හෙළදිව කෙටිකතාව
" මම පන්සලට ගිහින් එන්න යනවා."
දොර රෙද්ද මැත්කර කාමරයට එබී මංගලී පවසනු ඇසුනත්, මා සිටියේ නින්ද ගොස් ඇතුවාක් මෙන් මවාපානා උත්සාහයකය.මගෙන් පිළිතුරක් ලැබෙන තුරු පමා නොවූ ඇය ඉදිරිපස දොර වසාගෙන පිටව යනවාත් ත්‍රී රෝද රථයක් පණ ගන්වනවාත් ඇසුනෙන් තව දුරටත් නින්දේ යැයි ඇඟවිය යුතු නැති හෙයින් කොට්ටය ඇඳ ඉහපතට හේත්තුකර පහසු ඉරියව්වකට මාරු වුණෙමි.
පෙරදා රැයෙහි මා නින්දට යන තුරුම මංගලී ඇඳට පැමිණියේ නැත. නාන කාමරයේ සිට එන ගමන් මුලුතැන්ගෙට එබී බැලුවත් ඒ වන විටත් මංගලී හිටියේ පලා තෝරමිනි.
" ඔච්චර කොළ මොකටද? "
" උදේට කැඳ හදන්න"
යැයි පැවසුවා මිස හැරී මා දෙස බැලීමට වත් මංගලී උනන්දුවක් දැක්වූයේ නැත.
පාන්දර තුනට පමණ මට ඇහැරුණේ පොල් ගානා හඬිනි.
" මංගලී නිදාගත්තෙම නැද්ද ?
සෙනසුරාදා වෙලත් මේතරම් පාන්දරින් පොල් ගාන්නේ මොකද?"
හිතුණත් මුළුතැන් ගෙයින් එන සද්ද බද්ද වලට කන්දී සිටියා මිස ඇඳෙන් නැගිට ගොස් සොයා බැලීම වලකන හේතු කාරණා බොහොමයක්ම පසුගිය සතිය පුරාම සිදුවිය.එක වහල යට අවුරුදු ගණනක් එකට සිටි අප දෙදෙනා අමුත්තන් වී ඇත. මෙතුවක් කලක් උගුරට හොරා බෙහෙත් කන්නාක් මෙන් මංගලී සඟවාගෙන හිටි හැඟීම් එළිපිටම ප්‍රදර්ශනය වන්නට පටන් ගත්තේ පසුගිය සෙනසුරාදා සිටය.
අද නිවාඩු දිනයක් බැවින් පාන්දර නැගිටගෙන ඉවීමේ වුවමනාවක්ද නැත.
" කිරි බත් උයන්නද දන්නේ නෑ "
ඒත් අද මාසේ පළවෙනිදත් නෙවෙයි.කාගෙවත් උපන් දිනයකුත් නෙවෙයි.
" පාන්දර තුනට නැගිටගෙන කිරි බත් උයන්න මංගලීට පිස්සුද? ඊටත් මේ වගේ වාතාවරණයක "
සතියේ දිනවල වැඩට ගෙනයෑම සඳහා කෑම පිසීමට වත් පාන්දර තුනට නැගිටින්නේ නැත.ඒ දිනවලද නැගිටින්නේ හතරහමාරට හෝ පහටය. මංගලී සමගම මමත් නැගිටින්නේ ඇයට පොල් ටික ගා දෙන්නටය. තේ වක්කරන්නේද මමය.උසස් පෙළ සඳහා සූදානම් වන දියණිය රැය පුරා නිදි වරා පාන්දරට නිදාගනී.ඇය මේ දින වල පාසැල් යන්නේද නැත.
"දුවට පංති ගෙනියන්න උයනවද? "
සෙනසුරාදාට පංති තියෙන්නේ හවසට නේ ?"
තවත් ඇඳට වී සිටීමේ තේරුමක් නැතැයි සිතුණු බැවින් නැගිට මුළුතැන්ගෙට ගියේ තේකක් හදාගන්නටය .මුළුතැන්ගෙට එබී බැලූ විට එය එකම යුධ පිටියකි. උයා පිහා ඉතිරි වූ ඉතුරු බිතුරු එහෙමම දමා මංගලී ගොස් ඇත. එය ඇගේ සිරිත නොවේ. වැඩට යන දින වලත් ඇය පිටව යන්නේ මුළුතැන් ගෙය පිලිවලක් කොටය.හොදි ඇතිළි පේළියට වසා ඇත. එය ගණනින් හතකි.
" මේ තරම් ඉව්වේ මොනවද?"
කරමූඩිය ඔසවා බැලූ විට දුටුවේ සුදු ලූනු මාළුවකි.ලොකු ඇතිලියේ පොලොස් ඇඹුලකි. කාරණය වැටහුණේ එවිටය. මංගලී පංසලට ගොස් ඇත්තේ දං කදක් අරගෙනය. මගේ හදවත හිරි වැටී ගියේ කිසි දිනක නොදැනුණු වේදනාවකිනි.
" මංගලී මේ තරම් කාලයක් ජීවත් වෙලා තියෙන්නේ මා එක්ක නෙවෙයි "
ඒ සමගින්ම සිතේ ඇතිවූයේ නිර්ධය ලෙස මා රවටා ඇතැයි යන සිතුවිල්ලකි . අවුරුදු විස්සක් පමණ එක වහලක් යට හිටියත් කවදාවත්ම මංගලී මට අවංක වී නැත.
උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටවූ පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රැකියාවට එක් වූ මා පරිපාලන සේවාව සමත්ව එවකට සේවය කරමින් සිටියේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේය. වයස තිස් පහකට ආසන්න වූවත් එතෙක් අවිවාහකව සිටීමට හේතුව වූයේ මගේ මව කේන්දරය හිස් මුදුනින් පිළිගත් නිසාය. සෑම සති අන්තයකම මව සමග මනමාලියන් බැලීමට ගොස් හති වැටී සිටි සමයකි එය. මව පවසා සිටියේ මගේ කේන්දරය සමගින් කිසිදු කේන්දරයක් නොගැලපෙන්නේ මගේ කේන්දරය එතරම්ම බලවත් නිසා බවය. නමුත් මා සිතා සිටියේ අවිවාහකවම ජීවිතයේ ඉතිරි අඩ ගෙවා දැමීමට සිදුවෙතැයි කියාය.
මංගලී පිළිබඳ ආරංචිය රැගෙන ආවේ ඇගේ මස්සිනා වන මගේ වෘත්තීය සගයෙකු වූ පියතිස්සය. ඒ වන විට වයස තිස් දෙකද ඉක්මවා සිටි මංගලීගේ විවාහය පමා වීමටද හේතුව කේන්දරය බව පැවසුවේ පියතිස්සය. උපාදිධාරිනියක වූ මංගලී රැකියාව කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේය. ගම මාතර වූ නිසා නැවතී සිටියේ තම අක්කාගේ නිවස වන පියතිස්සගේ නිවසේය.
" මුලින්ම කේන්දර බලලම ඉමු "
මා පැවසුවේ ඒ යෝජනාවත් එතනින්ම නිම වන්නට බොහෝ ඉඩකඩ තිබූ නිසාය.
පසුදා උදෑසනම පියතිස්ස මංගලීගේ කේන්දරය රැගෙන ආවේය. අම්මා එය බලවාගෙන පැමිණියේ පස්වනක් ප්‍රීතියෙන්ය.
" ඔන්න බලන්න පහුවෙලා හරි හරියටම හරියන කෙනා ලැබුණා."
" තවම බලන්න ගියෙවත් නැතිව "
මම කීවෙමි
" බලන්න දෙයක් නැහැ.ඕක හරියනවා.ගෑනු ළමයත් හොඳ ඇති" අම්මා පැවසුවේ විශ්වාසයෙනි.
ඊළඟ සෙනසුරාදා මව සමග පිළියන්දල පිහිටි පියතිස්සගේ නිවසට ගියේ මනමාලිය බැලීමටය.
වැඩි විච්චූරණ නැති ලා පැහැති සාරියකින් සැරසී සිටි මංගලී මට තවම මතකය.
මෙතුවක් බලන්නට ගිය කිසිම යුවතියකගෙන් නොදුටු සිරියාවක් මා මංගලී වෙතින් දුටුවේය. කිසිදු සබකෝලයක් නැතිව කතාබහ කරමින් අපට සංග්‍රහ කළ මංගලී මවගේද සිත් ගෙන තිබිණි. විවාහයට පෙර අපට ඇසුරු කිරීමට ලැබුණේ ටික කලකි. එයත් බොහෝවිට නෑදෑ පිරිවර අතරේය. තනිව හමුවූ දින දෙක තුනට මංගලී යනු මට ගැලපෙනම ගැහැනිය යැයි මම තීරණයකට එළඹුනෙමි.
කඩිනමින්ම විවාහ දිවියට පිවිසි අපි පදිංචි වූයේ මා සාදා නිමකර තිබූ මහරගම නිවසේය. මංගලී ඉතා ඉක්මනින් විවාහ දිවියට හුරු වූවාය. උදෑසන උයා පිහා බත් බැඳගෙන නිවසින් පිටවන අප බොහෝ විට නිවසට පැමිණියේද එකටමය. මංගලී කා සමගත් සුහදව ඇසුරු කළ නමුත් ඇයට විශේෂ මිතුරු මිතුරියන් නොමැති බව ටික කලකදීම මට වැටහිණි. එමෙන්ම අතීත තොරතුරු හෝ විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳ තොරතුරු ඈ කතා නොකළ තරම්ය. මා මගේ විශ්වවිද්‍යාලයේ සමකාලීනයන්ගේ සුහද හමු සඳහා නොවරදවාම සහභාගී වූ නමුත් මංගලී ඒ කිසිවකට සහභාගී නොවූවාය.
විවාහයෙන් වසරක් ගිය තැන අපට දියණියක් ලැබිණි. දියණියට වසර දහයක් වන තෙක්ම ඇය රැක බලාගැනීමට මංගලීගේ මව අප සමග නැවතී සිටියාය. කුහුල දනවන දෙබසක් මා සවනට වැටුණේ දිනක් අහම්බෙන් මුළුතැන්ගෙය දෙසට යද්දීය.
" උඹ තවම අර සමිබන්ධය ගැන හිතනවද ?
මෙච්චර මේ දෙවියෙක් වගේ මිනිහෙක් ලැබිලා ඉඳිද්දී "
" අම්මට පිස්සුද අම්මේ, මම ඒවා ඔක්කොම අමතක කරලා ඉවරයි "
ඉන් පසු පැතිරුනේ නිහැඬියාවකි. යන ගමන නවතා ඉස්තෝප්පුවට පැමිණ පුටුවක වාඩිවූ මට ඇති වූයේ අනවශ්‍ය යමක් හදවතට ඇතුළු වූවා වැනි හැඟීමකි. කල් යත්ම ක්‍රමයෙන් එය අමතකව ගියේය.
අප දෙදෙනාගේ විවාහ දිවිය ප්‍රීතිමත් එකකැයි මගේ පැත්තෙන් බලා පැවසීමට හැකිය. හැලහැප්පීම් හෝ ගැටුම් අප අතර නොවීය. කිසිදු විටක මගේ අදහස් ඉක්මවා කටයුතු කිරීමට මංගලී උත්සාහ දැරුවේ නැත . විශ්වවිද්යාලේදී හෝ යුවතියක හා පෙමින් නොබැඳුණු මම අවංකවම මුළු හදවතින්ම මංගලී හා බැඳුනෙමි. නමුත් මංගලී ඇත්තටම සතුටෙන් දැයි මාහට විටෙක සිතිණි.
මංගලීගේ යම් ගුප්ත ස්වභාවයන් හැඟුණු තැන් නැතිවාම නොවුණි. යම් දුකක්, සුව නොවන වේදනාවක් වැනි යමක් ඇය සඟවාගෙන ඇතැයි විටෙක මට සිතිණි. නමුත් ඒ පිළිබඳව විමසීමට තරමේ යමක්ද නොතිබිණි.
මහා මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන විට අපේ විවාහයට දස වසරක් පමණ ගතවී තිබිණි. රොතු පිටින් අලුත් මුහුණු දේශපාලන කරලියට පැමිණුනි. වාද විවාද සාකච්ඡා රෑ මැදියමද පසුවන තුරුත් රූපවාහිනි නාලිකා වල විකාශය විය.වෙනදා නැති උනන්දුවකින් මංගලී රූපවාහිනි ප්රවෘත්ති කෙරෙහි උනන්දු වූවාය. පසුවදාට වැඩට යාමට තිබියදීද සමහර දින වලදී මැදියමද ගෙවෙන තුරු දේශපාලන සාකච්ඡා අසා සිටියාය.
" මොකද? ඡන්දෙ වත් ඉල්ලන්නද ?"
මා කීවේ විහිලුවටය.
" නෑ ඉතිං ,අපිත් මේවා දැනගෙන ඉන්න එපායැ"
මංගලී පැවසුවේ මුහුණ රතු කරගෙනය.
ටික දිනක් ගතවෙද්දී අලුත දේශපාලනයට එක්වූ මුහුණක් කතා කරද්දී මංගලීගේ ඇස් දිලිසෙන බවත් දැඩි උනන්දුවකින් ඊට කන්දෙන බවත් නිරීක්ෂණය වූයේ අහම්බෙන් මෙන්ය. ඒ ඔස්සේ තව දුරටත් යාමේදී එහි යම් සත්‍යයක් ඇති බවත් ඒ සාකච්ඡා වලදී ඔහුට අවාසිදායක කරණු ඉදිරිපත් වීමේදී මංගලීගේ ඇස් අඳුරු වන බවත් රූපවාහිනිය නිවා දමා ඇඳට යන බවත් මට සහතික විය. තවත් ඉවසා සිටිය නොහැකි වූ දිනයක
" ඔයා දීඝායු සූරියබණ්ඩාරව අඳුනනවද?"
විමසුවේ මටම මා පාලනය කරගත නොහැකි වූ විටකය.තිගැස්සුණු මංගලී පුදුමයෙන් මා දෙස බලා
"ඔව්, මම ඉන්න දවස්වලමයි පේරාදෙණියේ හිටියේ. අපිට වඩා සීනියර් "
පැවසුවේ සන්සුන් වන්නට අසාර්ථක උත්සාහයක යෙදෙමින්ය.
දීඝායු පිළිබඳව සොයන්නට මා පෙළඹුණේ ඒ අනුවය. උඩරට වංශවත් පවුලකින් පැවත එන ඔහු ඉඩම් හිමියෙකි. එමෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙකි. දේශපාලනයට පිවිස ඇත්තේ පරම්පරා උරුමය අනුවය. මෙයට පෙර ඔහුගේ සීයාත් ,මහප්පාත් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. විවාහ වී සිටින්යේද හිටපු ඇමතිවරයෙකු වූ සාලිය රණබාහුගේ දියණිය සමගය.
දීඝායු ඉදිරිපත් වූයේ අප එතෙක් කලක් සහාය දැක්වූ පක්ෂයෙන් නොව විපක්ෂයෙනි. මංගලී තම අදහස් සහ මතවාද සීග්‍රයෙන් වෙනස්කරගනිමින් සිටියාය. කෙලින් නොපැවසූවත් එවර ඇගේ සහය විපක්ෂයට බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. කිසිවක් නොපැවසූ මම කරබාගෙන හිටියේ දේෂපාලන මත වාද එක වහල යට නොතිබිය යුතු බැවින්ය. කෙසේ හෝ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් විපක්ෂය බලයට පත්විය. ඒ දින කිහිපයේ මංගලීගේ මුහුණේ තිබුණු එළිය මට තවම මතකය.
ගෙවී ගිය දස වසක කාල පරාසය තුළ දිඝායු යනු දේශපාලන ක්ෂේත්රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. මන්ත්‍රීවරයෙකු, උප ඇමතිවරයෙකු ලෙසින් පැමිණි ගමනේ අවසන ඔහු නතරවූයේ බලයේ සිටින රජයේ ප්‍රබල ඇමති පදවි කිහිපයක්ම දරමිනි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් පදවියකට උසස්වීමක් ලද මංගලීද සිටියේ ඔහුගේ අමාත්‍යශයකට අනුයුක්තවය.
දැනට මාස දෙකකට පමණ ඉහතදී දියණිය අසනීපවී රෝහල් ගතකිරීමට සිදුවිය. දියණිය සමග රෝහලේ නතරවූ මංගලීට අවශ්‍ය ඇඳුමක් ගෙනයාමට මංගලී ඇගේ අල්මාරියේ යතුර මට දුන්නාය. ඉන් පෙර කෙදිනකවත් මා ඇගේ අල්මාරිය ඇර තිබුණේ නැත. ඇය ගෙනෙන්නට කියූ ඇඳුම එක්වරම සොයාගැනීමට හැකි වූයේ නැත. රෙදි කිහිපයක් පිටතට අදිද්දී එක්වරම බිමට වැටුණේ පැරණි දින පොතකි. වහා එය ඇහිඳ අල්මාරිය තුළට දමන්නට හදද්දී එතුළින් පිටතට පැමිණ තිබෙන ඡයාරූපයක් දුටුවේ අහම්බෙනි. එදෙස නොබැලුවානම් හොඳයැයි සිතුණේ බැලූ පසුවය.
වර්ණය මදක් වියැකී තිබූ එහි සිටියේ තරුණ යුවලකි. තරුණිය මංගලීය.හොඳින් බලනවිට මට පෙනීගියේ ඒ තරුණයා දීඝායු ඇමතිවරයා බවය. ඔවුන් වාඩිවී සිටියේ පේරාදෙණි වළේ ගැට්ටකය. මංගලී නොකියූ බොහෝ දේ එම ඡායාරූපයෙන් මාහට කියවාගත හැකි විය. මට දැණුනේ කොහේ හෝ තැනක මා අතහැර දමා ඇති බවය.ඡායාරූපය දින පොත ඇතුළටම දමා රෙදි අතර සැඟවූ මම මේවන තුරම ඒ පිළිබඳව මංගලී සමග කතා නොකළෙමි.
එදා සිට මා මංගලී පිළිබඳව දුටුවේ වෙනත් ඇහැකිනි. වෙනත් කෝණයකිනි. මා නොදත් බොහෝ රහස් සඟවා සිටින රහස් ගබඩාවක් පරිද්දෙනි. මට දැනුණේ මමත් මංගලීත් වෙනත් කක්ෂයන් දෙකක භ්‍රමණය වන ග්‍රහ වස්තූන් දෙකක් පරිද්දෙනි. මා අවංකවම මංගලීට කිසිදු වෙනසක් දැක්වූයේ නැත. නමුත් මංගලීගේ දශමයක වෙනසත් මට රිදෙන මට්ටමට පැමිණ තිබිණි.
මෙම වසර මැතිවරණ වර්ශයක් විය. දකුණු අත යැයි හැඳින්වෙන තරමටම දීඝායු ඇමතිවරයා ජනාධිපතිතුමා හා සමීප ඇසුරක් පැවැත්වීය. මීළඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස නම් කරනු ලබන්නේ දීඝායු ඇමතිවරයාය යන්න බොහෝ දෙනාගේ අදහස විය. සැබවින්ම ඔහු හොර මැර වංචා වලින් තොර යහපත් අයෙක් ලෙස කා අතරත් ප්‍රසාදය දිනාගෙන තිබිණි.
ගිය සතියේ සිකුරාදා මා කාර්යාලයේ සිටිද්දී මංගලීගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. උණ ගැනෙන්නට එන බැවින් වේලාසන ගෙදර යන බව ඇය පැවසුවාය. නිවාඩුවක් දමා පැමිණෙන්න දැයි විමසුවත් ඇය පැවසුවේ, දැනටමත් තමන් කාර්යාලයෙන් පිටවී ත්‍රී රෝද රථයකට නැග ඇති බවය.
එම ඇමතුමෙන් පසුව කාර්යාල කාමරයෙන් පිටතට පැමිණි මට යම් සිදුවීමක් සිදුවී ඇති බව දැනුණේ කාර්යාලයේ සේවකයන්ගේ හැසිරීමෙනි.සිදුවී ඇත්තේ කුමක්දැයි විමසූ විට දැනගැනීමට ලැබුණේ හදිසියේ අසනීප වී රෝහල් ගතකළ දීඝායු ඇමතිවරයා ඊට ටික වෙලාවකට පෙර මියගොස් ඇති බවය.දැනගත් තොරතුරු වලට අනුව ඇමතිවරයා මියගොස් ඇත්තේ හර්දයාබාධයකිනි.
එදින හවස වැඩ නිමවී මා නිවසට පැමිණියේ මහා බරක් හිස මත තබාගෙන පැමිණෙන්නාක් පරිද්දෙනි. මා පැමිණෙන විටත් නිවස තිබුණේ අඳුරේය. එදින දියණිය ප්‍රමාදවී පැමිණෙන දිනයකි. ඇතුළෙන් අගුල්දා තිබූ දොර මා සතු යතුරෙන් ඇරගෙන නිවසට ඇතුළු වූ මා පැය බාගයක් පමණම අඳුරේම සාලයේ වාඩිවී සිටියේ මංගලීට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතමිනි. නිවසේ විදුලි පහන් දල්වා නිදන කාමරයට එබී බලද්දී මංගලී ඇඳේ හරහට වැතිර සිටියාය . ඇඟට අත තබා කතාකලත් මංගලී කතා නොකළා ය.
නමුත් ඇය සිටින්නේ අවදියෙන් බව මට රහසක් නොවීය.
ගතවූ දින කිහිපයේම රූපවාහිනී නාලිකා වල වැඩි ඉඩක් වෙන්කර තිබුණේ ඇමතිවරයාගේ අභාවය වෙනුවෙනි. ඒ කිසිවක් නැරඹීමට මංගලී උනන්දු නොවූවාය. මංගලී උත්සාහ කළේ මා මගහැර සිටින්නටය. ඇය රාත්‍රීයේ ඇඳට පැමිණෙද්දී මට නින්දගොස්ය. උදෑසන මා නැගිටින විට ඇය වැඩ පටන්ගෙනය. මංගලී දින තුනක්ම වැඩට නොගිහින් හිටියේ ඇඟට හරි නැති බව පවසමින්ය
" බෙහෙත් ටිකක් ගන්න යං"
යැයි කතා කළත්,
" අදත් බලමු "
ඇගේ පිළිතුර විය. එකම රථයේ වැඩට යද්දී වුවද ඇය සිටියේ වෙනත් කල්පනාවකය. අසන යමකට වුවද පිවිතුරු දුන්නේ කල්පනාවෙන් තොරවය. අවසන ඇයට ඇගේ පාඩුවේ ඉන්නට දෙන්න මම මගේ හිත හදාගත්තෙමි.
ඊයේට දීඝායු ඇමතිවරයා මියගොස් දින හතකි. ඒ වෙනුවෙන් තම අතින්ම පිසූ දන් කදක් පන්සලට පූජා කරන්නට මංගලී හිතන්නට ඇත. ඉන් වත් ඇගේ හිත හැදෙනවානම් ලොකු දෙයකි. කාටත් යහපතකි. උගුරට හොරා බෙහෙත් ගිලිමින් ගතකරන අමිහිරි යුගය අවසන් කිරීමට නම් ඇය සමග මේ පිළිබඳව විවෘතව කතා කළයුතුයැයි මම සිතාගතිමි. නැතිනම් මේ දින කිහිපයේ අප නිවස වෙළාගත් අඳුර සදහටම පවතිනු ඇත.

