යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ
බස්නාහිර පළාත තුළ ඇතිවිය හැකියි පැවසෙන ආපදා තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා හමුදා භට පිරිස් 7989 ක් සූදානමින්
බස්නාහිර පළාත තුළ ඇතිවිය හැකියි පැවසෙන ආපදා තත්ත්වයෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතු වෙනුවෙන් හමුදා භට පිරිස් 7989 ක ප්‍රමාණයක් සූදානම් කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා පැවසී ය.
අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ සහ ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාව මගින් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත් ඒ අනුව දිවයින පුරා යොදවා තිබෙන භට පිරිස් 24,156 දෙනෙක් විසින් පුද්ගලයන් 2453 දෙනෙකුගේ ජීවිත බේරා ගනිමින් 5400 ක පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කරනු ලැබ තිබෙන බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ ය.
මෙම මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා යුද හමුදා සන්නද්ධ රථ 23 ක්, බෆල් රථ 60 ක් සහ බෝට්ටු 32 ක් යොදවා තිබෙන බවත් අවශ්‍ය මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් යානා 07 ක් මේ වන විට පලාලි, රත්මලාන, කටුනායක සහ වීරවිල යන කඳවුරුවල සූදානම් කර තිබෙන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.
මීට අමතරව දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 488 ක රඳවා සිටින පුද්ගලයන් 43,925 දෙනෙක් වෙනුවෙන් අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් පහසුකම් සැලසීමේ ක්‍රියාන්විත අඛණ්ඩව ක්‍රියාත්මක බවත් බදුල්ල, පල්ලෙකැලේ, දිගන, මරදාන, කැලණිමුල්ල සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල ආහාර පිළියෙළ කිරීමේ ස්ථාන 08 ක් හමුදාව විසින් ස්ථාපිත කර තිබෙන අතර ඊට අමතරව සෑම කඳවුරකම ආහාර පිසීමේ ස්ථාන අවතැන්වූවන් වෙනුවෙන් ආහාර සකස් කිරීම සඳහා ලබා දී තිබෙන බවත් ප්‍රකාශ කළේය.
27 වන දින සිට 29 දක්වා සිදු කළ ගුවන් හමුදා මෙහෙයුම් මගින් පුදගලයන් 71 දෙනෙක් බේරා ගැනීමට සමත් වී තිබෙන අතර අවතැන් වූවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර කි.ග්‍රැම් 2565 ක් අවශ්‍ය ස්ථාන වෙත ගුවන් මගින් ප්‍රවාහනය කර තිබෙන බවද පැවසීය.
අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සේවා සැපයීම සඳහා අවශ්‍ය උපකරණ තොගයක් සහ 80 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමඟ ඉන්දීය ගුවන් හමුදාවේ IL-76 යානය අද උදෑසන දිවයිනට පැමිණි අතර මේ වන විට කොළඹ වරායේ ඇති ඉන්දීය නාවික හමුදාවට අයත් INS වික්‍රාන්ත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ගුවන් යානා දෙකක් මේ වන විට ගම්පහ සහ කුලියාපිටිය යන ප්‍රදේශවල පවතින ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා යොදවා තිබෙන බවද යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා වැඩිදුරටත් පැවසීය.
