ආරක්ෂකඋණුසුම් පුවත්කාලීන

‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක්.. එය බරපතල වරදක්..- සරත් එන්. සිල්වා

මහනුවර නීතිඥ සංගමය අපරාධ නඩු අධ්‍යක්ෂ පදවිය ස්ථාපිත කළ පනත ප්‍රසිද්ධියේ ගිනි තබා ඊට විරෝධය දැක්වූවා

රජය විසින් යෝජනා කර තිබෙන නව අපරාධ නඩු අධ්‍යක්ෂ ධුරය (රජයේ අභිචෝදක තනතුර) නීතිය දේශපාලනයට යටකිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පැවසීය.

මෙවැනි තනතුරක් 19701977 ආණ්ඩු කාලයේ ක්‍රියාත්මක විය. එකල නියෝජ්‍ය අපරාධ නඩු අධ්‍යක්ෂ පදවිය දැරූයේ තමා බැවින් මෙම කරුණ පිළිබඳව තමන් හොඳින්ම දන්නා බව පැවසූ සරත් එන් සිල්වා මහතා නීතිපතිවරයා සතු අපරාධ නඩු පිළිබඳ බලය විෂය භාර අමාත්‍යවරයා විසින් අපරාධ නඩු අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලබන වෙනත් බාහිර නීතිඥවරයකු යටතට පැවරීම බරපතළ වරදක් බව සඳහන් කළේය. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද සංශෝධනය කළ යුතුය. එදා මෙම පත්වීම උපයෝගී කරගෙන පැවති බණ්ඩාරනායක රජය දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කළේය.

කල විපක්ෂයේ සිටි කීර්තිමත් නීතිඥයකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාද මෙම දඩයමේ ගොදුරක් බවට පත්විය. ඇතුළත්මුදලි මහතා අත්අඩංගුවට ගැනීමේ නියෝගය රැගෙන අපරාධ නඩු අධ්‍යක්ෂ මහේස්ත්‍රාත්ගේ පෞද්ගලික නිවසට ගොස් නියෝග ලබා ගැනීමට තැත් කිරීම එකල මහත් ආන්දෝලනයට ලක්වූ බව සඳහන් කළ යුතුය. එහෙත් ඉහළ අධිකරණ මගින් රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂවරයාගේ තීරණ ප්‍රතික්ෂේප කිරීමත් සමඟ අර්බුදයක් හටගත්තේය.

එනිසා වත්මන් ආණ්ඩුවද අතීතයෙන් පාඩම් උගත යුතුය. තමා දන්නා ආකාරයට නීතිපතිවරයා සතු බලතල වෙනත් පාර්ශ්වයකට පැවරීම බරපතළ අගතිදායක තීන්දුවකි. හිටපු නීතිපතිවරයකු සහ අගවිනිසුරුවරයකු ලෙස තමන් මෙම තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මෙම නීතිය නිසා එදා බණ්ඩාරනායක රජය බලවත් අප්‍රසාදයට ලක්වූ අතර මහනුවර නීතිඥ සංගමය අපරාධ නඩු අධ්‍යක්ෂ පදවිය ස්ථාපිත කළ පනත ප්‍රසිද්ධියේ ගිනි තබා ඊට විරෝධය දැක්වූයේ යැයි ද හිටපු අගවිනිසුරුවරයා කීය.

 - දේශය -