උණුසුම් පුවත්කව් මිණි වැල්විශේෂාංග

කවිකාර මඩුව

හෘදය සාක්ෂිය

- සුදර්ශනී අමුගොඩ - 

විසිර ගිය සිතිවිලි මතට

වැටුණු විට කඳුළු මල් පියැල්ලක්

නේක රටා මවමින්

පාව ගියා හිස් අහස මත

හදවතේ ඉපිද ඉපිදී මියෙන

සෝ සුසුම් මට ම හැර වෙන කාට ද

දස අතින් ගලා එන ගල් මුගුරු

කිසිවකුත් නොවිමසා මගෙන්

අපවාද චෝදනා කොතෙක් නම් ගලා

ආවත්

නිර්දෝෂියි නුඹ

හෘද සාක්ධිය නැඟී සිටියා මා නමින්

ආයෙ නුඹ නොවැටේවි

හෙට දිනෙක නඩු අසා වී සොබාදම

දැන් ඇතිවන තුරු හඟාපන්

නමුත්

කුඹට සිනාසෙන්නට හැකි වෙයි

පෙරටත් වඩා හොඳින්

කවුරුන් කෙසේ කීවත් අසනවාමයි සොබාදම

තෙක් ඉවසාපං

කාලයට ඉඩ දී සියල්ල 

- සුදර්ශනී අමුගොඩ  -  

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

නුඹ ඔතැන

මං මෙතැන

ගෙවෙනවා දින ගණන

නැහැ දන්නේ කිසිත්

කවදාද උඹෙ සිතැඟි පිළිවෙළට සැක සෙන්නේ

දවස දවස ම ගෙවේ

බොඳ ව යන සිහිනතර

ඉදින් මා කළ යුත්ත නොදන්නා කමින්

සුසුම් හෙළමින් නුඹ ද මා මෙන් ම දවස් දියකරන හැටි

බලාගත් අත බලන්

උඹ ඉන්න තැන ඉඳන් මං මොනා කියන්න ද

මං මොනා කරන්න ද

තීරණය ඇත්තේ මා සතුව නොව බව නුඹ නොදන්නෙ ද කියන්

සුමැ -

 

 

ආදරේ රහසක්

- ඉන්දු මංචනායක -

බොඳවෙලා තිබු කඳුළු අරගෙන

ආ.... අකල් වැස්සක්

යළිත් ආවා වගේ ළගට ම

මහ මතක බිස්සක්

සොඳුරු හැඟුමන් සිඳී

වියැකුණු නොපිපි මල් වැස්සක්

පුරන් කුඹුරක බැළවුණා දෝ

නොදෙන අස්වැන්නක්

ආදරේ ගැන නොලිවු  ගී පද

පුරවලා දෝතක්

කැබලි කුඩුකර දමමි ඈතට

කියනු බැරි රහසක්


කඳු වගේ දරාගෙන

සංජීවනී ධර්මසේන

වසන්තය සෙමින් විත් ඉඟි මරන විට සිතට

දිගන්තය වෙත ගියා වරද නොපෙනුණි නෙතට

අනන්තය තෙක් ඉන්න බැඳි සුරත් යුග එකට

විමන් මැද බිඳවැටුණු ගිලිහුණා පෙර පවට

සුදු සේල වලාකුළු නෑ අහස කළු වුණා

සිදු වතුර මෙන් නීල දෙනෙත් යුග රතු වුණා

මුදු වදන් මකාගෙන අවලාද පිටවුණා

කඳු වගේ දරාගෙන ගෙයින් මම පිටවුණා

රහසේම නුඹ ඇවිත් පවුකාර මා ළඟට

පහසේම කුසේ මගෙ මලක් මෙන් පිපුණාට

වහකදුරු වගෙයි මා සිල් ගත්තු ලෝකයට

නහමි නුඹ පෙර මෙලොව එළිය වත් දකින්නට

පෙම් රටා මවපු ඒ හීන මත රැවටුණා

මම් පුතේ කදුළු පිස ගලක් මෙන් රළුවුණා

නිම් නොමැති මව් සෙනේ මෙලෙස අද පරවුණා

කම්පිතව ගිය මතින් නුඹේ පණ සිදළුණා

නැතේ මට සමාවක් දනිමි මම කිසිදිනෙක

පුතේ අවලාද විඳ නුඹ රකිනු බැහැ මැණික

අතේ රතු රුහිරු මැද බිඳිණු කිරි සිහිනයක

හිතේ තවරා සුවඳ ඉපදියන් වෙන කුසක

 

නූපන් දුවට.....

 

ඇන්ජලා පැල්පොළ -

ඉර හඳ දිදුලන මේ ලක් පොළොවේ

අලසකමේ සළු පිළි ඇඟලාගෙන...

වගකීමක් ගැන වගේ වගක් නැහැ

දරු පැටවුන් මහ ගොඩක් හදාගෙන...

යන්නෙ නෙහාටද ඉන්නේ කොහොමද 

කිසිම බරක් නැහැ හිතේ දරා ගෙන...

මිනිසුන් විදිහට දිරි ගෙන එක්වෙමු 

උතුම් මිනිස්කමේ මානය රැකගෙන...

ගිනි කඳු හිම කඳු පරදා පොර බඳින්නේ...

වැලිකතරේ දහඩිය බිඳු හෙළන්නේ...

එතෙර වෙසෙන අප එඩිතර හෙළයන්නේ... 

දිහා බලා හෝ කැපවෙමු සොහොයුරනේ...

≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

නූපන් දුවට -

දුවේ නුඹ සුවඳැති මලක්

මම පිපෙන්නට ඉඩ නොදුන්

 

දුවේ  නුඹ පින් පින්බර සඳක්

මම නැගෙන්නට ඉඩ නොදුන්

විහාරේ පිදු නේක මල් අතරේ

සුවඳ විහිදා හිනහෙන්න ඉඩ නොදුන්

තරු කිනිති මැද දිලී  රෑ  අඳුරේ

එළිය ගෙන දී බැබලෙන්න ඉඩ නොදුන්

දුවේ මම ඒ පව්කාර අම්මා

මමයි ඒ පව්කාර අම්මා

බිඳී විසිරුණු කිරි කඳුළකට

පමා වී පෙම්බඳිනා

මමයි නුඹගේ පව්කාර අම්මා

  -  චම්පිකා  මුතුකුඩ  -