ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක් විගණකාධිපති ධූරයට

ඇය සමුදිකා ජයරත්න යි

ශ්‍රී ලංකාවේ 42 වැනි විගණකාධිපති ධූරයට පත්වීම් ලද්දේ කාන්තාවකි. ඇය එල්. එස්. පී. සමුදිකා ජයරත්න මහත්මිය යි. 

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (3) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජයරත්න මහත්මිය විගණකාධිපති ධුරය සඳහා පත්කිරීමට එකඟතාවය පළ කර ඇත්තේ ඒකමතිකව ය. 

මාස 10 ක් පුරාවට රජයේ විගණකාධිපති ධුරය හිස්ව පැවතියේ 41 වැනි විගණකාධිපතිවරයා සේ සේවය කළ චූලන්ත වික්‍රමරත්න මහතා ඉකුත් අප්‍රේල් මස විශ්‍රාම ගෑනීමෙනි. ඔහුගෛ් විශ්‍රාම ගැනීමෙන් පසු වැඩබලන විගණකාධිපතිවරයා සේ නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා දෙවතාවක් ම පත් කෙරුණි. එහෙත් තෙවන අවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඔහුගේ නම අනුමත කළේ නැත. 

අනතුරුව ජනාධිපතිවරයා විසින් තවත් නම් දෙකක් දෙවරක දී යොමු කළ ද ඒ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදි. සමුදිකා ජයරත්න මහත්මියගේ නම  ද එහි සඳහන්ව තිබුණත් ඊට ඒකඟතාවයක් පළ නොවුණි. 

එහෙත් අලුතින් පත් කෙරුණු සිවිල් සාමාජිකයින් තිදෙනා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සමුදිකා ජයරත්න මහත්මියගේ නම අනුමත කරන ලැබිණි.