උණුසුම් පුවත්දේශපාලනවිශේෂාංගසතියේ සටහන

ආණ්ඩුවට මාස තුනයි. 6 ක් ඉල්ලා අස්වෙලා

ජගත් ගේ සතියේ සටහන  -  54

 

බලයට මාස තුනයි. 6 ක් ඉල්ලා අස්වෙලා

 

වර්තමාන ආණ්ඩුව බලයට පත් වී මාස තුනක් ඇතුළත ප්‍රධාන ආයතන කිහිපයක සභාපතිවරුන් හය දෙනකු මේ වන විටඉල්ලා අස්වී තිබෙනවා.

මේ අනුව රූපවාහිනී සංෂ්ථාවේ සභාපති ලෙස පත්කොට සිටි ආචාර්ය සෙනේෂ්ධිසානායක බණ්ඩාර මහතා දෙසැම්බර් 24 වනදා ඉල්ලා අස්වුණා. තමා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය භාරගත්තේ මාස තුනක කාලයකට බවත්, එම  මාස තුන අවසන් වූ පසු ඉල්ලා අස්වූ බවත්, ඔහු පවසා තිබුණා. එහෙත් ඒ පිළිබඳව ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කොට තිබුණේ මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරියක් ප්‍රසිද්ධ උත්සවයක දී අපහසුතාවයට පත්වීමේ සිද්ධීයක් රූපවාහිනී ප්‍රවෘත්ති මඟින් විකාශනය කිරීමේ හේතුවෙන් ඔහුට තනතුර හැරදමා යෑමට සිදු වූ බවයි.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා ජනවාරි 29 වැනිදා එම තනතුරෙන් ඉල්ලා අස්වූ අතර තමා පෞද්ගලික හේතුවක් නිසා අස්වූ බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබුණා. රමල් සිරිවර්ධන මහතා පසුගිය ආණ්ඩු කිහිපයක් යටතේ ද, ලංගම සභාපති වශයෙන් කටයුතු කොට ඇති පළපුරුදු නිලධාරියෙක්. ප්‍රවාහන ඇමතිවරයා සමඟ ඇතිකර ගත් මත ගැටුමක් හේතුවෙන්, රමල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වූ බවයි සමාජ මාධ්‍ය වාර්තා කොට තිබුණේ.

ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වශයෙන් සිටි වෛද්‍ය රුවන් විජේමුණි ඉල්ලා අස් වූ අතර තමා පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වූ බව ඔහු ද පවසා තිබුණා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති වශයෙන් කටයුතු කළ මොන්ටි රණතුංග මහතා ද ජනවාරි 31 වැනිදා ඉල්ලා අස්වූ බව වාර්තා වුණා.

මේ අතර ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ චින්තක ඩී. හේවාපතිරණ මහතා ද පෙරේදා (31) ඉල්ලා අස්වී තිබෙනවා.

මහින්ද සිරිවර්ධනගෙන් ප්‍රතිචාරයක් නැහැ?

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද පෙබරවාරි මාසයේ සිට විශ්‍රාම යන බව දැනැම් දී ඇතත් තව දුරටත් එම තනතුරේ කටයුතු කරන්නැ යි මුදල් ඇමති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහුගෙන් ඉල්ලා තිබෙනවා. එහෙත් සිරිවර්ධන මහතා මෙතෙක් එයට ප්‍රතිචාරයක් දක්වා නැති බවත් වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා එම ධූරයෙන් ඊයේ ඉල්ලා අස්වී තිබෙනවා.

උපදේශකවරුන් ගේ ඇඟිලි ගැහීම් ද?

ආණ්ඩුවේ එක් එක් අමාත්‍යාංශවල කටයුතු නිරීක්ෂණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් එක් අමාතා්‍යාංශයකට උපදේශකයින් දෙදෙනා බැගින් පත්කොට ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලැබී තිබෙනවා. එයට අමතරව ස්වේච්ඡා උපදේශකයින් පිරිසක් ද සෑම අමාත්‍යාංශයක් යටතේ ඇති ආයතනවලට පත්කොට ඇති අතර ඒ සඳහා ද පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණා.

අමාත්‍යාංශ ලේකම්වරුන් ගේ හා අනිකුත් උසස් නිලධාරීන් ගේ රාජකාරි කටයුතු ද මෙම උපදේශකයින් ගේ විමර්ශණයට ලක්වන බවත් මේ නිසා බොහෝ නිලධාරීන් උපදේශකයින්ගේ ඇඟිලි ගැසීම් නිසා පීඩාවට පත්වී සිටින බවත් එම ආයතනවල අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඉහත සඳහන් ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලා අස්වීමට මෙම උපදේශකයින්ගේ බලපෑම් හේතුවන්නට ඇතැ යි එම ආයතනවල සේවකයින් අතර රාවයක් පවතිනවා.

⋆⋆⋆  ⋆⋆⋆  ⋆⋆⋆

Print

බක්මහේ එනවා කියන පුංචි ඡන්දෙ

පළාත් පාලන මැතිවරණ අප්‍රේල් මස දෙවැනි සතියේ හෝ සිව්වන සතියේ හෝ පැවැත්වීමට ආණ්ඩුව තීරණය කොට ඇතැ යි ප්‍රවාහන හා මහමාර්ග ඇමති  බිමල් රත්නායක මහතා ඉකුත් සතියේ යාපනයේ දී ප්‍රකාශ කොට තිබුණා.

පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම 2023 වර්ෂයේ දී පැවැත්වීමට නාමයෝජනා භාරගෙන තිබූ නමුත් ඒ සඳහා මුදල් නොමැති බව පවසා එවකට පැවති ආණ්ඩුව එම ඡන්ද විමසීම පැවැත්වූයේ නැහැ.

අපේක්ෂකයින් 8000 ක පමණ පිරිසක් නාමයෝජනා භාරදී තිබුණ නමුත් වසර දෙකකට ආසන්න කාලයක් ඡන්ද නොපැව්වීමේ හේතුවෙන් බොහෝ අපේක්ෂකයින් රැකියා සඳහා විදෙස් ගතවී තිබූ අතර තවත් සමහරුන් මිය ගොසින්. එමෙන් ම මේ කාලය තුළ ඇතිවූ දේශපාලන පක්ෂ අර්බුද නිසා සමහර අපේක්ෂකයින් තමන් නාමයෝජනා භාරදුන් පක්ෂයෙන් ඉවත්වී වෙනත් පක්ෂවලට එක්වෙලා සිටිනවා.

මේ තත්වය යටතේ කලින් භාරගෙන තිබුණු නාමයෝජනා අහෝසි කොට අලුතින් නාමයෝජනා කැඳවීමට රජය තීරණය කළා.

ඒ සඳහා පළාත් පාලන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරිම සඳහා ආණ්ඩුව පසුගියදා නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එයට විරුද්ධව පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කොට තිබුණා.

එම පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සතියේ එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යවනු ලැබුවා.

පාර්ලිමේන්තුව පෙබරවරි 05 වනදා රැස්වූ විට කතානායකවරයා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිත යි.

එම තීන්දුව අනුව පළාත් පාලන ඡන්ද විමසීම්( සංශෝධන) පනත් කෙටුම්පත පෙබරවාරි මාසය තුළ පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව ද දැනගන්නට තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 08 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටින බව ද වාර්තා වෙනවා.

පුංචි ඡන්දෙට ලහිලහියේ සාකච්ඡා

මේ අතර පළාත් පාලන මැතිවරණවලට සන්ධානගත වී තරග කිරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අතර දැන් සිට ම සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

මෙහි විශේයෙන් කැපී පෙනෙන්නේ එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය අතර ආරම්භ වී ඇති සාකච්ඡා ය.

එම පක්ෂ දෙකේ ම කෘත්‍යාධිකාරී මණ්ඩල වල අනුමැතියෙන් පසුගිය සතියේ ආරම්භ වූ මෙම සාකච්ඡාවලට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය හා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන හා හරීන් ෆ්‍රනාන්දු යන මහත්වරුන් සහභාගි වන අතර සමගි ජන බලවේගයෙන් එහි මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, කබීර් හෂීම් හා හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් එක්වී සිටිනවා.

මේ සාකච්ඡා වට දෙකක් කොළඹ හෝටලයක දීත්, තවත් සාකච්ඡාවක් හර්ෂණ රාජකරුණා මහතා ගේ කොළඹ පිහිටි නිවසේ දීත් පැවැත්වුණා.

රනිල් සජිත් ඩබලගේ අලුත් ලාංචනය?

හර්ෂණ රාජකරුණා මහතා ගේ නිවසේ සකච්ඡාව සිකුරාදා රාත්‍රී 11. 30 දක්වා පැවති අතර අනතුරුව තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍යයට පැවසුවේ සාකච්ඡා සාර්ථක බවයි.

පක්ෂ දෙකට පළාත් පාලන ඡන්ද සඳහා එක පෙරමුණක් වශයෙන් තරග කිරීමට තීරණය කළ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා එහිදී පැවසුවා.

තරග කරනු ලබන්නේ කුමන ලකුණකින් ද යන්න හා පෙරමුණේ නායකත්වය පිළිබඳ ඉදිරි සාකච්ඡාවල දී තීරණය කරන බව ද ඔහු කියා සිටියා.

එහෙත් මෙම සාකච්ඡාවෙන් පසු හරීන් ෆ්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණවලට අලියා හෝ ටැලිපෝනයෙන් නොව වෙනත් ලකුණකින් තරග කරනු ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හා සජබ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඉදිරියේ දී හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළා.

මේ අතර පසුගිය කාලයේ පොදුජන පෙරමුණෙන් ඉවත්වී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ මන්ත්‍රීන් පිරිසක් එක්කර ගෙන පොදුජන නිදහස් පෙරමුණ යළි පණ ගැන්වීමට අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කණ්ඩායමක් කටයුතු කරගෙන යන බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණෙන් කැඩීගිය පිරිසක් සහ දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් සර්වජන බලය හා තවත් පක්ෂ හා සංවිධාන කිහිපයක් එක්කර ගෙන පොදුජන එක්සත් පෙරමුණ යළි සක්‍රීය කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඉකුත් සතියේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් පැවැත්වුණා. නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන්ඇතුළු හිටපු ම්න්ත්‍රීන් පිරිසක් මේ සාකච්ඡාවට සහභාගි වී සිටියා.

කට්ටියයක්  ආපහු පුටුවෙ වාඩිවෙන්න සූදානමක්

ඉදිරි පළාත් පාලන මැතිවරණවලට පොදුජන එක්සත් පෙරමුණේ 'පුටුව' ලකුණ යටතේ තරග කිරීම ගැන මෙහිදී සාකච්ඡා වූ බව ද දැනගන්නට තිබෙනවා.

මේ අතර ජාතික ජන බලවේගය ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන් ගේ වරප්‍රසාද කැපීහට හා මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසෙන් ඉවත් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය ජනයා අතර මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි අනුකම්පාවක් හටගෙන තිබෙනවා. එය ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි නඟා සිටුවීම සඳහා නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් කටයුතු කරගෙන යනවා.

එහි මුල් පියවර වශයෙන් පොදුජන පෙරමුණෙන් කැඩීගොස් සිටින හිටපු මැති ඇමතිවරුන්ගේ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉකුත් 27 වැනිදා සංවිධානය කොට තිබුණා.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, කෝකිලා ගුණවර්ධන, ජගත් සමරවික්‍රම හා ජානක වක්කුඹුර ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් විස්සක් පමණ මෙම අවස්ථාවට සහභාගි වුණා.

''ඔබ තුමාට ගෙදරින් යන්න කියලා බලපෑම් කරනවා නේ ද"යි හිටපු මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසූ විට ''දේශපාලනය කරනවා නම් වට මුහුණ දෙන්න නෑ. 1977 දීත් ඔහොම වුණා. 2015 යහපාලන ආණ්ඩුව කාලෙ දිත් මාත් එක්ක හිටපු අය ම පළිගත්තා. මට ලිඛිතව දැනුම් දුන්නොත් මා ගෙදරින් යනවා" යි මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නා.

''මම ඔයගොල්ලන්ට එන්න කිව්වේ වැදගත් කාරණයකට. අපි පොදුජන පෙරමුණ ඇරඹුවේ 2017 දී. එයින් තරග කොට අපට 2018 දී පළාත් පාලන මැතිවරණ ජයගෙන අපේ බලය පෙන්නන්නට හැකිවුණා. මේ පාරත් ඒ දෙය කරන්න එකතු වෙන්නැ යි හිටපු ජනාධිපතිවරයා ඔවුන්ගෙන් කළ ඉල්ලීමට පැමිණ සිටි පිරිස ඒකඟතාවය පළකොට තිබෙනවා. මොවුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවති බව දැනගන්නට තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සිටි තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පෙබරවාරි 3 වැනිදා (හෙට) සිය නිවසට කැඳවා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලක මැතිවරණ ඉලක්ක කර ගනිමින් ගමින් ගමට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති අතර එය අද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරෙක බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සඳහා  පසුගිය ජනාධිපතිවරණයේ දී තමාට සහාය දුන් දේශපාලන පක්ෂවල නියෝජිතයින් පිරිසක් පසුගිය 30 වැනිදා කොල්ලුපිටියේ පිහිටි හෝටලයකට කැඳවා තිබුණා.

මෙම සාකච්ඡාවට මහින්ද යාපා අබේවර්ධන, උදය ගම්මන්පිල, කාංචන විජේසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, වජිර අබේවර්ධන, සාගල රත්නායක, ප්‍රේමනාත් දොළවත්ත යන හිටපු මැති ඇමතිවරුන් ද සමගිජන සන්ධානයේ පලනි දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන මන්ත්‍රීවරුන් පැමිණ සිටි බව වාර්තා වෙනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ද මෙම ආරාධනා කර තිබූ නමුත් විදේශගතව සිටින නිසා ඇය පැමිණ නැහැ.

හිටපු ඇමතිවරයකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා පසුගියදා අත්අඩංගුවට ගැනීම ගැනත් ඉදිරියේ දී තවත් දේශපාලනඥයින් අත්අඩංගුවට ගතහොත් එයට මුහුණ දියයුතු ආකාරය ගැනත් ආණ්ඩුව මැතිවරණයේ දී ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම ගැනත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

  - ජගත් -