ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

ඉන්ධන මිල වැඩි කිරීම පදනම් විරහිතයි. මිල සූත්‍රය වහාම හෙලි කරනු

මාධ්‍ය හමුවක දී උදය ගම්මන්පිල ආණ්ඩුවට කියයි

ඛනිජතෙල් සංස්ථාවේ සභාපතිතුමා ඊයේ මාධ්‍ය හමුවක් පවත්වලා තමන් කරන දානමය පුණ්‍ය කර්මයක් පිළිබඳ ජාතිය දැනුම්වත් කළා. ඒ තමයි පෙට්‍රල් ලීටරයක් රුපියල් 430ක් පිරිවැය වුණත් විකුණන්නේ රුපියල් 398කටලු. ඒ වගේම රුපියල් 587ක් පිරිවැය වන ඩීසල් ලීටරයක් තමයි රුපියල් 382ට විකුණන්නේලු. එහෙම බලන කොට නම් තෙල් සංස්ථාවේ සභාපතිතුමා අපි ගැන අනුකම්පා කරලා දැවැන්ත දානමය පිංකමක් කරන බව පේනවා. නමුත් වෙළඳපොලේ මිල ගණන් එක්ක මේ සංඛ්‍යා ගැලපෙන්නේ නෑ.

සිංගප්පූරුවේ ප්ලැට්ස් මිල දර්ශකයේ මාසික සාමාන්‍ය අනුව තමයි තෙල් සංස්ථාව පෙට්‍රල් සහ ඩීසල් සැපයුම්කරුවන්ට මිල ගෙවන්නේ. 2026 මාර්තු මාසයේ පෙට්‍රල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 130යි. ඒ කියන්නේ පෙට්‍රල් ලීටරයක මිල වෙන්නේ රුපියල් 253යි. නැව් ගාස්තු, රක්ෂණය සහ සැපයුම්කරුගේ ලාභය එකතු කළත් මේක 253 සිට 430 දක්වා මිල වැඩි වුණේ කොහොමද? ඒ වගේම 2026 මාර්තු මාසයේ ඩීසල් බැරලයක සාමාන්‍ය මිල ඩොලර් 150යි. ඒ කියන්නේ ලීටරයක මිල රුපියල් 292යි. එහෙම නම් සභාපතිතුමා කියන විධියට පිරිවැය 587ක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වුණේ කොහොමද?
මාලිමාවේ නායකයෝ කියන පච දිහා බැලුවාම සභාපතිතුමා කියන්නෙත් ටොම් පචයක් කියලයි අපට හිතෙන්නේ. ඒ නිසා පෙට්‍රල් සහ ඩීසල් මිල ගණනය කරපු විධිය දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා. ඒ නිසා බොරු ඉලක්කම් කියලා ජනතාව රවටන්නේ නැතිව තෙල් සංස්ථාවේ මිල සූත්‍රය වහාම ප්‍රසිද්ධ කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.
තෙල් මිල මෙතරම් වැඩි වුණේ ලෝක වෙළඳපොලේ මිල ඉහළ නිසා නොවේ. ආණ්ඩුව දැවැන්ත බද්දක් අය කරන නිසා. ඒ බද්ද අඩු කළා නම් ජනතාවට සහන මිලට තෙල් මිල දී ගන්න පුළුවන්. ලෝකයේ තෙල් මත ඉහළ බදු තිබුණු රටවල් විශාල ගණනක් ඒ බදු අඩු කරලා ජනතාවට සහන දීලා තිබෙනවා. උදාහරණයක් විධියට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ස්විඩනය, නෝර්වේ, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය ආදි වශයෙන් යුරෝපය සෑම රටක්ම වගේ බදු අඩු කළා. ආසියාවේ රටවල් ගත්තොත් ඉන්දියාව, තායිලන්තය, ජපානය, දකුණු කොරියාව, පිලිපීනය ඉන්දුනීසියාව වගේ රටවල් ඉන්ධන මත බදු අඩු කරලා තිබෙනවා. බංගලිදේශය සහ මැලේසියාව ඉන්ධන සහනාධාර ලබා දීලා.
ඒ නිසා අපේ ආණ්ඩුවටත් ඉන්ධන මත තිබෙන දැවැන්ත බදු අඩු කරලා සහනාධාරයක් දෙන්න කියලා අපි බල කරනවා. මොකද වෙන වසරවල වගේ නොවේ 2025 දී අපට බදු පිට බදු ගහලා භාණ්ඩාගාරය පිරෙව්වා. ඒත් ආණ්ඩුවේ ආකාර්යක්ෂමතාවය නිසා ඒවා වියදම් කරන්න බැරි වුණා. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වචන වලින් කියනවා නම් භාණ්ඩාගාරය පිරිලා ඉතිරෙන්න සල්ලි තිබෙනවා. ඒ නිසා ඉන්ධන බදු අඩු කරන්න කිසිම ප්‍රශ්නයක් තිබෙන්න බෑ.
තෙල් සංස්ථාවේ සභාපතිතුමා කියනවා ජනතාව පෝලිම්වල ඉඳලා අප්‍රමාණව තෙල් මිල දී ගත්තු නිසා තෙල් අවසන් වුණාලු. ඇත්තෙන්ම ඩීසල් තොගය ඉවර වුණේ ජනතාව අප්‍රමාණව තෙල් මිල දී ගත්තු නිසා නොවේ. බාල ගල්අඟුරු වලින් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය වෙන කොට ඒ අඩුව පියවන්න ඩීසල් විදුලි බලාගාර ක්‍රියාත්මක කරන්න වුණු නිසා. ඒ නිසා බාල ගල්අඟුරුවල බර පැන යුද්දේ පෙන්වලා ජනතාව මත පටවන්න එපා කියන අනතුරු ඇඟවීම ආණ්ඩුවට කරනවා. යුද්දේ වෙනයි. සුද්දේ වෙනයි. යුද්දයේ බර ජනතාව දරන්න සූදානම් වුණත් කුමාරවරුන්ගේ සුද්දේ බර දරන්න ජනතාව සූදානම් නෑ.
2022 ඉන්ධන මිල ඉහළ යෑමත් සමග ආණ්ඩුව මේක සංසන්දනය කරන්න උත්සාහ කරනවා. ඒක දෙයාකාරයකින් වැරදියි. එක පැත්තකින් 2022 දී බොරතෙල් මිල ඩොලර් 139ට ගිහින් දීර්ඝ කාලයක් ඉහළ මිල ගණන් වල තිබුණා. නමුත් 2026 දී මාර්තු 9 තෙල් මිල ඩොලර් 119ක් වෙලා පහුවෙනිදාම ඇදගෙන වැටුණා. ඒ නිසා 2022 ඇති වුණු අර්බූදය අදට වඩා දරුණුයි.
අනිත් පැත්තෙන් 2022 දී තෙල් මිල වැඩි වීමට වැඩියෙන්ම බලපෑවේ ඩොලරය ඉතාම කෙටි කාලයක් ඇතුලත රුපියල් 185 සිට 370ට වැඩි වීමයි. එතකොට තෙල් මිල වැඩිවීම අපනයනකරුවන්ට ලොකු බලපෑමක් ඇති කලේ නෑ. එක පැත්තකින් තෙල් මිල වැඩි නිසා පිරිවැය වැඩි වුණා. අනිත් පැත්තෙන් ඩොලරය ඉහළ ගිය නිසා ආදායම වැඩි වුණා. නමුත් දැන් තෙල් මිල වැඩි වුණාට ඩොලරය වැඩි වෙලා නෑ. ඒ නිසා අපනයන ආදායම වෙනස් නොවී තිබිය දී තෙල් මිල නිසා පිරිවැය වැඩි වෙලා. එතකොට ආණ්ඩුව මේ පිරිවැයෙන් කොටසක් දරා ගත්තේ නැතිනම් අපේ අපනයනකරුවන්ට ලෝක වෙළඳපොලේ තරග කරන්න බැරි වෙනවා. මේ ගැන ආණ්ඩුවේ ඉක්මන් අවධානය යොමු නොකලොත් අපනයන වෙළඳපොල කඩා වැටිලා එක පැත්තකින් අපිට ඩොලර් ඉපැයීම් නැති වෙන කොට අනිත් පැත්තෙන් ලක්ෂ ගණනකට රැකියා නැති වේවි.
මාව අත්අඩංගුවට ගත්තත් මාර්තු 31 පාස්කු මහ මොලකරු එළියට එනවා
ඊබ්‍රහීම් නානා ශානිලාට තරු පහේ හෝටලයකින් කෑම දීලා
සොනික් සොනික් හෙළි කළාට ශානි අබේසේකරට වසර දහයක සිර දඬුවම්
පසුගිය සතියේ ආණ්ඩුවේ මාධ්‍ය හමුවේ දී ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ඇමතිතුමා ගම්මන්පිල 27 දා නඩුවෙන් අත්අඩංගුවට පත් නොවුණොත් 31දා පාස්කු මහ මොලකරු හෙලි කරාවි යැයි කිව්වා. පුළුවන් නම් 27දාට මාව අත්අඩංගුවට අරන් පෙන්වන්න කියලා මම නලින්ද ඇමතිතුමාට අභියෝග කරනවා. හය පාරක්ම අත්අඩංගුවට ගන්න හදලා දැන් හති වැටලා වැඩේ අත් හැරලා කියලා අපි හිතුවේ.
ගරු ඇමතිතුමනි, මම අත්අඩංගුවට පත් වෙන්න හොරකම් මැරකම් සල්ලාලකම් කරලා නෑ. ආණ්ඩුවට අයිති බෝල්පොයින්ට් පෑනක්වත් ගෙදර ගෙනිහින් නෑ. ඒ නිසා ඔබතුමාලගේ ඇමතිවරුන්ගේ මට්ටමින් මාව මනින්න එපා කියලා ඉල්ලා සිටිනවා. අපි වැරදි වැඩ කරලා නැති නිසා තමයි කොන්ද කෙලින් තියාගෙන ඔබතුමාලාගේ ආණ්ඩුව බලයට පැමිණි දවසේ ඉඳන්ම වැරදි දේට වැරදියි කියන්නේ.
ඔබතුමාලා බොරු චෝදනා මත අත්අඩංගුවට අරගෙන උසාවි ඉදිරිපත් නොකර රැඳවුම් නියෝග මත මිනිස්සු තියා ගන්න රුසියොනෙ. පිල්ලෙයාන් සහ සුරේෂ් සලේ යන දෙදෙනාටම කලේ ඒකනේ. ඒ නිසා මහ මොලකරු හෙළි කරන එක නවත්වන්න බොරුවට අත්අඩංගුවට ගන්න පුළුවන් බව අපි දන්නවා. ඒකට අපි සුදානම්. අපි අත්අඩංගුවේ හිටියත් නිදහසේ හිටියත් මහ මොලකරු හෙළි කරන පොත මාර්තු 31දාට නිකුත් වෙනවා. ඒ වගේම මා ජීවතුන් අතර සිටියත් නැතත් මහ මොලකරු හෙළි කරන පොත මාර්තු 31දාට දොරට වඩිනවා.
අද රහස් පොලිසිය මේජර් ජනරාල් සුරේෂ් සලේගේ පවුලේ අයට ඔහුව බලන්න දෙන්නේ නැතිව දස වද දෙනවා. ගෙදර අය එන දවසටවත් ගෙදරින් කෑම එකක් ගේන්න දෙන්නේ නෑ. හැබැයි ඊබ්‍රහීම් නානා රැඳවුම් නියෝග යටතේ ඉන්න කොට නම් රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ඒ අයට රජ සැප දුන්නේ. 2019 රාමසාන් දිනයේ දී ඊබ්‍රහීම් පවුලෙන් රැඳවියන් ඔක්කෝටම තරු පහේ හෝටලයකින් දවල් කෑම ලබා දුන්නා. ඒ විතරක් නොවේ. රහස් පොලිස් නිලධාරින්ටත් එදා දවල් කෑම ඊබ්‍රහීම් නානාගේ පවුලේ අයගේ අනුග්‍රහයෙන්. මම මේ කියන්නේ කටකතා නොවේ. පාස්කු විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පොලිස් රැඳවියෙකු වුණු නාමල් අත්තනායක දිවුරුම් පිට ලබා දුන්නු ප්‍රකාශයේ මේක සඳහන් වෙන්නේ. විමර්ශන කොමිසමේ 2020 දෙසැම්බර් 18 සාක්ෂි සටහන් වල 108 පිටුව බැලුවොත් ඕනෑම කෙනෙකුට මේක දැක ගන්න පුළුවන්. රවි සෙනෙවිරත්නලා ශානි අබේසේකරලා ත්‍රස්තවාදින්ට රජ සැප දෙන අතරේ රණවිරුවන්ට අපා දුක් දෙන කොට මේ අය නියෝජනය කරන්නේ කාවද කියන එක කාටත් හිතා ගන්න පුළුවන්.
මාර්තු 31 නිකුත් කරන පොතේ මතු කරන එක් වැදගත් කාරණයක් තමයි බුද්ධි නිලධාරින්ට නීතිමය රැකවරණ ලබා දිය යුතුයි කියන එක. ඇමෙරිකාව සහ ඉන්දියාව වැනි රටවල බුද්ධි නිලධාරින්ට නීතිමය රැකවරණයක් තිබෙනවා. නමුත් අපේ රටේ එහෙම නෑ. සොනික් සොනික් කියන්නේ මුස්ලිම් අන්තවාදින් අතර අන්තවාදියෙකු වගේ සිටිය බුද්ධි නිලධාරියෙක්. නමුත් එයාගේ අනන්‍යතාවය රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා හෙලිදරව් කරනවා. ඒක ජීවිතය අනතුරේ හෙලන හෙලිදරව්වක්. මේක ඇමෙරිකාවේ දී කළා නම් ශානි මහත්තයාට අවුරුදු 10ක සිර දඬුවම් නියම වෙනවා. ලංකාවේ දී කරපු නිසා ශානි වෙනුවට සොනික් සොනික්ට හිරේ ඉන්න වුණා.
මීට කලින් 2002 දී පොලිසිය විසින් මිලේනියම් සිටි ආරක්ෂිත නිවසක් වට කරලා බුද්ධි නිලධාරින්ගේ අනන්‍යතාවය හෙලිදරව් කලා. මුතාලිෆ් වගේ ශ්‍රේෂ්ඨ රණවිරුවන් කොටින්ට දඩයම් කරන්න පුළුවන් වුණේ පොලිසිය විසින් අනන්‍යතාවය හෙලි කිරීමෙන්. නිලාම් වගේ රණවිරුවන් සදහටම රට දාලා ගියේ ඒ පාවාදීම නිසා. ශානිලා රවිලා නියෝජනය කරන්නේ ඒ පාවාදීමේ වර්තමාන පරම්පරාව. ඒවා මාර්තු 31 නිකුත් වන පොතේ තිබෙන නිසා තමයි පොතට බය වෙලා මේ දඟලන්නේ.