උණුසුම් පුවත්දේශපාලනසතියේ සටහන

අභියාචනාධිකරණ සභාපතිට දෝෂාභියෝගයක්!?

ජගත් ගේ සතියේ සටහන  -  51

 ප්‍රබල විපක්ෂයක් හදන්න විපක්ෂය පිටපොට ගහයි

 පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වඩා බලයක් හිමි ජාතික ජන බලවේගය ආණ්ඩුවට මුහුණ දීම සඳහා ප්‍රබල දක්ෂිණාංශික සන්ධායනයක් ගොඩනැඟීම සඳහා සමගි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඇතුළු එම පක්ෂවල ප්‍රබල පිරිසක් කටයුතු කර ගෙන යන බවට මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබල කතා බහක් ඇති වී තිබෙනවා.

ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් ලැබූ පරාජයෙන් මාස ගණනායකට පසු සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව පසුගිය බ්‍රහස්පතින්දා රැස්වුණේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ ප්‍රධානත්වයෙන්. මෙම රැස්වීමට පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් රාශියක් සහභාගිවී තිබෙනවා.

මැතිවරණ පරාජයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට අදාළ යෝජනා 12 ක් ඇතුළත් ලිපියක් සමගි ජන බලවේගයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා විසින් මීට සති කිහිපයකට පෙර පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බාර දී තිබුණා.

එහෙත් ඔහුට ඔහු‌ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී තිබුණේ නැති බව අප මීට පෙර අනාවරණය කළා. එම ලිපියේ අඩංගු යෝජනා පිළිබඳවත් එයට පක්ෂ නායකත්වයෙන් ප්‍රතිචාරයක් නොමැති බවත් මාධ්‍යවල පළවීමෙන් පසු කළමනාකරණ කමිටුව රැස්කිරීමට පක්ෂ නායකත්වය පියවර ගත් බවයි දැනගන්නට තිබෙන්නේ.

කළමනාකරණ කමිටුවේ න්‍යාය පත්‍රයේ මුල් තන දී තිබුණේ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා ගේ යෝජනා ඇතුළත් ලිපිය පිළිබඳව සාකච්ඡා කිරීමට යි. මහ මැතිවරණයෙන් පක්ෂය ලැබූ පරාජය පිළිබඳව විශේෂ විමර්ශණයක් පවත්වන ලෙසට ද එම ලිපියෙන් ඉල්ලා තිබුණා.

මේ පිළිබඳ ව මෙම රැස්වීමේ දී ඉම්ටියාස් බාකිර් මාකාර්, තිස්ස අත්තනායක මහත්වරුන් ඇතුළු පිරිසක් මැතිවරණය පරාජයට හේතු සහ පක්ෂය විසින් සිදු කොට ඇති වැරදි පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ බව ද වාර්තා වෙනවා.

ඉම්ටියාස්ට සජිත් දොස් කියලා

 

දීර්ඝ සාකච්ඡාවකින් පසු පක්ෂය විසින් කරන ලද වැරදි යළි සිදු නොවීම සඳහා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ඉම්ටියාස් බාකීර් මාකාර්, තිස්ස අත්තනායක්, කබීර් හෂීම්, යන මහත්වරුන් ගෙන් යුත් විමර්ශණ කමිටුවක් ද පත් කළ අතර පක්ෂයේ කළමනාකරණ කමිටුව සෑම සතියක ම බදාදා දිනයටත්, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සෑම මසක ම තුන්වැනි බ්‍රහස්පතින්දාත් කැඳවීමට ද එහිදී තීරණය වූ බවයි වාර්තා වෙන්නේ.

පක්ෂයේ සභාපති ඉම්ටියාස් බාකීර් මාකාර් මහතා විසින් පක්ෂ නායකයාට යැවූ ලිපිය මාධ්‍ය මඟින් ප්‍රචාරය වීම ගැන සජිත් ප්‍රේමදාස මහතා ඔහුගෙන් විමසා ඇති අතර පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කළ යුතු කරුණු මාධ්‍යවලට ලබා දීම සුදුසු නොවන බවද පවසා ත්බෙනවා.

මාධ්‍ය පළ වූයේ නැත්තං මොන කළමනාකරණ රැස්වීමක්කත් නෑ

එහෙත් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් ප්‍රකාශ කළේ ඉම්ටියාස්ගේ ලිපිය මාධ්‍ය පළ වූයේ නැත්නම් කළමනාකරණ කමිටුව මෙසේ රැස් නොකරනු ඇති බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණ වලට තරග කිරීම පිළිබඳව මෙහිදී සකාච්ඡා වී තිබෙනවා. පළාත් පාලන මැතිවරණවලට තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ එකඟතාවයක් ඇති කර ගත යුතු බවට ද මෙහිදී ඒකමතිකව තීරණය කළ බව පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙක් අප හා ප්‍රකාශ කළා.ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීම පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට පැවරීමට ද මෙහිදී තීරණය කළ බව ද ඔහු සඳහන් කළා.

මේ පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ විට රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණවලට සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂ සමඟ සන්ධානගතව තරග කිරීමට පක්ෂය තීරණය කළ බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් වශයෙන් පත්වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය  පෙරේදා පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී වැඩ බාර ගත්තා. මෙම අවස්ථාවට පක්ෂ සභාපති වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, සාගල රත්නායක, දොස්තර රාජිත සේනාරත්න ඇතුළු නායකයින් හා පාක්ෂිකයින් විශාල පිරිසක් ද පැමිණ සිටියා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පැවසුවේ පක්ෂයෙන් කැඩී වෙන්වී ගිය පාර්ශ්වයන් එක්රැස් කිරීමට සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

 මම ඒ කටයුත්ත අත් හරින්නේ නැහැ - තලතා කියයි

''මම ඒ කටයුත්ත අත් හරින්නේ නැහැ. මොකද සමගි ජන බලවේගය කියන්නේ අමුතු පක්ෂයක් නොවෙයි. ඒකෙ සිටින සියලු දෙනා ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය. අපි ඒ අයට විවෘත ආරාධනයක් කරනවා. රනිල් වික්‍රමසිංහ නායක තුමාගේ පූර්ණ ආශිර්වාදයත් මේ සඳහා තියෙනවා. නායක තුමා කිසිම විධියකට තහංචි දාලා නැහැ. එහෙම නං එතුමා මාව ගන්නේ නැහැ නේ" යනුවෙන් තලතා අතුකෝරාළ මහත්මිය තව දුරටත් පැවසුවා.

එහෙත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා මෙහිදී කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණවලට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් අනෙකුත් පක්ෂ හවුල් කර ගෙන තරග කරන බවයි. 

මේ අතර කොළඹ 07 හි මල්පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතා වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න, රුවන් විජේවර්ධන ආදී සමීපතමයන් සමඟ පසුගිය සතියේ කළ සාකච්ඡාවක දී ප්‍රකාශ කළේ යූ. ඇන්. පි නම යටතේ අලුත් දේශපාලන බලවේගයක් පිහිටුවිය යුතු බවයි.

''අපි ඡන්ද වලට එන්නේ එක්සත් ජාතික පෙරමුණ යටතේ. එතකොට නැ කෙනකුට අපිත් එක්ක එකතුවෙලා 'අලියා ලකුණෙන් තරග කරන්න පුළුවන්. සමගි ජන බලවේගය සමඟ දැනටමත් බිම් මට්ටමින් සාකච්ඡා කෙරෙනවා" යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබනවා.

මහා බෝධි විහාරස්ථානයේ අධිපති බානගල උපතිස්ස නා හිමිපාණන්ගේ 75 වන ජන්ම දිනය නිමිත්තෙන් වැල්ලවත්ත විහාස්ථානයක පැවති පින්කමකට හිටපු ජනිධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගි වී ඇති අතර එහිදී දෙදෙනා ඉතාමත් සුහදශීලී ව කතාබහේ යෙදී හුන් බවත් වාර්තා වෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ සහා එක්සත් ජාතික පක්ෂයේ සාමාන්‍ය සාමාජිකයින් හා ආධාරකරුවන් ගේ අපේක්ෂාව වී ඇත්තේ එම පක්ෂ දෙක ඒකාබද්ධවීම බව යැයි දේශපාලන විචාරකයින් පවසන්නේ. ≈≈≈≈≈ ≈≈≈≈≈ ≈≈≈≈≈

දුන්නු කෝටි 50 ඉල්ලා බිස්නස්කාරයෙක් සජබෙ කාර්යාලෙ  වලියක් දාලා

 පසුගිය සතියේ කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයට පැමිණි කෝටිපති ව්‍යාපාරිකයකු කෑ කෝ ගාමින් මහත් කලබගෑනියක් සිදුකොට තිබෙනවා. තමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබා දෙන බව පවසා කෝටි පනහක (50) ලබාගත් නමුත් මන්ත්‍රී ධූරය ලබා නොදුන් බැවින් තමා දුන් මුදල ආපහු ලබා දෙන ලෙස ඉල්ලමිනුයි ඔහු මෙසේ කෑකෝ ගා ඇත්තේ.

පොළොන්නරුවේ මහා පරිමාණ හාල්මෝල් හිමියකු වන මෙම ව්‍යාපාරිකයා සමගි ජන බලවේගයේ සාමාජිකයකු නොවන බව ද පැවසෙනවා. එහෙත් පසුගිය මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඔහුගේ නම ද ඇතුළත් කොට තිබුණා. තමා දුන් කෝටි 50 ක මුදල ආපසු ඉල්ලා ඔහු කෑකෝ ගසනා විට එම කාර්යාලයේ සිටිය පිරිස ''ඔය ගැන අපි මොකුත් දන්නේ නෑ. සල්ලි ගත්තු අය හමුවී ඔබතුමාශය ප්‍රශ්නය බේරා ගන්නැ" යි පවසා තිබෙනවා. ''හොඳයි මම ඒක බේරා ගන්නම් කෝ" යනුවෙන් පවසා ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ සිද්ධිය හේතු කොට ගෙන සමගි ජන බලවේගයේ නායකයින් අතර අර්බුදකාරී තත්වයක් හටගෙන ඇ.ති බව ද වාර්තා වෙනවා.

එම ව්‍යාපාරිකයා මෙම චෝදනාව එල්ල කරන්නේ සමගි ජන බලවේගයේ නායකයාට ඉතාම සමීපව  කටයුතු කරන තවත් ධනපති ව්‍යාපාරිකයකුට බවයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ. 

≈≈≈≈≈ ≈≈≈≈≈ ≈≈≈≈≈

 ඉවත් වූ මැති ඇමැත්තන් ආපහු පරණ ගොඩට ම

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී පසුගිය මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ 'සිලින්ඩරය" ලකුණින් තරග කළ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් යළි පොදුජන පෙරමුණට එක්වී නව දේශපාලන ගමනක් ඇරඹීම සඳහා පසුගිය දවස්වල රැස්වී සාකච්ඡා ගණනාවක් පවත්වා තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවත් පොදුජන පෙරමුණ වෙනුවෙන් නාමල් රාජපක්ෂ, ඩී. වී. චානක හා ඉන්දික අනුරුද්ධ යන තිදෙනා ගෑස් සිලින්ඩරයෙන් ඡන්දය ඉල්ලූ පොදුජන පෙරමුණේ හිටපු ඇමතිවරුන් වන කංචන විජේසේකර, මධුර විතාගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජානක වක්කුඹුර, යන මහත්වරුන් හා හිටපු ඇමතිනනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද මෙයට සහභාගි වී සිටිය බවත් වාර්තා වෙනවා.

පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම, පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල, සකස් විය යුතු ආකාරය ගැන මෙහිදී සාකච්ඡා වී ඇතත් ඒ පිළිබඳ අවසන් තීරණයකට එළඹ නැති බවයි දැන ගන්නට තිබෙන්නේ.

පසුගිය මහ මැතිවරණයෙන් පරාජය වූ පොදුජන පෙරමුණේ, සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන්ට ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ ඉතාමත් තීරණාත්මක වනු ඇති බව දේශපාලන විචාරකයින් පවසනවා. මෙම පළාත් පාලන මැතිවරණ  වලින් ඔවුන් ගේ පක්ෂ පරාජය වුවහොත් එයින් එම හිටපු මැති ඇමතිවරුන් ගේ දේශපාලනය අවසන් විමට ඉඩ තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ නිසා කෙසේ හෝ පක්ෂ, සන්ධාන පිහිටුවා ගෙන තරග කළයුතු බව ඔවුන් අවබෝධ කරගෙන ඇති බවත් මතභේද දුරලා එක්සත්ව තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය මෙන් ම පොදුජන පෙරමුණ ද කටයුතු කරන්නේ මේ නිසා බවත් දේශපාලන විචාරකයින් තව දුරටත් පවසනවා.

≈≈≈≈≈ ≈≈≈≈≈ ≈≈≈≈≈

නිශ්ශංක බන්දුල කරුණාරත්නට දෝෂාභියෝගයක්?

මේ අතර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩුවේ මන්ත්‍රීන් පිරිසක් කටයුතු කරගෙන යන බව අධිකරණ ආරංචි මාර්ග පවසනවා.

අභියාචනාධිකරණයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුව ඒ මහතා ගෙන් ඉල්ලා ඇති බවත්, ඔහු එයට ප්‍රතිචාර නොදක්වා ඉල්ලා අස් නොවීම හේතුවෙන් මෙම දෝෂාභියෝගය ගෙන එන බවයි දැනගන්නට තිබෙන්නේ.

පසුගිය ආණ්ඩුව කාලයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අභියාචනාධිකරණයේ සභාපති වශයෙන් පත්කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කළ නමුත් ව්‍යවස්ථාදායක සභාව එම නිර්දේශය ප්‍රතික්ෂේප කළා. පසුව ව්‍යවස්ථාදායක සභාවේ එම තීරණයට අභියෝග කරමින් වෙනත් නීතිඥයකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබුණා. එම පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය නීතිඥයාගේ පෙත්සම නිශ්ප්‍රභා කරමින් ව්‍යවස්ථාදායක සභාවේ තීරණය නිවැරදි බවට තීන්දුවක් ද ලබා දුන්නා.

මේ සිදුවීමෙන් පසු අභියාචනාධිකරණ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ බලධාරීන් නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට දැනුම් දී තිබුණා. එහෙත් ඔහු මෙතෙක් ඉල්ලා අස්වී නැහැ.

මේ නිසා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට විරුද්ධව දෝෂාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා පසුගිය සතියේ මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබා ගෙන තිබෙනවා. පෙරේදා වන විට මන්ත්‍රීවරුන් 118 කු එම යෝජනවාට අත්සන්  කර තිබුණු බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙනවා.

නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ලබන ජුලි මාසයේ දි විශ්‍රාම යෑමට නියමිත අතර යම් හෙයකින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ දී සම්මත වුවහොත් ඔහුට විශ්‍රාම වැටුප ද අහිමිවනු ඇති බවයි අධිකරණ ආරංචි මාර්ගවලින් වාර්තා වෙන්නේ.

මේ තත්වය යටතේ නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරි දින කිහිපය තුළ අභියාචනාධිකරණ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වනු ඇති බව ද එම ආරංචි මාර්ග පවසනවා.

  1.  - ජගත් -