ආදරණීය දවසක්!
ආදරණීයව හිතන ලොව බලන
දවසක්!
ඔබේ මගේ පුංචි මේ මස්තිෂ්කයට.
ඒ සඳහා ඔබට ඇවැසි සියලු
ධී ශත්තීන් සේම කාය නීරෝගී
බවද නිති ඔබ සමග වේවා!
දහසක් දුක්ඛ දෝමනස්සයන්
සමග ගණුදෙනු කරන අපට අට
ලෝ දහමින් පෝෂිතව පව් පින්
කුසල් අකුසල් නිති දැන
සාර දේ සාර ලෙසත් අසාර දේ අසාර
ලෙසත් දැන කියා ගැනීමේ
බැවහර ඥානය නිති පහළ
වෙන සුධම්මනීය දොහක්!
සතුටින් ඔබ දෙස බලා
මේ පරිසරය දෙස බලන්න.!!
චම්මින්ද වෙලගෙදර .
21/04./2025
෴෴෴ ෴෴෴
නාඳුනන මුත්
සිනාසීමයි රාජකාරිය
නාඳුනන මුත්
හඳුනනා සේ පිළිගනිමි
මවාගත් සිනහවක්
හැමට එක ලෙස පුදමි
මගෙ තැවුල් කල්පනා
මා වෙතම තබාගමි
හිනහවත් ඉනාවක් නම්
එහි මැවුම්කාරිය වෙමි
නිදි නොමැති රැයක්
ගෙවූ බව ඇස වටා ඇති
කඳුළු වැල් ගැලූ තැන්
වත්සුණෙන් මකා ඇති
වදනක මුවහතක්
ගැඹුරටම ඇනී ඇති
ලේ ගලන හදවතක්
යළි යළිත් මසා ඇති
පැය අටේ වැඩ මුරය
ගෙවෙන තත්පර ගනිමි
ලේ නහර කිතිකැවී
එරෙන කිරි සඟවගමි
රාත්රිය අත දරා
නැවතත් කූඩු වෙමි
පිසදාගෙන සිනහව
ජීවිතය වැළඳගමි
- ෂර්මිලා බංදුනී දංවත්ත -
මල් පිපිලා පල දරලා
නැවුම් හිරු පෙර’ඹරින් හිනාවෙන උදෑසන
පැතුම් මල් පිබිදේවි සුපෙම්බර විලාසෙන
සුසුම් වැල් පාවෙවී දුරින් දුර ඇදීයන
පියුම් විකසිත විලකි අවුරුද්ද උදාවුන..
දහස් සුවහස් හැඟුම් සිත් පතුලෙ මුවාවෙන
රහස් නොමවී ලොවට සැබෑවෙන විලාසෙන
පහස් කඳුළින් පිරුණු නෙත් මතට සිනාගෙන
දිවැස් දෙව් ගෙන එබෙයි නැවුම් හිරු පිපීගෙන
සසර හුරු පාරමී නිබඳ පල දරන්නයි
වසර එළඹුණ ලොවට ජය සතුට ලැබෙන්නයි
නිතර දම් සිසිලසම සිත් පුරා රැඳෙන්නයි
කතර වුව ගිනි නිවන දෙව් ලොවක් මැවෙන්නයි
කෙත් බිම්ද වතුපිටි ද සරුසාර වී හැදී
සිත් පුරා සැනසීම පිපුණු හසරැල් රැඳී
නෙත් තෙමුණු කඳුළු වැල් දුරින් දුරටම ඇදී
අත් බැඳන් සමඟියෙන් හිඳිමු
එකිනෙක බැඳී
- සංජීවනී පද්මසේන -
෴෴෴ ෴෴෴

මල් පිපිලා පල දරලා
මල් පිපිලා පල දරලා ලස්සන බක් මාසේ...
කල් බලලා ගී ගයලා කොහාගේ සංදේසේ...
ගල් පිලිමත් හිස සලලා වපුරන සංතෝසේ...
පිල් බෙදිලා කඹ ඇදලා සැනසෙමු සැම රිසිසේ...
වරල මුදා අරලිය මල් ගසාගෙන...
සිනහ පොකුරු මුව මඩලේ රදවා ගෙන...
නෙතු සගලින් හද බැඳි පෙම ගයාගෙන...
චූටි මැණික ආවා අප සොයාගෙන...
සඳ පායා සිසිලස දී දිදුලන විට නිල් ගුවනේ...
සිඳ නිදහස බලු රෑනක් රෑ මැදියම මොර දෙන්නේ...
මද පවනේ විකසිත පෙති කුතුහලයෙන් ඇරඹෙන්නේ...
අද ඊයෙ වගේ හෙටත් ලෝ දහමට නතු වෙන්නේ...
කල් බලලා ගී ගයලා කොහාගේ සංදේසේ...
ගල් පිලිමත් හිස සලලා වපුරන සංතෝසේ...
පිල් බෙදිලා කඹ ඇදලා සැනසෙමු සැම රිසිසේ...
වරල මුදා අරලිය මල් ගසාගෙන...
සිනහ පොකුරු මුව මඩලේ රදවා ගෙන...
නෙතු සගලින් හද බැඳි පෙම ගයාගෙන...
චූටි මැණික ආවා අප සොයාගෙන...
සඳ පායා සිසිලස දී දිදුලන විට නිල් ගුවනේ...
සිඳ නිදහස බලු රෑනක් රෑ මැදියම මොර දෙන්නේ...
මද පවනේ විකසිත පෙති කුතුහලයෙන් ඇරඹෙන්නේ...
අද ඊයෙ වගේ හෙටත් ලෝ දහමට නතු වෙන්නේ...