කෙටි කතාව
මුදිත ලතාට මහන්සියි
පාන්දර හතරට නැගිටලා ,කපල, කොටලා, හෝදලා ,බත් උයලා, බත් බැඳලා, දරවන්ට අන්දවලා, උදේටත් කවල පියසිරි ගේ කලිසම් කමිස මැදලා, සපත්තු දෙකත් ළඟටම වඩම්මලා හතයි දහයෙ කෝච්චියෙන් කොළඹ ගිහිල්ලා කොම්පියුටරේට කොට කොට ඉඳලා රෑ අඳුරත් එක්කම තදබද වුණු කෝච්චියෙන් ගෙදර එනකොට දරුවන්ගේ " හෝම් වර්ක්" සාලෙ මේසෙ උඩ.
"හෝම් වර්ක් කරන්නයි රෑට උයන්නයි දෙකක් බැහැ"
දැනටමත් දරුවන්ගේ ඇස් බාගෙට පියවිලා.පියසිරි එනකොට අටයි.දරුවො දෙන්නත් බෑ කියනවා රෑට බත් කන්න.පියසිරිට තේකක් හදල දීලා මුදිත ලතා දිව්වා හන්දියේ කොත්තු කඩයට.
එතන පෝලිම ගව්වක් දිගයි.මුදිත ලතාගේ වාරය එනකොට හරියටම නවයි දහයයි.කොත්තුව ගහලා ඔතලා බැඳලා දෙද්දී නවයයි විසිපහයි.හැල්මේ දුවගෙන ගිහින් ගෙට ගොඩ වෙනකොට නවයයි තිස් දෙකයි.
දරවෝ දෙන්නා එක පොදියේ සෙටිය උඩ.පියසිරි කට ඇරගෙන හාන්සි පුටුව උඩ.තුන්දෙනාම නිදි.රූපවාහිණිය විතරක් ලොතරයි අදිනවා බෝල උඩ වීසිකර කර.
" මීට හොඳයි මම ම ඉව්වානම් "
මුදිත ලතා වාඩිවුණා.දුවලම ගෙවිච්ච කකුල් දෙකට විවේකයක් දෙන්න හිතාගෙන .