ජගත් ගේ සතියේ සටහන - 47
ජනපති අනුර ගේ ප්‍රථම නිල විදෙස් ගමන
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රථම විදේශ සංචාරය ආරම්භ කරමින් ලබන සෙනසුරාදා (14) ඉන්දියාව බලා පිටත් ව යෑමට නියමිත යි.
ජනාධිපතිවරයා 15 වනදා නවදිල්ලියේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවන අතර ඉන්දීය රජයේ තවත් ප්‍රධානීන් රැසක් ද හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
මෙම සංචාරයට ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු ඇමති, ආර්ඡික සහයෝගිතා රාජ්‍ය ඇමති අනිල් ජයන්ත යන මහත්වරුන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනකු ද සහභාගිවනු ඇති බව ද දැනගන්නට තිබෙනවා.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර ද ඉන්දීය රජයේ ආරාධනයෙන් නවදිල්ලියට ගිය අතර එහිදී ඔහු ඉන්දීය විදේශ කටයුතු ඇමති සුබ්‍රමනියම් ජෙයශංකර් හා ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් යන මහත්වරු හමුවී සාකච්ඡා කොට තිබුණා.
පසුගිය සැප්තැම්බර් මස 21 වැනිදා පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිපල ප්‍රකාශ වූ වහාම ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජ්හා මහතා රතු මල් කළඹක් ද රැගෙන පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු කාර්යලයට පැමිණ අනුර කුමාර දිසානායක මහතා හමුවී සුබ පැතුවා. එපමණක් ද නොව අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් පසු ඔහු හමුවූ මුල් ම රාජ්‍යතාන්ත්‍රිකයා වූයේ ද සන්තෝෂ් ඡා මහතා යි.
ඉන් සතියකට පසු ශ්‍රි ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ ඇමති සුබ්‍රමනියම් ජෙයෂංකර් මහතා නවදිල්ලි නුවරට පැමිණෙන ලෙස ජනාධිපතිවරයාට ආරාධනා කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එවා තිබූ ආරාධනා ලිපිය බාරදෙනු ලැබුවා.
එහෙත් ඒ වන විට පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අරඹා තිබූ බැවින් ජනාධිපතිවරයාට එහි යාමට අවස්ථාවක් තිබුණේ නැහැ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටිය දී එනම් ජුලි මාසයේ සිට ඔහුට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා යෑමට විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් අවස්ථා ගණනාවකදීම උත්සාහ දැරූ නමුත් ඉන්දියාවෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අන්තිමේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට නවදිල්ලියෙන් ආරාධනයක් ලැබුණේ අවුරුද්දකටත් පසුව යි.
ඉන්දීය නිල සවාරියෙන් පස්සෙ අනුර චීනෙට ලබන මහේ
එසේ තිබිය දී ඉන්දියාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා කෙරෙහි විශේෂ උනන්දුවකින් කටයුතු කිරීමදේශපාලන අංශ අතර කතාබහට ලක්වී තිබෙනවා.
තානාපති ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවල දී දෙරටට බලපාන වැදගත් මාතෘකා ගණනාවක් ගැන අවධානය යොමුවනු ඇති. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රදානයන්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ඉන්දීය ආධාර ඇතිව සිදු කිරීමට යන ඩිජිටල්කරණය හා ඒ මඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඩිජිටල් හැඳුනුම්පත් ලබාදීමේ ව්‍යාපෘතිය, ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ECTA) ඉන්දියාවෙන් ලැබෙන නිවාස ව්‍යාපෘති, උතුරේ යටතල පහසුකම් සංවර්ධනය හා ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව තුළට පැමිණ මසුන් ඇල්ලීමේ ප්‍රශ්නය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැ යි ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණා.
සිය ඉන්දීය නිල සංචාරයෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන ජනවාරි මාසයේ දී චීනයේ සංචාරයක යෙදීමට නියමිත බව ද වාර්තා වෙනවා.
≈≈≈≈≈ ≈≈≈≈≈ ≈≈≈≈≈
නව ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීම මේ දිනවල සිදු කරමින් යනවා.
එක් එක් කාරක සභා සඳහා පත් කිරීමට මන්ත්‍රීවරුන් ගේ නම් එවන ලෙස කතානායකවරයා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ නායකයින්ට පසුගිය සතියේ දැනුම් දුන්නා.
මෙම කාරක සභාවලින් වැදගත්ම කාරක සභාව ලෙස සැලකෙන්නේ ගෘහ කාරක සභාවයි. පාර්ලිමේන්තුවේ රැස්වීම් ඇතුළු සියලු කටයුතු පිළිබඳ තීරණ ගනු ලබන්නේ මෙම කාරක සභාව මඟිනු යි. කතානායක, නියෝජ්‍ය කතානායක, කාරක සභා නියෝජ්‍ය සභාපති, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂ නායක හා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙම කමිටුවේ ස්ථිර සාමාජිකයින් වන අතර අනිකුත් සාමාජිකයින් ලෙස පත්වන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයිනුයි.
මෙවර පාර්ලිමේන්තුවට දේශපාලන පක්ෂ 12 කින් මන්ත්‍රීවරුන් තේරී පත්වී ඇති අතර උතුරෙන් ස්වාධීන කණ්ඩායමකින් ද මන්ත්‍රීවරයකු පත්වී සිටිනවා. මේ සියලු දෙනා ම ගෘහ කාරක සභාවට
කොපාව හර්ෂ ට ලැබේවි ද ?
සහභාගිවීම සඳහා අවසර ඉල්ලා තිබුණත් සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ ගෘහ කාරක සභාවේ සාමාජිකයින් ගණන 16 ට වඩා වැඩිකළ නොහැකි බවයි.
තමන්ට ද ගෘහ කාරක සභාව නියෝජනය කිරීමට ඉඩ ලබා දෙන ලෙස පක්ෂ නායකයින් ගණනාවක් කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා. එහෙත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නකියෝග අනුව එහි සාමාජිකයින් ගණන වැඩි කළ නොහැකි බවයි ආණ්ඩුව පවසන්නේ.
මේ අතර පාර්ලිමේන්තුවේ තවත් වැදගත් කාරක සභාවක් වන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හා රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවට සභාපතිවරුන් පත් කිරීමේ දී කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දෙන බව සභානායක බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා.
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ධූරයට අණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු පත් කිරීමට තීරණය කොට තිබෙනවා. සභානායක බිමල් රත්නායක මහතා පැවසුවේ කෝප් කමිටුවට මෙවර පරීක්ෂණ පැවැත්වීමට සිදුවී තිබෙන්නේ පසුගිය ආණ්ඩුවේ ගණුදෙනු ගැන බැවින් එයට චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරයකු එහි සභාපති ධූරයට පත්වුණොත් ප්‍රශ්නයක් විය හැකි බැවින් මේ තීරණය ගත් බවයි.
කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලැබී ඇති බැවින් ඒ සඳහා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට තිබෙනවා. එහෙත් එහි තවත් පිරිසක් යෝජනා කොට ඇත්තේ පසුගිය මැතිවරණයෙන් පරාජය වූ එරාන් වික්‍රමරත්න මහතා පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්කොට කෝපා කමිටු සභාපති ධූරයට පත් කරන ලෙසයි.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 5 කවදා පිරවේ ද?
මේ අතර පාර්ලිමේන්තුවේ හිස්ව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 5 ක් සඳහා සුදුසුකම් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයට හා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට තවමත් හැකි වී නැහැ.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි අර්බුදයකට මුහුණ දී සිටින්නේ ඒ සඳහා 4 දෙනකු තෝරා ගැනීමට නොහැකිවීම නිසයි. ඉම්තියාස් බාකීර් මාකාර්, සුජීව සේනසිංහ, ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර, එරාන් වික්‍රමරත්න හා තුෂාර ඉඳුනිල් යන හිටපු මන්ත්‍රීවරුන් ගේ නම් ඉදිරිපත් වී තිබෙන නිසා තීරණයක් ගත නොහැකි ත්ත්වයකට සජිත් ප්‍රේමදාස මහතා පත්වී සිටින බව එම පක්ෂයේආරංචි මාර්ග පවසනවා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු ඇමති කංචන විජේසේකර මහතා ගේ නම මුල සිට ම යෝජනා වී තිබුණත් දැන් ඒ සඳහා මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගේ නම ද ඉදිරිපත් වී ඇති බව ද දැනගන්නට තිබෙනවා. පසුගිය සිකුරාදා දිනේෂ් ගුණවර්ධන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවති බව ද වාර්තා වෙනවා. ඒ හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල කණ්ඩායම එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ෆායිස් මුස්තාපා මහතාට ලබා දෙන සේ ඉල්ලා ඇති බව ද ආරංචි මාර්ග පවසනවා.
මේ ප්‍රශ්න නිසා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පහට නම් යැවීම තවත් කල් යනු ඇති බව යි දැනගන්නට තිබෙන්නේ.
මත්පැන් බලපත්‍ර 361 ක් රනිල් දීලා 
පසුගිය මහ මැතිවරණයට පෙර එවකට ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමති වශයෙන් මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර ලබාදීම විපක්ෂයේ මැතිවරණ රැස්වීම්වල ප්‍රධාන මාතෘකාවක් වී තිබුණා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද රැස්වීම්වල දී කියා සිටියේ තම ආණ්ඩුවක් යටතේ ඒ සියලු මත්පැන් බලපත්‍ර අවලංගු කරන බවයි. ජාතික ජන බලවේගය ද එම පක්ෂයේ රැස්වීම්වල දීත් මෙය ප්‍රධාන මාතෘකාවක් බවට පත්කරගෙන තිබුණා.
පසුගිය සතියේ සභානායක ඇමති බිමල් රත්නායක මහතා පසුගිය ආණ්ඩුව විසින් මත්පැන් බලපත්‍ර ලබා දී තිබුණු ආකාරය සංඛ්‍යා ලේඛන ද සහිතව පාර්ලිම්න්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව වයින් ස්ටෝර්ස් සඳහා බලපත්‍ර 189 ක් හා බාර් සඳහා බලපත්‍ර 172 ක් ඇතුළු බලපත්‍ර 361 ක් නිකුත් කොට තිබූ බව සභානායකවරයා ඒ ඒ දිස්ත්‍රික්කවලට ලබා දී ඇති බලපත්‍ර සංඛ්‍යාව ගෙන හැර දක්වමින් ප්‍රකාශ කළා.
මේ අවස්ථාවේ විපක්ෂය එම මත්පැන් බලපත්‍ර සඳහා නිර්දේශ ලබා දී ඇති මැති ඇමතිවරුන් ගේ නම් ප්‍රකාශ කරන්නැ යි ඉල්ලා සිටියා. එවිට බිමල් රත්නායක මහතා පැවසුවේ ඒ නම් මුදල් අමාත්‍යාංශයෙන් ලබා ගෙන ඉදිරියේ දී සබාවට ඉදරිපත් කරන බව යි.
මේ මත්පැන් බලපත්‍ර 361 ලබා දී තිබෙන්නේ මේ වසරේ ජනවාරි 1 වනදා සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී යි. සමහර මන්ත්‍රීවරුන් මත්පැන් බලපත්‍රලබාදීම සඳහා රුපියල් ලක්ෂ 59 ක පමණ මුදල් ව්‍යාපාරිකයින්ගෙන් ලබාගෙන ඇති බව ද ඒ දිනවල රාවයක් පැවතුණා
මේ සම්බන්ධයෙන් චෝදනාව එල්ල වුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යි. මේ ගැන කොළඹ මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී පක්ෂයේ මැති ඇමති පිරිසක් වික්‍රමසිංහ මහතාගෙන් විමසා තිබුණා.
''ඔව් මම ඒවා ලබා දුන්නා'' - මත්පැන් බලපත්‍ර ගැන රනිල් කියයි
''ඔව් මම ඒවා ලබා දුන්නා. හැබැයි කාටවත් නිකං දුන්නේ නැහැ. එක් බලපත්‍රයකට රුපියල් මිලියන 20 ක් 30 ක් අතර මුදලක් ලබා ගත්තා. ඒ මුදල් ගියේ භාණ්ඩාගාරයට යි. ආර්ථිකය බිඳ වැටී තිබෙන අවස්ථාවක ඒ මත්පැන් බලපත්‍ර විකිණීමෙන් රජයට රුපියල් බිලියන ගණනාවක ආදායමක් ලැබුණා. මා ඒ පිළිබඳ විස්තර ඉරිදා වන විට මාධ්‍යයට ලබා දෙනවා" යැයි රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ට පිළිතුරු වශයෙන් පවසා තිබෙනවා.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේ දී හා අතුරු සම්මත ගිණුම පිලිබඳ විවාදයේ දී විවාද කළ යුතු ප්‍රශ්න රාශියක් තිබුණ ද විපක්ෂය ඒවා ඉස්මතු නොකළ බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
රටේ ආහාර මිල, ආහාර හිඟය, පොල් මිල, විදුලි බිල, පොහොර සහනාධාරය නොගෙවීම, ගංවතුර සහන දීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු ජනතාවට බලපාන ප්‍රශ්න රැසක් තිබුණ ද ඒ කිසිවක් පාර්ලිමේන්තුවේ ප්‍රමුඛ විවාදය නොවන තැනට ආණ්ඩුව දක්ෂ ලෙස ආධුනික මන්ත්‍රීවරුන් මෙහෙය වූ බව එක් දේශපාලන විචාරකයකු පවසා තිබුණා.