1977 මහ මැතිවරණයේ දී ඇම්. ජී. මෙන්ඩිස් නම් කම්කරු පන්තිය ප්‍රමුඛ වැඩකරන පන්තියේ අසහාය නායකයාගේ මෙන් ම, බද්දේගමට තරගකළ පියදාස රත්නපාල, අක්මීමණට තරග කළ අමරසිරි දොඩන්ගොඩ හා හිනිදුම ආසනයට තරග කළ රාජා අලහප්පෙරුම යන දේශපාලනඥයන් ‍ගේ මැතිවරණ ව්‍යාපාරයට අඩු වැඩි වශයෙන් සම්බන්ධ වූ අතීතයක් ඇතිව ය. ඒ නිසා එජාපයේ පළිගැනීම්වලට ලක්ව අඹු දරුවන් හා දහසකුත් එකක් දුක් කරදර විඳි පුද්ගලයකු හැටියට අද උදාවී තිබෙන කනගාටුදායක තත්ත්වය කෙරෙහි පක්ෂ නායකයන් කෙරෙහි පවා ඇති කලකිරීමක් ලේඛකයාට ඇත්තේ ය. එජාපයේ දුෂ්ටකම් ගැන, මර්දනය ගැන, පීඩාවන් ගැන, මනා වැටහීමක් අප සතු ය. හැත්තෑ හතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ ද අන්ත පරාජයක් ලැබීමේ ප්‍රතිඵල මැනවින් අත්වින්ද අයුරු, නේකාකර සටහන් ලියමින්, පේස්බුක්වල හා යූටියුබ් ඔස්සේ තම පිළෙහි ම අපේක්ෂකයකුට මඩ තලි ගණනින් එල්ල කරන්නන් අත්දැක නැති බව හොඳින් ම දනිමි.

ලියුම්කරු 1980 ජූලි මහා වැඩ වර්ජනයට එක්ව ධාර්මිෂ්ඨර්ලා‍ගේ 5/6 ගල්රෝලට යටවී රැකියාව අහිමිව අඹු දරුවන් සමඟ දහදුක් වින්ද හැටි යළි සටහන් කරමි. චන්දිමට එරෙහිව අවලාද නඟනා පිරිස් පොහොට්ටුවේ නායකයින් අපේක්ෂා කරන 2/3 බලයට පවා හානි කරනා වග පැහැදිලිව ‍ඔවුනට නොපෙනුණාට ඇත්ත ඒක ය.

ඡන්දාපේක්ෂකයින් හා ඔවුන්ගේ ගෝල බාලයන් ද වටහා ගත යුතු වැදගත්ම කාරණාවක් අප මෙහිදී පෙන්වා දීමට කැමැති ය.

චන්දිම පාවා දෙන්නකු නම් පොහොට්ටු නායකයා වන මහින්ද රාජපක්ෂ හා එහි සෙසු විධායකයින් ඔහුට 2020 මහ මැතිවරණයට තරග කරන්නට අවස්ථාව දුන්නේ මන් ද යන්න සිහිබුද්ධියෙන් කල්පනා කළොත් හොඳ ය. ඔහු ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ගේ ජයග්‍රහණය උදෙසා කළ දැවැන්ත කාර්යභාරය කෙබන්දක් ද?

ඔහු නුසුදුසු වන්නේ නම් මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ හා එක්ව දවස් 52 අණ්ඩුව පිහිටුවීම කටයුතු කිරීම ද, මහින්ද රාජපක්ෂ කරන ලද්දේ ද වැරැද්දක් යැ යි ඔවුන් ට අනුශාසනා කරනා මහා ප්‍රාඥයින් කියන්නේ නැද්ද? එය එහෙම සිහියට ගත්තොත් නරක ද?

වැරදි සිද්ධ කර ඇත්තේ චන්දිම විතරක් ද? ඔහු ද ඇතුළුව සිරිසේන, වික්‍රමසිංහ හා සුමන්තිරන්ලා ඇටවූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අත එසවීම අනෙක් උදවිය කළ වැරැද්දක් නොවන්නේ ද?

පළාත් සභා ක්‍රමය ඇති කළ විට ඊට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රට පුරා දියත් කළ විරෝධතා පසෙකලා 1993 පළාත් සභා මැතිවරණයට තරග කිරීම හරි ද වැරදි ද යන්න අද කවුරුත් කතා කරන්නේ නැත්තේ මන් ද? වැරැද්ද වැරැද්ද ම මිස නිවැරද්දක් නොවේ. ඒ නිසා මේ රටට අහිමි වූ උගත් බුද්ධිමත් තරුණ තරුණියන් හැට දාහක ගේ අකල් මරණවලට ඔවුන් ද අනියමින් හෝ වැරදිකරුවන් නොවන්නේ ද?

යහපාලන ආණ්ඩුවේ ඛනිජ තෙල් හා ඛනිජ වායු සම්පත් ඇමතිවරයා සේ චන්දිම පත්වීම් ලැබ වැඩ භාර ගත් දවසේ අද පොහොට්ටුවේ ප්‍රබලයන් සේ පෙනී සිටින පොහොට්ටු කාරයින් (ගාල්ලේ මහජන නියෝජිතයින් ද ඇතුලුව) කී දෙනෙක් කොළඹ 07 මල්පාරේ පිහිටි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයට ගොස් ඔහුට සුබ පතා කැවුම් කිරිබත් සංග්‍රහයේ රස වින්ඳ බව පේස්බුක් පිටුවලින් ඔහුට අවලාද නඟන්නන් දන්නේ ද?

චන්දිම වීරක්කොඩිට නේක විධ අවලාද නගමින් ‍මුහුණු පොත් පිටු ඔස්සේ ද, යූටියුබ් හරහා ද, දැවැන්ත අවලාද කන්දරාවක් යම් යම් පිරිස් විසින්, නඟන අයුරු. ඒ මඩ ප්‍රහාර එල්ල කරන්නන් නඟනා මූලික කාරණාවක් සේ, යුනිකෝඩ්වලින් කොටා මිතුරු මිතුරුයින්ට පෙන්වන්න දත කන්නේ චන්දිම වීරක්කොඩි නිකම්ම නිකං අප‍තයකු ය යන්න යි.

මෙය හරියට කියන්නේ නම් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබන්නට පෙර (ඒ වග 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්නට එවක ආණ්ඩු පක්ෂයේ හා ඔවුනට උඩ ගෙඩි දුන්නවුන් පිටපොට ගසමින් ද) විරුද්ධ පක්ෂයේ ඇත්තන් හා එන්ජීඕ කල්ලි ද ගෝඨාභය රාජපක්ෂයාණන්ට නේක විධ අවලාද නැඟූ අයුරු, ලාංකේය බුද්ධිමත් මහජනයා මැනවින් වටහා ගෙන හුන් වග, අපූරුවට පසක් වූයේ 2019 ජනාධිපතිවරණයේ දී ඔහු ලද අති දැවැන්ත ජයග්‍රහණයත් එක්ක බව මොවුන් දො දන්නේ ද?

සිය ප්‍රතිවාදීන් මෙන් ම, දේශද්‍රෝහී එන්ජීඕ නඩ ‍මොන මොන තරමේ අවලාද‍, අපහාස, උපහාස තමන්ට නැඟුව ද, ඒ කිසිවකුට මඩ තලිවලින් පහර දෙන්නට ගෝඨා පෙළඹුණේ නැත. ඔහු ජනාධිපතිවරණ වේදිකාවන් හි දී, ලාංකේය ඡන්දදායකයනට පැවසුවේ, පෙන්වා දුන්නේ, සිය ප්‍රතිපත්ති මොනවා ද යන්න යි. ඒ හැර අන් කිසිදු වචනයක්, ඔහුගේ මුවෙන්, කිසිදු වේදිකාවක දී වාතලයට මුසු නො කරන්නට ඔහු වගබලා ගත්තේ, නියම විනයගරුක පුද්ගලයකු හැටියට,  යුද හමුදාවෙන් ලබා ඇති පන්නරයෙන් බව ප්‍රතිවාදීන් පවා පිළිගත් බව පෙනෙන්නට තිබුණි.

චන්දිම වීරක්කොඩිට අවලාද නඟන්නේ, ඔහු කෙරේ ඇති ද්වේෂයෙන් මිස, අන් කිසිදු කාරණයක් නිසා නොවේ. ඒත් ඔවුන් ප්‍රතිගාමීත්වය පරාජය කරන්නට ඇවැසි පියවර ගන්නවා වෙනුවට දත කන්නේ ඉකුත් කාලය පුරා බලය වපුරා හුන්, එක්සත් ජාතික පක්ෂයේ ඇත්තන්ට එරෙහිව නිසි කල, නිසි අයුරින් කළ යුත්ත කළා වූ, චන්දිමට විරුද්ධව අවලාද හා මඩ ප්‍රචාර වැපිරීම බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සැරිසරණ කවරකුට වුව හොඳින් දකින්නට, කියවන්නට හැකි ය. ඒ ඇත්තන් හතුරා පසෙක ලා, මිතුරාට පහර පිට පහර දෙන්නේ දේශපාලනයේ අඳ බාලකම ‍රට්ටුන්ට හොඳින් පෙන්වා දෙමින් බව යළි යළිත් අවධාරණය කිරීම වටී.

මූණු පොත් පිටුවලින් හා නේක විධ සමාජ ජාල මාධ්‍ය අඩවිවලින් මේ අඳබාලයන් අසන්නේ චන්දිම මේ රටට, ගාල්ල දිස්ත්‍රක්කයට කළේ මොනවා ද යන්න යි.

1970 පටන් දේශපාලන ක්‍රියාකාරිකයකු සේ වාමවාදී දේශපාලන කටයුතුවල නියැළී හුන් පුද්ගලයකු සේ චන්දිම කළේ මොනවා ද යන්නට පිළිතුරක්, දෙකක් හුදි ජනයාගේ දැන ගැනීමට, මෙහි සටහන් තබන්නේ, චන්දිමට ගොට්ට අල්ලා බඩ වඩා ගැනීමේ නිර්ලජ්ජිත අපේක්ෂාවෙන් නොවන වග ද ඉතා පැහැදිලිව සටහන් කරමි. ඒ ඇත්ත ඇති සැටියෙන් දකිනා ප්‍රගතිශීලී කඳවුරේ ජයග්‍රහණය උදෙසා, නිබඳව ම ඇප කැප වී, එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් ගේ මෙන් ම, එක්සත් ජාතික පක්ෂ පාලකයන් ගේ අඩම්තේට්ටම්වලට ගොදුරුව, රැකියාව අහිමි ව දරුවන් සිව්දෙනකු හා බිරිය ද සමඟ අනේක විධ දුක් කම්කටොලුවලට මුහුණ දුන් පුද්ගලයකු හැටියට දැඩි කළකිරුණු සිතැතිව ය.

චන්දිම ගේ ‍කළුමාමා හෙවත් අමරසිරි දොඩන්ගොඩ සහෝදරයා මා දැන හදුනා ගන්නේ 1965 වගේ කාලයෙක පටන් ය. එකල ලියුම්කරු පාසල් සිසුවෙකි. එදා මාඕ චින්තනයෙන් සන්නද්ධව හුන් දොඩන් අපට කොමියුනිස්ට් වාදය ගැන දේශපාලන පන්ති පවත්වන්නට ආවේ බූස්ස රේස්කොස් එකේ හවස හවසට ක්‍රීඩා පුහුණුවට ආ එඩ්ගා ප්‍රමුඛ නාම්බන් පිරිසකට ය. ඒ නාම්බන් අතර ලියුම්කරු ද අයෙකි.

1977 දී දොඩන් අක්මීමණ ආසනට කොමියුනිස්ට් පක්ෂ ලාංඡනය යටතේ තරග කරද්දී ලියුම්කරු ද ගාල්ල දිස්ත්‍රික්කයේ කොමියුනිස්ට් හා සමසමාජ අපේක්ෂකයන් වෙනුවෙන් වෙහෙස වෙමින් කළ මෙහෙය දන්නෝ ඒ පක්ෂ දෙකේ සමාජික සාමාජිකයන් මෙන්ම ආධාරකරුවෝ ය. ඒත් අපට 77 දී සිදුවූයේ ජේ. ආර්. - ප්‍රේමදාස බානේ උපදෙස් මත මඟ පෙන්වීම මත කොළ පො‍තක් ගෙන් ගෙට බෙදා දෙමින් කුප්‍රසිද්ධ ඇට 8 හෙවත් පෝෂ්‍යදායී ධාන්‍ය වර්ග රාත්තල් අටක් නොමිලේ ලබා ගන්නට ඡන්දදායකයින් මුළා කොට කතිර කෑල්ල පික්පොකැට් ගැසූ ජේ. ආර්. ප්‍රේමදාස බානේ 5/6 බලය හමුවේ නගුටු පිටුපස ගසගෙන බලා හිඳින්නට විතරක් නොවේ.

ජේ. ආර්. ප්‍රේමදාස බාන 5/6 බලය ගෙන පොලිසියට දෙසතියක නිවාඩුවක් දුන්නේ ශ්‍රී ලංකා කාරයනට කොමියුනිස්ට් කාරයනට සමසමාජ කාරයනට හොඳින් සංග්‍රහ කරන්නට ය පොලිසියට ඒ විවේකය සති දෙකකට දෙන ලද්දේ. ධාර්මිෂ්ඨ ‍ගෝල බාලයෝ දඩාවතේ යමින් හුන් පිස්සු හැදුණු බල්ලන් සේ පරාජිතයනගේ ගේ දොර ගිනිබත් කරමින් ද, අත් පා කඩා බිඳ දමමින් ද, ඝාතනය කළ අයුරු අවුරුදු 43 කට පසු මතකයට නංවා ගන්නේ, අපේ පිළේ ම එවුන් අපේ ම එකකුට, පහර දෙමින් ඔහුගේ ඉදිරි ගමන වළකාලන්නට පිටපොට ගසා දඟලන හැටි දැක වේදනාවෙනි. දුකෙනි. කනගාටුවෙනි. ඊටත් වඩා වැඩි කලකිරීමකිනි.

චන්දිම තම කළු මාමා (අමරසිරි දොඩන්ගොඩ) හා ඔහු සමඟ එක්ව තරග කළ පොදුජන එක්සත් පෙරමුණේ කණ්ඩායම ජයග්‍රහණය වෙනුවෙන් 1993, 1994 පළාත් සභා මැතිවරණ දෙකේ දී හා 1994  ත් 2000 දී ත් පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දී ත් බෝ කැපවීම් කළ තරුණයකු බව අප හොඳින් දන්නා කරණාවන් ය.

දකුණු පළාත් සභාවේ (දෙවැනි) බලය ජනවරමින් ලද අමරසිරි දොඩන්ගොඩට ඩී. බී. විජේතුංග, රනිල් වික්‍රමසිංහ, අනුර බණ්ඩාරනායක  නඩය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඔහුගෙන් බලහත්කාරයෙන් පැහැර ගෙන ඇම්. ඇස්. අමරසිරි හිටපු ප්‍රධාන ඇමතිවරයා ම, මහ ඇමති පුටුවේ තබා ගත්තේ නිර්ලජ්ජිත පාලකයන් බව රටට ලෝකයාට පෙන්වමිනි. ඔවුන්ගේ නිරුවත මැනවින් ඔප්පු කරන්නට දොඩන්ගොඩට සිද්ධ වුණේ මහජන වරමේ අයිතිය සුරකින්නට අධිකරණයේ පිහිට පැතීමෙනි. හේ අභියාචනාධිකරණය ඉදිරියට ගොස් ජන අයිතිය දිනා ගත්ත ද ඊට ද අවනත බවක් නො පන්වීමට තරම් රනිල් වික්‍රමසිංහලා පියවර ගත්තේ ඔවුන් සතු පාර්ලිමේන්තු බලයේ හයිය හත්තියෙන් යුක්තිය යටපත් කරමිනි. කොහොම වුණත් අමරසිරි දොඩන්ගොඩ දකුණු පළාත් සභාවේ නව මහ ඇමති ධූරයේ දිවුරුම් දෙන්නට හැකිවුණේ 1993 ඔක්තෝම්බර් මහේ දොළොස් වැනි දා ය.

ඒ වන විටත් මාතලේ අලවතුගොඩ ප්‍රදේශයේ වත්තක සැඟව සිටි දකුණු පළාත් ආණ්ඩුකාර අල්හාජ් බාකීර් මාකාර් හොයා ගන්නට චන්දිම පෑ සූරකම නිසාවෙන් ඒ අවස්ථාව දොඩන්ගොඩට උදා විය. දොඩන්ගොඩට ජය ගෙන දෙමින් අභියාචනාධිකරණයෙන් දුන් නියෝගය පවා සුරක්ෂිතව තබා ගෙන හුන්නේ චන්දිම වීරක්කොඩි බව මොවුන් දන්නේ නැතිව ඇති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් කෙනහිලිකම් පාන්නේ එදා ඔහු කළ දැවැන්ත මෙහෙය නොදැන බව අපට පැහැදිලිව පේන්න තියෙන කාරණාවකි.

අද පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ පාලනය යි. යූඇන්පියේ දාහත් වසරක දුර්දාන්න පාලනය 1994 දී පෙරළන්නට සමස්ත දේශයේ ම ජනතාව එකාමෙන් එක්ව අත්වැල් අල්ලා ගත්හ. රනිල්ලා, අනුරලා එක්ව දොඩන්ගොඩට කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිවෙත පිළිකුළෙන් ප්‍රතික්ෂේප කළහ. අනතුරුව දකුණේ මිනිසුන් එකාවන්ව එකට අත්වැල් අල්ලාගෙන දොඩන්ට එරෙහිව දියත් කළ ෆ්‍රැන්සිස්කුකරණය නම් කුප්‍රකට කුමන්ත්‍රණයට එරෙහිව නැඟී සිටියහ.  චන්ද්‍රකා අගමැති වූයේත්, ජනපතිනිය වූයේත්, තිස් වසරක් පුරා පැවති යුද්ධයක් නිමා කරන්නට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාණන්ට හැකි වූයේ ද දකුණේ මිනිසුන් පත්තු කළ මංගල වෙඩි මුරයෙන් ලද දිරියෙනි.

ගාල්ලේ පොහොට්ටුවේ අපේක්ෂකයන් අතර තියෙන මනාප පොරය නින්දිත ය. නිර්ලජ්ජිත ය.

මෙවන් නින්දිත බලු පොරයක් ඇත්තේ ගාල්ලේ විතරක් නොවේ. අවශේෂ දිස්ත්‍රික්කවල ද ඇත්තේ ය. ඒකට හේතුව 2015 ජනවාරි 08 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවති මහ මැතිවරණයෙන් අනතුරුව පොදුජන එක්සත් ජනතා සංධානයෙන් තරග කොට පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරුන් ගෙන් පිරිසක් මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යුගළේ යහපාලනයට එක්වීම නිසාවෙනි.

එහෙම වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ විසින් කතානායක නිල නිවසේ දී මෛත්‍රීපාල සිරිසේනට බන්දේසියක තබා පිළිගැන්වූ නිසා බව මේ පිරිස නො දන්නේ ද?

අපි හැමදාමත් වමේ ව්‍යාපාරය නිසා ම ප්‍රතිගාමීත්වයෙන් බැටකමින් සිටින පිරිසකි. සිරිසේන මහින්ද ගේ නාමයෝජනා පත්‍රයට අත්සන් කොට, රාත්තිරියේ ආප්පත් කා අරලියගහ මැඳුරෙන් නික්ම ගොස් නාමයෝජනා දවසට දින දෙක තුනකට පෙර රනිල්, චන්ද්‍රිකා, කුමන්ත්‍රණයට එක්වෙමින් මහින්දට ප්‍රධාන විරුද්ධවාදියා සේ ජනපති හටනට එක්වූයේ බටහිර බලවතුන්ගේ තුරුලට වදිමිනි. ඒකට හේතුව වුයේ මෛත්‍රීට මහින්ද අගමැතිකම නො දීම යි. ඔහු අගමැති සිහිනය දැක පොළොන්නරුවේ අගමැති කාර්යාලයක් වෙනුවෙන් ගොඩනැගිල්ලක් ද ඉදිකර තිබුණු බව ලියුම්කරු 2010 දී කළ ගවේෂණයක දී අනාවරණය විය. එයින් හිත යට බුර බුරා නැගෙමින් පැවති වෛරය මහින්දගෙන් සිරිසේන ගන්නට කල්බලමින් හුන් බව දන්නෝ දනිති.

සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වූ පසු එක්සත් ජනතා නිහස් සංධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ පිරිසක් ඔහු කළ ඇරයුම අනුව යහපාලනයක් නිර්මාණය කරන්නට ගිය බව සැබවි. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය ප්‍රකාරව ය. පිරිසක් එසේ ගිය ද පිරිසක් ඊට එක් නොවී විරුද්ධ පක්ෂයේ භූමිකාවේ රැඳී සිටිමින් පොදුජන පෙරමුණ නමින් අලුත් දේශපාලන පක්ෂයක් ඇරඹුහ.

මෛත්‍රීපාල හා එක්ව ඇමති ධූරයක් ලද චන්දිම ඒ ඇමති ධූරය දරා සිටිය දී ගාල්ලේ සිය පාක්ෂිකයනට හා හිතවතුනට උදව් උපකාර කළේ ය. ඒ රැකියා අවස්ථා ලබා දෙමිනි.

මහින්ද රාජපක්ෂ කම්කරු හා වෘත්තීය නිපුණතා සංවර්ධන ඇමතිවරයා සේ 1994 දී පත්වීම් ලද පසු චන්ද්‍රිකා ගේ ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ මුල් ම පාර්ලිමේන්තු පනත වූයේ වෘත්තීය පුහුණු අධිකාරිය ස්ථාපිත කිරීමේ පනත යි. එහි නිර්මාතෘවරයා මහින් ද ය. මහින්දගෙන් ඒ අමාත්‍යාංශය මාරු වූයේ දොඩන්ගොඩ වෙත ය. වෘත්තීය පුහුණු අධිකාරියේ පුහුණු මධ්‍යස්ථානයක් හෝ එහි ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය හෝ බූස්ස දැව සංථා සංකීර්ණය ආශ්‍රිත ගොඩනැගිල්ලක හෝ ආහාර ගබඩා සංකීර්ණයේ හෝ අරඹන සේ ලියුම්කරු අමරසිරි දොඩන්ගොඩ ගෙන් ඉල්ලීමක් කළ ද එය ඉටු නොවී ය. දිස්ත්‍රික් කාර්යාලය පිහිටුවන ලද්දේ ඇල්පිටියේ යි.

යහපාලන ආණ්ඩුවේ ඛනිජ තෙල් හා ඛනිජ වායු සම්පත් ඇමති ධුරයෙන් චන්දිම ඉවත් කොට රනිල්ලා ඔහුට  වෘත්තීය පුහුණු ඇමති ධූරය පිරි නැමීමෙන් පසු ඔහු බූස්ස ආහාර ගබඩා සංකීර්ණයේ වෘත්තීය පුහුණු පාසලක් ඇරඹීමට තරම් ප්‍රඥාගෝචර පියවරක් ගත්තේ ය.

චන්දිම දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු සේ සිටිය දී ‍මගේ කල්පනාවේ හැටියට කොග්ගල වෙරළ උද්‍යානයක් නිර්මාණය කළේ ය.

2004 සුනාමි ඛේදවාචකය ඇති වන විට ඔහු දක්ෂිණ සංවර්ධන අධිකාරි‍යේ සභාපතිවරයා යි. ජර්මනියේ හිටපු පාලකයකු වූ හෙල්මුට් කොල්ට්  (Helmut Josef Michael Kohl) එදවස විවේකීව කාලය ගත කරමින් හුන්නේ තල්පෙ පිහිටි සංචාරක හෝටලයක ය. සුනාමියෙන් දිවි ගලවා ගත් ඔහුගේ සුව දුක් බැලීමට චන්දිම පියවර ගත් හෙයින් ඒ ‍ඛේදවාචකයෙන් හානි සිදු වූ මහමෝදර මහ රෝහල ට උදව් කරන්නට ජර්මනියේ හිටපු චාන්සලර්වරයා ගත්තු පියවරෙහි එක් දිගුවක් වූයේ කරාපිටිය ශික්ෂණ රෝහල පේන මානයේ තවත් රෝහලක් ඉදිකරන්නට (දැනට ඉදිවෙමින් පවතින) ශ්‍රී ලංකා රජයට ජර්මනියේ හිටපු රාජ්‍ය නායකයා  අනුග්‍රහය දක්වන්නේ චන්දිම ගේ මැදිහත්වීම නිසා බව දන්නේ කීයෙන් කී දෙනෙක් ද? ඊට අමතරව ජර්මන් චාන්සලර් වරයාගේ අනුග්‍රහයෙන් හබරාදූවේ රෝහල ද සංවර්ධනය වූයේ චන්දිම නිසා ය.

ඉදින් චන්දිම ගාල්ලට මොනවද කළේ යනුවෙන් ඔහුට අවලාද නඟන අයගේ දැනගැනීම පිණිස නොව මේ සටහන ගාල්ලේ හුදිජනයා වෙනුවෙන් බව ද සටහන් කරමි.

බද්දේගමට අංග සම්පූර්ණ ක්‍රීඩාංගනයක් ඉදිවෙන්නේ ද චන්දිමගේ යෝජනාවක් අනුව ය. ඒ ඔහු පළාත් සභා මන්ත්‍රීවරයකු සේ සිටිය දී ය.

කොග්ගල හෝටල් පාසලක් අරඹන ලද්දේ සංචාරක ‍ක්ෂේත්‍රයට එක්වීමට කැමති ප්‍රදේශයේ තරුණ තරුණියන්ට සංචාරක හෝටල්වල සේවයට නිසි පුහුණුවක් ලැබ එක්වීමට අවස්ථාව සැලසීමට ය.

1993 දෙසැම්බර්වල නීතිඥවරයකු සේ දිවුරුම් දුන් චන්දිම නීතිපති දෙපාර්තමේන්තුවට එක්වී රජයේ නීතිඥවරයකු සේ ක්‍රියාකරමින් සිට දේශපාලනයට පිවිසියේ ය.  ඔහු මහින්දගේ 2010 ආණ්ඩුවේ නියෝජ්‍ය කථානායක ය. පාර්ලිමේන්තු රැස්වීම් සජීවී ව පොදු මහජනයාට දැක බලා ගන්නට අත්තිවාරම දාන ලද්දේ කිසි වැඩක් නොකළා යැ යි කියන චන්දිම ය.

එදා 1988, 89, 90 මහා භීෂණ සමයේ දී ආණ්ඩුවේ මෙන් ම ජවිපෙ දඩයක්කරුවන් ගෙන් එල්ල වුණු මරණීය තර්ජනවලින් සිය මාමා වූ අමරසිරි දොඩන්ගොඩ මන්ත්‍රීවරයාගේ පණ නල රැක්මට විවිධ තැන්වල සැඟව සිටිය දී,  ආමි අසෝකලා, හේමචන්ද්‍ර විලේගේලා, නජිත්ලා, ලක්ෂ්මන්ලා එක්ක ඔහු ද ආණ්ඩුවෙන් ‍දී තිබුණු රිපීටර් තුවක්කු අත දරා හුන්නේ ය.

එදා එජාපයේ ධාර්මිෂ්ඨ දේශපාලන උත්තමයන් දොඩන්ගොඩට කෙළ හළ හළා ඉව අල්ලමින් සිටින විට ඔහු ගේ ආරක්ෂාවට හුන් ගෝලබාලයින් අතර තරුණ චන්දිම ද පස්සෙන් ගෑටුවේ දේශපාලන පන්නරයක් ලබන්නට දැ යි කියන්නට දන්නේ නැත.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා සේ සිටිය දී 75 වසරක් පුරා පැවති ශාඛා 4 ශාඛා 12 ක් දක්වා වැඩි කර ඒ බැංකුවෙන් සේවය ලබා ගන්නට එන පිරිස් වෙත පහසුවක් ඇති කළේ ඔහු ය. ඒ බැංකුව ඩිජිටල් තාක්ෂණයට නතු කළ ඔහු ස්වාධීන රූපවාහිනිය ඔස්සේ පසළොස්වක් පෝයට සවනක් රැස් පෝදා වැඩ සටහන අරඹන්නට ද  කළ මෙහෙය කෙතරම් වටින්නේ ද?

2004 පාර්ලිමේන්තු මැතිවරණයට හබරාදූව ශ්‍රීලනිප සංවිධායකවරයා සේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් චන්දිම තරග වැදුණි. ඔහු සිය මාමා වූ අමරසිරි දොඩන්ගොඩ ඇමතිවරයා ගේ අභාවයෙන් පසු ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයට පත් වී 2010 දී යළි එය තහවුරු කර ගන්නා ලද්දේ 53000 ක්, 68000 ක් ලෙස වඩවා ගත් ජන ප්‍රසාදය 2015 අගෝස්තුවේ දී 114851 ලැබ ගාල්ල දිස්ත්‍රික්කයේ අංක එක හිමිකර ගනිමිනි.

ඒ ඔහු දක්ෂයකු නිසා ය. වැඩ කර පෙන්වූ දේශපාලනඥයකු නිසා ය. ඉදින් වැඩකරුවන්ට පහර දී ඔහුන් බිම හෙළා දමන්නට අනෙකාට ඇති එක ම හැකියාව බොරුවලවල් හෑරී‍ම ම විතරක් ය. ඒත් කළයුත්ත නම් තමන් ද ගෙවී ගිය කාලය පුරා ගාල්ල දිස්ත්‍රික්කයේ පොදු ජන යහපත තකා වැඩ කළ ආකාරය කියා ඡන්දදායකයන් දිනා ගැනීම ය.

චන්දිම මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දේශපාලන පොරපිටියට පිවිස සිටින කණ්ඩායමෙන් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව දෙවැනි වන්නේ අපේ බද්දේගම සමිත හිමිපාණන්ට විතර ය.

මේ මුහුණු පොත් අවලාද නඟන්නන් කලින් පහර දුන්නේ ච්න්දිමට හා දකුණේ ප්‍රධාන ඇමතිවරයා සේ දිගු කලක් මහජන සේවයට කැපව හුන් ශාන් විජේලාල් ද සිල්වාටත් එකට තබා ය. එක ම පිටුවක ඔවුන්ගේ මුහුණ එල්ලමිනි. ඒත් දැන් ඔවුන් පහර දෙන්නේ ශාන් හළා හෙවත් පැත්තකට වීසි කොට චන්දිමට පමණකි.

මෙවන් ප්‍රබල අභියෝගයකට මහින්ද අමරවීර ද හම්බන්තොට සටනට එක්ව පහර පිට පහර කන්නේ ය. ඒත් නයි පොළොන් හතුරුකමක් පැවති මහින්ද, මෛත්‍රී භේදය දුරලා දෙන්නා එක්කරන්නට ඔහු ගත්තු වෙහෙස මහන්සිය ලියුම්කරු ඇස්පනා පිට දැක ඇති වග ද සටහන් නොතියා ම බැරි ය.

සුගතපාල මැන්දිස්.