ජගත් ගේ සතියේ සටහන - 85
හිටපු ජනාධිපතිවරුන් ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 150 කින් සම්මත වී, රජයේ නිල නිවාස වල පදිංචිව සිටි, මහින්ද රාජපක්ෂ, චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග, හා මෛත්‍රීපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් එම නිවාස වලින් ඉවත්වීමට ලහි ලහියේ සූදානම් වූ අන්දම දකින්නට ලැබුණා.
සාමාන්‍යයෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පසු කතානායකවරයා අත්සන් කිරීමෙන් පසුවයි එය පනතක් බවට පත්වෙන්නේ. වෙනදා එසේ සම්මත වූ පනත් කෙටුම්පතකට අත්සන් තැබීම කතානායකවරයා සිදු කරන්නේ දින කිහිපයක් හෝ සතියක් ගතවීමෙන් පසුව යි.
එහෙත් කතානායක ජගත් වික්‍රමරත්න මහතා මෙම පනත් කෙටුම්පත සම්මත වී පැයක් ඇතුළත එයට අත්සන් තබා අනුමැතිය ලබා දීම විශේෂ සිද්ධියක් ලෙසයි විචාරකයින් හඳුන්වා දෙන්නේ.
පනත පාර්ලිම්න්තුවේ සම්මත වී පැය 24 ක් ගතවීමටත් පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුදා ම එනම් 11 වනදා දහවල් 1. 30 ට පමණ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසින් ඉවත්ව ගියේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද සමඟ යි.
තංගල්ලේ පිහිටි සිය නිවස වන 'කාල්ටන්' බලා පිටත්ව ගිය මහින්ද රාජපක්ෂ මහතාට සමුදීම සඳහා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, නාහිමිවරුන්, කලාකරුවන් හා පාක්ෂිකයින් සහ ආධාරකරුවන් ද විශාල පිරිසක් පැමිණ සිටියා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසේ දී අවසන් වරට හමු වූ රාජ්‍ය තාන්ත්‍රිකයා වූයේ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී වෙන් හොන්ග් මහතා යි. බ්‍රහස්පතින්දා පෙරවරුවේ විජේරාම නිවසට පැමිණි ඔහු මහින්ද රාජපක්ෂ මහතා හමුවී සුහද පිළිසඳරක යෙදී, ඔක්තෝම්බර් 1 වනදාට යෙදී තිබෙන චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික දිනය වෙනුවෙන් සැප්තැම්බර් අග කොළඹ දී පැවැත්වෙන උත්සවයට පැමිණෙන ලෙසට, ඔහුට ආරාධනා පත්‍රයක් භාර දෙනු ලැබිණි.
රිය පෙරහැරකින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ තංගල්ලට ළඟා වූ මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට පැමිණ සිටි අති විශාල ජනකායෙන් තංගල්ල නගරය පිරී ඉතිරී ගොස් තිබූ බව යි වාර්තා වුණේ. මහින්ද රාජපක්ෂ මහතා ගේ සුව දුක් විමසීම සඳහා ඊයෙත් (13) අති විශාල පිරිසක් කාල්ටන් නිවෙස වෙත පැමිණ සිටි බව ද වාර්තා වෙනවා.
තමාට ලැබෙන ජනතාවගේ ආදරය සහ ළෙන්ගතුකම නමැති වරප්‍රසාය කිසිවකුට අහිමි කිරීමට හැකියාවක් නැතැ යි හිටපු ජනාධිපතිවරයා තංගල්ල කාල්ටන් නිවසේ සිට ෆේස් බුක් (Face book) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කොට තිබෙනවා.
එහි මෙසේ ද සඳහන් වෙනවා.
''ජනතාව අප කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු අධික ය. එම බලාපොරොත්තු දැඩිකම නිසා ම පසුගිය කාලය තුළ යම් යම් සිද්ධීන්ට මුහුණ දීමට සිදුවුණා. මහින්ද රාජපක්ෂ තීරණ ගන්නේ සිතට එකඟව රට වෙනුවෙනි. ජනතාවගේ ආදරය සහ ළෙන්ගතුකම තරම් වටිනා දෙයක් මා හට නොමැත. අතීතයේ ලද ජනතා ආදරය අද ද ඒ අයුරින් ම ලැබීම මා ලද වරප්‍රසාදය යි. එම වරප්‍රසාදය අහිමි කිරීමට කිසිවකුට නොහැකි ය. අපගේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගෙන් සැමදා එක ලෙස මා ලද ආශිර්වාදය භෞතික වරප්‍රසාද ඉක්මවා යන්නකි"
''මා ජීවත්ව සිටින තෙක් අප සැම ජීවත්වන කෙදිනක හෝ මිහිදන් තෙක් සිංහ ධජය යටතේ පවතින මෙම ඒකීය මාතෘභූමියට කුමන හෝ අයකු ද්‍රෝහී වුවහොත් කෙතරම් පීඩා මධ්‍යයේ මා නැඟී සිටින බව ප්‍රකාශ කරමි" යනුවෙන් ද මහින්ද රාජපක්ෂ මහතා ගේ ෆේස්බුක් සටහනෙහි දැක්වෙනවා.
කෙසේ වුව ද විජේරාම මාවතේ නිල නිවසින් මහින්ද රාජපක්ෂ මහතාට පිටවී යෑමට සිදුවීමත් සමඟ ඔහුට ජනතාව තුළ විශාල ප්‍රසාදයක් හා අනුකම්පාවක් ඇති වී තිබෙනවා. සමහරු ඒ ගැන ආණ්ඩුවට දොස් පවරනවා.
එයට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් රජය ඉකුත් වර්ෂවල වැයකොට ඇති මුදල් පිළිබඳ විස්තර නිකුත් කොට තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ගේ විජේරාම නිල නිවස අලුත්වැඩියා කොට එයට තවත් අංග එකතු කිරීම සඳහා රුපියල් කෝටි 5 ක් වැය වී ඇතැ යි රජය නිකුත් කොට ඇති සංඛ්‍යා ලේඛනවල දැක්වෙනවා.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද තමන් පදිංචි නිදහස් මාවතේ නිවෙසින් මාස දෙකක් ඇතුළත ඉවත්වන බව මාධ්‍යවලට පවසා තිබුණා. තමන් කොළඹින් වෙනත් නිවසක් ලබාගෙන ඇති අතර එහි අලුත්වැඩියා කටයුතු සඳහා මාස දෙකක් ගතවෙන බැවින් මෙසේ නිවසින් යෑමට කල් ඉල්ලූ බව ද ඇය පුවත්පතකට පවසා තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ද තමන් පදිංචි කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව මාවතේ නිවසින් දින 24 ක් ඇතුළත ඉවත්වන බව මාධ්‍යවලට පවසා තිබුණා.
⋆⋆⋆⋆⋆ ⋆⋆⋆⋆⋆ ⋆⋆⋆⋆⋆
හයමසකට පස්සෙ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙලා
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා සවස පක්ෂ මූලස්ථානයේ දී රැස්වුණේ මාස 6 කට පසුවයි. පසුගිය මාර්තු මාසයේ පැවති රැස්වීමෙන් පසු කැඳවා තිබු මෙම රැස්වීමට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 50 කු පමණ සහභාගි වූ බවයි වාර්තා වෙන්නේ.
විපක්ෂය ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම මෙහි න්‍යාය පත්‍රයේ අංක 1 ට දක්වා තිබුණා.
රජයෙන් සිදුවන මර්ධනකාරී කටයුතුවලට හා ප්රජාතන්ත්ර විරෝධී කටයුතු වලට එරෙහිව පසුගිය දිනවල සමගි ජන බලවේගය අනිකුත් පක්ෂ සමඟ පොදු විපක්ෂයක් ලෙස කටයුතු කළා. එහෙත් එම පක්ෂ සමඟ එක්වී මැතිවරණ වලට මුහුණ දීමේ අදහසක් නැති බව පක්ෂ නායකසජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කොට තිබෙනවා.
එසේම වෙනත් පක්ෂ වලින් සමගි ජන බලවේගයට එන අය ගැන ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවත්, පොදුජන පෙරමුණෙන් පැමිණෙන විවිධ චෝදනා තිබෙන අය ගැන කල්පනාකාරීව විමසිල්ලෙන් පසුවිය යුතු බවත්, සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.
පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අදහස් දක්වමින් සමහරු පක්ෂ නායකයාට, මහ ලේකම්ට වගේ ම අනෙක් මන්ත්‍රීවරුන්වත් තැන තැන විවේචනය කරලා තිබුණා. ඒක පක්ෂයට හොඳ නැහැ. විවේචන තියෙනවා නම් පක්ෂයේ කෘත්‍යාධීකාරි මණ්ඩලයේ දී හරි කළමනාකරණ කමිටුවේ දි හරි එහෙමත් නැත්නම් මන්ත්‍රී කණ්ඩායමේ දී හරි කරන්න. තැන තැන එළියේ දී කරන්න එපා" යැ යි ප්‍රකාශ කළා.
පක්ෂය තුළ විනය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවත්, පක්ෂ නායකයන් පිටත දී විවේචනය කරන අය සිටී නම් ඒ අය ගැන දැඩි විමසිල්ලෙන් සිටින අතර විනය කමිටුව මඟින් ඔවුනට විරුද්ධව දැඩි ගන්නා බවත්, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.
මෙහිදී අනියම් අන්දමින් චෝදනා එල්ල වී තිබුණේ චමින්ද විජේසිරි හා හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන්ට බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වෙනවා.
සුජීව සේනසිංහ ගේ හබක් වූ ශ්‍රී ලංකා ඊශ්‍රායල් පාර්ලිමේන්තු මිත්‍ර සංගමය
පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා ඊශ්‍රායල පාර්ලිමේන්තු මිත්‍ර සංගමයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වන සුජීව සේනසිංහ මහතා පසුගිය සතියේ දැඩි උත්සාහයක යෙදී තිබෙනවා. ඒ සඳහා සැප්තැම්බර් 12 වැනිදා පස්වරු 2. 00 ට පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ශාලාවට පැමිණෙන ලෙස දන්වා ඔහු විසින් මන්ත්‍රීවරුන්ට ලිපියක් යවා තිබුණා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නායකයින් පගස්තීන විමුක්ති සටනට සහාය දචක්වමින් ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාර හෙළ දකිද්දී එම පක්ෂයේ මන්ත්‍රීවරයකු වන සුජීව සේනසිංහ මහතා මෙවැනි ලිපියක් මන්ත්‍රීවරුන්ට යැවීම ගැන මුජිබර් රහුමාන් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් පක්ෂ නායකයාගෙන් විමසා තිබුණා.
මේ ලිපිය ගැන දැනගත් සජිත් ප්‍රේමදාස මහතා සුජීව සේනසිංහ මන්ත්‍රීවරයා ගෙන්වා ඔහුට තදින් ම දොස් පැවරුවේ යැ යි එහි ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
එයින් පසු සේනසිංහ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් තමා විසින් ඊශ්‍රායල් මිත්‍ර සංගමයක් පිහිටුවීම සඳහා ලිපියක් එවුවේ වැරදීමකින් බවත්, ඒ ගැන සමාවෙන ලෙසත්, එවැනි රැස්වීමක් නොපැවැත්වන බවත් පවසා තිබුණා.
ආරංචි මාර්ග පවසන්නේ මෙම ශ්‍රී ලංකා ඊශ්‍රායල් පාර්ලිමේන්තු මිත්‍ර සංගමය පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ඉන්දියාවේ සිටින ඊශ්‍රායල් තානාපතිවරයා නවදිල්ලියේ සිට ඒ වෙනුවෙන් ම ශ්‍රී ලංකාවට පැමිණ සිටි බවයි.