මේ ගැටුම පිළිබඳව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්, අනුගමනය කිරීම වඩාත් වැදගත් ය
ඉරන යුද නැවකට ලංකාව ආසන්න මුහුදේ දී සබ්මැරීන් ප්‍රහාරයක් එල්ලකර ගිල්වා දැමීමේ සිද්ධියේ වගකීම ඇමරිකාව විසින් භාර ගෙන ඇත.ඇමරිකාව මේසිද්ධීයේ වගකීම භාර ගන්නා තුරුම ශ්‍රී ලංකා නාවුක හමුදාව දැන සිටියේ මෙරට මුහුදු සීමාව ආසන්නයේ, ශ්‍රීලංකාවේ සෙවුම් හා ගලවා ගැනීමේ කලාපය තුළ, ඉරාන යුද නෞකාවක් අනතුරට පත්වී, ආපදා සංඥාවක් එවූ නිසා, තම යාත්‍රා වලින් ගොස් මුහුදේ පාවෙමින් සිටි, නාවික කාර්ය මණ්ඩලයේ තිස් දෙදෙනෙකු, බේරාගෙන රෝහල් ගතකරා කියන්නට පමණි. ඊට ද වඩා පුදුමය වන්නේ මාධ්‍ය සාකච්චාවේ දී, මාධ්‍යවේදියෙකු මෙය සබ්මැරීනයක් මගින් එල්ල කළ ප්‍රහාරකින්, සිදුවූවක් බවට විදේශ මාධ්‍ය ප්‍රකාශ කර ඇතැයි කියා ප්‍රශ්නකරද්දී, ඒ ප්‍රකාශය මුළුමනින්ම, ප්‍රතික්ෂේප කිරීමට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා, කටයුතු කිරීම ය. එසේම මේ නෞකාව කොහේ සිට ආවේ ද, කවර ස්ථානයකට යමින් සිටියේ ද, නෞකාවේ කාර්ය මණ්ඩලය කොතෙක් සිටියේ ද, යන්න පිළිබඳව වත් නාවික හමුදාව, එතෙක් කිසිවක් දැන සිටියේ නැත.
ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂ වරයා, මාධ්‍යට පැවසුවෙ රෝහලට භාරදී ඇති, තිස් දෙදෙනාගෙන් එක් අයෙකු, බරපතලම තත්වයේත්, තව හත් අට දෙනෙකු සැලකියයුතු මට්ටමේ, තුවාල වලටත් ගොදුරුව ඇති බවත්, සෙසු සියල්ලෝම සුළු තුවාල ලැබූවන් බවත් ය. අඩුම ගණනේ මුදවාගෙන ගොඩ බිම කරා, ගෙන එන අතරදී මේ සුළු තුවාල ලැබූවන්ගෙන් වත්, සිද්ද වුණේ කුමක් දැ යි විමසා බැලීමට, නාවුක හමුදාව ක්‍රියා කර නොතිබීම විශ්මය ජනකය. නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක ඒ තොරතුරු කිසිවක්, දැන නොසිටියාට පාර්ලිමේන්තුවේ දී, චාමර සම්පත් දසනායක මංත්‍රීවරයා, මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස, විදේශ අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ, අනතුරට පත් නෞකාවේ 180 දෙනෙකු සිටි බව ය. එමෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස, කැබිනට් ප්‍රවෘත්ති සාකච්චාවේ දී ප්‍රකාශ කළේ, ප්‍රහාරයට ලක්වූ නෞකාව පිළිබඳව, මාධ්‍ය සාකච්ඡාවක්, රජයේ ප්‍රවෘති අමාත්‍යයංශයේ දී, ප.ව 3.30 ට පැවැත්වෙන බව ය. මේ ඇමති දෙපළේ ප්‍රකාශ අනුව නෞකාවේ සිටි සංඛ්‍යාවත්, එය ප්‍රහාරයට ලක්වූවක් බවත්, ඔහුන් දැන සිටි බව පැහැදීලි ය. නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක මේ කරුණු දෙකම, නොදැන සිටි බව පැහැදීලිව ප්‍රකාශ කළ බැවින්, මේ ඇමතිවරුන්ට තොරතුරු ලැබුණු මාර්ගය, ඊට වෙනස් එකක් විය යුතුය. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ, දේශපාලන බලධාරීන් හා ආරක්ෂක බලධාරින් අතර, තොරතුරු පීළිබඳව පරස්පරයක් ඇතිවී ඇති බව ය.
මැද පෙරදිග කලාපයේ දැන් සිදුවන යුද්ධය සිදුවන්නේ, අපේ මිත්‍ර රාජ්‍යන් දෙකක් අතර ය. එක් පසෙක සිටින අමෙරිකාඑක්සත් ජනපදය හා ඊශ්‍රායලය යන රාජ්‍යන් දෙකම, නූතන රාජ්‍යන් වන අතර දෙකම, අපේ මිත්‍ර රාජ්‍යන් ය. අනෙක් පස සිටින ඉරානය, ලොව ඉපැරණි රාජ්‍යක් වන අතර, ඈත අතීතයේ සිටම අප හා ගනුදෙනු කළ, මිත්‍ර රාජ්‍යකි. එසේම ඉරානය ජ්‍යාත්‍යන්තර ගැටලුවලදී, නිරන්තරයෙන්ම අපගෙ සහයට පෙනී සිටි රාජ්‍යකි. මිත්‍රයින් අතර ඇතිවන ගැටුමක, පාර්ශවයක් වීමට අපට අවශ්‍යතාවක් නැති අතර, මේ ගැටුම පිළිබඳව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක්, අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වන්නේත් ඒ නිසා ම ය.
දැන ගන්නට ඇති පරිදි, ඉරාන යුද නෞකාව, ඉන්දියාවේ විශාක පට්ටනම් වල පැවති, ප්‍රදර්ශණයකට සහභාගිවී ආපසු ඉරානය බලා, යාත්‍රා කරමින් සිටිය දී අපේ මුහුදු කලාපයේ, සුවිශේෂී ආර්තික කලාපය තුළ දී, මෙම සබ්මැරීන් ප්‍රහාරයට ලක්ව ගිලි ගොස් ඇත. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමෙර්න්තුවේදී ප්‍රකාශ කළේ, මේ නැව යාත්‍රා කරමින් සිටියා නොව, ගාලු වරායට ඇතුළුවීමට අවසර ඉල්ලා, පැය 11 තිස්සේ අපේ රටේ ආර්ථික කලාපය තුළ, නතර කරගෙන සිටි බවත්, ශ්‍රී ලංකා බලධාරින් එම මුලු කාලය පුරාම, අවසර ලබාදීමක් නොකර නිහඬව සිටි බවත් ය. එසේම ඇමරිකාවට මේ ඉරාන නැව ගැන දැනගත්තේ, එසේ නවතා සිටියදී බවද, ඔහු ප්‍රකාශ කළේ ය. ජ්‍යාත්‍යන්තර මුහුදු මාර්ගයක මුහුදේ, යාත්‍රා කරන නෞකාවක අනන්‍යතාව, දිය යටදී හඳුනා ගැනීම අපහසු කාර්යකි. ඇමරිකානු සබ්මැරීනය මෙතරම් පහසුවෙන්, ඉරාන නෞකාව හඳුනා ගත්තේ, එය එම ස්ථානයේ නතර කර, ඇති බවට තොරතුරු දැන සිටි නිසා ද? එසේ නම් ඒ තොරතුරු සැපයුවේ, කවුරුන් ද යන සැකයන්, මෙහිදී පැන නගින ප්‍රබල සැකයන් වේ. ශ්‍රී ලංකා රජයේ බුද්ධි අංශ වහා අවධානය යොමු කළ යුත්තේ, මෙරට සමුද්‍රීය පාලන කටයුතු වලදී, විවිධ නාවික යාත්‍රාවලින් සැපයෙන තොරතුරු, සමුද්‍රීය පරිපාලන අංශ වෙතින්, රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස, වෙනත් පාර්ශව වලට මුදා හැරීමක් වන්නේ ද, එසේනම් ඒවාට සම්බමන්ධ පුද්ගලයින් කවුරුන් ද ගැන යි.
ඊළඟට රජය වහා සිය අවධානය යොමුකළ යුතු වන්නේ, අපේ රටේ ආර්ථික කලාපය හරහා පවතින, ජ්‍යාත්‍යන්තර මුහුදු මාර්ගය තුළ, යුධමය ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව, සිය විරෝධය සියලු පාර්ශ්ව වෙත දැක්වීමට යි. මෙහිදී ඉන්දීය සාගරය සාම කලාපයක්, වියයුතු බවට සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය විසින්, එක්සත් ජාතින්ගේ සංවිධානයට ඉදිරිපත් කර, අනුමත කරවා ගත් යෝජනාව, පදනම් කර ගත හැකිය. එමෙන් ම යුදවැදී ඇති කිසිදු පාර්ශ්වයක, යුද නෞකා සඳහා අප රට විසින්, සේවා නොසැපයීමේ ප්‍රතිපත්තියකට වහා එලඹිය යුතු ය. ගැටලුව ඇත්තේ යම් යම් බලවතුන් සමඟ, ආණ්ඩුව හොර රහසේ අත්සන් කළ, ගිවිසුම් වලින් අපක්ෂපාතී ප්‍රතිපත්ති අනුගමනය කිරීමට, රටක් ලෙස අපට ඇති අයිතියට, හානි පමුනුවා ගෙන ඇතිද යන්න ගැන යි.
සුනිල් කන්නන්ගර
විශ්‍රාමික මහ දිසාපති කොළඹ, රත්නපුරය, අම්පාර
