උණුසුම් පුවත්විශේෂාංගසතියේ සටහන

ආණ්ඩු බලය ගන්නවා වෙනුවට ශක්තිමත් විපක්ෂයක් වෙනුවෙන් ජනවරම ඉල්ලන පක්ෂ ඇති ලොව එකම රට සිරිලක ද?

ජගත් ගේ සතියේ සටහන  -  40

ඇල්මැරුණු මහ මැතිවරණයක්? මහ මැතිවරණය සඳහා තවත් ඇත්තේ දින 25 ක් පමණ යි. මැතිවරණයට නාමයෝජනා බාර ගැනීම පසුගිය 11 වන දායින් අවසන් වුණා. නාමයෝජනා බාරගෙන දින 9 ක් ගතවී ඇතත් මෙවර මැතිවරණ ව්‍යාපාරය ඇල්මැරුණු ස්වභාවයකින් පවතින බවයි පෙනෙන්නට තිබෙන්නේ

ආණ්ඩුවක් වෙනුවට ශක්තිමත් විපක්ෂකයට වරම් ඉල්ලන සිරිලංකාවේ විපක්ෂයේ පක්ෂ                  මැතිවරණයට තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ බලා පොරොත්තු වන්නේ තම පක්ෂයේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට යි. එහෙත් මෙවර මැතිවරණයේ එවැනි තත්ත්වයක් දකින්නට නැහැ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ජාතික ජන බලවේගය පමණක් ආණ්ඩුව පිහිටුවීම සඳහා ජනතාවගෙන් බලය ඉල්ලා සිටින නමුත් විපක්ෂයේ අනෙකුත් ප්‍රධාන පක්ෂ සියල්ලම ප්‍රධාන පක්ෂ සියල්ලම පවසන්නේ මේ මැතිවරණයෙන් ශක්තිමත් විපක්ෂයක් පිහිටුවීම සඳහා තමන් පත්කරන ලෙස යි. මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල ම පාහේ බෙදී වෙන් වී තිබීම යි.

ඒ නිසා එම පක්ෂවලට අවශ්‍ය විපක්ෂයේ වැඩි බලයක් ලබා ගැනීම මිස ආණ්ඩු බලය ලබා ගැනීමට නොවන බව පැහැදිලි යි.                                                                                එසේ ම මැතිවරණය තරග කරන ප්‍රතිපක්ෂ අතර මෙන් ම,  එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ද පවතින මනාප පොරය නිසා විපක්ෂයේ ඡන්ද සටන දුර්වල මට්ටමකට පත් වී තිබෙනවා.   

- හිටපු මැති ඇමැත්තන් 58 ක් ගෙවල් අස්සේ!

මේ හේතුන් නිසා ඡන්ද සටන ඒ ඒ පක්ෂවලට සීමා වී ඇති නමුත්, සාමාන්‍ය ජනතාවට එහි උණුසුම දැනෙන්නට පටන් ගෙන නැහැ. මෙසේ ඡන්ද උණුසුම ජනතාව අතරට නොයෑමට තවත් හේතුවක් වී තිබෙන්නේ, පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් 58 දෙනකු මෙවර තරග නොකොට ඡන්ද සටනින් ඉවත් වී සිටීම යි. මොවුන් අතරින් වැඩි දෙනෙක් මෙවර මැතිවරණයට තරග නොකරන්නේ ස්ථිර වශයෙන් ම පරදින බව දන්නා නිසයි. මෙසේ ඡන්ද සටනට ඉදිරිපත් වී නොමැති වැඩි දෙනා ඉකුත් පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයක්.                                                                                             පසුගිය ආණ්ඩුවේ ප්‍රබල ම පක්ෂය වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉකුත් ජනාධිපතිවරණයේ දී ලැබුණේ ඡන්ද 342781 ක් පමණයි. මහ මැතිවරණයට එම පක්ෂය මෙහෙයවන නාමල් රාජපක්ෂ මහතා ද මෙවර තරග නොකොට ජාතික ලැයිස්තුවට නම දමා ගෙන තිබෙනවා.

සිරිසේන පුතා වැඩ     ශ්‍රී ලංකා නිදහස් පක්සයේ නායකයා ව සිටි, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද, මෙවර තරග නොකරන අතර ඔහු මෙවර පොළොන්නරුව දිස්ත්‍රික්කයට, සර්වජන බලයෙන් තරග කරන සිය පුත්‍රයා වන දහම් සිරිසේන, ජයග්‍රහණය කරවීම සඳහා ඔහු ගේ ඡන්ද ව්‍යාපරයට එක්ව සිටිනවා.

අගමැති හීනේ ඉවතලා සජිත් විපක්ෂනායක වෙන්න දතකයි!!? ප්‍රධාන විපක්ෂය වන සමගි ජන සන්ධානය ද එහි පවතින අභ්‍යන්තර ආරවුල් නිසා මැතිවරණ ව්‍යාපාරයේ පපුබෑමකට ලක්ව ඇති බවයි පෙනී යන්නේ. මැතිවරණයට පෙර සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂක සේ පෙනී සිටි,  සජිත් ප්‍රේමදාස මහතා දැන් පවසන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රබල විපක්ෂය ලෙස කටයුතු කරමින් ආණ්ඩුවේ හොඳ වැඩවලට සහයෝගය දෙන බව යි.

ඇතුළෙන් ම අප්‍රසාදයක් එල්ල වෙච්ච සජිත්

පසුගිය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රබල ශක්තියක් වූ පාඨලී චම්පික රණවක මහතා කපා දැමීම, සමගි ජන බලවේගයේ ආරම්භක සාමාජිකයකු හා ගම්පහ නායකයා වූ අජිත් මාන්නප්පෙරුම මහතා ගම්පහ දිස්ත්‍රික්කයට පක්ෂයෙන් නාමයෝජනා භාර දී තිබිය දී, සති දෙකකට පෙර සමගි ජන බලවේගයට එක් වූ වරුණ දීප්ත රාජපක්ෂ මහතා ඔහුට ඉහළින් ගම්පහ ආසන සංවිධායකයා සේ පත් කිරීම, මැතිවරණයට නාමයෝජනා අත්සන් කර සිටි, රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ගේ නම නාමයෝජනා ලැයිස්තුවෙන් කපා හැරීම, ආදි හේතූන් නිසා සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂය තුළින් ම දැඩි අප්‍රසාදයක් හට ගෙන ඇති බව ද වාර්තා වෙනවා.

සමගි ජන බලවේගයේ කාන්තා නායිකාවක වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද පක්ෂයේ ප්‍රබලයින්ගෙන් එල්ල වූ බාධා හේතුවෙන් පසුගිය සතියේ සමගි ජන කාන්තා සංවිධානයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ඇය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ නායක සජිත් ප්‍රේමදාස මහතාටත් ඉහළින් සිටින, පක්ෂයේ ප්‍රබලයකුගෙන් එල්ල වන බාධා නිසා, තමා කාන්තා සංවිධානයේ සභාපති තනතුරින් ඉල්ලා අස්වූ බව යි.

හිරුණිකා‌ට දිව දෙකක්? 

එහෙත් පසුව සජිත් ප්‍රේමදාස මහතාත් පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාත් මැදිහත් වී හිරුණිකා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගෙන නැහැ.

පසුව හිරුණිකා නැවත මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමා කාන්තා සංවිධානයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වුණේ මහ මැතිවරණයට තමා තරග කරන බැවින් ඡන්ද ව්‍යාපාරය කරගෙන යෑමට අවශ්‍ය නිසා බව යි.

එක්සත් ජාතික පක්ෂයේ අනුග්‍රහයෙන් පිහිටුවා ගෙන තිබෙන ගෑස් සිලින්ඩරයේ ලකුණින් තරග කරන,  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  අපේක්ෂකයිනට සවිය දෙන, නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මැතිවරණයේ දී ප්‍රචාරක රැස්වීම් 10 කට පමණ සහභාගි වීමට තීරණය කර ඇතැ යි දැනගන්නට තිබෙනවා. ඔහු පසුගිය 17 වැනි දා විශේෂ ප්‍රකාශයක් කරමින් ගෑස් සිලින්ඩරයෙන් තරග කරන අපේක්ෂකයිනට ඡන්දය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙ මැතිවරණ ප්‍රචාරක රැළි මේ මස 28 වැනි දා සිට පටන් ගන්නා බවයි වාර්තා වෙන්නේ.
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ උප නායක අකිල විරාජ් කාරියවසම්, මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන් මෙවර මහ මැතිවරණයට තරග කරන්නේ නැහැ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය ඔවුන් ගේ ඡන්ද ප්‍රචාරක රැස්වීම් 19 වන දා ආරම්භ කළා. එහි ප්‍රථම රැළිය ඊයේ සවස හතරට තංගල්ල නගරයේ දී පැවති අතර දෙවන සහ තුන්වන රැළි අද (20) සවස 3. 00 ට කටුනායක සවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයේ දී සහ සවස 4. 00 ට හෝමාගම නගරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ජාතික ජන බලවේගය ඊයේ (19) සිට සෑම දිස්ත්‍රික්කයක ම ගෙයින් ගෙට ගොස් තම අපේක්ෂකයින් ගේ විස්තර ඇතුළත් ප්‍රචාරක පත්‍රිකා බෙදා හැරීම ආරම්භ කළා.  මේ අතර සර්වජන බලය ඡන්ද ව්‍යාපාරය ද අනුරාධපුරයෙන් දියත් කළා.

මෙවර මැතිවරණයට ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂ හතරෙන් අපේක්ෂකයින් 1048 ක් ඉදිරිපත් කොට ඇති නමුත් ඒ පක්ෂ ලැයිස්තුවල කාන්තාවන් සිටින්නේ 85 ක් පමණයි.

සෑම දිස්ත්‍රික්කයක ම නාමයෝජනා ලැයිස්තුවේ කාන්තාවන් එක් අයකු හෝ ඇතුළත් කොට තිබෙන්නේ ජාතික ජන බලවේගය පමණ ය. සමගි ජන බලවේගය ඔවුන් තරග කරන දිස්ත්‍රික්ක 13 සඳහා එකදු කාන්තාවක ගේ හෝ නමක් ඇතුළත් කර නැහැ.

මෙවර මැතිවරණයට කාන්තාවන් වැඩිම පිරිසක් එනම් 32 ක් එක්කර ඇත්තේ ජාතික ජන බලවේගය යි. අඩුම කාන්තාවන් පිරිසක් එනම් 14 ක් ඉදිරිපත් කොට ඇත්තේ සමගි ජන බලවේගය යි.  මෙතෙක් පැවති මහ මැතිවරණ වලින් අඩුම කාන්තා නියෝජනයක් ඇත්තේ මෙවර මැතිවරණයේ බවද දේශපාලන නිරීක්ෂකයින් පෙන්වා දෙනවා.

<<>>෴෴<<>>෴෴<<>>෴෴<<>>෴෴<<>>

2019  අප්‍රේල් මස සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව මඟින් විකාශය කළ වීඩීයෝවක සඳහන් කරුණු පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු විනිසුරුවරයකු වන අයි. එම්. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිටියක් පත්කරනු ලැබුවා.

එමෙන් ම පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිසි අයුරින් පරීක්ෂණ සිදු කොට නැති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කොමිටියක් විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහතා ගේ ප්‍රධානත්වයෙන් පත්කොට තිබුණා.

මේ වාර්තා අතරින් ඉමාම් කමිටු වාර්තාව 2024 ජුනි 25 වන දාත් අල්විස් කමිටුවේ වාර්තාව පසුගිය සැප්තැම්බර් 14 දාත් ජනාධිපතිවරයාට භාරදී තිබූ බවයි වාර්තා වෙන්නේ.

එහෙත් එම වාර්තා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ අතර ඒවා ප්‍රසිද්ධියට පත් කළේ ද නැහැ.

                                                              පිවිතුරු හෙළ උරුමයේ නායක හා සර්වජන බලයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උදය ගම්මන්පිල මහතා පසුගිය 14 වන දා මාධ්‍ය හමුවක් පවත්වමින් එම වාර්තා දෙක ප්‍රසිද්ධියට පත් කරන ලෙසත් ආණ්ඩුව දින හතක් ඇතුළත ඒවා ප්‍රසිද්ධ නොකළ හොත් තමා එම වාර්තා ප්‍රසිද්ධ කරන බවටත් ආණ්ඩුවට අභියෝගයක් කරමින් ප්‍රකාශ කළා.

ජනමාධ්‍ය ඇමති හා කැබිනට් ප්‍රකාශක විජිත හේරත් මහතා පසුදා (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී එම වාර්තා ළඟ තබා ගැනීම වරදක් බවත් එබැවින් ඒවා දින තුනක් ඇතුළත තමාට බාරදෙන ලෙසත් ගම්මන්පිල මහතාට දැනුම්දීමක් කළා. මෙම වාර්තා ඔහුට ලැබුණේ කොහෙන්දැ යි සෙවිය යුතු බව ද විජිත හේරත් මහතා සඳහන් කළා.        ජාතික ජන බලවේගයේ නායකයකු වන ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මේ ගැන අදහස් දක්වමින් රාජ්‍ය රහස් හෙළිකිරීම අපරාධයක් බව කියා සිටියා. එමනිසා ගම්මන්පිල මහතා මේ වාර්තා අණ්ඩුවට බාරදිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

නැවතත් ඔක්තෝම්බර් 16 වැනි දා මාධ්‍ය හමුවක් පවත්වමින් උදය ගම්මන්පිල මහතා තමා සතුව පවතින පාස්කු කොමිසන් වර්තාව ආණ්ඩුවට බාරදිය යුතු නම් එය ප්‍රසිද්ධ කරන බවට ආණ්ඩුව ප්‍රතිඥාවක් දිය යුතු යැ යි කියා සිටියා.

එවැනි පොරොන්දුවක් දෙන තෙක් එම වාර්තා රජයට බාරදීමට තමා සූදානම් නැතැ යි කී ඒ මහතා ජනාධිපතිවරයා ඒ වාර්තා ප්‍රසිද්ධ නොකළ හොත් ලබන සඳුදා තමා ඒවා ප්‍රසිද්ධ කරන බව ද අවධාරණයෙන් සඳහන් කළා.

ආණ්ඩුව මේ සමබන්ධයෙන් කුමන ක්‍රියා මාර්ගයක් ගනු ඇද්දැ යි දේශපාලන විශ්ලේෂකයින් විමසිල්ලෙන් පසු වෙනවා.

යම් හෙයකින් කලින් කියූ පරිදි ගම්මන්පිල මහතා හෙට (21) මේ වාර්තා ප්‍රසිද්ධ කළ හොත් එයින් ආණ්ඩුවේ ප්‍රධාන තනතුරුවලට පත් කොට සිටින උසස් නිලධාරීන් දෙදෙනකුට ප්‍රශ්නයක් වීමට ඉඩ ඇති බවයි එම විශ්ලේෂකයින් පවසන්නේ.   පාස්කු ප්‍රහාරය සිදුවුණු කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි, වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත්කොට සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න සහ වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් පත්කොට සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහත්වරුන් පාස්කු පරීක්ෂණ නිවැරදිව සිදු කොට නැති බැවින් ඔවුන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම කමිටු වාර්තා මඟින් නිර්දේශ කොට ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

- ජගත්  -