ජගත් ගේ සතියේ සටහන - 112

ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි පිළිවෙතින් දුරස්වෙලා ද ?
ජාතික ජන බලවේගය ආණ්ඩුවේ යම් යම් ක්‍රියාකලාපයන් නිසා ආණ්ඩුව වමේ ද, දකුණේ ද යන්න පැහැදිලි නැතැ යි දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.
ශ්‍රී ලංකාව මෙතෙක් පවත්වා ගෙන ආ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය දැන් වමටත් නැති දකුණටත් නැති අතරමැදි තත්වයකට පත්වී ඇතැ යි පවසන ඔවුන් පෙන්වා දෙන්නේ ඇමරිකාව හා ඊශ්‍රායලය ඉරානයට පහර දෙන අවස්ථාවේ ශ්‍රී ලංකාව ක්‍රියාකළ ආකාරය යි. ලෝකයේ බොහෝ රටවල් එම ප්‍රහාරය හෙළා දැක විරෝධය පළ කළ නමුත් ශ්‍රී ලංකාව ඒ ගැන පැවසුවේ ඒ ප්රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව යි.
එසේම ඉන්දියාවේ නාවික අභ්‍යාසයක් සඳහා පැමිණි ඉරාන නැව් 3 ක් ශ්‍රී ලංකා වරායකට පැමිණීමට අවසර ඉල්ලා සිටි අවස්ථාවේ ශ්‍රී ලංකා රජය එයට අවසර ලබාදීම ප්‍රමාද කළා. ඒ හේතුවෙන් 'අයිරිෂ් මෝනා' නම් නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරය ආසන්නයේ දී ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්ලනු ලැබුවා. ශ්‍රී ලංකා මුහුදු තිරයට පැමිණීමට එම නෞකාවලට ප්‍රමාද නොකර අවසර දුන්නේ නම් එම නැව බේරා ගත හැකිව තිබු බවට විපක්ෂය චෝදනා කළා. එම නැවේ නාවිකයින් පිරිසක් බේරා ගැනීමට හා මියගිය අයගේ සිරුරු ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළ නමුත් ඒ පිළිබඳව පැවති මාධ්‍ය හමුවක දී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ එව ප්‍රහාරයක් නොව අනතුරක් බව යි. එහෙත් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉරාන නෞකාවට ඇමරිකානු නාවික හමුදාව මඟින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දමන ලැබූ බව කියා සිටියා.
ශ්‍රී ලංකා නාවික හමුදාව එම සිද්ධිය ගැන නියම තොරතුරු හෙළි නොකිරීම බොහෝ දෙනා ගේ විවේචනයට ලක් වුණා.
ඒ අතර ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ඉරාන නෞකා ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා කළ ආරාධනයක් අනුව බව යි. එහෙත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉරාන නැව්වලට ශ්‍රී ලංකාව නිල ආරාධනයක් කළේ නැහැ යි පැවසීම මහත් ආන්දෝලනයකට හේතු වුණා.
බොහෝ විචරකයින් පවසන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ඇමරිකානු බලපෑම්වලට යටවී ඇති බව යි.
ඒ අතර පසුගිය සතියේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම හා ආසියානු කලාප භාර නියෝජ්‍ය ලේකම් සහ ඉන්දියාවේ ඇමරිකානු තානාපති සර්ජියෝ ගෝර් මහතා හදිසියේ ම කොළඹට පැමිණ තිබුණා. ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ සමීප හිතවතකු බව ද පැවසෙනවා.
සර්ජියෝ ගෝර් මහතා සිය සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් ඇමතිවරුන් ගණනාවක් සමඟ ද සාකච්ඡා කොට තිබුණා.
ශ්‍රී ලංකාවේ වරායවල ආරක්ෂාව ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇති ඔහු ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා ඇමරිකාවට භාර දෙන ලෙස ද ඉල්ලා සිටි බව ආරංචි මාර්ග සඳහන් කරනවා. එහෙත් අනුර කුමාර දිසානායක මහතා එයට පිළිතුරක් ලබා දී නැතැ යි ද වාර්තා වෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය කාලයේ ලෝකයේ සෑම සෑම රටකින් ම එරටට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඉහළ තීරුබදු පනවනු ලැබු අතර එම රටවල ඉල්ලීම අනුව පසුව ඒවා අඩු කළා. ඒ අනුව මුලින් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන භාණ්ඩ සඳහා 40% ක තීරුබද්දක් පැන වූ අතර දැන් එය 20% දක්වා අඩුකර තිබෙනවා.
මෙම තීරුබදු අනෙක් රටවල් තමන් යටතේ තබා ගැනීම සඳහා ට්‍රම්ප් යොදාගෙන තිබීම නිසා ඇමරිකාවට පටින් ගියොත් තීරුබදු යළි ඉහළ දැමීමේ අවදානමකට ශ්‍රී ලංකාව මුහුණ පානු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.
ඉරානයේ තෙල් ගැන 'හ්ම්වත්' නෑ
ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා ශ්‍රී ලංකාවට අවශ්‍ය තෙල් ලබා දීමට ඉරානය සූදානම් යැයි ප්‍රකාශ කළ නමුත් රජය තවම ඒ ගැන එරට සමඟ සාකච්ඡා කොට නැහැ. මේ ගැන විමසූ විට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමතිවරයා පවසා තිබුණේ ඉරානයෙන් තෙල් ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවට නැව් නොමැති බව යි. 
රුසියාවෙන් තෙල්
මේ අතර රුසියාවෙන් තෙල් ලබා ගැනීම පිළිබඳව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා හමුවී පැවැත්වූ සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා.
ඒ අනුව රුසියාවේ බලශක්ති කටයුතු කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමති රොමාන් මර්ෂාවීන් මහතා පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු මෙරට ජනාධිපති, බලශක්ති ඇමති, විදේශ ඇමති ද ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ නිලධාරීන් ද හමුවී සාකච්ඡා කොට තිබුණා.
පිරිපහදු කළ ඉන්ධන ශ්‍රී ලංකාවට සැපයීමට රුසියාව කැමති බව ඔහු මෙම සාකච්ඡාවල දී පවසා තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර ආධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ රුසියාවෙන් ඩීසල් හා පෙට්‍රල් ගෙන්වීමට එකඟ වූ අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර්වලින් මුදල් ගෙවන බව යි.
එහෙත් ඇමරිකාව රුසියාවට පනවා තිබෙන සම්බාධක අනුව තෙල් අපනයනය කිරීම ද තහනම් වෙනවා.
එහෙත් මැදපෙරදිග යුද්ධය නිසා හටගෙන ඇති තෙල් අර්බුදය හේතුවෙන් රුසියාවෙන් තෙල් අපනයනයට පනවා තිබු සම්බාධක දින 30 ක කාලයක් සඳහා ලිහිල් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
මේ අනුව රුසියාවෙන් මෙරටට තෙල් ලබාගත හැකි වුණත් එය කළ යුතු වන්නේ සම්බාධක ලිහිල් කිරීම අවසන් වන අප්‍රේල් මාසයේ මුල් සතියට පෙරයි. එතරම් කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාවට රුසියාවෙන් තෙල් ගෙන්වීමට හැකිවේදැ යි බොහෝ දෙනා විමසනවා.

මේ අතර අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ දුරකතනයෙන් සාකච්ඡාවක් පවත්වා ශ්‍රී ලංකාවට තෙල් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. ඉන්දීය අගමැතිවරයා එම ඉල්ලීම ඉටු කරන බවට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පොරොන්දු වී ඇති අතර කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය රජයෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 38000 ක් රැගත් නැවක් අද කොළඹ වරායට පැමිණෙන බව ප්‍රකාශ කළා. ඩීසල් මෙට්‍රික් ටොන් 20000 ක් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18000 ක් එම නැවේ අඩංගු බව ද එහි දැක්වුණා.
එම ඉන්දීය තෙල් එවනු ලබන්නේ අයි ඕ සී සමාගමට යි. එම සමාගම මඟින් මෙම තෙල් බෙදා හරිනු ඇති බව යි පැවසෙන්නේ.
ශ්‍රී ලංකාවේ තෙල් බෙදා හැරීමේ නිරතව සිටින සයිනොපැක් හා ෂෙල් යන සමාගම් ද මේ අයුරින් ඔවුන්ගේ සබඳතා මත තෙල් ගෙන්වා බෙදා හරියි. මෙයින් සිදුවන්නේ තෙල් මිල තීරණය කිරීමේ බලය ඛනිජ තෙල් සංස්ථාවෙන් ගිලිහී යෑම යි. ඒ අනුව තෙල් මිල වැඩි කොට වැඩි වැඩියෙන් ලාභ ලැබීමට එම සමාගම්වලට හැකිවෙන බව යි ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පැහැදිලි නැහැ. එමෙන් ම මේ අවස්ථාවේ ජාත්‍යන්තරය පිළිබඳව මනා අවබෝධයක් ඇති අයකු විදේශ කටයුතු ඇමති ධූරයට පත්කළ යුතු බවට ආණ්ඩුවට විවිධ පාර්ශ්ව වලින් යෝජනා ඉදිරිපත් වී ඇති බව ද දැනගන්නට තිබෙනවා.
ආණ්ඩුවට හිතවත් එත් පාර්ශ්වයක් විදේශ ඇමති ධූරය දේශපාලනය හා රාජ්‍යතන්ත්‍රික කටයුතු පිළිබඳ පුළුල් අත්දැකීම් තිබෙන ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාට ලබාදිය යුතු යැයි යෝජනා කොට ඇති බවට ද චේශපාලන විචාරකයින් පවසනවා.
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
මේ දිනවල මුළු රටේ ම කතාබහට ලක්වී සිටින බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතා ට පසුගිය සිකුරාදා කොළඹ මහාධිකරණය විසින් අධිචෝදනා භාරදෙනු ලැබුවා.
ඒ ඔහු පොහොර සංස්ථාවේ කළමනාකරුවකු ලෙස සේවය කළ කාලයේ සිදුකළ ටෙන්ඩර් ප්‍රදානයක දී රජයට රුපියල් ලක්ෂ 88 ක් පාඩු කිරීමේ චෝදනාව අනුව යි.
කුමාර ජයකොඩිට එරෙහි විශ්වාස භංගය අප්‍රේල් 10 විවාදයට
මේ හැර පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගය විසින් කුමාර ජයකොඩි මහතාට එරෙහිව පසුගියදා විශ්වාස භංග යෝජනාවක් කතානායකවරයා වෙත බාර දුන්නා.
ලක් විජය බලාගාරයට ගල් අඟුරු ගෙන්වීමේ දී බාල ගල් අඟුරු ගෙන්වන ලද බවට චෝදනා කරමින් ඉදිරිපත් කරැති මෙම විශ්වාස භංග යෝජනාවට මන්ත්‍රීවරුන් 36 දෙනකු අත්සන් කොට තිබුණා.
මෙම විශ්වාස භංග යෝජනාව අප්‍රේල් මස 10 වැනිදා පාර්ලිමේන්තුවේ දි විවාදයට ගන්නා අතර විපක්ෂයේ සෙසු පක්ෂ වන පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ හා සර්වජන බලය ද එම විශ්වාස භංග යෝජනාවට ඡන්දය පාවිච්චි කරනා බව ප්‍රකාශ කොට තිබෙනවා.
ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් 159 කු සිටින බැවින් මෙම විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම පහසුවෙන් කළ හැකි වන නමුත් එයින් ආණ්ඩුවේ ප්‍රතිරූපයට ඇතිවන කැළල ලෙහෙසියෙන් මැකී නොයනු ඇතැ යි දේශපාලන විචාරකයින් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙතරම් චෝදනා එල්ලවී තිබෙද්දිත් ආණ්ඩුව ජයකොඩි ඇමතිවරයා ආරක්ෂා කිරීම ප්‍රශ්නයක් බව යි.
