කලාව සහ දේශපාලන දෘෂ්ටිය (1983) - සයිමන් නවගත්තේගම
''පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පසුගිය වසර ගණනාවක් පුරාම පවත්වාගෙන යනු ලබන කලා එකමුතුවක් තියෙනවා. එය හැඳින්වෙන්නේ සරස්වතී මණ්ඩපය කියලයි. මෙම මණ්ඩපයට සහභාගි වන අය අතර සිටිනවා මට අදහාගත නොහැකිවන තරමේ කලාවට ජීවිතය කැප කළ මිනිසුන්. මේ අයට , ආචාර්ය පදිවි තිබුණට මං හිතන්නේ ඒ අය තමන්ගේ දක්ෂතා , අද වෙන තුරු පාවිච්චි කරලා නෑ, තමන්ගේ අඹු දරුවන්ට ප්‍රයෝජනයක් එන ආකාරයට. එතන ඉන්නවා ඕනෑම සංගීත භාණ්ඩයක්, ඕනෑම ආකාරයකට හසුරුවන්නට දන්න අය. ඕනෑම රාගයක් ඕනෑම ශෛලියකට, වාදනය කරන්න දන්න අය. නමුත් මේ වන තුරු ඒ කිසිම කෙනෙකු, මෙම කුසලතා විකුණගෙන නෑ''
''ඒ ගොල්ල සෑම මාසයකම පළමුවන සෙනසුරාදා, රාත්‍රියකම එක්කාසු වෙනවා එක තැනකට. එළිවන තුරු ගායනය වාදනය කරනවා. එකිනෙකාගේ දක්ෂතාවන්, කලාවන් අගය කරනවා. නිහඬ ආස්වාදනයෙන් අන්‍යෝන්‍ය මෛත්‍රියෙන්, ඉවසීමෙන්, පසුවදා විසිර යනවා. මා අවුරුදු ගණනක් දුටු එක සිද්ධියක් තියෙනවා. නා නා විධ රැකට් වලට සම්බන්ධ නොවී, තවම අපට පුළුවනි කලාව රැක ගන්න. කලාවේ නියම ආස්වාදය ලබා ගන්න. එහි උපරිම ඵල නෙලා ගන්න, ජීවිත ආශ්වාදය ලබා ගන්න, ඔව්වර පන්දම්, කැපිලි අවශය නෑ. ගුවන් විදුලිය, රූපවාහිනිය අවශ්‍ය නෑ"
''මෙම මණ්ඩපය තුළ ඉතාම හොද සාකච්ඡා පැවැත්තෙනවා. එය ඉතාම හොද නිහඬ සංවාද මණ්ඩපයක්. ඊයේ පෙරේදා නොබෙල් ත්‍යාගය ලැබුණා, ගේබ්‍රියෙල් ගාෂියා මාකේස් කියන, ලතින් ඇමෙරිකානු නව කථාකාරයට. අපේ රටේ කියවන්නන් අතර ප්‍රසිද්ධයි, අඩුම තරමේ ඔහුගේ එක් නවකතාවක්. එම නවකතාවේ නම "One Hundred Years of Solitude". සරත්වති මණ්ඩපය තුළ මෙම නවකථාව සාකච්ඡා කෙරෙන අතර, මෙම නව කථාකාරයා ගැන, මා අතිරේක තොරතුරු කීපයක් හෙළි කළා. මා කීවා උපන් මව්බිම වන කොලොම්බියාවෙන්, පිටුවහල් කරපු කෙනෙකු බව. ඔහු මාක්ස්වාදයෙකු බව. මෙම මණ්ඩපයේ සිටි ඉතාම තැන්පත්, මහාචාර්යවරයෙකු කලබල වුණා, ඔහු මා සමග තර්ක කළා. ඔහුගේ අදහස අනුව මෙබදු සාරගර්භ, නිර්මාණයක් කළ කෙනා මාක්ස්වාදයෙකු වන්නට බැහැ. අඩු ගණනේ ඔහු ලියන විට, මාක්ස්වාදය අමතක කරන, වෙන්නට පුළුවනි. කොටින්ම මොහුගේ අදහසට අනුව, මාක්ස්වාදී දෘෂ්ඨියත්, කලාත්මක නිර්මාණයත්, එකට එක්කාසු කරන්න බැරි සිද්ධි දෙකක්. නමුත් පුදුම සිද්ධි තුනක් මෙතැන මා දුටුවා. අන්තර් ජාතික ප්‍රචාරක මාධ්‍යත්, සත්‍යත් අතර සම්බන්ධය හා, පරස්පර විරෝධතාව අපේ මිත්‍ර මහාචාර්ය තුමාට අදහගන්නට බැරිවීම. අධිරාජවාදයේ උපරිම ශක්තිය හා පීඩනය පවතින රටක වුණත්, හොඳ කලාකාරයින් හිස කෙළින් තබාගෙන සිටින බව, හොඳ මාක්ස්වාදියෙකුට හොඳ කලාකාරයෙකු ද විය හැකි බව"
''මගේ පුද්ගලික මිත්‍රයෙකු වන මෙම මහාචාර්ය තුමාට, තවම වටහාගන්නට බැහැ, නෝබෙල් ත්‍යාගය ලැබු, සෝවියට් දේශයෙන් පිටට ආ, (එසේ වන්නට ඉඩ දුන්) සොල්සෙනිට්සින්ට, අන්තර් ජාතික ජන සංනිවේදන මාධ්‍යයෙන් මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුණේ මොකද කියල"
''ඇමෙරිකාවේ හුරතලුන් වන තිරශ්චීන ඒකාධිපතියන්, රජ කරන කොලොම්බියාවෙන් පිටමං කරපු, නව කතාකාරයෙකුට නෝබෙල් ත්‍යාගය ලැබුණ විට, එම නව කතාකාරයා ගැනත්, කොලොම්බියා රාජ්‍යය ගැනවත්, මොනම තොරතුරක් අපේ රටේ, පත්‍ර වලවත් සැලකිය යුතු ආකාරයකට, තවම පළවුණේ නැත්තේ මොකද කියල"
පූර්විකාව ඉදිරිපත් කිරීමෙන් අප බලාපොරොත්තු වූයේ, කලාව තුළ අන්තර්ගත වන්නා වූ කලාකාරයා ගේ, දෘෂ්ටිය පිළිබඳව ඇති, එක්තරා මතයක් සාවද්‍ය කිරීමයි. මේ පිළිබඳව අප කැමතියි පළමු කොටම, සිග්මන්ඩ් ප්‍රොයිඩ් සහ ඔහුගේ ගෝලයින් දෙදෙනා වන, අර්නස්ට් ජෝන්ස් සහ ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් යන, මනෝ විදාඥයන් දෙදෙනාගේ මතයක්, විග්‍රහ කොට බැලීමට. ඔවුන්ගේ ප්‍රධාන මත INTRODUCTORY LECTURES ON PSYCHOANALYSIS (මනෝ විශ්ලේෂණය පිළිබඳ හැඳින්වීමේ දේශන) APPLIED PSYCHOANALYSIS (ප්‍රායෝගික මනෝ විශ්ලේෂණය) PRACTICE AND THERAPY OF INDIVIDUAL PSYCHOLOGY (පුද්ගල මනෝවිදාව පිළිබද න්‍යාය සහ ව්‍යවහාරයා) යන ග්‍රන්ථ තුනේ සැකෙවින් දැක්වෙයි.
මේ ග්‍රන්ථ තුනේ දැක්වෙන මත, ඒ අයගේ ශ්‍රේෂ්ඨතම ගෝලයා වන කාල් යුං (CARL JUNG) ගේ, කාලය වන විට බෙහෙවින්ම සංකරණය වූවා. නමුත් මනෝවිද්‍යාවට කොහොම වුණත්, කලා ක්ෂේත්‍රයේ දී අපට තවම රසවත්, ප්‍රොයිඩ්ලගෙ පැරණි අදහස්. ප්‍රොයිඩ්, ඇඩ්ලර් සහ අර්නස්ට් ජෝන්ස් එකම පොදු සිද්ධාන්තයක, විවිධ අංග අවධාරණය කරන, තරමක වෙනස් මතධාරීන් වුවත්, ඒ අයගේ මත තුනම, පොදු සිද්ධාන්තයකට ගොනු කරගත ගැකියි. මේ විද්වතුන්ගේ මතය සරල ලෙස විග්‍රහ කළොත්, යථාර්ථ ජීවිතයේ තම පෙම්වතිය ලබාගත නොහැකි වීමෙන්, රෝගී වී ඔසවාගත් ලෝකයක, තම පෙම්වතියට ගී කියමින්, සැබැවින් මානසික රෝහලක වාසය කරන මිනිසාත්, කලාකරයාත් අතර ඒ තරම්ම වෙනසක් නැහැ. දෙදෙනා ම යථාර්ථය හා ගැටීමෙන්, අසාර්ථක භාවයකට පත්, මනඃකල්පිත ලස්සන ලෝකයක් මවා ගෙන, තම අභිමතාර්ථය සාක්ෂාත් කර ගනිති. මේ අතින් කලා කෘතියක් ඉටු කරන කාර්යයේත්, ලොතරැයි පතක් මිල දී ගැනීමේ ක්‍රියාවත් අතර වෙනසක් නැති කරයි. ඉතාම නීරස ලෝකයක අවලස්සන මධ්‍යයෙහි, උණුසුම් බලාපොරොත්තු සහගත ලස්සන භවනක, තාවකාලිකව ගෝ වැජඹීමට කලා කෘතියක් උදව් වෙනවා විය හැකියි.
අද වන විට අපි ප්‍රොයිඩ්ලගේ මනෝ විශ්ලේෂණ ක්‍රමයේ, ඇතැම් අංශ වුවත් පිළිගන්නේ විවේචනාත්මකවයි. කලා ආවේගය (ART IMPULSE) උපදින්නේ, යටි සිතේ ජාගර ඉඩ් සංස්කාරයේ (ID) ක්‍රියාකාරිත්වයක් නිසා විය හැකියි. එම ක්‍රියාවලිය තුළ උතුම් වූ ජවනිකාවක් ද නැතුවා වෙන්න පුළුවනි. නමුත් මෙසේ යටි සිතේ අසාධු තුළින් උපදින, බලවේගය සෞන්දර්‍යාත්මක නිර්මාණයක්, බිහිවීමෙන් කෙළවර වන්නට, උඩු සිතේ කොටස් දෙකක්, වන EGO අහංකාර කොටසත්, SUPER EGO නමැති අධි අහංකාරාත්මක, උත්තරාත්මක කොටසත් ඉවහල් වෙනවා. ජලයේ ඇති ධාතු කොටස් ද, ජලයෙන් උඩ ඇති වාතයේ සූර්යාලෝකයේ සාරය ද, සම්මිශ්‍රණව මඩ ගොඩකින් උපදින නෙලුම් මලක්, අප අගය කරන්නේ යම්සේද, එසේම කුමන අධම චිත්ත හේතූන් නිසා වුවද, අවසාන ඵලයක් වශයෙන් නිපදවන කලා වස්තුව ද, අපි සෞන්දර්යාත්මක ලෙසින් වැලඳ ගන්නවා. ප්‍රතිඵලය හැම විටම අපි හේතුව අනුව විනිශ්චය කරන්නේ නැ. මේ අනුවම කලාකාරයාත්, ලොතරැයි ටිකට් පතක් ගත් පුරවැසියා මෙන්ම, ස්වයං මෝහණයට පත්ව මවන්නා වූ ලෝකය, ඒ හේතුව නිසාම අපි ප්‍රතික්ෂේප නොකරමු.
ඊයේ පෙරේදා සරසවි ශිෂයයෙකු ලියන ලද කවියක් පෙළක් කියවීමි.
"මන්ද තත පෙළු වැනිය
ඔබ නඟන සුසුම් හඬ
උපරිම තත පෙළු වැනිය
ඔබ නඟන සිනහ හඬ
තත් සතම සැළු වැනිය
සංධවනි සුසඟ කොට
ඔබේ නිහඬ බව මෙමට"
(රන්ජිත් ආනන්ද - පාර ඇසීම 12 පිටුව)
මෙම කවිය ලිවීමට හේතුවූයේ බොළඳ ප්‍රේම සම්බන්ධයක් වන්නට පුළුවනි! නමුත් මෙම කවිය උත්තම ගණයේ කාව්‍යක් ද, අධම කාව්‍යක් ද, යන්න තීරණය කිරීමට, එම බොළද අත්දැකීම් කිසිසේත් බලපාන්නේ නැත.
ප්‍රොයිඩ්ගේ මතයම පිළිගත්තත් අපට පෙනෙනවා, කලා කෘතියක් නිෂ්පාදනය වීමෙන් අවසන් වන නිර්මාණාත්මක ක්‍රියාවලින් තුළ, ඉඩ් (ID) සංස්කාරය තුළින් මතුවන කලා ආවේශය, EGO අහංකාරයෙන් ඒකාග්‍රතාවයෙන් සංස්ලේශණය වනවා. හර්බර්ට් රීඩ් තම ග්‍රන්ථයේ විග්‍රහ කරන පරිදි "AND FINALLY it may be assimilated to spiritual those ideologies aspirations which are the peculiar creations of the super ego" (HERBERT READ analysis and Literary Criticism Faber- Page 109) වෙනත් වචන වලින් කිව්වොත්, ප්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණය අනුව වුව ද, ඕනෑම කලාවක් අවසානයේ දී අර්ථවත් කලා කෘතියක් වශයෙන් නිමැවෙන්නේ, උඩු සිතේ අධි අහංකාර උත්තරාත්මක කොටසේ, බුද්ධිමය සමාජමය දෘෂ්ඨීන් වලින්, සිතුම් පැතුම් වලින් පෝෂණය විමෙනුයි. ඒ අනුව අපට පෙනෙනවා, කිසියම් නිවැරැදි හෝ සාවද්‍යය හෝ දෘෂ්ඨියක බලපෑමෙන් තොරව, හුදු පවිත්‍ර සෞන්දර්යාත්මක වස්තුවක් වශයෙන්, පහළ වූ කලා කෘතියක් මේ ලෝකයේ නැති බව.
බොහෝ විට කලා කෘතියක අනිවාර්යයෙන්ම, කලාකාරයාගේ දෘෂ්ඨිය පිළිබිඹු වන බව, බොහෝ බුද්ධිමත් අය පිළිගන්නා නමුත්, සමාජවාදි වැනි දෘෂ්ඨියක් පිළිබිඹු වන කෘතියක්, දුටු ගමන් එය අනිවාර්යයෙන්ම, අධම ගණයේ කෘතියකි යි, සැලකීමට මේ අනුව ඉදිරිපත් වෙති. මෙය දේශපාලන විචාරයක් මිස, කලා විචාරයක් නොවේ. හොඳ කලා විචාරකයෙකු කවදාවත්, තමා අකමැති දෘෂ්ඨියක් පළ වූ විගස, කෘතියක් පහත් කොට නොසලකයි. හොඳ සමාජවාදි කලා විචාරකයෝ, මෙය කවදාවත් අනුමත නොකරති. හිතාමතාම සම්ප්‍රදායික ප්‍රතිගාමී අරමුණක්, ප්‍රතිගාමී දේශපාලන අරමුණක්, ඉටු කිරීමේ චේතනාවෙන් සාවද්‍යය දෘෂ්ඨියක්, ග්‍රහනය කරන අවස්ථාවක මිස, දෘෂ්ඨියේ සාවද්‍යතාව නිසා ම, කලා කෘතියක් ප්‍රතික්ෂේප කිරීම, යථාථාර්තවාදීන්ගේ සිරිත නොවේ. ටෝල්ස්ටෝයි විසින් විප්ලව විරෝධී දෘෂ්ඨියකින්, ග්‍රහණය කරන ලද සමාජ සත්තාවක් කැටිකොට, නවකතා ලියූ විට ලෙනින් වැනි විචාරකයෝ, ඒවා පුළුස්සා දමන්නැයි නොකීහ. එබදු දෘෂ්ඨියක් ඇතුළු වීමට, අනුබල දුන් සමාජ ඓතිහාසික අවස්ථාව, විග්‍රහ කොට ටෝල්ස්ටෝයි ගේ ආර්ය කලා කෘතීන් වල, සාමාජ දෘෂ්ඨිය, කණ්ඩනය කොට තාත්ත්වික කියමන් වලට එළඹීමට ඔවුහු සමත්වූහ.
කලාවේ මුලික හරය හා විකල්පය, සංකල්ප රූපයි (image). චිත්ත රූප, ඉන්ද්‍රිය රූප, මනෝ රූප යන වචන වලින් හැඳින්වෙන, මෙම සංකල්ප රූප වල ස්වභාව කුමක්ද? ද්වන්දාත්මක භෞතික වාදයට අනුව, විෂය ලෝකයේ අපගේ මානසික ජීවිතයෙන් ස්වාධීනය. මිනිසාගේ සිතිවිලි බේදනය වන විග්‍රහය කෙරෙන්, ස්වාධීන වූ වාස්තවික (Objective) පැවැත්මක්, භෞතික සත්වයාට ඇත. "අපගේ සංවේදන සහ අපගේ විඥානය, බාහිර විෂය ලෝකයේ මුර්තිමත් සංකල්ප රූපයක් පමණි" යි (Materialism and Empirio-Criticism ) පොතේ, ලෙනින් පෙන්වා දෙයි. "බාහිර වස්තුව රුපයකින් තොරව, සංකල්ප රූපයක් ඇතිවිය නොහැක. සංකල්ප රූපයෙන් තොරව, වස්තුවක රූපයකට පැවත්මක් තිබේ."
සත්තාව, බාහිර ලෝකය ග්‍රහණය කිරීම, පිලිබිඹු කිරීම හා වින්දනය කිරීම කලාවේ මූලික ලක්‍ෂණයයි. කලාව සත්තාව පිළිබිඹු කරන්නේ, සංකල්ප රූප මාර්ගයෙනි. විද්‍යාව හා ශාස්ත්‍රීය රචනාව, සත්තාව ග්‍රහණය කරන්නේ, සංකල්ප වලිනි. සත්තාව ග්‍රඟණය කරන්නා වූ මිනිසා, කිසියම් සමාජයක වෙසෙන මිනිසෙකි. එමනිසා සත්තා යථාර්ථයෙන් අප්‍රාණිකව, ඔහේ පිළිබිඹු වන කැටපතක් නොවේ. ඔහුගේ විග්‍රහය සත්තාවය ග්‍රහණය කොට ගැනීම, මගින් සත්තාව තමාට රුචි පරිදි, හැඬ ගස්වා ගැනීමේ ප්‍රයත්නයක ද, මිනිසා නිරන්තරයෙන් යෙදෙයි. ඔහු නියතයෙන්ම මේ පන්තියේ ඒ පන්තියේ හෝ, මේ සමාජ බලවේගයේ හෝ පැත්ත ගනි. හිතාමතා පැත්තක් නොගන්නාගේ ක්‍රියාව ද, අන්තිමේ දි විග්‍රහ වන්නේ ඒ ආකාරයට ය. මැද සිටින කෙනා ද එක් පක්‍ෂයක පැත්තේ සිට බලන විට, තම පිළෙහි සතුරෙකු ම වන්නේය. පවතින තත්වය ආරක්ෂා කිරීමට උදව් වන්නේය. ඒ අනුව සත්තාව ප්‍රයෝජන කරන මිනිසා නිතයෙන් ම, සවිඥ්ඥාණව හෝ අවිවිඥ්ඥාණව, කිසියම් පක්ෂපාතී ආකල්පයකින් එසේ කරයි.
සෞන්දර්යාත්මක හැඟිමි, රුචි අරුචිකම්, පුරුෂාර්ථ හා කලා සිද්ධාන්ත හා දෘෂ්ටින්, සියල්ලම සත්තාව හා විෂය ලෝකය ග්‍රහණය කොට ගැනීමේ පක්ෂග්‍රාහී අන්තයන් පමණකි.
