අද පාර්ලිමේන්තුවේ දී
පාර්ලිමේන්තු මන්ත්‍රි කිංස් නෙල්සන් මහතා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (12) අසන ලද ප්රශ්නය සඳහා අධිකරණ අමාත්‍යතුමා පිළිතුරු ලබාදීම සිදු කරන ලදී.
අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ලද ප්‍රශ්න සහ ලබාදුන් පිළිතුරු මේ සමග යොමු කර ඇත.
(අ) (i) බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා අනුමත බන්ධනාගාර නියාමකවරුන් සංඛ්‍යාව කොපමණද;
බන්ධනාගාර නියාමක (පිරිමි) - 4447
බන්ධනාගාර නියාමක (කාන්තා) - 594
(ii) මේ වනවිට එම දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන බන්ධනාගාර නියාමකවරුන් සංඛ්‍යාව කොපමණද;
බන්ධනාගාර නියාමක (පිරිමි) - 3718
බන්ධනාගාර නියාමක (කාන්තා) - 477
(iii) එම තනතුරේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
බන්ධනාගාර නියාමක (පිරිමි) - 729
බන්ධනාගාර නියාමක (කාන්තා) - 117
(iv) එම පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
- බන්ධනාගාර නියාමක නිලධාරීන් 347 ක් (පිරිමි 300, කාන්තා 47) බඳවා ගැනීමට අදාලව විභාග කොමසාරිස් ජනරාල් වෙතින් තරඟ විභාගයක් පවත්වා ඉන් සුදුසුකම් ලැබූවන් හට අනුමත බඳවා ගැනීම් පටිපාටිය අනුව සම්මුඛ පරික්ෂණයන් පවත්වන ලද අතර, එම පරීක්ෂණයන්ගෙන් සමත් අයදුම්කරුවන් 142 ක් 2025.01.20 දින සිට ත්‍රෛමාසික ආධුනික නියාමක පුහුණුව වෙත යොමු කර ඇත. බඳවා ගැනීමට අනුමැතිය ලද 347 න් ඉතිරි පුරප්පාඩු 205ක් සම්පූර්ණ කිරීමට අදාලව තරඟ විභාගයෙන් මීළඟට ලකුණු ලබා ඇති අයවළුන්ගේ නාම ලේඛනයක් ගෙන්වා ගැනීමට විභාග කොමසාරිස් ජනරාල් වෙත මේ වන විට ලිපියක් යොමු කර ඇත.
- අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බල සේනාවෙහි සේවයේ නිරත හමුදා සාමාජිකයින් 472 ක් (පිරිමි 417, කාන්තා 55) බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බලකාය වෙත බඳවා ගැනීමට අදාලව අභ්‍යන්තර සන්නිවේදන මාර්ගයන් ඔස්සේ අයදුම්පත් කැඳවූ අතර, ඊට අදාලව අයදුම්පත් 30 ක් ලැබී ඇත. එම අයදුම්පත් පරීක්ෂා කර අදාල සම්මුඛ පරීක්ෂණයන් පවත්වා සුදුසුකම් ලබන්නන් 2025 වසර තුළදී බඳවා ගැනීමට නියමිතය.
- බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ සේවක නිලධාරීන් මඟින් සීමිත පදනම මත බන්ධනාගාර නියාමක තනතුරට බඳවා ගැනීමට අදාල කටයුතු සිදු කරමින් පවතී.
(v) බන්ධනාගාර නියාමකවරුන් වෘත්තීය ගැටලු විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
- අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ අංක:අමප/24/1080/614/046 හා 2024 ජුනි මස 25 දිනැති ලිපියෙන් යොමු කරන ලද 2024 ජුනි මස 19 දින අමාත්‍ය මණ්ඩල තිරණය අනූව 2024.07.01 දින සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුගත නිලධාරීන් සඳහා ලබා දුන් රු. 2,750.00ක දීමනාව රු.13,000.00 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇත.
දිමනා වර්ගය වර්තමාන දිමනාව (රුපියල්) 2024.07.01 දින සිට ගෙවිය යුතු සංශෝධිත දීමනාව (රුපියල්)
යහපත් කල්ක්‍රියා දීමනාව 500 /- 2,000/-
අවදානම් දිමනාව 1,500 /- 8,000/-
සෞඛ්‍ය ආරක්ෂිත දීමනාව 750 /- 3,000/-
එකතුව 2,750 /- 13,000/-
- විශේෂ අතිකාල දීමනා පැය 175 සිට 200 දක්වා උපරිමයක් දක්වා ගෙවීමටත්, ඉන් ඔබ්බට පැය 240 දක්වා සීමාව අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය යටතේ ගෙවීම් කිරීමටත් කටයුතු සලසා ඇත.
- බන්ධනාගාර නිලධාරීන්ගේ නිල ඇඳුම් සඳහා වන ඇඳුම් ආයිත්තම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.
- බන්ධනාගාර නියාමක නිලධාරී හිඟතාවය හේතුවෙන් බන්ධනාගාර ආයතන වල රාජකාරී කටයුතු සිදු කිරීම අපහසු තත්වයක පැවතියද නව බඳවා ගැනීම් සිදු කරමින් එම තත්වයන් මඟහරවා ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.
නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින් පුහුණු වැඩසටහන් සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් පැවැත්වීමට කටයුතු කර ඇත.
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අදාළ නොවේ.
අධිකරණ අමාත්‍යතුමාගෙන් අසන ලද අතුරු ප්‍රශ්න සහ ලබාදුන් පිළිතුරු-
ප්රශ්නය - බන්ධනාගාර නිලධාරිනුත් පොලීසියේ ඉන්න නිලධාරීන් වගේම අවදානම් රාජකාරියක් කරන්නේ. මේ අයට පොලීසියේ නිලධාරීන්ගේ වැටුපට වඩා අඩු වැටුපක් තමයි ලබා දෙන්නේ. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්ට පොලිස් නිලධාරීන්ට වගේ සාධාරණ වැටුපක් ලබාදීමට ඔබතුමාගේ අමාත්‍යාංශය කටයුතු කරන්නේද ?
පිළිතුර - ඔව් මේ වසරේ සාමාන්‍යයෙන් රජයේ සේවකයින්ට වැඩිවු වැටුප ඔවුන්ටත් වැඩි වෙනවා. නමුත් ඉදිරියේ දී සාකච්ඡා කොට ඔවුන්ට අවශ්‍ය දීමනා හා සහන ලබාදීමට කටයුතු කරන්න පුළුවන්.
ප්රශ්නය - බන්ධනාගාරවල සිටින රැඳවියන් පිළිබඳව කථා කරන කොට පොලොන්නරුව බන්ධනාගාරය තුළ ඉන්න පුළුවන් රැඳවියන් සංඛ්‍යාව 149 යි. මේ වෙන කොට 405 දෙනෙක් ඉන්නවා. කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ 1400 යි ඉන්න පුළුවන් . නමුත් මේ වන විට 3549 ක් ඉන්නවා. පොලොන්නරුව නව නගරයේ බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් අවම නිසා මේ වන විට වැසිකිළිවලින් අපවිත්‍ර ජලය උතුරලා ඩී 2 කියන ප්‍රධාන ඇළට අපවිත්‍ර ජලය ගලා ගෙන යනවා. මේ ඇලෙන් නාන අය ඉන්නවා. ජලය පානය කරන අය ඉන්නවා. කුඹුරුවලට වතුර ගන්නවා. කකුල් සෝදනවා. කුඹුරුවලට ගන්නවා. මේ පිළිබඳව හිටපු අධිකරණ ඇමතිතුමාටත් දැන්වුවා. ඒත් මේ වන විටත් පිළිතුරක් නැහැ. දිවයින පුරා බන්ධනාගාරවල මේ තත්වය තියෙනවා. මේ රැඳවියන්ගේ තදබදය අඩු කරන්න වැඩ පිළිවෙළක් තියෙනවා ද ?
පිළිතුරු - ඔව්, වැදගත් ප්‍රශ්නයක්. සමස්තයක් ලෙස ගත්තහම බන්ධනාගාර තුළ ඉඩ පහසුකම් තියෙන්නේ 10400 කට ආසන්න ප්‍රමාණයක් සඳහා පමණයි. නමුත් වර්තමානයේ බන්ධනාගාර පද්ධතිය තුළ තිස් දහසක පමණ රැඳවියන් ඉන්නවා. ඉන් දහනව දහසක් රිමාන්ඩ් තත්වයේ ඉන්නේ.
ඔබතුමා කියන ප්රශ්නය පොලොන්නරුවේ පමණක් නොවෙයි කොළඹත් තව තැන් දෙකකත් මතුව තිබෙනවා. පසුගිය අවුරුදු දෙකේ ප්‍රතිපාදන මේවාට වෙන් වුණේ නැහැ. මේ වසරේ ප්‍රතිපාදන වෙන් කරලා තත්ත්වයන් බලන්න වෙනවා. පොලොන්නරුවත් එක තැනක්. බන්ධනාගාරවල ඉන්න රිමාන්ඩ් රැඳවියන් අඩු කිරීමේ ක්‍රමවේදයක් සඳහා මම කමිටුවක් සුමාන තුනකට කලින් පත් කළා. රිමාන්ඩ් වෙලා ඉන්න රැඳවියන්ගේ තදබදය අඩු කිරීමට. ඉතා ඉක්මනින් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා