“ගැහැණු අපි එක මිටට” යන ජාතික ව්‍යාපාරය ගැන ජිනීවා හි දී කියලා
ජිනීවාහි පැවැති 151 වන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) සමුළුවට සමගාමීව සංවිධානය කර තිබූ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ රැස්වීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් 2025 ඔක්තෝබර් 23 වන දින සහභාගී වූහ. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ස්ත්‍රී පුරුෂ හවුල්කාරිත්ව වැඩසටහන යටතේ සංවිධානය කරන ලද මෙම සැසියේදී, පාර්ලිමේන්තුව තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාමේ අත්දැකීම්, යහපත් භාවිතයන් සහ අභියෝග හුවමාරු කර ගැනීම සඳහා බෙනින්, භූතානය, බුර්කිනා ෆාසෝ, චැඩ්, ගැම්බියාව, නැමීබියාව, සියරා ලියොන්, තුර්කිය සහ සැම්බියාව යන රටවල නියෝජිතයින් ද එක්රැස්ව සිටියහ.
2024 වසරේදී මෙරට සිදුවූ ඓතිහාසික දේශපාලනික පරිවර්තනයකින් පසු කාන්තා දේශපාලන සහභාගීත්වය වැඩි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඔෂානි උමංගා මහත්මිය, පෙන්වා දුන්නාය. ශ්‍රී ලංකාවේ අලුත් දේශපාලන සිතියම හැඩගැස්වීමේදී කාන්තාවන් විසින් ඉටු කරන ලද වැදගත් කාර්යභාරය ඇය අවධාරණය කළා ය.
ඉතිහාසය අලුත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ආසන්න වශයෙන් 5% සිට 10% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ යාමට දායක වූ “ගැහැණු අපි එක මිටට” යන ජාතික ව්‍යාපාරය පිළිබඳව සදහන් කළාය.
ශ්‍රී ලංකාවේ මෙම අත්දැකීම සාර්ථක උදාහණයක් බවත් කාන්තාවන් බලගැන්වූ විට, මුළු ජාතියම නැඟී සිටින බවත් ඔෂානි උමංගා මහත්මිය පෙන්වා දුන්නාය. කාන්තාවන්ට ද ඕනෑම සිහිනයක් ජයගත හැකිබවත්, තමන් අපේක්ෂා කරන උසස් තත්ත්වයට යා හැකි ශක්තිය ඔවුන් සතු බැව් ලොව පුරා සිටින දියණියන්ට ප්‍රකාශ කරන බවත් මන්ත්‍රීවරිය මෙහිදී සඳහන් කළාය .
ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද ඇතුළත් ව සිටි අතර, ඇයගේ සහභාගීත්වය තුළින් ශ්‍රී ලංකාවේ උත්තරීතර ව්‍යවස්ථාදායකය තුළ පරිපාලනයට අදාළව කාන්තාවන්ට ලැබී ඇති නායකත්ව අවස්ථාවන්හි වර්ධනයන් පිළිබිඹු විය.
ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ දායකත්වය අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ඇගයීමට ලක්වූ අතර, පාර්ලිමේන්තු තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, විවිධත්වය සහ ප්‍රවේශ්‍යතාව ප්‍රවර්ධනය කිරීමට අදාළ ගෝලීය උත්සාහයේ ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී භූමිකාව සම්බන්ධයෙන් ප්‍රශංසා කිරීමේ ලිපියක් හරහා සිය කෘතඥතාව පළ කළේය.
මෙම ජාත්‍යන්තර සහභාගීත්වය තුළින්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ශක්තිමත් කිරීමට සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන්හි කාන්තා අවස්ථා වැඩි කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම නැවත තහවුරු කෙරිණි. මේ අනුව සැමට අවස්ථාවන් සැලසෙන, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අන්තර් පාර්ලිමේන්තු සංගමය සහ අනෙකුත් සාමාජික රටවල් සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අපේක්ෂා කරයි.
