අවසානයක් නැති කතාවක්

සිතුවෙමි ගැලවෙන්න මතකයෙන්
ලියා කෙටි කතාවක්
ලියූ පසුවත් තවත් ඉතිරී
නොලියවුණු කිසිවක්
දිගම දික කතාවකට
මදිවුණත් පිටුවක් දෙකක්
මෙයින් නවතිමි.....
යොදා කුමටද
නිම නොවුණු අවසානයක්

- ෂර්මිලා බංදුනී දංවත්ත -
නුඹ නැතිව

ගිහින් නැවතුනත් එනු බැරි දුරකතර
හිතින් ඇවිත් හමුවන රෑටත් නිතර
රතින් ලියැවුණා වූ පොත් පිටු අතර
ඉතින් නොතිබුණේ ඇයි නුඹෙ නම මිතුර
විහින් නැතිවුණැ'යි ලොව නැඟුව ද සද්ද
ඇහින් දැක්ක දේ ලොව නුදුටුව වත් ද
රනින් නිම වුණත් උණ්ඩය ගිනි විද්ද
නුඹෙන් වැගිරුණා වූ ලේ රතු නැද්ද
ගියේ දෙමඟකින් නොව සහතික ඇත්ත
තියේ තවම සිටි තැන අදටත් රික්ත
බියේ නොසිටියෙන් වැරැදිය ගත් පැත්ත
ළයේ නොතිබුණේ සිතුවිලි ගිනි ගත්ත
වරින් වර වැටුණු මුත් යළි නැඟිට ඇවිත් 
සරින් එක නැඟූ හඬ ගුම් දේය අදත්
යමින් රළු බොරලු මංපෙත් මැදින් වුවත්
පෙමින් උහු මෙදා ඒ මී වදය බඳිත්
- © රංජිත් මල්ලියාවඩු - 2024.11.25
සරා සඳ මඬල මගෙ…

කහපාට සඳ කැරළි විදා මුදු මුහුණේ
පහතටම වැටෙන රැස් මිහිකතෙහි පිපුණේ
ලිහන්නට පෙර සඳුගෙ මුහුලසේ වරුණේ
අහන්නට කවි ලියමි සඳුගෙ මුදු කිරණේ…
දහස් මිනිසුන් මරා බලය පතුරන ලෙසින්
වහස් බස් මැද රුහිරු ගලන හැටි දැක දුකින්
රහස් බැල්මක් පවා නොහෙළු දුක්බර නෙතින්
දවස් තිබුණා ඔබට නම අමාවක ලෙසින්..
පෙම් කැකුළු පරවෙලා හද දවාලන දුකට
දම් පැහැති වලා මැද සැඟවෙලා අවපසට
කම් නොමත මඳ සිනා දෙන නමුදු ඔබ ලොවට
නම් වුණා සඳුනි ඔබ නමින් අව අටවකට..
මඳින් මඳ දුරු වෙලා සිතේ රැදි මහගින්න
රැදෙන්නට හැකි බැවින් යළි අහස මත ඔන්න
සිඳෙන්නට දෙනු නොදී සඳ සරැළි පුබුදන්න
ලියන්නට නමින් ඔබ පුරා අටවක වෙන්න..
සරා කප් සුවහසක් පෙරුම් පිරු බුදුවරුන්
අරා බෝ මැඩක හිඳ ලැබූ බුදු බව මෙතින්
නිරාමිස හදවතින් දුටුවෙ ඔබ මිස නෙතින්
පුරා සඳ ඔබට හිමි පින මෙමට නෑ ඉතින්.
සතර පෝ දිනට ඔබ දරා නෙක නෙක නාම
හතර අත දෙනෙත් හැර අහස මත පිපුණේ ම
නතර කළ නොහැක මට ලියන කවි පද මේම 
විතර සඳ මඬල මට, රන් මැණික් නැත තාම
- සංජීවනී පද්මසේන -
