හෙළදිව යනු ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක් වෙමින් පවතින බව සංවේගයෙන් දැනුම් දෙන්න යි සිද්ධවෙලා තියෙන්නේ
තෑගි බෝග ද අරන් දැන් දැන් තිස් අට දෙනකු ගේ ගෝලබාලයින් ගෙයක් ගෙයක් ගානේ එතැයි හුදි ජනයා දෑස් දල්වා ගෙන බලා හිඳිති. එවන් මහා ලොකු විශ්වාසයක් නැවත වරක් මා ද ඇතුළු සකල හෙළදිව් වාසී පුඟුලනට වෙන කරන්න ය කියා දේකුත් නැති කමට ය. හැබැයි ඉතින් තිස් අට දෙනකු කොහොම වුණත් පස් හය දෙනෙකු ගේ කල්ලි කණ්ඩායම්, උජාරුවෙන් යුතුව, පුද්ගලික බස්වල නැඟී රට පුරා හෙවත්, ගම්නියම් ගම් ගානේ බුරුතු පිටින් ගිහින්, අත්පුඩි තල තලා, හුරේ දද දදා, පිටපොට ගහන් ඉන්නේ, 21 වැනි දා වෙනකං ය. නැත. 22 වැනි දා හිමිදිරි පාන්දර වෙනතෙක් ය.
ඕං ඔය අස්සෙ ව්‍යාප්තවාදයක් නැතැයි කියන ඒත් අසල්වැසියන්ගේ ආරක්ෂාව කෙරෙහි මහත් ම මහත් වූ ආදරයක්, කරුණාවක් ඇති, දයාවක් පාන්නා වූ ඉන්දියාවේ ආරක්ෂක උපදේශක, අජිත් දොවාල් උන්නැහෙ මේ පැත්තෙ ඇවිල්ල ගියේ, ලොකු හදිස්සියක් වෙලා වෙන්නැති. ඒ උත්තමයා මේ අපේ මනාපේ අරන් රජ වෙන්න අමුඩ ගහමින් ඉන්න, රජ කුමාරයින් දෙන්නත්, රජ පුටුවෙ විරාජමානව ඉන්න උත්තමයත්, අතේ තියාගෙන ඉන්න කොම්පාසුව බස්නාහිරට ම හෙවත් බටහිරට ම හරව හරව ඉන්න, ෂහෝදරයත්, තමිල ෂහෝදරංගලුත් මුලිච්චි වෙලා, කරපු කියපු කතාව නම් රට වැසියාට දැනගන්නට ඕනැ නෑ, අවශ්‍යත් නෑ, මොකද මේ පුංචි කොදෙව්ව ඒ උත්තමයින් ගෙ, පරම්පරවෙන් ම සරිවෙච්ච දේපොළක් කියල නේ උන්නැහෙලා කවූරු කවුරුත් හිතා ගෙන නෙවැ වැඩ කරන්නේ.
බැලුවහම බොහොම සිහි බුද්ධියෙන් පේනවා, අම්මපල්ලා මේ පොළොව අපේ නෙවේ ය කියන වග. මේක ඒගොල්ලන්ගෙයි, ඒගොල්ලන්ගෙ රූකඩ පැංචන්ගෙයි බව.....
අපිට ඕනෑ ම දෙයක් මතකයේ තියෙන්නෙ දෙසතියකැ යි කීවා ය කියන්නේ එල්ටීටීඊ නායකයා වේළුපිල්ලේ පිරිබාහරන්. ඇත්ත ය. අද වන විට ඉන්දියානු වයාප්තවාදය පිළිකාවක් සේ ඔඩු දුවලා ශ්‍රීලාංකේය සමාජදේහයේ. මේ ලියවිල්ල කොට කොටා ඉන්දෙද්දි මගේ ළෙන්ගතු මිතුරකු ගෙන් ජගත් ගේ සතියේ සටහනට අදහස් දැකවීමක් කරමින් ඔහු කියන්නේ ''ඉන්දියානුව්යාප්තවාදය දැන් පිළිකාවක් වගේ.ලංකාවේ නිශ්පාදනය කළ හැකි ඖෂධ 37 ක් ඉන්දියාවෙන් ගෙන්නන්න ගිය සඳුදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා. ආරංචියේ හැටියට ඒවායේ සාම්පල් චෙක් කරන්න NMRA එකටත් බලයක් නැහැයි ලු" මිතුරා තබා ඇති සටහනෙන් කියන කතාව මෙසිරිලක කවුරු කවුරුත් වටහා ගත්තොත් ඇඟට ගුණයි. ලස්සන වැඩේ අද ඉන්න සෞඛ්‍ය ඇමති උත්තමයා ගැන ඇතිවන වේදනාවයි අපට.
අජිත් දොවාල් ආපු එක නං කොයි අතින් බැලුවත් හොඳක් ම බව කියන්න අනවශ්‍යයි. ඒවා දැන ගැනීමත් අනවශ්‍යයි. ඒත් ඉතින් අපේ සරීර කූඩුව පුරා ම නිතරම කහඹිලා තැවරිලා නේ ඉන්නෙ. ඇඟ හැමතැන ම කහනවා... කහනව.... නොකහ ඉන්න ම බැරි තරමට අසනීපෙ උග්‍රයි. ඒත් බේත් ටිකක් ගන්නය කිය කොහෙද ඉඩක්. තිබුණත් ඉතින් ප්‍රතිකාර කරන්න අවශ්‍ය බේත් හේත් ගෙන්නන්න බලේ දෙන කට්ටිය වැලිකඩ පැත්තෙ නේ... මාස ගණනාවක් පුරා ලැගලා ඉන්නෙ. ලැගලා නෙවේ ලග්ගවලා නෙවැ.
දොවාල් උැහේ ආපු එකෙන් කියන්න හිතපු දේත් මතක බැරි වෙච්චි. කොහොම වුණත් ඒක නොකියා බැහැ නෙවැ.
දැන් ඉතින් රට තමන් අතට ගන්නට හීන දකින උන්නැහෙලා ගේ අනුකම්පාව නිසා ම ඕන්න ඉතින් හෙළදිවට හෙවත් ශ්‍රී ලංකාවට, එහි ජනතාවට, කිසිම කිසි දෙයකින් අඩුවක් පාඩුවක් නැත. රජ, දෙව්, බඹ සුඛ විහරණ වලඳන්නට මේ කොදෙව්වේ මිනිස් පොදියට, ඉඩ හසර පෑදෙන බව පෙනෙන්නට තිබෙන නිසා, ඒවා භාර ගන්න පිටපොට ගසමින් දිය ලණුවේ, අමුඩ ලේන්සුවේ කොනක් පටලා ගන්නට නොහැකි පිරිසක් ද, හූම්බතින් පෙළෙමින් 'සුඛං' 'සුඛං' යි කියමින්, හිතමින් දේශපාලන උත්තමයින් හයදෙනා කෙරෙහි දැඩි විශ්වාසයකින් පසු වන්නෝ යැ නොවැ.
ඉදින් සබඳ! අප මොවුන් කෙරෙහි තබන්නා වූ විශ්වාසය අප වෙත ඔවුන් පාන්නේ ද යන්න කිසිවකු ගේ කල්පනාවකට එන්නෙහි ද? ගන්නෙහි ද?
පිළිතුර නැත යන්න හැර අන් කුමක් ද ? නේ ද?
ඒ උත්තමයින් වේදිකාවට ගොඩ වී හමාර ය.
අනුර මහත්තයා වේදිකාවට නැංගේ හවුරද්දකට හමාරකටත් කලිනි. මිනිහා පාළු ගෙයි වළං බිඳින්නට පටන් ගත්තේ කවුරුන් සේ දැ යි මං කාටවත් ම කියන්නේ නැත. කොහොම වුණත් ඔහු ධාවන පථයට අවතීර්ණ වුණේ කාටත් කලිනි. ඒ එකම මන්තරේ ජප කර කර ය. ''හොරු අල්ලනවා ය හොරු අල්ලනවා'' ය, දුක්විඳින මහා ජනයාට පහුගිය කාලෙ පුරා කටින් බෙණෙමින් හුන් අනුර හා අනුර ගෙ නඩය විසින් දැන් ඕං ආයුබෝං පොතක් හැටියට ම පළ කරලා අපේ ගෙයක් ගෙයක් ගානේ බොදා දෙන්නට කට්ටිය පිටත් කර යවා හමාර යි.
මං මේ කස්තිරම අල්ලන්නේ අනික් කට්ටිය 'යකුම' නටන්න සැරහිලා පිටපොට ගහන් සුදු පිරුවට ඇඳන් පච්චවඩම් ඇඳ ඇඳ තම තමන් ගේ සිල්ප ශක්තිය, සිල්ප රංගනය පෙන්න පෙන්නා කකුලක් කකුලක් හොළව හොළවා ගෙජ්ජ් හඬ මේ පිරිසිදු වාතලේට පිට කර ඒකත් යළිත් වංගියක් දූෂණය කරන්නට පෙර.
අනුර කුමාර කරමින් හිටින රංගනය හොඳ ය. හුඟක් ම හුඟක් ම හුඟාක් ම හොඳය.
අර හුරු පුරුදු වචන එකක් නෑර අඩු වැඩියක් නැතිව තොල් උල් කරමින් කියමින් ම අපට බෙදා හදා දෙන්නේ ඇස් දෙකට ම අල්ලා ගන්නය කියලයි මට නං තේරෙන්නේ.
අනුර ගේ පුතිපත්ති ප්රකශනය පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් යන සිරසින් සැකසුනකි. එහි පෙළගැස්ම 'පරිසමාප්ත - සුව පහසු රටක් යනුවෙන් දක්වා තියෙනවා. ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් - දියුණු මානව සම්පතක්, නිරෝගි ජීවිතයක් - සෞඛ්‍ය සම්පන්න ජනතාවක්, සුවපහසු නිවසක් - සනීපාරක්ෂක ජීවිතයක්, ජවසම්පන්න පුරවැසියෙක් - ජයග්‍රහී ජනතාවක්, උදාර සංස්කෘතික ජීවිතයක් - සහකම්පනීය ජනතාවක්
මේ ආදී කරුණු ගණනවක් යටතේ ලියා ඇති කරුණු කාරණා පිටු 231 පුරා විසිර පැතිර ඇත්කේ අපූරු නිමාවකින් යුතුව. හැබැයි දැන් නං මට තේරෙන්නේ අනුර හා ජවිපෙ කොහොම වුණත් ජාතික ජන බලවේගය කියන පක්ෂයත් අනෙකුත් Neoliberalism නව ලිබරල්වාදය සමකාලීනව "මිල පාලනය ඉවත් කිරීම, ප්‍රාග්ධන වෙළඳපොළවල් නියාමනය කිරීම, වෙළඳ බාධක අඩු කිරීම" සහ විශේෂයෙන්ම පුද්ගලිකකරණය සහ කප්පාදුව හරහා ආර්ථිකයේ රාජ්‍ය බලපෑම අඩු කිරීම වැනි වෙළඳපොළ - නැඹුරු ප්‍රතිසංස්කරණ දෑකැත්තත් මිටියත් ඉවත ලා මාළිමාවක් බදාගෙන එයින් බටහිර දෙසට සීඝ්රයෙන් හැබැයි අර අහිංසක සාමාන්‍ය පාක්ෂිකයා, හිතවතා, ආධාරකරුවා ගේ ඇස්වසා මේ යන්නේ ද සිරිලක ඇති අනෙකුත්න ධනේශ්වර පක්ෂ හා හාමූවීමක් ලෙසට යැ යි හිතෙනවා. පේනවා. දැනෙනවා.
රනිල් ගේ ස්වාධීන ගෑස් ටැංකිය සහිත නොපෙනෙන අලියාත්, සජිත් හා පුට්නෝට් කල්ලියේ ටැලිපෝනයේත්, බැසිල් නිර්මාණය කළා ය කියන පොහොට්ටුවේත්, අනුර විජිත හා හරිනීත් දොස්තර ලේකම් මහත්තයලගෙ මාළිමාවෙත් අතර ඇති වෙනස පුද්ගලයන් විතරක් ය කිව්වොත් ඒ උන්නැහේලාට මල පණිනු සිකුරු ය. හැබැයි ඉතින් මේ රටේ සැබෑවට ම මාර්ක්ස් ලෙනින්වාදය ගරු කරන්නෝ සිටිති යි කියන්නට කාට බිය වෙන්න ද. කවදා නමුදු මානුෂීයවාදය කරපින්නා ගෙන බුදුන් වදාළ දහම් මඟ ඔස්සේ එකා සැමටත් සැම එකාටත් යන ටිනා කියන ආදර්ශ පාඨය මේ බිමේ මිනිසුන් වැලඳගන්නා බව අපේ දැක්ම යි.
'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' අනුර මහත්තයාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ ශීර්ෂය යි. නැතිනං සිංහලෙන් කියනවා නං හෙඩිම ය.
බලන් යන කොට රනිල් ගේ ස්වාධීන ගෑස් ටැංකිය සහිත නොපෙනෙන අලියාත්, සජිත් හා පුට්නෝට් කල්ලියේ ටැලිපෝනයේත්, බැසිල් නිර්මාණය කළා ය කියන පොහොට්ටුවේත්, අනුර විජිත හා හරිනීත් දොස්තර ලේකම් මහත්තයගෙත් මාළිමාවෙත් අතර ඇති වෙනස පුද්ගලයන් විතරක් ය කිව්වොත් ඒ උන්නැහේලාට මල පනිණු සිකුරු ය.
හැබැයි ඉතින් මේ රටේ සැබෑවට ම මාර්ක්ස් ලෙනින්වාදය ගරු කරන්නෝ සිටිති යි කියන්නට කාට බිය වෙන්න ද
''අප නිදහසෙන් පසු ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස එක ධජයක් යටතට ගෙන ඒමට මෙතෙක් කල් රට පාලනය කළ ප්‍රභූ පාලක පන්තියට හැකිවූයේ නැත. ඒ වෙනුවට ඔවුන් සිදු කළේ තම බලය පවත්වා ගෙන යාම වෙනුවෙන් ඒ ඒ ජාතිකත්වයන්ට බෙදුණු කණ්ඩායම් ලෙස ඔවුන් අතර ගැටුම් උග්‍ර කරමින් පවත්වා ගෙන යාමයි. අපගේ ප්‍රතිපත්ති මේ වෙනුවෙන් සිදුකළ යුතු සංකල්පීය, ද්‍රව්‍යාත්මක ව්‍යූහාත්මක හා ක්‍රියාකාරී මැදිහත්වීම් ගණනාවක් හඳුනා ගනී. සියලු ජාතිකත්වයන්ට ශ්‍රී ලංකේය ජාතිය ලෙස පොදු අනාගතයක් පරිකල්පනය කිරීමේ ඉඩකඩ අප විසින් සකස් කරනු ඇත. නිෂ්පාදන ආර්ථිකයක්, සැලසුම් කිරීමේ සිට ප්රතිලාභ බෙදීයාම දක්වා වූ ක්‍රියාවලියේ දී සියලු ජාතිකත්වයන් එඑහි කොටස් කරුවන් කර ගැනීම අපේ අදිටනයි"
මේ අනුර දිසානායක මහත්තයා එහි අවසන් පිටුවට ලාස්ට් පේජ් එකට නැතිනං කලින් පිටුවේ හෙවත් පසුපිටුවට පෙර පිටුවේ සිය අත්සන ද යොදා 'රට අනුරට' යනුවෙන් දක්වමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය නිමා කරල යි තියෙන අයුරු යි.
එහෙත් අනුර දැන හෝ නොදැන හෝ අපේ විශ්වාසය හුදෙක් දැනගෙන ම දක්වා ඇති උක්ත කරුණු සම්බන්ධයෙන් ලාංකේය වාමාංශික ව්‍යාපාරය ආරම්භයේ පටන් අද දක්වා ඇති කරුණු වහන් කරමින් හෝ ඇති වග පේනවා. ඒත් මෙය ලියා තැබීම අගේ කරනවා. හැබැයි ඔවුන් නොදන්නවා හෝ දැන ගෙන නොදන්නා සේ යටපත් කරැති ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා නිර්මාණ කෙරෙන්නේ ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ කිරි උරා බීමෙන් වග අතීතය දන්නා කෙනකු සේ මෙහෙම කස්තිරමට එකතු කරන්නයි කල්පනා කළේ.
මගේ කමීසෙ ඌ ඇඳන් යනවා උගේ එකක් වගේ කියන කතාව මෙතැන දී ලියා තබන්නේ වාමාංශික දේශපාලන නායකයින් ප්රතිගාමීත්වයේ නේක විධ අඩම්තේට්ටම්වලට පරිභවයන්ට ඉලක්ක වෙමින් 1930 දසකයේ පටන් අද දක්වා ම පිළිපදින යථාර්ථවාදී කතාව අමතක කිරීමට ඔවුන් ගන්නා වූ උත්සාහය අද පරම්පරාව නොදන්නා කම නිසා ම කොළේ වහල ගහන්න ඇති දස්සකමට වඩා දුෂ්ටකමකි. එදා මෙන් ම අදත් ජනතා විමුක්ති පෙරමුණ කැසකැවීම නිර්ලජ්ජිත පිළිවෙත ම බව නොකියා හිඳීම යුක්ති යුක්ත නැහැ.
ඡන්ද කාලේ කතා හෑලි
රාජ්‍ය පාලනයට තරුණ අදහස් ගන්න යාන්ත්‍රණයක් - රනිල් ලංකාදීප නව පරපුරේ කතිකාව ඇති කරමින් (Gen Z dialogue) අදහස් රාජ්‍ය පාලනයට භාවිතා කරන බව යි ඔහු කියන්නේ. ඒ මහරගම දී. 30 වැනිදා තරුණ සේවා සභාවේ පුළුවන් ශ්‍රී ලංකා වැඩ කිඩ සමුළුවෙදි.
ත්‍රීකුණාමලයේ තෙල් ටැංකිවල තෙල් ගබඩා කර තෙල් අපනයනයට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව අනුර කී කතාවක් 31 අද ලංකාදීප පත්තරේ තියෙනවා දැක්කා. ඒ කන්තලේ දී කරපු ප්‍රකාශයක්
වංචා දූෂණ නාස්තියට තිත තියන බව සජිත් කියනවා. බංකොලොත් රට ගොඩගත හැකි දුප්පත්කම තුරන් කරන, ජනතාවාදී ප්‍රතිපත්ති සමගි ජනසන්ධානය එළි දැක්වූ බව ද පූගොඩ දී කියල තිබුණෙත් පහුගිය දොහක.
වැහි කාලයට වදුරෝ ගස් උඩ ගෙවල් හදනවා වගේ, ඡන්දයක් ආවාම ඡන්ද පොරොන්දු ටිකක් අච්චු ගහලා බෙදනවා. මේ පොරොන්දුවලට රටක් දිනවන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න කරපු හෑල්ලකින් ඇබින්දක් ඒ. රෝහිණී උත්තමාවිය සජිත් උන්නැහේ රජ කරවන්න ඡන්ද ගරානාවේ යෙදෙමින් මාතලේ නාවුල දි යි ඔය හෑල්ල ඇදබාලා තියෙන්නෙ.
කවදාකවත් ඉටු කරන්න බැරි, ඉටු කරන්න බැරි පොරොන්දු තොගයක් ‘ක්‍රියාමාර්ග‘‘ කියලා ලේබලයක් ගහලා දාලා තියෙනවා. මේ මැතිවරණ ප්රකාශනය ජවිපෙ දිගු කාලීන ප්‍රතිපත්ති ඔළුවෙන් හිටවලා තියෙනවා. එදා අපේ කඳවුරට උසුළු විසුළු කළ ප්‍රතිපත්ති අද ‘ක්‍රියාමාර්ග කියලා‘ පොරොන්දු විදිහට දාලා තියෙනවා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1982 කියපු කරපු දේවල් හරි කියලා අද ජවිපෙ ට වැටහිලා තියෙනවා. 2004 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනේ සැලසුම් ගෙඩිය පිටින් මේකේ තියෙනවා. 2015 යහපාලන ආණ්ඩුව විසින් පටන්ගත්ත වැඩ ගෙඩිය පිටින්ම මේකේ තියෙනවා.
රාජ්‍ය දේපළ සංවර්ධනය කොට රාජ්‍ය ආදායම වැඩිකර ගන්නවා මිස රාජ්‍ය දේපල විකුණාගෙන රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට තමා සූදානම් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ අවධාරණය කරයි කියලත් පත්තරේක තිබුණු හෑල්ලක්.
ජනතා අදහස් මතින් පණ පෙවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික උපාය මාර්ගික සැලැස්ම 2024 ජනාධිපතිවරණය සර්වජන බලය - මෙය ද පිටු 62 කින් සැදුම්ලත් ප්‍රකාශයක්. මේ පොරොන්දු ඡන්දදායකයනට දෙන්නෙ දිලිත් ජයවීර. ව්‍යවසායක දිලිත් ජයවීර, එහෙමත් නැත්තං නීතිඥ දිලිත් ජයවීර.
ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ උන්නැහෙත් යකුම නටන්න ඇඳ ගෙන පිටියට බහින කොට ම සිරිසේන කළේ ඒ මනුස්සයගෙ කකුලෙන් ඇද දාන එක. සිරිසේන උන්නැහෙත් මාර ම මාර මනුස්සයෙක්. රනිල් උන්නැහෙගෙ ඇමති මණ්ඩලේ හිටපු එහෙමත් නැත්තං කැබිනෙට්ටුවේ හිටපු විජයදාස රාජපක්ෂ මහත්තයව අන්දවල කරපු අපරාදෙ ගැන නම් මේ හෙළදිවේ කවුරු කවුරුත් හොඳට හිතේ මතකෙ තියා ගත්තොත් තමා හොඳ.
විජයදාස රාජපක්ෂ උන්නැහෙ තරම් දස්සයෙක් අන්දන්න පුළුවන් වෙච්ච සිරිසේන උත්තමයා මොන වගේ කෙනෙක් දැ යි හිතල බැලුවොත් හොඳා.
උන්නැහේ දේශපාලනෙන් හොඳට තෙම්පරාදු වෙලා හිටපු මහින්ද රාජපක්ෂ මහත්තයට කළ දේත් ඔය අ
ප්‍රතිපත්ති ප්‍රකාශ බොහොම යි. පිටු 100 යි 200 යි වදන් කෝටියයි බලන් ඉන්න අයට හරි සුන්දරයි. එහෙම කියුවෙ දිලිත් ගෙ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික උපාය මාර්ගික සැලැස්ම 2024 එළිදැක්වීමේ උස්සවේ පූරක චරිතෙ යි. නොදනිතත් ඒ නාම්බා කවුරුන්දැ යි කියා ඔහුගේ වදන්වැල නං කදිමයි. අපූරු යි. රහයි. ඒ වදන් ටික නං සහසුද්දෙන් ම ඇත්තක් බව කස්තිරම අල්ල අල්ලා මාන්සිය නොතකා වුණත් කියන්න ම වෙනවා.
මෙය සැකසී ඇත්තේ පළමු හා දෙවන කෙටුම්පත් ජනතාව අතට පත් කිරීමෙන් අනතුරුව ඊට එකතුවිය යුතු යමක් ඇත්දේ ද සකස්විය යුතු යමක් ඇත්දැ යි තේරුම් බේරුම් කර ගැනීමෙන් පසුව බව පෙනේ.
ජනතා විමුක්ති පෙරමුණෙන් දකුණු පළාත් සභාව නියෝජනය කරපු නලීන් හේවගේ නම් මුඛරි කථිකයා හෙළ බොදු සංස්කෘතිය නොතකව ජාතියේ පොරක් බව කියන්නෙ බොහොම කනගාටුවෙන්. ඒ ගැන නං ඉන් එහා දෙයක් කියන්නෝනැ නෑ කියලයි කස්තිරම අල්ලන ගමන් හිතට ආවේ.
මේ රට තව දුරටත් මේ අන්දමින් හරි පවතී ද නැද්ද යන්න හරි මීට වඩා දියුණු රාජ්‍යයක් බවට පත් වෙන්න හරි එහෙමත් නැත්තං පාතාලෙට ම තල්ලුවෙලා ගිලා බහින තැනට කටයුතු සිද්ද වෙන්න තව ඇත්තේ හරියට ම දවස් දහ නමය යි.
ඒ දවස් දහ නමේ අතර කාලෙ තුළ මොන මොන වගේ දේවල් මේ කොදෙව්වෙ හෙවත් දූපතේ සිද්ද වේ දැයි කියන්න දෙයියන්ටවත් බැරිව ඇති. මොකද උඩ ඉන්න දෙයි හාමුදුරුවරුන්ට වඩා අපේ රට වට කරන් තියෙන මහ මුහුදට එහා පැත්තෙ ඉන්න දෙයියන්ලා බොහොම බලවත් හින්දා. ඉතින් එක දෙයියෙක් 29 වැනිදා හෙළදිවට වැඩ වදාරා ආපහු උන්නාන්සේ ගේ විමානෙ බලා ගියා නෙවැ. ඒ වැඩිය දෙයියන් රටේ ලොක්කන් ද වෙන්න ඉන්න ලොක්කන් තවත් තුන් දෙනකු ද එක්ක වැඩ වදාළ කරුණු කාරණා ලංකාවේ බොහොම අමාරුවෙන් පණ කෙන්ද රැක ගන්න මිනිස් ප්‍රාණීන්ට දෙකට තුනට නැමි නැමී ගිහින් තමන් අකමැති වුණත් මනාප බවක් පෙන්නන්න සිද්ධවෙලා තියෙන හින්දයි එහෙම කටට ආපු පළියට වගේ කියලා දැම්මේ.
සජිත් ප්‍රේමදාස වන මාගේ නායකත්වයෙන් සමගි ජන සන්ධාන රජයේ ප්‍රතිපත්ති සහ ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඉදිරි වැඩසටහන් පිළිබඳව සංක්ෂිප්ත සාරාංශයක් ඔබගේ දැනගැනීම පිණිස මෙලෙස මුද්‍රණය කරන ලදී. මෙම මූලික සංකල්ප රාමුවට එකඟ වෙමින් එක් එක් ක්ෂේත්රය සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥයින්, වෘත්තිකයින් සහ ක්‍රියාකාරීන් සමඟ පුළුල් සංවාදයකින් පසුව ඇති කර ගත් එකඟතාවන්, ප්රතිපත්තීන් හා ප්රඥප්තීන් ලෙස මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව එළිදක්වනු ඇත. යනුවෙන් ඔටුන්නට අයිතිවාසිකම් කියන සජිත් යුවරාජ කුමරාණෝ මහ සඟරුවනගේ දෝතෙ වැඩමවන ලද කොළ පොතෙහි අවසානෙට අකුරු කරපු හැටියි ඒ.
'පුළුවන් - ශ්‍රී ලංකා' ද කොළ පොතකි. එහි ඇත්තේ ද සජිත් කියන කතාව ම ය. හැබැයි පුළුවන් කියා කියන ජනාධිපති උත්තමයා ගෙවුණු හවුරුදු දෙක හමාරක කාලය තුළ රටත් ජනතාවත් කිසියම් විදිහකින් ගොඩ දාගන්න දත කාපු හැටිත් කස්තිරම් කාරයා කියන්නේ රනිල් උන්නැහේ අඩව්ව අල්ලන්නට ගම් ගියම්ගම් හි සැරිසරද්දි.
ඔක්කෝම හෙවත් රනිල් ද, සජිත් ද, අනුර ද, නාමල් ද, දිලිත් ද, විජයදාස ද, එස්.එෆ් හෙවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා උන්නැහේ ද තම තමන් ගේ වැඩ පිළිවෙළ කියන්නට යන හැටි දකින් විට අනේ අම්මපා දුකේ බැහැ. මේ වටිනා කියන මිනිසුන් මොන තරං නං සිය සහෝදර ජනයා කෙරහි ආදරයක් කරුණාවක් දයාවක් ඇල්මක් බැල්මක් ඇද්දැ යි කියා කල්පනාවට එන වෙලාවට.....
කොහොම ද බලමු මුන් නැහේලා ගේ වත්කම් බැරකම්.... ඒ ගැන ඉස්සරහ දොහක කස්තිරමක් අල්ලලා කතා කරමු කෝ.
මේ සටහන තියන්නෙ 2024 සැප්තැම්බර් මහේ හෙවත් මේ මහේ ආරම්භක දොහේ. පළමු වැනි දා. රාත්තිරි 10. 33 ට. තවත් හරියට ම දවස් විස්සකින් ඔබත් මාත් විසින් අපේ රටෙත්, අපෙත් අපේ බාලපුරපුරෙත් අනාගතය තීන්දු කරන ඉතා බරපතල තීන්දුවක් ගන්න වා නෙවැ. ඉදින් ඒ තීන්දුව හරියට ගත්තොත් හරි. නැත්තං ඉතින් හබක්....
කිසිම දොහක සිය දාදිය මහන්සියෙන් හයිය හත්තියෙන් ජීවත් වන්න කාසි පණම් නොහොයපු උත්තමයින් හතර පස් දෙනෙක් රට කරවන්න අපෙන් මනාපෙ ඉල්ලනවා. තමන් ගේ වත්කම් බැරකම් නිසි සේ නිවරදිව මේ උත්තමයින් කවුරුන් ද තමන් සල්ලිය බාගෙ එක්රැස් කර ගත්තේ කියල හිතට එකඟව අවංකව කියා ඇත්තේ.
හොඳට හිතා බලන්න. ඒ අනුව නිවැරදි තීරණයට පිවිසෙන්න. ඒකයි ආයුබෝං කස්තිරම හමාර කරමින් අඩව් අල්ලන්න ලක ලෑස්ති වී ඉන්න නැට්ටුවන්ට ඉඩ හසර පාදා දී අයුබෝවේවා! මෙසිරිලක ලොකු පුංචි හැම දෙනාට ම ආවඩා ආයුබෝවේවා!!
⋆