…සුනාමි..
සොඳුරු අහසට කඳුළු සළු පිළි පළදවා
වියරු රළ පෙළ මිහිමවුන් කුස වැනසුවා
අඳුරු දවසක සුසුම් රැලි දැක සඳ පවා
මිතුරු මුහුදට සාප කෙරුවලු තරු නිවා..
හඬන නෙත්වල විලාපය පැතිරුණු දිනේ
දැවෙන සෝගිණි සක්වලත් දුර පැතිරුණේ
හැපෙන රළ මත සිඳුනු දිවි දැක වැළපුණේ
හමන සුලඟෙත් මිලින මල්මයි පාවුණේ..
තබා සළකුණු මිහිමඬලෙ සුව වනසන
නොබා මිනිසුන් ලඟ තිබුනෙ නෑ කළගුණ
සොබා දම් මව කිපී දැක ඒ අවගුණ
ලොබා නොමැතිව වැනසුවා සියලුම දන..
අදින් විසි වසරකට පෙර මහ බිහිසුණූ
හදින් වියැකී නොයේ ඒ දුක් සළකුණූ
මැදින් කඳුළැල් සිතට ගෙන බුදු තිලකුණූ
නිවන් දොරටුව පතමු සැමහට බිලිවුණූ..

සංජීවනී පද්මසේන
>>><<< >>><<<
ලිහිණි කවිය_____
රිදුණ අහසක වැටෙන්නට ළඟ කඳුළු වැව් දිය හා සමයි
අවට මිහිදුම් සළුව සුසුමන් වැරෙන් අල්ලා ගත් හැඩයි
හමන පවනින් නොසෙල්වෙන ගහ කොළ ද දුක සිර කර ගනියි
තනිය පරදන ලිහිණියනි නුඹෙ කවියෙ තාලය මට අගෙයි
- පවිත්‍රා සෙව්වන්දි උඩුවර ආරච්චි -
ගල්ලෑල්ල රත්නපුර
රුව පල
මලකි රුව පල උරුම නමකුත් කියන්නේ
මලකි පෙතිතුළ මිහිරි මුවරද පිරෙන්නේ
මලකි සුවඳට බමර මීමැසි කැලන්නේ
මලකි පරවුණ ලොවට රසපල දෙවන්නේ
කෙතක සරුවට අලසකම නැහැ ඔබින්නේ
කරල හැදුණම අව්ව ලැබුණොත් පැසෙන්නේ
ලිපක තැබුවට ගින්නටයි බත ඉදෙන්නේ
පොලය වැටුණට පැහිල නම් තෙල් ලැබෙන්නේ
වළක් කැපුවම ජලය ලැබුණොත් ළිඳ කියන්නේ
මඩක් මත්තෙහි පියුම් දුටුවොත් විල කියන්නේ
බිත්ති බැන්දට වහලෙ හැදුවොත් ගෙය කියන්නේ
ළඳක් හිටියට යහ ගුණයටයි හිත බැඳෙන්නේ
- පද්මකාන්ති දසනායක -
===========
දුදුළු කාලය ගෙව්
කොඳ මලින් පිරි සරසි සුනිලව නිලි වැස්ස සැලෙනා රැයේ
කොඳුල රළ රැළි මුමුන මුමුනා හස හසින් මත් පුප් තොසේ
විඳිමි රහසින් පිනිහ පහසින් දාහ නිවනා මුදු බසේ
මුකුළු කරමින් නොඉඳුලින් වන් සරසවා බැඳුදෙනා ඇසේ
තිමිර පටලය අලු කරන් හද පිරිමදියි සුමුදුව දුලා
හෙළුපුලින් සියොළඟම පිබිදී සැලි සැලී රඟනා ලොලා
නැබල සතුටින් රළපනාවම මනහරව සුලලිත ලලා
සුපිත හැඟීමින් රැඟුම් මනරම් දිසේ මනයොත් දුනු සලා
ඉසිර නූපන් නිපන් මිරිඟුව ළපටි අදසින් සුපිපි සේයා
ප්‍රබව මෝදිත බමන රමිභාවනිය සිත් තුරඟනක පායා
සොබන වදනක ඉසිත් හසරින් පැහැසරව මටසිළිටු මායා
සිත'ඟ හොරහින් හිමින් එබි එබි ඉඟි බිඟිය සොබමන් දයා
සරැළි මනසින් දුදුළු කාලය මතක අමතක කර දමා
විපුල අදසින් රසින් මිහිරින් රිසිසෙ සිනිඳුව පද අමා
අමිල නිමලවු සවිකලාවන් කළත් මිහිදන් හිත තෙමා
කැණිමඬල ණැන තුසර දහරින්, නිපුණ කරගමි මන යොමා
- සීතා මොරගොඩ -