ජගත් ගේ සතියේ සටහන - 99

පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුව අධ්‍යයනයක් සිදුකර ගෙන යන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පෙරේදා (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ දී විධායක ජනාධිපති ධූරය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කොට විධායක බලතල රහිත ජනාධිපති වරයකු පත් කිරීම ආණ්ඩුවේ අරමුණ බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව සහ අනිකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා සළකා බලමින් සිටින බවත් මේ අනුව එහි මූලික සංකල්ප පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරගෙන යන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
දැනට කෙටුම්පත් කරගෙන යන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මහජනයා වෙත ඉදිරිපත් කර සංවාදයකට ලක් කිරීමෙන් පසු ජනමත විචාරණයක් ද පවත්වා සම්මත කර ගැනීම රජයේ අපේක්ෂාව බව ද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.
''නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකියි. නව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු විධායක ජනාධිපති ධූරය අහෝසි වෙනවා. මේ ගැන ආණ්ඩුව ඉදිරියේ දී නිශ්චිත කාල වකවානු ප්‍රකාශයට පත් කරනවා" යැ යි ද ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය කියා සිටියා.
ජාතික ජන බලවේගය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දුවක් වී තිබුණේ ද විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යි. එහෙත් බලයට පත්වී වසරක් ඉක්ම ගියත් ඒ ගැන නිහඬව සිටි ආණ්ඩුව විපක්ෂ නායකයා ප්‍රශ්නය නඟන තුරු ම ඒ ගැන කිසිවක් සඳහන් කළේ නැහැ.
නව ආණ්ඩු ක්‍රමය ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් විපක්ෂය ඇතුළු මුළු පාර්ලිමේන්තුව ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් බවට පත්වී ඒ ගැන සාකච්ඡා කොට නව ව්‍යවස්ථාව සකස් කළ යුතු වෙනවා.
සමගි පෙරමුණු ආණ්ඩුව 1972 ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් නව රඟ හලේ රැස්වී සාකච්ඡා කිරීමෙන්. එහෙත් එයට එවකට සිටි එක්සත් ජාතික පක්ෂය හා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහභාගි වුණේ නැහැ.
වර්තමානයේ ක්‍රියාත්මක වන 1978 ව්‍යවස්ථාව ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව සකස් කළේ පාර්ලිමේන්තුවේ කිසිදු පක්ෂයක් සහභාගි කර නොගෙන, මහජන අදහස් විමසීඹකින් ද තොරවයි. එය මේ වන විට 22 වතාවක් සංශෝධනය කොට තිබෙනවා.
ආණ්ඩුව ප්‍රතිසංස්කරණ යෝජනා සළකා බලමින් සිටින බව අග්‍රාමාත්‍ය හරිනි ප්‍රකාශ කළත් මෙතෙක් ඒ සඳහා මූලික පියවර කිසිවක් ආරම්භ කොට නැතැ යි ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ප්‍රවීණයන් පවසනවා.
දීග කන්න රනිල් සූදානම්... ඒත් සජිත්??
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් කිරීම සඳහා එම පක්ෂ දෙක අතර මේ දිනවල සාකච්ඡා පැවැත් වෙනවා.
රනිල් කෘත්‍යාධිකාරි මණ්ඩලය විශ්මයට පත් කරලා
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය හා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සහ ජාතික සංවිධායක සාගල රත්නායක යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කොට තිබෙනවා. සමගි ජන බලවේගයෙන් මේ සාකච්ඡා මෙහෙයවන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යි.
මෙම සමගි සාකච්ඡාවල ප්‍රගතිය පසුගිය බදාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා වුණා.
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු වෙනවාට තමන් බාධාවක් නම් එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තමන් සූදානම් බව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී තදින් ම පවසා තිබෙනවා.
පක්ෂ දෙකේ සාකච්ඡාවල ප්‍රගතිය ගැන නිල වාර්තාවක් තවමත් තමාට ලැබී නැති බවත්, මන්දගාමී නොවී මේ සාකච්ඡා ඉක්මනින් අවසන් කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ විට ''සර් අපි ඉක්මනින් ම තීරණයකට එනවා. කොහොමත් ආණ්ඩුවේ ජනප්‍රියත්වය නාය යමින් පවතින බැවින් අපි ඉක්මනින් ම ක්‍රියා මාර්ගයකට යායුතු වෙනවා" යැයි පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකතු වෙන්න යනව කියල ඔය සාකච්ඡාවල දී එකඟත්වයකට ආවොත් ඒකට ඔය ගොල්ලොත් කැමති නම් මට කිසි ගැටලුවක් නැහැ පක්ෂ දෙක එකතු වෙනවාට මම උඩින් ම කැමතියි"
''ඔය සාකච්ඡාවල දී මම නායකත්වයෙන් ඉවත්වෙලා සජිත්ට හරි වෙන කෙනකුට හරි නායකත්වය දෙන්න ඕනැ කියල යෝජනාවක් ආවොත් ඔය ගොල්ලො කැමති නම් ඒකටත් මගේ විරුද්ධත්වයක් නැහැ" යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බොහෝ දෙනකු විමතියට පත් කරමින්.
''ඒ වගේ එකතුවකට ඕනැම වෙලාවක පක්ෂ නායකත්වයෙන් යාමට මා සූදානම්'' යයි ද ඔහු අවධාරණයෙන් පවසා තිබෙනවා.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ට අවශ්‍ය වී ඇත්තේ මේ ආණඩුවට විරුද්ධව විපක්ෂයේ පක්ෂ සියල්ල එකතු කොට ඒකාබද්ධ විපක්ෂය මඟින් ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජන බලයක් ගොඩනැඟීමට යි.
පොහොට්ටුවට යි අතට යි සජිත් විරුද්ධ ලු
මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සියලු පක්ෂ එක්කර ගැනීමට ව්‍ක්‍රමසිංහ මහතා අදහස් කොට ඇතත් පොදුජන පෙරමුණ, ශ්‍රීලනිප ය එකතු කර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා දැඩි විරෝධය පළ කරන බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
එමෙන් ම එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එක්වන්නේ නම් එහි නායකත්වය තමාට ලබා දිය යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.
සජිත්, රනිල්ගෙ මුහුණවත් බලලා නෑ
රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා තුළ පවතින්නේ දැඩි විරෝධයක්. පසුගියදා සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ගේ දියණියගේ විවාහයේ මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්කියට අත්සන් කළේ සජිත් ප්‍රේමදාස මහතා වන අතර රනිල් වික්‍රමසිංහ මහතා මනාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් සාක්කියට අත්සන් කළා. මංගල මේසයේ දෙපැත්තේ වාඩිවී සිටියත් සජිත් ප්‍රේමදාස මහතා රනිල් වික්‍රමසිංහ මහතා ගේ මුහුණවත් නොබලා පිටවි ගිය බවයි එහි සිටි අය පැවසුවේ.
පක්ෂ දෙක එකතු කිරීමට තමන් බාධාවක් නම් තමා පක්ෂ නායකත්වයෙන් ඉවත්වන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ සජිත් ගේ හැටි ඔහු දන්නා නිසා යැ යි එක්සත් ජාතික පක්ෂ නායකයෙක් අප සමඟ කියා සිටියා.

⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ 'ඇවනිව්' හෝටලයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයේ ප්‍රබලයින් කිහිප දෙනකු හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
සමගි ජන බලවේගයේ තරුණ නායකයින් වන වරුණ රාජපක්ෂ හා චරිත් අබේසිංහ ද මේ අවස්ථාවට සහභාගි වූ බවයි වාර්තා වෙන්නේ.
පක්ෂ දෙකේ සමගිය ගැන කතා කරද්දී රනිල් වික්‍රමසිංහ මහතා යළිත් පවසා තිබෙන්නේ පක්ෂ දෙක එක්වීමට තමන් බාධාවක් ලෙස යමකු සළකනවා නම් තමා වහාම එජාප නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව යි.
මේ හමුව පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබයේ ඉහළ නායකත්වයට ආරංචි වී ඇති අතර මේ ගැන බලවත් ලෙස කෝපයට පත්වී ඇත්තේ සජිත් ගේ ප්‍රධාන උපදේශකයා වන ලක්ෂ්මන් ෆොන්සේකා, පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට, පක්ෂයට නොදන්වා රනිල් සමඟ සාකච්ඡා කිරීම පිළිබඳව වහාම නිදහසට කරුණු විමසා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. එජාප යේ සිට සජබයට පැමිණ සිටින වරුණ රාජපක්ෂ එක්සත් ජාතික පක්ෂය විසින් පක්ෂයට රිංගවන පද ඔත්තුකරුවකු වශයෙනු යි ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු පිරිස සළකන්නේ.
අපි ඔක්කොම එකතු වුණොත් මේ වැඩේ ගොඩ දාන්න ලේසියි... සර්
සජබ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක් වරුණ රාජපක්ෂ හා එම පක්ෂයේ හොරණ සංවිධායක චරිත් අබේසිංහ යන දෙදෙනා විසින් ඉකුත් සතියේ හලාවත දී ආපදාවෙන් විපතට පත් පාසල් සිසු සිසුවියන්ට පොත්පත් බෙදාදීමේ උත්සවයක් පවත්වා තිබෙනවා. මෙම අවස්ථාවට පුත්තලම සජබ මන්ත්‍රී චිනාල් ෆ්‍රනාන්දු හා රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිව සිටිය දී, ඔහුගේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ, ශානුක කරුණාරත්න යන මහත්වරුන් ද සහභාගි වී හිටියා.
මේ අවස්ථාවේ දී ශානුක ගේ දුරකතනයට, රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇමතුමක් ලැබී තිබෙන අතර, ශානුක එම ඇමතුමකට වරුණු රාජපක්ෂ ද සම්බන්ධ කරගෙන තිබෙනවා. එහිදී රනිල්, වරුණට හා චරිත්ට සුබ පැතුම් එක්කරමින් ''ලබන අවුරුද්දේ අපට වැඩ ගොඩාක් තියෙනවා" යි යනුවෙන් පැවසූ විට වරුණ ''සර් අපි ඔක්කොම එකතු වුණොත් මේ වැඩේ ගොඩ දාන්න ලේසියි" යැ යි පිළිතුරු දී තිබෙනවා.
මෙම සාකච්ඡාව ද සජබ ඉහළ නායකත්වයට වාර්තා වී ඇති බව වරුණට හා චරිත්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ගවලට මෙය ද සාක්ෂියක් කර ලැනීමට ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු පිරිස කටයුතු කරගෙන යන බවත් වාර්තා වෙනවා.
