නුඹේ රැඟුම් !
යාපා පටුනේ තල් අරණෙ ඔබෙ දුක් ගිනිරාවේ ඇසී...
දකුණු ලකේ කකියනවා හද පතුලක් කීරි ගැසී...
කුල සිරිතට කරකාරෙට අරගන්නට මමත් රිසි...
පෝරු මස්තකෙට නගිමුද ඇගලාගෙන දුහුල් කසී...
නීල නුවන් පෙති විදහා මා අභියස රඟන්නියේ...
සොඳුරු සිනහ කිකිණි හඬින් හද කුල්මත් කරන්නියේ...
අතීතයේ මතක පොතේ බොඳ කඳුළැලි මකන්නියේ...
දිවි ගමනේ පහන් ටැඹයි මඟ එළි කළ කුමාරියේ...
දුහුල් සිනිදු සළු පොටකින් සිරස වසා ගෙන...
ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි පා යුග පටලන...
ජාති භේද කිසිම දෙයක් සිතකට නැහැ ගෙන...
සිත්ති පාතිමා නංගියේ ඔබමයි මගේ පණ...
- ඇන්ජලා පැල්පොළ -
නුඹ නිසා මම
ජීවිතේ විඩාබරයි
කීයා සිතු විට
බිම වාඩිවී
ගිමන් හැරියා මම
ගියා නිමේෂයක් ආපස්සට
කඳුළු වැල් වැටුණා දෙපස
දෙපා වාරු කර ගෙන
නැගිට්ටේ ආයේ
පුතේ නුඹ නිසා මම....!!!
- රාජිකා - 
දුක හිතුණු තරුව
ළෙන්ගතු හීන ඇවිදින් මගෙ හිස මතට
ඔබෙ රුව අඳිනවා ඒ මත යස රඟට
එන්නට බැරි නිසා හීනෙන් මිස ළඟට
කඳුළැලි සලනවා රහසින් මුළු ලොවට.
සඳ ළඟ ඉන්න පැතුවා තනි තරුව වෙලා
සඳ නෑවිදින් තරුවට දුක එකතු කළා
කළුවර ඇවිත් අහස ම අව පසට හෙළා
තරුවට දුක හිතී හැඬුවා කඳුළු සලා.
සුළඟක් ලෙසින් විත් ඔබ ළඟ දැවටෙන්න
ඔබටත් හොරෙන් ඔබෙ උණුසුම විඳ ගන්න
මල් සුවඳක් වෙලා නිරතුරු සරසන්න
එන්නද ඇවිත් සිහිනෙන් ඔබ ළඟ ඉන්න