උණුසුම් පුවත්කව් මිණි වැල්විශේෂාංගසාහිත්‍යය හා කලාව

අසිරිමත් වෙසක් බොදු බැති කව්!!

පිරිපුන් වෙසක් සඳ.....

රන් වන් සලුව ඇඳගත් මුදු සඳ පහන

පින් බර අහස මත ලොව වෙත පා නයන

නින් නද දිදී සිත් සැනසෙන බණ අසන

කන්කලු හඬට සැනසේ සමවත් සිතින

සල් මල් සුවඳ ළඟ ලොව සනසා නිවන

සිල් සුවඳින් වෙලා ලොව මායා කුසින

දුල් මිණ ලෙසින් ලෝ සත කෙලෙසුන් නිවන

කල් යල් බලා බෝසත් බිහිවුණි මෙදින

සකල මරුන් පරදා බෝමැඩ සෙවණේ

පතල ලොව පුරා පතුරා බුදු වරුණේ

නිසල සමාධිය මැද හැම කෙලෙසුන් මැරුණේ

එකල වෙසක් දිනමයි බුදු බව ලැබුණේ

සඳක් දුකින් ඉකි බිඳ බිඳ හඬා වැටී

ලොවක් සසල විණි ඒ දුක සවනෙ ගැටී

වෙසක් දිනක උපවත්තන උයනෙ සිටී

දහක් දෙව් බඹුන් මැද පිරිනිවන් දුටී

කෙලෙස් නසා නිවනෙහි රන් දොරටු මැද

රහස් නොමැත බුදු හිමි දෙසු දහම් කඳ

දවස් ගණන් ගෙවුනත් දුක් සසර මැද

දිවැස් නැතිව ඔබෙ අප අසරණයි අද

තුඩින් තුඩ නැගී බුදු රැස් පැතිරේවා

සිතින් සිතම දම් සිසිලෙන් නැහැවේවා

ඉතින් සමිඳුනේ සම්බුදු ඔබ ගාවා

බැතින් වදින දන, නිවනින් සැනසේවා

                                                                                                                                          - සංජීවනී පද්මසේන -

💛💛💛💛💛💛💛💛    💛💛💛💛💛💛💛💛 

                                                          එදා වාගේම අදත්

එදා වාගේම අදත්

පිරිපුන් වෙසක් සඳ 

එබිකම් කරන්නේ...

තිලෝගුරු බුදු පියාණන්ගේ

තෙමඟුලේ අසිරිය කියන්නේ...

සැලෙන බෝපත් කොදුරනා

හඬ හදවතට සුවයක් ගෙනෙන්නේ...

අමා මෑණි ගේ දහම් සිසිලස 

ලොවේ දසදෙස ජනිත වෙන්නේ...

                                                                                                                                            - ඇන්ජලා පැල්පොළ - 

💛💛💛💛💛💛💛💛    💛💛💛💛💛💛💛💛 

දමි සුවඳ..

සඟවා ළය මත..

නික්මුණු සඳ තරුව..

පරදා අනියත..

දෙසුවා දමි සුවඳ..

නිවුණා හද කමල..

ඇවිලෙන ගිනි සිලුව..

ලෝසත සෙත පිරුව..

අමාවක තරු නැතිව..

භව දුකින් අප මුදවා..

දෙසු දහමට පින් පුරවා..

තුන් ලොව සෙත සැදුවා..

අරහත් නමින් ලොව දිනුවා..

                                                                                                                                                  - ශ්‍යාමලී ගමගේ -

 

💛💛💛💛💛💛💛💛    💛💛💛💛💛💛💛💛 

වෙසක් සඳ

වෙසක් සඳ

වැටි වැටී හැපි හැපී

         යන අතර සසර මග

ඝෝරතර නිරා දුක්

         විඳ තැවුණි අතර මග

අපරිමිත කරුණා ඇසින්

         නහවා  සත්  වග

බැමි බිඳින හැටි මෙතින්

          දෙසුවේ තිලො අග

 

දකිද්දී නුවණැසින්

           මකාලිය යුතු මත

මාර දූවරු තනයි

            බිඳින්නට නිවෙන තැත

නිවී සැනසුණු නෙතින්

            සිඳුනු දැක ඔවුන් සැත

නිරාමිස ප්‍රීතියෙන්   

            වෙසක් සඳ අදත් ඇත

                                                                                                                                     - ෂර්මිලා බංදුනී දංවත්ත -