මිනිසත් කම්

යහ සිතුවිලි කැකුලු පිපෙයි
පෙති විහිදයි සුවඳ හමයි
හමන සුවඳ සුවය බෙදයි
දන මන හද සුවපත් වෙයි
ධනවත් කම් බලවත් කම්
මෝහය හා පෑහේ නම්
යටපත් වෙයි ගුණවත් කම්
දුගඳ හමයි නිරිසත් කම්
බලවත් නම් ධනවත් කම්
මිනිසත් කම් තිරිසන් නම්
මැද පෙරදිග මෙන් ගුණදම්

ඇකී මැකෙයි වී ඩුම් ඩුම්

කඳුළු සිත්තම්

සිහින අතට ගෙන ඇවිලෙන හද ගින්නේ
පහන නිවා අඳුරේ තනියම උන්නේ
ගැයෙන ගීය තනුවෙහි හැඩරුව දන්නේ
මියෙන මතක මැද නුඹ විතරයි ඉන්නේ
අතින් කඳුළු ගෙන සිත ළඟ රටා මවා
නෙතින් අනඟ මල් හීසර සැණින් නිවා
රනින් කූඩුවක නොඉදියි ගිරව් පවා
ඉතින් යන්න මතකය ගිනිවලින් දවා
සිතක් කුමට සිහිලැල් සිතුවිලි අහිමී
නෙතක් කුමට නොබලා රන් රුව මවමී
අතක් ගිලිහේ ද අත්වැල දැන් ලිහමී
හිතක් මත ලෙයින් මම සිත්තම් අඳිමී..
අහස උසට පොදි බැදි සිහිනය මැකුණී
පහස අහිමි අතැඟිලි වෙනතක බැඳුණී
දිගැස මතින් කොපුලත කඳුළින් පෙඟුණී
රහස සෙමින් සඟවමි හසරැල් මතිනී.
-
සංජීවනී පද්මසේන -

